ඈ හෙවත් සුසන්තිකා අධිෂ්ඨානයේ දියණිය | සිළුමිණ

ඈ හෙවත් සුසන්තිකා අධිෂ්ඨානයේ දියණිය

 

මිනිසුන් ජීවත්වන්නේ බලාපොරොත්තු සමඟ ය. එහෙත් එවැනි අපේක්ෂා ඉටුවන තුරු නොතිත් අරගලයක යෙදෙන්නෝ දුලබ ය. එවන් දුලබ මිනිසුන් අතර ප්‍රබල ගැහැණියකි ඈ. හිතළු නොකියා තමන්ටඉටුකළ හැකි දේ ලොවට හඬගා කියන්නට ඈ කිසිවිට බිය නොවී ය. මේ ගෙවී යන්නේ ඇගේ වීරවික්‍රමයේ 2.1 දසකය ය. එසේ නැතහොත් විසි එක්වසර ය. එදා ඈ ලැබූ ඒ අමිල විජයග්‍රහණය පිටුපස සැඟවුණු අපූරු අධිෂ්ඨාන බලය අගයමින් තැබෙන සටහනකි මේ.

සිඩ්නි නුවර ඔලිම්පික් ක්‍රීඩාංගණයේ පොදිකමින් සිටි ප්‍රේක්ෂකයන් මීයට පිම්බාක් මෙන් නොසිටිය ද උන්නේ දැඩි අවධානයෙන් යුතුව ය. ඔවුහු සියල්ලෝ ම සාක්ෂිකරුවන් වීමට බලා සිටියේ තවත් මොහොතකින් ඇරැඹෙන මීටර් 200 ඉසව්ව සම්බන්ධයෙනි. ඒ ලොව මීටර් 200 ඉසව්වේ වේගවත් ම ගැහැනිය කවුදැයි හඳුනාගන්නට ය.

බොහෝ දෙනෙක් ඒ මේරියන්ස් ජෝන්ස් යැයි දැන සිටිය හ. එහෙත් ඇයට පසු මුල් ස්ථාන දෙක සම්පූර්ණ කරන්නේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් කිසිවකු තුළත් නිශ්චිත හැඟීමක් තිබුණේ නැත. මේ අතර සිඩ්නි නුවර ඔලිම්පික් ධාවන පථය මත රැඳී උන් ක්‍රීඩිකාවන් අතර ඔලිම්පික් ක්‍රීඩා ඉතිහාසයේ අවසන් මහා තරගයක නොකියවුණු රටක් නියෝජනය කරමින් ක්‍රීඩිකාවක් උන්නා ය.

එසේ සිටි ඇගේ දෙනෙත් සෙසු ක්‍රීඩිකාවනට වඩා තියුණු හා අරමුණු සහගත ස්වරූපයකින් යුක්ත විය. එදෙස වඩා අවධානයෙන් හා සමීප ලෙස නිරීක්ෂණය කරන්නකුට සිහි කළේ සිය ගොදුර වෙත අසුරු සැණින් දිව යන ජගුවරයකු ගේ නෙත් යුවළකට එය සමාන බව ය. එසේ නැතහොත් උඩු ගුවනේ සිට නිසැක දඩයමට ඊ වේගයෙන් පොළව වෙත පහත් වන උකුස්සකු ගේ දෙනෙතට එය සමරූපී කියා ය.

ඈ සිය දෙනෙත් යොමා සිටියේ ධාවන පථය වෙත ය. සිරුරේ උණුසුම පවත්වාගෙන යෑමට අවැසි හෙයින් මෙන් ම සිත තුළ මතුවූ යම් නොසන්සුන් භාවයක් මැඬ පවත්වා ගන්නට මෙන් නොනවත්වා සිය දෙපා රිද්මයානුකූලව චලනය කරමින් සිටියා ය. ඇගේ වටකුරු හැඩැති පෙනුමක් ගත් දෙනෙත් සියුම් ව නිරීක්ෂණය කරන්නකුට කණීනිකා යුවළ දිස්වුණේ වෙනදාට වඩා විශාලව ය. එය තුළ යම් තැති ගැන්මක් හෝ නොසන්සුන් බවක සලකුණු ද විය.

ඈ කවුරුන් ද? කුමන රටක් නියෝජනය කරන්නේ ද? යන්න ඊට සුළු මොහොතකට පසු සිඩ්නි පිටියේ යකඩ කටින් කියැවුණේ ය.

‘ලේන් නම්බර් සික්ස් සුසන්තිකා ජයසිංහ ෆ්‍රොම් ශ්‍රී ලංකා.’ යැයි කියැවෙද්දී ඈ ප්‍රේක්ෂකයන් දෙස බලා යන්තමින් අත ඔසවා ආචාර කළා ය. ඉනික්බිතිව දෑත් දෙතොල් මත තබා උණුසුම් හැඟුම් පළ කළේ වෙනත් අරමුණක් සිත තුළ ඇති බවක් හඟවමිනි. එසැණින් යළි දැඩි අධිෂ්ඨානයෙන් යුතුව ඈ ධාවන පථයේ ඉදිරිය බැලුවා ය.

