ගුරුවරුනි, ෂයිලොක්ලා නොවනු මැන! | සිළුමිණ

ගුරුවරුනි, ෂයිලොක්ලා නොවනු මැන!

 

න්ධකාරයට බිය දරුවකුට පහසුවෙන් සමාව දීමට අපට හැකිය. නමුත් සැබෑ ජීවිතයේ ඛේදවාචකය නම් වැඩුණු මිනිසුන් ආලෝකයට බිය වීම ය කියා ප්ලේටෝ පවසා තිබේ. වැඩුණු මිනිසුන් ආලෝකය පෙනී පෙනී හා ආලෝකය උදා කරන්නට අකැමැත්තෙන් යම් යම් දෑ කරන්නේ නම් එහි ප්‍රතිවිපාකය ලැබෙන්නේ දරුවන් ට ය. එය ඛේදවාචකයකි. ලක්ෂ 43ක් දරුවන්ගේ හෙට දවස බිල්ලට තබා ගුරුවරුන් ගෙන යන අරගලය ආත්මාර්ථකාමයෙන් පිරුණේ යැයි කීමට අද වන විට කිසිවකුත් දෙවරක් නොසිතනු ඇත. ගුරු වැටුප් වැඩි කර ගැනීම සඳහා ගුරු - විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය ගෙන ආ වෘත්තීයමය අරගලය පිළිගෙන ඔවුන්ගේ ඉල්ලීම් සඳහා පිළිගත හැකි විසඳුමක් ආණ්ඩුව යෝජනා කරමින් සිටිය ද ඔවුහු තවදුරටත් වර්ජනයේ ම නිරත ව සිටිති. එකී විරෝධයට අදට දින 98කි. අගමැතිවරයා සමඟ කළ සාකච්ඡාවෙන් පසු සුහද එකඟත්වය පෙන්වා එය කඩ කළ ගුරු - විදුහල්පති වෘත්තීය සමිති සන්ධානයේ ඇතැමුන් ගුරු පරපුරට නින්දාවකි. මෙවර කරන ඉල්ලීම් සඳහා අදියර දෙකකින් වැටුප් වැඩිවීම් ලබා දෙන්නට රජය එකඟ වුව ද ඇතැම් ගුරු සංගම් කියන්නේ එය එකවර ලබා දිය යුතු බව ය.

2020 මාර්තු 21 න් පසු දරුවන්ට පාසල් යන්නට ලැබුණේ කඩින් කඩ ය. මෙදා ඔවුහු දෑස් දල්වා සිටියේ පාසල් යන්නට ය. ආවරණය නොවුණු විෂයය නිර්දේශ මෙන්ම වර්ජන ගර්ජන නිසා අතපසු වූ ස්වකීය පාඩම් නැවත පටන් ගන්නට ය. එහෙත් දරුවන්ගේ සිහින බොඳ කරමින් ඔවුන්ගේ සිහින පාට කර ගන්නට තතනන ගුරු පරපුරක් අද අප ඉදිරියේ ය.

මේ කඩාකප්පල්කාරී ක්‍රියාදාමයට එක් නොවන බව වෘත්තීය සමිති කිහිපයක් ප්‍රකාශ නිකුත් කර තිබේ. ඔවුන්ට මල් මිටක් පුදන අතරේ ගුරුවරයා යනු දෙවියෙක් යැයි කියූ මහා බුහුමනට නින්දා නොකරන්නැයි අනෙක් පාර්ශ්වයේ ගුරු වෘත්තීය සමිතිවලින් ඉල්ලා සිටිමු.

