පේරාදෙණියේ කලක් තිස්සේ හොරමගඩි සිදු වෙයි ජය සේ | Page 2 | සිළුමිණ

පේරාදෙණියේ කලක් තිස්සේ හොරමගඩි සිදු වෙයි ජය සේ

 

පේරාදෙණිය විශ්වවිද්‍යාලය ටයිම්ස් උසස් අධ්‍යාපන ශ්‍රේණිගත කිරීම්වලට අනුව ලොව හොඳම විශ්වවිද්‍යාල පන්සියය අතරට අඛණ්ඩව තුන්වන වරටත් පැමිණ තිබෙන බව රටම දැන තවමත් මාසයක් ගතව නැත. ඒ උණුසුම මැකී යන්නටත් පෙර විශ්වවිද්‍යාලයේ සිදුවූ බව කියන හොර වංචා සම්බන්ධ සිදුවීමක් කරළියට පැමිණියේ රෙජිස්ට්‍රාර්වරයා ඇතුළු පස් දෙනෙකු සම්බන්ධයෙන් පාලක සභාව ලබාදුන් තීන්දුවක් සමඟිනි. විශ්වවිද්‍යාල සම්පත් අවභාවිත කිරීම හා ඊට අධාර අනුබල දීම ඇතුළු චෝදනා ගණනාවක් සම්බන්ධයෙන් වරදකරුවන් බවට පාලක සභාව විසින් තීන්දු කළ විශ්වවිද්‍යාලයේ රෙජිස්ට්‍රාර්වරයා ඇතුළු තිදෙනෙකුට විශ්වවිද්‍යාල සේවයට ආයුබෝවන් කීමට සිදුවූයේ අදාළ තීන්දුව මඟින් ඔවුන් සේවයෙන් පහ කිරීමට තීරණය කර තිබීම නිසාය.

 

මෙයට අමතරව ශාරීරික අධ්‍යාපන දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂවරයා සහ වැඩ දෙපාර්තුමේන්තුවේ වැඩ පරික්ෂකවරයකු වැඩ තහනමට ලක්වූයේ ඔවුන් විසින් කරනු ලැබ තිබෙන වංචා හෙළිදරවු වීමේ ප්‍රතිඵලයක් ලෙසිනි. මෙම සිදුවීම්වලට සම්බන්ධ තවත් හය දෙනෙකු සම්බන්ධයෙන් පරීක්ෂණ මේවන විටත් ක්‍රියාත්මක වෙමින් තිබෙන අතර ඔවුන්ට සිදුවන දේ බලා ගැනීමට තවත් දෙසතියක පමණ කාලයක් බාල ඉන්නට සිදුවනු ඇත.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ලේඛකාධිකාරී තනතුරු යනු විශ්වවිද්‍යාලයේ සියලු දේපොළවල බාරකරු ලෙස හැඳින්වීම වැරදක් නොවන්නේය. උපකුලපතිවරයා පත්වන්නේ වසර තුනක කාලයටය. එම කාලය අවසන් වීමෙන් පසු තවත් වසර තුනක කාලයක් ධූරයේ කටයුතු කරන්නට ඔහුට අවස්ථාව ලැබෙන්නේ පාලක සභාවේ පමණක් නොව ජනපතිවරයාගේ ද කැමැත්ත තිබුණහොත් පමණි. එසේ බලන කල උපකුලපතිවරයා යනු විශ්වවිද්‍යාලයේ ප්‍රධානියා වුව තාවකාලිකව ඒ සඳහා පත්වන අයෙකි. මේ අනුව ස්ථිර සේවයේ නියුක්ත පිරිස අතරින් විශ්ව විද්‍යාලයේ බාරකරු ලෙස හඳුනාගත හැක්කේ රෙජිට්‍රාර්වරයා ය. මෙවර සේවයෙන් පහකර තිබෙන්නේ එවැනි බලයක් සහිත තනතුරක් දැරූවෙකි. හේ නමින් සමන් රාජපක්ෂ ය. වැඩ බලන ලේඛකාධිකාරි ලෙස කටයුතු කළ ඔහු තනතුරට පත්කරනු ලැබුවේ පරිවාස කාලයකට යටත්වය. ඒ හිටපු උපකුලපති උපුල් දිසානායකගේ කාලයේදී ය. ලේඛකාධිකාරී පුටුව යනු ලොකු අපලයක් ඇති තනතුරක් ලෙස විශ්වවිද්‍යාලය තුළ කතාබහක් නිර්මාණය වී තිබෙන්නේ මෑත කාලීනව එම පුටුවට පැමිණි බොහෝ දෙනෙකුට කුමක් හෝ වරදක් නිසා පුටුව අහිමි වීම හේතුවෙනි. මෙම පසුබිම තුළ සමන් රාජපක්ෂ එම තනතුරට පත්වන්නේ මේ සියලු දේ පිළිබඳ දැන අවබෝධයෙන් වුවත් ඔහුටද සිදුවූයේ විශ්‍රාම යෑමට මත්තෙන් පුටුවෙන් පමණක් නොව රාජ්‍ය සේවයටද ආයුබෝවන් කියන්නටය.

