ශ්‍රී ලංකා තැපෑල නිහඬ විප්ලවයක | Page 2 | සිළුමිණ

ශ්‍රී ලංකා තැපෑල නිහඬ විප්ලවයක

 

ලෝකයේ බිහි වූ පැරණිතම සේවා අතරින් පුමුඛතම සන්නිවේදන සේවාවක් වන්නේ තැපැල් සේවයයි. කාලානුරූපව තාක්ෂණය වෙනස් වීමත් සමඟ යාවත් කාලීන වූ මෙම සේවාව මේ වනවිට ඩිජිටල්කරණයට ලක්ව ඇති සේවාවකි. විධිමත් ආකාරයෙන් තැපැල් සේවාව ආරම්භ වී මේවනවිට වසර 200කට වැඩිය. උතුරු ජර්මානු තැපැල් සේවයේ නිලධාරියකුව සිටි හෙන්රිචි වොන් ස්ටීවන් විසින් වඩාත් ප්‍රායෝගිකව සහ පුළුල්ව තැපැල් කටයුතු ජාත්‍යන්තරකරණය සඳහා වන අදහසක් ඉදිරිපත් කළේය. ස්විස්ටර්ලන්තයේ බර්න් නගරයේ දී රටවල් 22ක නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් 1874 සැප්තැම්බර් 15 වැනිදා ඇරඹි මෙම සමුළුවේ දී ගනු ලබන තීරණයකට අනූව ඔක්තෝබර් 09 වැනිදා ඓතිහාසික බර්න් ගිවිසුම අත්සන් කරමින් ජෙනරල් පෝස්ටල් යූනියන් (General Postal Union) නමින් නව සංවිධානයක් ආරම්භ කළේය. පසුව වර්ෂ 1878 දී සංවිධානයේ නම විශ්ව තැපැල් සංගමය (Universal Postal Union -UPU) ලෙස වෙනස් විය. ලොව පුරා රටවල් 193ක් මෙම සංගමය නියෝජනය කරයි. ලෝක සමුළුවක් වශයෙන් 1874 දී තැපැල් සංගමය නිර්මාණය වීමත් සමඟ මෙම සංවිධානයේ සැසිවාර කිහිපයක්ම පවත්වන ලද අතර පැවැත්වෙන ස්ථානය වසරින් වසර රටින් රටට මාරුවෙමින් පැවතිණ. 1969 දී ටෝකියෝ නගරයේ පැවැති ලෝක සමුළුවේ දි බර්න් ගිවිසුම අත්සන් කළ ඔක්තෝබර් 09 වැනිදා විශ්ව තැපැල් දිනය වශයෙන් ප්‍රකාශයට පත් විය. විශ්ව තැපැල් දිනය (World Post Day) සැමරුම ආරම්භ වී මේ වසරේ ඔක්තොම්බර් නව වැනිදාට වසර පනස් දෙකක් වන අතර විශ්ව තැපැල් සංගමය නිර්මාණය වී වසර 147 කි.

මෙරට තැපෑල ක්‍රියාත්මක වන්නේ මෙරට නීතිය සහ විශ්ව තැපැල් සංගමයේ නීතී රෙගුලාසිවලට යටත්වය. තැපැල් කටයුතු මෙහෙය වීම සඳහා බලය පැවරී ඇති එකම ආයතනය තැපැල් දෙපාර්තමේන්තුය. එසේ වුවත් මේවනවිට පුද්ගලික අංශයද මේ කටයුතු සඳහා යොමු වී සිටිති. නෛතික වශයෙන් මෙය පාලනය කළ හැකි වුවද වර්තමානයේ පවතින මහජන සේවා අවශ්‍යතා සැලකිල්ලට යොමු කර එවැනි ක්‍රියාමාර්ගවලට නොයයි.