අපට මේ මොහොතේ මතක් වෙන්නේ විලියම් ශේක්ස්පියර්ගේ වැනීසියේ වෙළෙන්දා ය. මේ අග්‍රගණ්‍ය නිර්මාණය සර්වකාලීන හා සර්වභෞමික නිර්මාණයක් යැයි දිනෙන් දින හැඟෙමින් තිබේ. ෂයිලොක් ලා එකී වේශයෙන් ම විවිධ ක්ෂේත්‍ර ඔස්සේ මතු වෙමින් සිටිති. ඕනෑ ම සමාජයක ෂයිලොක්ලා මෙන්ම ඇන්ටෝනියෝ ලා ද, පෝර්ෂියා ලා ද සිටිති. ඉදින් මස් රාත්තල ම ඉල්ලන්නේ නම් කියන්නට වෙන්නේ ෂයිලොක් ට කී දේ ම ය. ෂයිලොක් ලා සිතන්නේ ඔවුන්ට හැම විට ම දේවාශීර්වාදය තිබෙන බව ය. එහෙත් දානියෙල් පැමිණ ඇතැයි ෂයිලොක්ලා සිතුව ද සොබාදහම ගන්නේ සාධාරණ පැත්ත බව ඉතිහාසය පුරා ම ඔප්පු වී තිබේ.

ඕනෑ ම දෙයක් ඕනවට වඩා ඕනෑ ම නෑ කියා අපේ පැරන්නන් කියන්නේ කට කහනවට නොවේ ය.

සෞඛ්‍යමය වශයෙන් හා ආර්ථික වශයෙන් ගැටලුකාරී වාතාවරණයක් ගෙවන මේ කාලයේ බොහෝ වෘත්තීය සංගම් බලන්නේ තම අයිතිවාසිකම් කෙක්කෙන් හෝ කොක්කෙන් හෝ නෙළා ගැනීමට ය. ඔවුන්ට අවශ්‍ය හුළං පිඹින්නේ විපක්ෂ දේශපාලනයයි. එය ඉතා පැහැදිලි ව විද්‍යමාන වන දෙයකි. මේ දේශපාලන බලවේග මේ වේලාවේ තමන් අතින් පාලනය වන වෘත්තීය සමිති උසිගන්වන්නේ රජය හැකි තාක් අපකීර්තියට හා අසීරුතාවට පත් කරමින්, කලකිරවමින් එහි වාසිය ඔවුන්ට හිමි කරගැනීමට ය. පසුගිය කාලයේ එවැනි වෘත්තීය සටන් කිහිපයක් ම එක දිගට පෙළ ගැසිණි. කල දුටු කලට වළ ඉහගන්නා සංස්කෘතියෙන් ගුරුවරුන් ද ප්‍රයෝජන ගන්නට තතනන්නේ නම් ගුරුවරුන්ට දෙවියන් සේ සලකන රටක තත්ත්වය කනගාටුදායක ය.

‍මේ වනවිට මාස තුනකට අධික කාලයක් දරුවන්ගේ මාර්ගගත ඉගෙනීම ද කඩාකප්පල් වී තිබේ. එය දිනවලින් ගතහොත් දින 98 කි. එදිනෙදා අධ්‍යාපන කටයුතු ඔන්ලයින් මාර්ගයෙන් යම් තරමකට හෝ කළ දරුවන්ට අද කිසිවක් ම නැත. ඊට අමතර ව අත්‍යවශ්‍ය විභාග ආදියට ඉල්ලුම් කිරීමට බාධා ඇති වූ අතර විභාග ප්‍රතිඵලවලදී පවා සෞන්දර්යය ආදී විෂයයන් කළ දරුවන්ට පූර්ණ ප්‍රතිඵල ලැබුණේ නැත. කොරෝනා වසංගතයටත් වඩා ගුරු විරෝධය වසංගතයක් වී දරුවන්ගේ ජීවිතයට බාධා ගෙන ඒම ගැන වඩාත් හොඳින් තේරෙන පාර්ශ්වයක් වේ නම් ඒ ද ගුරුවරුන් ම ය. එනිසා දරුවන්ගේ අනාගතය බිල්ලට තබා කරන මේ විරෝධයට දැන්වත් නම්‍යශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ නම් බෙහෙවින් වටී.

වෘත්තීය අරගල ලොව කිසිදු රටකට ආගන්තුක නොවේ. ස්වකීය වෘත්තීය අයිතිවාසිකම් දිනා ගැනීමේ ජනප්‍රිය ක්‍රමවේදයක් ලෙස එය ප්‍රචලිත ය. ශ්‍රී ලංකාවේ වෘත්තීය සටන් ව්‍යාපාරයට ඇත්තේ දිගු ඉතිහාසයකි.