පරිවාස කාලයට යටත්ව ලේඛකාධිකාරී ධූරයේ රාජකාරී කරමින් සිටි රාජපක්ෂට ගෙදර යාමට සිදුවූවේ විශ්වවිද්‍යාල වැඩ අංශයේ සේවක පිරිසක් රාජකාරී වේලාවේ පේරාදෙණිය රිකාටන් ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ සේවයට එක්කර ගැනීම නිසාය. එය සිදුව තිබුණේ කොරෝනාව හිස ඔසවා තිබූ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදීය. පාලක සභාවේදී හෙළිවූ කරුණු වලට අනුව විශ්වවිද්‍යාලයේ වැඩ අංශයේ සේවකයින් සිවු දෙනෙකු ඔහු නිවසට කැඳවා ගෙන තිබුණේ එම අංශයට අයත් ග්‍රයින්ඩර්, පලංචි ඇතුළු වැල්ඩින් උපකරණ තොගයක්ද සමඟිනි. රජයේ විගණන අංශයේ නිලධාරීන් පිරිසක් ලේඛකාධිකාරිවරයාගේ රිකාර්ටන් ප්‍රදේශයේ පිහිටි නිවසට පැමිණ ඇත්තේ කොළඹ සිටය. ඒ දුරතකන මඟින් ඔවුන්ට ලැබුණු තොරතුරුකට අනුවය.

සේවක පිරිස නිවසේ වැඩ කරමින් සිටියදී විගණන නිලධාරීන්ගේ අතටම අසුවූ අවස්ථාවේ ලේඛකාධිකාරිවරයා ප්‍රකාශ කර ඇත්තේ තමන් නිවසේ අලුත්වැඩියා කටයුත්තක් සිදු කිරීම සඳහා පිටස්තර අයෙකුට කොන්ත්‍රාත්තුවක් බාර දුන් බවත් ඔහු කැඳවා ගෙන පැමිණි පිරිස අතර විශ්වවිද්‍යාල වැඩ අංශයේ සේවකයන්ද සිටි බවත්ය. තමන් කිසි විටෙකත් නිවසේ සේවය සඳහා ඔවුන්ට කැඳවීමක් නොකළ බව දිගින් දිගටම ප්‍රකාශ කර තිබෙන ලේඛකාධිකාරීවරයා අදාළ භාණ්ඩ තොගයද විශ්වවිද්‍යාලයේ ඒවා නොවන බව පවසා ඇත.