තැපෑල ව්‍යාපාරික කටයුතු සඳහා දායක වුවද ව්‍යාපාර­ික අරමුණක් සහිතව ක්‍රියා නොකරන රජ්‍ය සුබසාධන සේවා දෙපාර්තමේන්තුවකි. තැපෑල විසින් සේවා සැපයීමේදී ඒ සඳහා අය කරනු ලබන මුදල අදාළ සේවාව සම්බන්ධයෙන් දරන නියම පිරිවැය නොවේ. ඒ සඳහා අය අය කරන්නේ ඉතාම අඩු මුදලකි. එම මුදල රජය විසින් තීරණය කරනු ලබයි.

මේ වනවිට දිවයින පුරා තැපැල් කාර්යාල 654 ඇති අතර, උප තැපැල් කාර්යාල සංඛ්‍යාව 3410කි. සමස්ත ස්ථිර කාර්ය මණ්ඩලය 27000ක් වන අතර, ඉන් 22000 පමණ ස්ථිර කාර්ය මණ්ඩලය වේ. ආදේශක කාර්ය මණ්ඩලය 4500කට වැඩිය. ලංකාව පුරාම විහිදී විසිරී පවතින තැපැල් කාර්යාල මඟින් දළ වශයෙන් 8000ට ආසන්න තැපැල් ප්‍රමාණයක් ගෙයින් ගෙට ගොස් ‍ෙබදාහැරීමේ කටයුතු සිදු කරයි. මේ වනවිට තැපැල් ස්ථානාධිපති සේවයේ නිලධාරීන් 1600ක පමණ හිඟයක් පවතී. කොවිඩ් සමයේ සේවය සඳහා පැමිණීමට ප්‍රවාහන සේවයට බාධා එල්ලවෙද්දී තැපැල් සේවකයින් ඒ සියලු අභියෝගයන්ට මුහුණ දෙමින් සේවා මුර ක්‍රමය යටතේ සේවයට වාර්තා කිරීම ප්‍රශංසනීය කටයුත්තකි.

මේ වනවිට තැපැල් සේවා ලිපි බෙදා හැරීමෙන් එහා ගොස් විශාල සේවාවන් ප්‍රමාණයක් සපයයි. විශේෂයෙන් ම කොවිඩ් තත්ත්වය හමුවේ භාණ්ඩ හුවමාරුව ඔන්ලයින් ක්‍රමය(විද්‍යුත් වෙළෙඳාම) සමඟ යාවත්කාලීන වී ඇති පසුබිමක ඊට මනා දායකත්වයක් ලබාදීමට තැපැල් දෙපාර්තමේන්තුවට හැකිව තිබේ. කොවිඩ් ආරම්භයේ සිට තැපෑල මඟින් නොමිලේ සපයන සේවාවක් ලෙස ඖෂධ පැකට් බෙදා හැරීම් ලක්ෂ විසිපහක් පමණ සිදු කර ඇත. බොහෝ දෙනා තොරතුරු තාක්ෂණය දියුණුවත් සමඟ අභාවයට ගමන් කරනු ඇතැයි සිතූ තැපැල් සේවාව අද අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්ව තිබේ.