වාමවාදී දේශපාලනික ව්‍යාපාරයෙන් පෝෂණය වූ මේ වෘත්තීය සමිති සහ ඔවුන් විසින් මෙහෙයවන ලද වෘත්තීය සටන්වල යම් යම් ගුණාංග තිබිණි. අප යෝජනා කරන්නේ එකී ගුණාංග රැක ගන්නයි කියා මිස තම අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කිරීම වැරද්දක් කියා නොවේ. අප කියන්නේ මේ ඒවැනි දේ වෙනුවෙන් සටන් කරන වේලාවක් හෝ කාලයක් නොවන බව පමණකි. සමස්ත ගුරු පරපුර ම මේ වැනි යැයි කියන්නට අපේ සූදානමක් නැත. බොහෝ ගුරුවරු 21 දා තම දරුවන් වෙනුවෙන් පාසල් එන බව දැනටමත් ප්‍රකාශ කර තිබේ. මේ අවස්ථාවේ රට තිබෙන්නේ දැඩි ආර්ථික අර්බුදයක ය. එනිසා විරෝධතාකරුවන් ඉල්ලන හැම දේම ඒ සැණින් දෙන්නට තරම් වත්කමක් හෝ හැකියාවක් මේ මෙහොතේ රජයට නැත. කොරෝනා වසංගතය විසින් බොහෝ අධිමාන ෆැන්ටසි බවට පත් කර තිබේ.

ජීවිතය තණ අග පිනි බිඳුවක් බැව් මෙකල්හි තරම් කිසිවකුටත් නොතේරෙන්නට ඇත. ඉදින් මේ කිසිදු නම්‍යශීලීත්වයක් පෙන්නුම් නොකරන ඇතැම් ගුරු සංගම් පාර්ශ්ව ගැන අපට ඇත්තේ උභතෝකෝටිකයකි. මේ ඇත්තට ම ඔවුන්ගේ හඬ ද; නැත්නම් බළලුන් ලවා කොස්ඇට බාවන්නේ ද යන්න නිවැරදි ව විනිශ්චය කරගත යුතු ව තිබේ.

ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා සේ විෂය නිර්දේශ ආවරණය කර ගත නොහැකිව ළත වෙන දරුවන්ට ඔන්ලයින් අධ්‍යාපනය ද නතර කර දමන්නට තරම් ගුරුවරුන් ආත්මාර්ථකාමී වීම විය නොයුත්තකි. පාසල් වසා දමා කබලට වැටී සිටින දරුවන් ලිපට දමා අළු කිරීමට තරම් ගුරුවරුන් සැහැසි නොවිය යුතුය.

අප දරුවන් තැනිය යුත්තේ ප්‍රේමයෙන්, ආදරයෙන් මිස වෛරයෙන් නොවේ. හොඳ ම දේ දරුවන්ට කියා වී. අයි. ලෙනින් කියන්නේ ඒ නිසා ය.

වෛද්‍යවරයකුට වැරදුණොත් මිය යන්නේ එක් රෝගියෙකි. ඉංජිනේරුවකුට වැරදී ගොඩනැගිල්ලක් කඩා වැටුණොත් මිය යන්නේ සිය ගණනකි. ගුරුවරයකුට වැරදුණහොත් පරපුරක් ම නැති වෙන්නේ ය. ගුරුවරුනි, වසර එකහමාරක් තිස්සේ පාසල නොදුටු දරුවන්ට පාසල සුරපුරක් කරන්නට නම් ඔබ දරුවන් වෙනුවෙන් මීට වඩා කැපවිය යුතුය. එවිට සොබාදහම පවා ඔබට ආශීර්වාද කරනු නිසැක ය.

ලොව ම වසංගතයක ගිලී සිටියදී දරුවන්ට අකුරක් කියා දීමට තිබූ අවම ඉඩකඩ පවා අහුරා දමමින් මස් රාත්තල ම ඉල්ලා සිටින ෂයිලොක් පරපුරේ ඇතැම් ගුරුවරුන්ට මීට වඩා නම්‍යශීලී වෙන්නැයි අප ඉල්ලා සිටින්නේ එබැවිනි.

Comments