ක්‍රීඩිකාවන් ආරම්භක පුවරු මත ස්ථානගත වූ පසු ආරම්භක සංඥාව නිකුත් කරන්නට සියල්ල සූදානම් ව තිබිණි. වෙඩි හඬ නිකුත් වූ සැණින් ඉන් නිදහස් වුණු ධාවිකාවන් දිස් වූයේ මිටින් මුදාහළ කිරිල්ලියන් මෙනි. ජවය, වේගය, අධිෂ්ඨා

නයේ ප්‍රතිබද්ධ වීර්යය මෙන්ම සිරුරේ මස් පිඬු ලෙළෙන ආකාරය තත්ත්පර කීපයක් තුළ එකිනෙකා හා තරග වදින අයුරු මැවූයේ අපූරු දර්ශනයකි. ලොව ප්‍රබල රාජ්‍ය, ධනවත් රාජ්‍ය, සංවර්ධිත රාජ්‍ය, වේගයේ ජාන තවාන් ලෙස ප්‍රචලිත රාජ්‍යයන් නියෝජනය කරන ක්‍රීඩිකාවන් හා ඈ සිඩ්නි

ධාවන පථය මත හැල්මේ දිව යයි.

හය, පහ, හතර, තුන අතර ඇත්තේ කෙස් ගසක වෙනසකි. සුසන්තිකා අවසන් මීටර තිහේ සිය උපරිම ජවය මුදාහැරියා ය. ලෝකයක් නෙත් අයා බලා සිටිය දී ඈ තෙවැනියා ලෙස මීටර් 200 ධාවන තරගය නිම කළා ය.

අධිෂ්ඨානය ප්‍රතිබද්ධ හැඟීම් සමුදාය ඈ සිඩ්නි ඔලිම්පික් පිටියේ දී මුදා හළේ සමස්ත රටටම අපූරු පාඩමක් කියාදෙමිනි. ඒ පාඩම නම් කොතරම් බාධක පැමිණිය ද නොවැටිය යුතු බවත් මානසික ව සවිමත් ව ඊට මුහුණදිය යුතු බවත් ය. එහෙත් ගෙවුණු ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගි වූ ඇතැම් ශ්‍රී ලාංකේය ක්‍රීඩකයන් ප්‍රකාශ කර තිබූ අදහසක් මෙහිදී විශේෂයෙන් මතු කළ යුත්තේ සුසන්තිකා ජයසිංහයන්ගේ විශිෂ්ට චිත්ත ධෛර්යය සම්බන්ධයෙන් සටහන් කිරීමට ය. ‘අපි මූලික තරගයට ඉදිරිපත් වෙද්දී කකුල් දෙක වෙව්ලුවා. ඉතින් අපේ උපරිම දක්ෂතා අතරට එන්න හැකියාවක් ලැබුණේ නෑ.’ ඔවුහු පසුව පවසා තිබිණි.

එහෙත් මෙදා ඔලිම්පික් තරගාවලිය පැවැත්වුණේ හිස් ක්‍රීඩාංගණයක ය. එදා සුසන්තිකා ජයසිංහ දිවගියේ දහස් සංඛ්‍යාත ප්‍රේක්ෂකයන් ඉදිරිපිට ය. පීඩනය වැඩිපුරම දැනුණේ කවුරුන්ට විය හැකි ද? ගැහැනියක වුව ද සුසන්තිකා ගේ ආධ්‍යාත්මික ශක්තිය විස්මිත බව මින් ඔප්පු නොවන්නේ ද?

මේ වන විට ඈ ඔලිම්පික් පදක්කමක් දිනා විසි එක් වසරක් ගෙවී ගොසිනි. එහෙත් ඉන් පසු ඔලිම්පික් තරගාවලියක මූලික වටයෙන් එපිටට යන්නට සමත් ක්‍රීඩකයකු හෝ ක්‍රීඩිකාවක ශ්‍රී ලංකාවෙන් බිහි වී නැත. එහෙත් එවැනි ප්‍රභාමත් විභවතා රට තුළ නොමැති බවක් ඉන් නොකියවේ. ප්‍රශ්නය ඇත්තේ එවැනි විභවතා සොයා යෑමට ඇති අපොහොසත් භාවය ය.

තවත් එවැනි ම සුසන්තිකාලා මෙරට බොහෝ ප්‍රත්‍යන්ත නගරවලින් සොයාගත හැකි ය. සිඩ්නි නුවර දී සුසන්තිකා ජයසිංහ මීට විසි එක් වසරකට පෙර පෙන් වූ විභවතාව, ධෛර්යය, අධිෂ්ඨානය යළි ප්‍රදර්ශනය කිරීමට ඔවුනට ද හැකි ය. ඒ සඳහා අද දිනයේ යළි සුසන්තිකාගේ සේවය සපුරා ගැනීමට තීරණය කිරීම ප්‍රශස්තය. එය ශීර්ෂ ප්‍රණාමය ලැබිය යුතු කටයුත්තකි.

කෙසේ නමුත් අප පිළිගත යුත්තක් ඇත. ඒ සුසන්තිකා ජයසිංහ යනු දැයේ කාන්තාව බව ය. ඈ සතු වූ විභූතිමත් ශක්තියට ශීර්ෂ ප්‍රණාමය පළ කළ යුතු ය. එය එසේ කළ යුතු හා කළ හැකි යුතුකමකි, වගකීමකි.

කසුන් ඉරුගල්බණ්ඩාර

Comments