අයි.සී.සී. තරගාවලියකට සුදුස්සන් වීමට වසර හතළිස් දෙකකින් ආපසු යාම | සිළුමිණ

අයි.සී.සී. තරගාවලියකට සුදුස්සන් වීමට වසර හතළිස් දෙකකින් ආපසු යාම

 

ශ්‍රී ලංකාව සැලකෙන්නේ 1979 අයි.සී.සී. කුසලාන තේරීම් තරගය මෙන්ම එක්දින ලෝක කුසලාන යන කුසලාන ද්විත්වය ම දිනූ ලොව එකම රට ලෙස ය.

'මීළග අයි.සී.සී. 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරග අද (17) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ඇරැඹීමට නියමිත ය. ඒ සඳහා ශ්‍රී ලංකාවට ද සහභාගී වීමට සිදුව තිබේ. මේ ආකාරයට ශ්‍රී ලංකාවට අයි.සී. සී. තරගාවලියක් සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියකට සහභාගි වූයේ මීට වසර 42 කට පෙර ය. ඒ 1979 දෙවැනි පෲඩෙන්ෂල් ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙනි.'

1975 පැවති පළමු වැනි ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකාව කෙළින්ම සුදුසුකම් ලැබුව ද 1979 දී ලෝක ක්‍රිකට් සමුළුව ගත් තීරණයක් අනුව අනුබද්ධ රටවල් අතර පළමුව තරගාවලියක් පවත්වා අවසාන තරගයට පිවිසෙන රටවල් දෙක ප්‍රධාන තරගාවලියට ඇතුළත් කිරීමට තීරණය විය.

ඒ අනුව 1979 වසරේ ලෝක කුසලානයට පෙර පැවති යෝග්‍යතා තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ තේරීම් කමිටුව විසින් ක්‍රීඩකයන් 15 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් එංගලන්තය බලා යෑමට නම් කරනු ලැබිණි. එදා එම තරගාවලියට ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය ඉසිලූයේ අනුර තෙන්නකෝන් ය.

එහි උපනායකත්වය බන්දුල වර්-ණපුරට හිමි වූ අතර සෝමචන්ද්‍ර ද සිල්වා, ටෝනි ඕපාත, දූලිප් මෙන්ඩිස්, සුනිල් වෙත්තමුණි, රෝයි ඩයස්, රන්ජන් මඩුගල්ල, රොහාන් ජයසේකර, රන්ජන් ගුණතිලක, ඩී.එල්. එස්. ද සිල්වා, අජිත් ද සිල්වා, සුනිල් ජයසිංහ, ශ්‍රීධරන් ජෙගනාදන්, සුදත් පැස්කුවල්, මේජර් ජනරාල් බී.ආර්. හයින් (කළමනාකරු) අබු ෆුවාඩ් (සහය කළමනාකරු) ලෙස මෙම තරගාවලියට සහභාගි විණි.

1979 සමාරම්භක ලෝක කුසලාන තරගාවලියට ලෝක ක්‍රිකට් සමුළුව විසින් තෝරා ගන්නා ලද කණ්ඩයම් 14 ක් තරග වැදිණි. මූලික වටයේ තරග වලින් අනතුරුව වැඩිම ජයග්‍රහණ වාර්තා කළ ශ්‍රී ලංකාව සහ කැනඩාව අවසන් මහා තරගයේ දී එකිනෙකා හමුවූ හ.

අවසාන තරගය පන්දුවාර හැටක තරගයක් වූ අතර, මුලින්ම පන්දුවට පහර දුන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමයි. බලාපොරොත්තු තැබූ පිතිකරුවන්ගේ සාර්ථක පිති හරඹය හේතුවෙන් නියමිත පන්දු වාර 60 අවසානයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8 කට ලකුණු 324 ක් රැස් කළ හ.

දුලිප් මෙන්ඩිස් ලකුණු 66 ක් රැස් කරමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා විය. සුනිල් ජයසිංහ ලකුණු 64, සුදත් පැස්කුවල් 39, සෝමචන්ද්‍ර ද සිල්වා නොදැවී ලකුණු 39, රෝයි ඩයස් 34 සහ රන්ජන් මඩුගල්ල 33 අගනා පංගුකාරකමින් ශ්‍රී ලංකා ඉනිම ඔසවා තැබූ හ.