ඔන්ලයින් සේවාව හරහා ඕනෑම භාණ්ඩයක් ඉතාම නිවැරදිව අදාළ ස්ථානයට රැගෙන යාමට තැපැල් සේවාව තරම් සමත් කමක් දක්වන වෙනත් සේවා ආයතනයක් නොමැති තරම්ය. මේවනවිට ලොව පුරා වසරකට දළ වශයෙන් බිලියන 357ක් පමණ ලිපි සහ භාණ්ඩු ඇතුළත් පාර්සල් හුවමාරු වේ. තැපැල් දෙපාර්තමේන්තුව මඟින් ලංකාවේ දවසකට දළ වශයෙන් ලක්ෂ දහතුනක් පමණ ලිපි සහ භාණ්ඩ හුවමාරු කරයි. මේවනවිට මුදල් හුවමාරු කිරීම සඳහා මනා දයකත්වයක් සැපයීමට තැපෑලට හැකිව තිබේ. එසේම මනිඕඩර් ක්‍රමය පවත්වාගෙන යන අතරම විද්යුත් මුදල් ඇණවුම් ක්‍රමය ඉතාම කාර්යක්ෂම සේවාවක් බවට තැපෑල විසින් පත් කර තිබේ. මේ හරහා බැංකු ගිණුමක් නැතිව ඍජුවම වෙනත් අයකු හෝ කාර්යාලයක් මඟින් ලබා දෙන මුදල තමන් සිටින ස්ථානයේ ඇති තැපැල් කාර්යාලය මඟින් අදාළ පුද්ගලයාට ලබාගත හැකිය. එමෙන් සී.ඕ.ඩී සේවාව ද තැපෑල විසින් හඳුන්වා දී තිබේ. මේ ක්‍රමය යටතේ භාණ්ඩය තමන් අතට පත් වූ පසු මුදල් ගෙවීමේ හැකියාව පවතී. එසේම කුරියර් සේවාව හරහා කිලෝ 40ක භාණ්ඩයක් වුව ඉතා ඉක්මණින් ප්‍රවානය කිරීමේ හැකියාව ඇති එකම ආයතය බවට මෙරට තැපැල් දෙපාර්තමේන්තුව පත්ව තිබේ. රක්ෂණ සේවා (වාහන හා ජීවිත රක්ෂණ) කටයුතු, විදුලි බිල්පත්, ජල බිල්පත් දුරකථන බිල්පත්(ටෙලිකොම් හා මොබිටෙල්) ගෙවීමද අද වනවිට තැපෑල මඟින් සිදු කළ හැකිය. තවත් විශේෂ සේවාවක් වන්නේ පෞද්ගලික අවශ්‍යතාවයන්මත තැපැල් මුද්දර නිකුත් කර ගැනීමේ හැකියාවය. මේල් සේවාව හරහා නීත්‍යානු කූල නොවන පත්‍රිකා හැර අනෙක් ඕනෑම පත්‍රිකාවක් ලංකාවේ සෑම නිවසකට බොදා හැරීමේ සේවාව ඇති කර තිබේ. විශ්‍රාම වැටුප්, ගොවි සහනාධාර, වැඩිහිටි දීමනා, මහජන අධාර වැනි බහුවිධ සේවා සපයන මධ්‍යස්ථානයක් බවට තැපැල් දෙපාර්තමෙන්තුව පත්ව ඇති බවත්; අනෙකුත් සේවාවන්ට වඩා ඉතාම අඩු මුදලකට මෙම සේවාවන් ලබාගත හැකි බවත් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්ත මේන්තුවේ තැපැල්පති රංජිත් ආරියරත්න පවසයි.

