කිරි­පිටි අර්බුදේ දෙපැත්තට ඇදේ | Page 2 | සිළුමිණ

කිරි­පිටි අර්බුදේ දෙපැත්තට ඇදේ

දේට හෝ කිරි විදුරුවක් බිව්වේ නැතිනම් බොහෝ දෙනෙකුට දවසේ ආහාර වේල සම්පූර්ණ වන්නේ නැත. නමුත් දැන් කිරි පානය ලෙහෙසි නැත. මේ වන විට රට පුරා කිරි පිටි පෝලිම්ය. කිරිපිටි කිලෝ එකක මිල රුපියල් 350කින් ඉහළ දැමීමට මෙරටට කිරිපිටි ආනයන සමාගම් රජයෙන් කරන ලද ඉල්ලීමට රජය සති අන්තයේ ප්‍රතිචාර ලැබුණි.

 

ඒ මෙතෙක් පාලන මිලක් යටතේ පැවැති කිරිපිටි ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ වන සිමෙන්ති, තිරිඟු පිටි හා ගෑස් සම්බන්ධයෙන් වූ පාලන මිල ගැසට්ටුවද ඉවත් කිරීමෙනි. මේ නිසා කිසිදු වග විභාගයකින් තොරව අලෙවිකරුවෝ තමන්ට පාඩු නොවන අයුරින් ඉදිරියේදී සීනි, තිරිඟු පිටි, ගෑස් හා කිරිපිටි ඉදිරියේදී මිල ඉහළ දමනු ඇති බවත්, ඒවා කීයක් වුවත් මිලට ගන්නට ජනතාවට සිදුවන බවත් මත පළ වී ඇත.

ලෝක වෙළෙඳපොළේ යොදය සහිත කිරිපිටි වල මිල ඉහළ ගොස් ඇත්තේ 32% කිනි. ශ්‍රී ලංකාව වාර්ෂිකව සම්පූර්ණ යොදය සහිත කිරිපිටි මෙට්‍රික් ටොන් 90,000ක් ඔස්ට්‍රේලියාවෙන් සහ නවසීලන්තයෙන් ආනයනය කරන අතර මෙරට කිරිපිටි අවශ්‍යතාවයෙන් 75%ක් පමණ සපුරනු ලබන්නේ කිරිපිටි ආනයනයෙනි.

ලෝක වෙළෙඳපොළේ කිරිපිටි මිල ඉහළ යාම, නැව් ගාස්තු ඉහළ යාම මෙන්ම රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය ඉහළ යාම කිරිපිටි මිල වැඩි වීටම බලපා ඇති ආසන්නම හේතු අතර වෙයි.

කිරිපිටි සඳහා තවමත් ක්‍රියාත්මක වන්නේ කිරිපිටි කිලෝවක් රුපියල් 945 කට වූ පාලන මිලය. මේ සම්බන්ධ අදහස් දක්වන්නන්ගේ මතය වී ඇත්තේ ලෝක වෙළෙඳපොළේ කිරිපිටි මිල ඉහළ යාමට සාපේක්ෂව රජය විසින් මේ පාලන මිල වෙනසක් නොකිරීමය. රුපියල් 945 කිරිපිටි පාලන මිල සැකසී ඇත්තේ කිරිපිටි ටොන් එකක් ඩොලර් 2,800 කට පවතිද්දීය.

එනම් අමෙරිකානු ඩොලරයක් ලංකාවේ රුපියල් 186 ක් වී තිබෙද්දිය. නමුත් මේ වන විට අමෙරිකානු ඩොලර්යක් රුපියල් 238 පමණට ඉහළ ගොස් ඇත්තේය. ඒ අනුව කිරිපිටි ටොන් එකක් 4,100- 4,200ක් පමණ වන හෙයින් කිරිපිටි කිලෝවකට රුපියල් 350 ක හෝ මිල වැඩි කිරීමක් කළ යුතු බව කිරිපිටි ආනයනකරුවන්ගේ තර්කය වී ඇත්තේය. කෙසේ වෙතත් මුලදී රජය පවසා තිබුණේ රුපියල් 200 කින් හෝ මිල වැඩි කිරීමකට හෝ සුදානම් බවය.

මෙරට මාසික කිරිපිටි පරිභෝජනය මෙට්‍රික් ටොන් 7,000 ත් 7,500 ත් අතර අගයක පවතියි. දෛනික කිරිපිටි පරිභෝජනය මෙට්‍රික් ටොන් 200 ක් වන අතර, ලංකාවේ වසරකට දියර කිරි ලීටර මිලියන 450 ක් පමණ එක්රැස් කරති. ලංකාවේ ප්‍රධාන කිරිපිටි සමාගම් 7 ක් පමණ ඇති එයින් කිරිපිටි සමාගම් දෙකක් දේශීය නිෂ්පාදනයන්ය. නමුත් ලංකාවේ කිරි අවශ්‍යතාව දේශීයව සම්පුර්ණ කළ නොහැකි නිසාවෙන් කිරිපිටි ආනයනය කිරීමට සිදුව ඇත. නමුත් මේ වන විට මාස කිහිපයක් පුරාවට පාඩු පිට කිරිපිටි ලබා දීමට කිරිපිටි ආනයනකරුවන්ට සිදුවී ඇත. කෙසේ වෙතත් මේ වන විට කිරිපිටි හිඟයක් මතුවූයේ මේ මිල වැඩි නොකිරීම මතද?