වැඩ අංශයේ සේවකයින්ද දිගින් දිගටම පවසා ඇත්තේ නිවසක වැඩක් තිබෙනවා ඒකට යමු කියා යමකු පැවසූ බවත් ඒ අනුව ඔහු සමඟ පැමිණ බැලීමේදී එය ලේඛකාධිකාරිවරයාගේ නිවෙස බවට හඳුනාගත් බවත්ය. මේ ආකාර උභතොකෝටිකයක් වූ මෙම ගැටලුව සම්බන්ධව දිගින් දිගටම පරීක්ෂණ සිදු කරත්දී ලේඛකාධිකාරිවරයා අනිවාර්ය නිවාඩු යැවීමට තීරණය විය. ඒ වන විට විශ්වවිද්‍යාලයේ උපකුලපති ධූරය හෙබවූවේ මහචාර්ය උපුල් දිසානායක ය. වැඩ අංශයේ සේවකයන් සිවුදෙනා රාජකාරියට වාර්තා කිරීමෙන් පසු වැඩ පැවරුමක් නොමැතිව ඔවුන් ලේඛකාධිකාරිවරයාගේ නිවසට යැවීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලයේ වැඩ ඉංජිනේරුවරයා හා වැඩ අධිකාරීවරයකුටද චෝදනා එල්ල විය. පාලක සභා රැස්වීම් දෙක තුනකින්ම මේ සම්බන්ධයෙන් තීන්දුවක් දීම කල් යමින් තිබියදී නව උපකුලපති ලෙස මහාචාර්ය එම්.ඩී ළමාවංශ පත්විය. ලේඛකාධිකාරිවරයා සහ වැඩ ඉංජිනේරුවරයා අදාළ තනතුරුවල පරිවාස කාලය ගත කරමින් සිටීමද සැලකිල්ලට ගනිමින් ඔවුන් දෙදෙනාත් සමඟ වැඩ අධිකාරිවරයාගේද සේවය අවසන් කිරීමට පාලක සභාව තීන්දු කළේ පසුගිය 26 දා ය. සේවයෙන් නෙරපා හරිනු ලැබූ වැඩ ඉංජිනේරුවරයාට පෙර එම ධූරයේ සිටි පුද්ගලයාද මේවන විට සිටින්නේ වැඩ තහනමකට ලක්වය.

එම තහනම පැනවූවේ හිටපු මහචාර්ය උපුල් දිසානායකගේ පාලන කාලයේදීය.ලේඛකාධිකාරිවරයාගේ ඇතුළු පිරිස සේවයෙන් පහ කිරීමත් සමඟ විශ්වවිද්‍යාලයේ තවත් සොරකම් හා දූෂණ රැසක් කරළියට පැමිණියේය. ඉන් එකක් වන්නේ විශ්වවිද්‍යාලයේ ශාරිරික අධ්‍යාපන දෙපාර්තුමේන්තුවේ (Physical Education Department) සිදුව තිබෙන දූෂණයි. එහි අධ්‍යක්ෂවරයා මේවන විට වැඩ තහනමට ලක්ව සිටින අතර ඔහුට එල්ල වී තිබෙන චෝදනාව වන්නේ මුදල් වංචා කිරීම ය.

ක්‍රීඩා කවුන්සිලය නමින් පවත්වාගෙන ගිය බාහිර ගිණුමක තිබූ රුපියල් ලක්ෂ 27 ක මුදලක් පෞද්ගලික අවශ්‍යතාවකට ලබාගත් බවට එල්ල කළ චෝදනාව අධ්‍යක්ෂවරයා විසින් ප්‍රතික්ෂේප කර තිබේ. එම මුදල ප්‍රතිපූර්ණය කිරීමට අවස්ථාවක් ලබාදීමට ද කවුන්සිලය යෝජනා කර තිබෙන අතර ඊට මුලින් එකඟ වී තිබෙන අධ්‍යක්ෂවරයා පසුව එය ප්‍රතික්ෂේප කර තිබෙන බව දැන ගන්නට ඇත.