ඉනිමේ හොඳම සම්බන්ධතා-වය තැබුවේ සුනිල් ජයසිංහ සහ රෝයි ඩයස් දෙදෙනා තෙවැනි කඩුල්ලට ලකුණු 87 ක සම්බන්ධතාවක් පවත්වමිනි. පස්වැනි කඩුල්ලට දුලිප් මෙන්ඩිස් සහ රන්ජන් මඩුගල්ල අතර ද ලකුණු 75 ක සම්බන්ධතාවක් ගොඩනැඟුණි.

කැනඩා කණ්ඩායම පිළිතුරු ඉනිම ඇරැඹුවේ දැඩි අධිෂ්ඨානයකින් යුතුව ය. ඔවුන්ගේ පිතිකරුවන් ආරම්භයේ සිට ම ශ්‍රී ලංකා ලකුණු ප්‍රමාණය හඹා යන බවක් පෙනුණි. කෙසේ වෙතත් කැනඩා ඉනිමේ පළමු කඩුලු 3 ලකුණු 83 කට දවා ගන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූ හ. තරගය අත් නොහළ මීළඟ කැනඩා පිතිකරුවන් දෙදෙනා 4 වැනි කඩුල්ලට ලකුණු 99 ක් එකතු කළ විට දී තරගයේ වාසිය ඔවුන් අතට පෙරළෙන බව පෙනුණත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ ඉහළ තරග දැක්ම නිසා කැනඩා ඉනිම අඩාළ විය.

අවසානයේ කැනඩා ඉනිම පන්දුවාර 60 ක දී නිමාව දුටුවේ කඩුලු 5 ක ට ලකුණු 264 ක් ලෙස ය. කැනඩා ඉනිමේ ඉහළම ලකුණු ලභියා වූ ජේ. වෝන් නොදැවී ලකුණු 80 ක් රැස් කළේ ය. පන්දු යැවීමේ දී ටෝනි ඕපාත පන්දුවාර 12 ක දී ලකුණු 44 ට කඩුලු 1, සෝමචන්ද්‍ර ද සිල්වා පන්දුවාර 12 ක දී ලකුණු 42 ට කඩුලු 1 සහ බන්දුල වර්ණපුර පන්දුවාර 9 ක දී ලකුණු 42 ට කඩුලු 1. අගනා පන්දු යැවීමක් කළ ඩී.එල්. එස්. ද සිල්වා පන්දුවාර 12 ක දී ප්‍රතිවාදී පිතිකරුවන්ට ලබා දුන්නේ ලකුණු 39 කි. මේ හැර රන්ජන් ගුණතිලක සහ සුදත් පැස්කුවල් දෙදෙනාත් හොඳින් පන්දු යැවූ හ.

ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 60 කින් ජය ගෙන ප්‍රථම කුසලාන දිනුවා පමණ ක් නොව 1979 පෲඩෙන්සල් ලෝක කුසලාන තරගාවලියටත් සුදු-සුකම් ලබා ගත්තේ ය. එම තරගාවලියේ දී ශ්‍රී ලංකාව “බී” කාණ්ඩය යටතේ පළමු වටයේ දී තරග වැදුණේ බටහිර ඉන්දීය කොදෙව් නවසීලන්තය සහ ඉන්දියාව සමඟය. පළමු වටයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ වාර්තාව ඉන්දියාව සමඟ ජයග්‍රහණයකින් සමන්විත වූ අතර නවසීලන්තය අභිමුව පරාජය විය. එහෙත් බටහිර ඉන්දීය කොදෙව් සමඟ තරගයට වැස්සෙන් බාධා වුණු හෙයින් විසඳුමක් නැතිව අවසන් විය. සහභාගී වූ කණ්ඩායම් අට අතරින් අවසාන සටහනේ ශ්‍රී ලංකාවට හිමි වුණේ පස් වැනි ස්ථානයයි.

ඒ අනුව ශ්‍රී ලංකාව සැලකෙන්නේ 1979 අයි.සී.සී. කුසලාන තේරීම් තරගයත්, 1996 විල්ස් ලෝක කුසලාන යන කුසලාන ද්විත්වය ම දිනූ ලොව එකම රටත් ලෙස ය.

එසේම 1979 පෲඩෙන්ෂල් ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයේ දී ඉන්දියාව ලකුණු 47 කින් පරාජය කිරීම, ටෙස්ට් වරම් නොලැබූ අනු-බද්ධ කණ්ඩායමක් ටෙස්ට් වරම්ලාභී කණ්ඩායමක් ලෝක කුසලාන තර-ගාවලියේ දී පරාජය කළ ප්‍රථම අවස්ථාව ලෙසින් ද ඉතිහාසයට එක්ව තිබේ.

 

ක්‍රිස්ටෝපර් රණසිංහ

 

Comments