කොරෝනා රෝගය කවරාකාරයේ රෝගයක් දැයි තේරුම් ගැනීමට පවා නොහැකි මොහොතක තැපැල් දෙපාර්තමේන්තු සේවකයින් රෝහල් සායනවලට සහභාගිවන ජනතාවගේ ඖෂධ නිවාසටම රැගෙන ගියේය. පළමු රැල්ලේදී එලෙස ඖෂධ බෙදා දී තිබූ නිවාස ගණන ලක්ෂ දාහතකි. කොවිඩ් පළමු රැල්ල අවසන් වී දෙවැනි තුන්වැනි රැලි පැමිණියද අද වන තෙක් ඔවුන් එම සේවාව නොකඩවා සිදු කරයි. මේ කටයුතු සිදු කරන අතර තුර සේවක සේවිකාවන් 500ට පමණ කොරෝනා රෝගය වැලඳුණ අතර ඉන් දහදෙනකු පමණ මියගියයේය. එහෙත් තම රාජකාරී කටයුතු කිසිදු ලෙසකින් පැහැර නොහැර සිදු කිරීමට ඔවුන් කටයුතු කළේය. සාමාන්‍ය ජනතාවට කඩපළට වෙළෙඳ සැලට පැමිණීමට නොහැකිවන විට ඔන්ලයින් සේවාව යටතේ සියලුම කටයුතු සිදු කිරීමට සේවකයින් ඉදිරියට පැමිණි අතර පුද්ගලික අංශයට ළඟාවිය නොහැකි ඉලක්ක සපුරා ගැනීමට තැපැල් දෙපාර්තමේන්තුවට හැකි විය. විශේෂයෙන්ම ස්පීඩ් මේල් කුරියර් සේවාව ඉතාම සහනදායී මිලකට ලබාදීම මඟින් විශාල ලාබයක් අත්කරගැනීමට තැපැල් සේවකයින් සමත් විය. කාලයක පටන් තැපැල් වෘත්තිය සමිති විසින් කළ ප්‍රධාන ඉල්ලීමක් වූ තැපැල් සේවකයින් සඳහා වූ සේවා ව්‍යවස්ථාව සම්පාදනය කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂයන්ගේ මැදිහත් වීමෙන් මේ වන විට සිදු කෙරෙමින් පවතින බවත්; ඒ සඳහා පූර්ණ දායකත්වය ලබාදෙමින් එම කටයුත්ත යථාර්ථයක් වන තුරු ශ්‍රී ලංකා පොදුජන තැපැල් වෘත්තිය සමිති සන්ධානය කටයුතු කරන බව එහි කැඳවුම්කරු ජයන්ත විජේසිංහ අප සමඟ පැවසීය.

මෙරට ජනතාව විවිධ අර්බුද කාරී අවස්ථාවලට මුහුණ පෑ විට ඔවුන් ගේ සහයට සෑමවිටම සිටියේ තැපෑලය. කොවිඩ් අර්බුදය සමයේද එලෙසින්ම ජනතාවට සමීපව කටයුතු කිරීමට තැපැල් සේවයට හැකි විය. නමුත් ලෝකයේ තැපෑල තුළ සිදුව ඇති නව වෙන්ස්කම් හා ඒවාහී නවිණත්වය දෙස බලන කල අප තවමත් සිටින්නේ ඉතාම පහළ මට්ටමකය. ලෝකය සමඟ එක්ව තැපැල් දිනය සැමරුවද ඒ හා කරට කර රැඳෙන්නට අපට හැකියාවක් නොමැතිය. සෑම වර්ෂයකම මහා භාණ්ඩාගාරයෙන් තැපෑලට වෙන් කරන මුදල ඉතාම අවමය. ඒ මුදලින් තැපෑල පවත්වාගෙන යා නොහැකිය. පරිගණක පද්ධතිය තුළ ගැටලු ගණාවක් තිබේ. ඊට අවශ්‍ය මෘදුකාංග බොහෝමයක් නොමැති අතර නව තාක්ෂණය සමඟ ඉදිරියට යාමට නම් ඒවා අත්‍යාවශ්‍ය සාධකය. තැපෑල අලෙවි කරන්නේ ජනතා විශ්වාසයයි. ඒ විශ්වාසය රැකගනිමින් සේවය සැපයුවද ඔවුන් තුළ මේ පිළිබඳව ඇත්තේ කළ කිරුණු මානසිකත්වයකි. තැපෑල ප්‍රමාදයි කියන ආකල්පයේ ඔවුන් දැඩි ලෙස එල්බගෙන සටිති. ඒ ආකල්පය ජයගැනීමේ අභියෝගය තැපෑලට ඇති බව ලංකා තැපැල් සේවා සංගමයේ සභාපති ජගත් මහින්ද කියා සිටියේය. විශාල අමාරුකම් මධ්‍යයේ වුවත් තැපැල් සේවකයින් මේ මොහොතේ සිය වගකීම නිසියාකාරව ඉටු කරමින් සිටිති. බෙදාහැරීමේ සේවාවක් ලෙස පවතින තැපෑල පොදු ජනතාවට අවශ්‍ය හාල් එළවළු පලතුරු බෙදා හැරීම සඳහා රජය යොදා ගත්තා නම් පසුගිය කාලයේ ඇති වූ බොහෝ ගැටලු මඟ හැරවා ගැනීමට තිබුණු බවය.