විශ්වවිද්‍යාල ක්‍රීඩාංගණය පිටස්තර අය වෙන්කර ගැනීමේදී අය කරන මුදල් අදාළ ගිණුමට ගොස් තිබෙන බව පරීක්ෂණ මඟින් අනාවරණය වී තිබේ. මේ අතර ක්‍රීඩා අංශයට භාණ්ඩ මිලට ගැනීම සඳහා ව්‍යාජ ලෙස ආයතනයක් ලියාපදිංචි කර එමඟින් අදාළ මිලදී ගැනීම් සිදුකර තිබෙන බවද හෙළිව ඇත. ඊට සහයෝගය දැක්වූ ශාරිරික අධ්‍යාපන දෙපාර්තුමේන්තුවේ තවත් නිලධාරීන් දෙදෙනෙකු සම්බන්ධයෙන්ද පරීක්ෂණ සිදු කෙරෙන අතර ඉන් එක් අයකු විශ්‍රාම යෑමට ආසන්න වයසේ පසුවන බව වාර්තා වෙයි.

මේ වංචා අතරට එකතු වූ තවත් වංචාවක් වන්නේ වැඩ අංශයේ වැඩ පරීක්ෂකවරයෙකු සිදුකළ බව කියන දැව සොරකමකි. විශ්වවිද්‍යාල පරිශ්‍රයෙන් බැහැර පිහිටි නිල නිවසක අලුත්වැඩියා කටයුත්තක් සඳහා බව කියමින් රැගෙන ගිය ලී අඩි 231 ක් අදාළ වැඩේට පාවිච්චි නොකර විකුණා ඇති බව හෙළි වීමෙන් පසු ඔහුගේද වැඩ තහනම් කිරීමට පාලක සභාව පියවර ගෙන තිබේ. රෙජිස්ට්‍රාර් වරයාගේ පෞද්ගලික නිවසේ වැඩට ගිය බව කියන වැඩ අංශයේ සුළු සේවකයන් සිවුදෙනාට නිදහසට කරුණු කීම සඳහා පාලනාධිකාරිය මගින් තවත් අවස්ථාවක් ලබාදී ඇත්තේ ඔවුන් ඉහළ නිලධාරියකුගේ අණට යටත්ව කටයුතු කිරීම සම්බන්ධව සානුකම්පිතව සලකා බලාය.

මේ සම්බන්ධව විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එම්. ඩී. ළමාවංශගෙන් කළ විමසීමක්දී ඔහු පැවසුවේ මෙවන් අදහසකි.

‘උපකුලපති කියන්නේ ටික කාලයක් ඉඳලා යන කෙනෙක්. රෙජිස්ට්‍රාර් කියන්නේ පත් වුණාට පස්සේ විශ්‍රාම යනතුරු දිගටම ඉන්න කෙනෙක්. ඒ නිසා ඇත්තටම විශ්වවිද්‍යාලයේ දේපොළ වල භාරකාරයා වන්නේ රෙජිට්‍රාර්වරයායි. විශ්වවිද්‍යාල වලට රජය මුදල් වෙන් කරලා ඒ මුදල් වියදම් කරන්න උපකුලපතිවරයාට බලය දෙන්නේ ළමයින්ව පුහුණු කරලා හොඳ පුරවැසියෝ කරන්නයි. ඒ මුදල් හා සම්පත් මොනවා හරි විදිහට අපහරණයට ලක්වෙනවා නම් ඒ පාඩුව සිද්ධ වෙන්නේ ඉගෙන ගන්න ළමයින්ට. ඒ නිසා ඒවා වළක්වන්න අපි වැඩ කරන්න ඕන. මගේ කාත් එක්කවත් පෞද්ගලික තරහක් නැහැ.

විශ්වවිද්‍යාලයක් කියන්නේ අනෙක් ආයතනවලටත් ආදර්ශයක් වන තැනක්. එතන වංචා, දූෂණ, අක්‍රමිකතා වෙනවා නම් ඒක බරපතළයි. සමහරු වැරදි වලට යොමු වෙලා තියෙන්නේ තමන්ට වාසියක් අත්වන නිසාම නොවෙයි. ඉහළ නිලධාරියාගේ ඉල්ලීම හෝ බලපෑම ඉවත දමන්න බැරි නිසයි. ඒ ගැන අපි අවධානය යොමු කරනවා.

 

Comments