“ සැම වසරකම ලංකාවට කිරිපිටි මෙට්‍රික් ටොන් 90,000 ක් ගේනවා. සෑම මසකටම මෙට්‍රික් ටොන් 7,000 ත් 7,500 ක් අවශ්‍යයි. මේ සඳහා වසරකට ඇමරිකන් ඩොලර් මිලියන 300-350 ක් වැය වෙනවා. මේ වන විට ලෝක වෙළෙඳ පොළේ කිරිපිටි මිල ඉහළ ගිහින්. ජනවාරි සිට පෙබරවාරි දක්වා 20%-30% කින් මිල ඉහළ ගියා. නමුත් අප්‍රේල් සිට මේ වැඩිවීම තදින්ම දැණුනා. පාලන මිල හේතුවෙන් අපි මිල වැඩි කිරීමට විටින් විට ඉල්ලීම් කළා. නමුත් ජනතාව ගැන සිතා රජය මිල වැඩි කිරීමකට අවසර දුන්නේ නැහැ “ ඒ මැලිබන් සමාගමේ සන්ධාන කටයුතු හා සැලසුම් ප්‍රධානි අශෝක බණ්ඩාරය.

මොවුන් පවසන පරිදි මේ වන විට මෙම සමාගම මාසයක අලාභය පමණක් රුපියල් මිලියන 1000 කට වැඩිය. මෙම කිරිපිටි සමාගම් යනු ලාභ නොලබන ආයතන බව පවසන ඔවුන් වැඩි දුරටත් පවසා සිටින්නේ එසේ ලාභ ලැබිය හැකි නම් මෙවන් සමාගම් 7 ක් පමණක් ලංකාවේ කිරිපිටි නිෂ්පාදනයට අත නොගසන බවය.

“අපි ගෙනාපු කිරිපිටි ටික ටික විකුණනවා. නමුත් සෑම පැකට්ටුවකින්ම පාඩු ලබනවා. කොවිඩ් නිසා කිරිපිටි සෑදීම උපරීම ආරක්ෂාව යටතේ කළ යුතුයි. මේ සඳහා අමතර පිරිවැයක් යනවා. ඩොලර් ප්‍රශ්න, වරායෙන් මුදවා ගැනිම් ගැටලු පවතිනවා“ඒ මැලිබන් සමාගමේ මතයයි.

පාරිභෝගිකයන්ට කිරිපිටි නොමැති වීමේ ප්‍රශ්නය පාලන මිල ඉවත් කිරීමත් සමඟම විසදෙනු ඇතැයි බලාපොරොත්තුවයි. ඒ අනුව ඉදිරියේදී කිරිපිටි කිලෝවක මිල වැඩි වන්නේ රුපියල් 200 කින්ද එසේත් නැතිනම් රුපියල් 350 කින්ද යන්න පාරිභෝගිකයේ බලා සිටිති. “මෙම ක්ෂේත්‍රයට සම්බන්ධ පවුල් 250,000 ක් ඉන්නවා. මේ අයට අත්වැලක් වීම සහ එම ව්‍යාපාරවලට අවශ්‍ය සහයෝගය අඛණ්ඩව ලබාදීම මේ මොහොතේදී අතිශයින් වැදගත්. භාණ්ඩ මිල ගණන් සහ ඇසුරුම් මිල ගණන් ඉහළ යාම, මෙහෙයුම් හා නැව් ගාස්තු වැඩිවීම සහ විනිමය අනුපාතයන් ඉහළ යාම වැනි ගැටලු නිසා 2021 පෙබරවාරි මස සිට මේ දක්වා විශාල වශයෙන් අලාභයන් විඳ ගැනීමට කිරිපිටි ආනයනකරුවන්ට සිදුවුණා. කර්මාන්තයට මසකට රුපියල් බිලියන 2 ක පමණ පාඩුවක් සිදුවෙමින් පැවතියද, සෑම මසකදීම අපට හැකි උපරිමයෙන් වෙළෙඳපොළට භාණ්ඩ සැපයීමට අපි කටයුතු කළා“ කිරිපිටි මිල සම්බන්ධව ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා සමාගම සිළුමිණ කළ විමසීමේදි පිළිතුරු දුන්නේ ඒ ආකාරයෙනි.