කොවිඩ් නිසා රට ලොක් ඩවුන් කළ මොහොතේ සිට මේ දක්වා සායනවලට පැමිණෙන රෝගීන් සඳහා රජයේ රෝහල් වලින් හා පුද්ගලික රෝහල් වලින් ලබාදුන් ‍ෙබහෙත් ඔවුන්වෙත ගෙන යෑම තැපෑල විසින් පසුගිය සමයේ කළ විශිෂ්ටතම සේවාව බව එක්සත් ජාතික තැපැල් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් එච්.ඒ රවින්ද්‍ර නිහාල් පවසයි. එසේ නොවන්නට බොහෝ දෙනා මිය යාමට පවා ඉඩ තිබුණ බවත් තැපෑල සිය සේවාව සාර්ථකව සිදු කළ නිසා එවැනි තත්ත්වයක් ඇති නොවූ බවත් ඔහු පැවසීය. වත්මන් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල එදා තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යවරයාව සිටියදී මේ කාර්ය පාර්ලිමේන්තුවේදී ඇගයීමටද ලක් කළේය. ඇතැම් තැපැල් කාර්යාලවල පිංපඩි, විශ්‍රාම වැටුප්, රජයේ සහනාධාර ආදිය ලබාගැනීමට පැමිණෙන ජනතාවට ප්‍රදේශයේ ධානපතියකු දායක කරගෙන බඩු මල්ලක් ලබාදීමද තැපැල් කාර්යාල විසින් කාලයක පටන් සිදු කරන සත් කාර්යයකි. පසුගියදා මුදුන්ගොඩ තැපැල් කාර්යාලයේදී එවැනි සත් කාර්යක් ක්‍රියාවට නංවා තිබුණි.

කනිෂ්ඨ සේවකයන්ගේ මූලික වැටුප රුපියල් 15,000 පමණ වේ. අනෙකුත් දීමනා සමඟ රුපියල් 25,000කට ආසන්න වේතනයක් ලබා ගත්තද සමිති මඟින් ලබා ගන්නා ණය හා වෙනත් ණය තුරුස් ගෙවූ විට ඉතිරි වන්නේ රුපියල් 10,000ක පමණ සොච්චම් වැටුපකි. මීට කදිම උදාහරණය වන්නේ තැපෑල වෙනුවෙන් මහත් කැපවීමක් කළ කනිෂ්ඨ සේවිකාවක් වූ පයාගල ප්‍රදේශයේ කටයුතු කරන චන්ද්‍රවතී කඳුරුවලය. වසර 15ක් පුරා මේ රැකියාවේ නිරතවන ඇය සතියකට වැඩ කරන කාලය දින හයකි. චන්ද්‍රාවතී දෛනිකව මේ තැපැල් මලු එකතු කිරීම සඳහා කිලෝමීටර් 15ක් පමණ පාපැදියෙන් ගමන් කරන අතර මසකට දින 25ක් සේවය කරයි. ඇයගේ මාසික වේතනය රුපියල් 4000ක් වුවත් ඈ කිසිදා ඒ වෙනුවෙන් මැසිවිලි නැඟුවේ නැත. පසුගිය ලෝක තැපැල් දිනය වෙනුවෙන් ඇය ඇගයීමට ලක් කෙරුණු අතර වසර 15ක් දෛනිකව පා පැදියෙන් ගිය ඇයට එදින හිමි වූයේ ද පාපැදියක් පමණි.

Comments