ලක්ස්ප්‍රේ කිරි ලබා ගන්නා ලංකා මිල්ක් ෆුඩ් ආයතනයෙන් සිළුමිණ කළ විමසීමේදී ඔවුන් අදහස් දැක්වීමට මැළිකමක් දැක්වූ අතර පැවැසූයේ කිරිපිටි සඳහා මුදල් වැඩිවිය යුතු ආකාරය පිළිබඳ අදාළ පාර්ශ්වයන් දැනුම්වත් කළ බවකි.

බොහෝ අය පවසන්නේ දේශීය දියර කිරි වලට හුරු වීම තුළ විශාල වශයෙන් කිරිපිටි පානයෙන් ලාභය අත් විඳිය හැකි බවයි.

“අපේ රටේ කිරි අවශ්‍යතාවයෙන් 40% යි දේශීයව නිෂ්පාදනය කරන්නේ. ලෝකයේ වැඩියෙන්ම කිරිපිටි බොන රට ලංකාව. කිරිපිටි කියන්නේ ආහාර සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍යක් මිස පානයට ඇති දෙයක් නොවේ. කිරිපිටි යොදා කිරි පානයට වඩා ලාභයි, දියර කිරි තේ කහට සමඟ මුසුකර බීම. එය සෞඛ්‍යටත් හිතකරයි. දියරකිරි පානය ලාබදායකයි. දියර කිරි පානයෙන් වියදම් වන මුදල භාගයට අඩු කරන්න පුළුවන්“ ඒ මිල්කෝ සමාගමේ සභාපති ලසන්ත වික්‍රමසිංහය.

එහෙත් මේ වන විටත් වෙළෙඳ පොළේ දේශීය නිෂ්පාදිත හයිලන්ඩ් වැනි කිරි වර්ගද මිලදි ගන්නට නැත. සමහරක් තැන්වල පෝලිම්ය. දේශීයව නිෂ්පානදය කරන පිටිකිරිවලටද මේ ප්‍රශ්නය පොදු වේද?

“අපි අවුරුද්දකට කිරිපිටි කිලෝ ලක්ෂ 3 ක් හදනවා. අපේ හයිලන්ඩ් ග්‍රෑම් 400 පැකට්ටුවකින් රුපියල් 75 ක් හා කිලෝ 1 කින් රුපියල් 160 ක් පාඩුයි. ඒ වගේම කොවිඩ් නිසා කිරිපිටි නිෂ්පාදනය අඩුවුණා. නමුත් අපේ සැපයුම සාමාන්‍ය ගණනට සිදු කරනවා. ඒත් අනිකුත් කිරිපිටි වෙළෙඳ පොළේ නැතිවු පසු අපේ ඒවාට ඉල්ලුම වැඩිවෙනවා. ඒ නිසයි අපේ නිෂ්පාදනත් වෙළෙඳපොළේ හිඟයි“ ඒ මිල්කෝ සමාගමේ සභාපතිවරයාගේ අදහසයි.

රජය කොළඹ වරායේ සිරවී ඇති කිරිපිටි තොග නිෂ්කාශනය කර ගැනීම සඳහා ආනයනකරුවන්ට අමෙරිකානු ඩොලර් මිලියන 1.1ක් ලැබී තිබේ. ඒ අනුව එම කිරිපිටි තොග ලබන සඳුදා වනවිට නිදහස් කරගැනීමට හැකි වෙතැයි වාර්තා වෙයි. මේ අතර කිරිපිටි ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක පාලන මිල ඉවත් කළද ඔවුන්ට රිසි පරිදි මිල වැඩිවිම් කිරිමට රජය ඉඩ නොදෙන බව සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්‍ෂක රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න පවසයි. “බ්‍රහස්පතින්දා සවස ජනාධිපතිවරයා සහ අමාත්‍ය මණ්ඩලය අතර පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව තිරිඟු පිටි, කිරි පිටි, ගෑස් සහ සිමෙන්ති සඳහා පැවති පාලන මිල ඉවත් කිරීමට රජය තීරණය කළා. පාලන මිල ඉවත් කළ පසු මිල තීරණය වන්නේ වෙළෙඳ පොළ ඇති මිල ගණන් අනුවයි.

නමුත් පාලන මිල ඉවත් කළත් පාරිභෝගික ජනතාව පීඩාවට පත්වන අයුරින් මිල වැඩි කිරීම් සිදු කළහොත් ඒ පිළිබඳව දැඩි ක්‍රියාමාර්ග ගන්නවා. අපි කිරිපිටි සමාගම්වලට යෝජනා කරනවා, මේ මිල වැඩි කිරිම රුපියල් 200 කින් පමණ සිදු කරන්න කියා. “ඒ රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්නයි.

වෙළෙඳපොළ කිරිපිටි හිඟයන්ද ඉදිරියේදී පහව ගියත් මිල වැඩි වීම ජනතාවට දැනෙන අයුරින් සහන මිලක් විය යුතුය.

 

Comments