ඉල්ලීම් රැසක් වෙනුවෙන් සුව විරු­වන් උද්ඝෝෂණයක | සිළුමිණ

ඉල්ලීම් රැසක් වෙනුවෙන් සුව විරු­වන් උද්ඝෝෂණයක

 

කොවිඩ් මර්දන කටයුතු සඳහා කැපවන සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ගෙවුණු සතියේ සිකුරාදා රට පුරා රෝහල්වල හා ආයතනවල තව තවත් දිප ව්‍යාප්ත විරෝධතාවක් දියත් කළේය. සෞඛ්‍ය වෘත්තීය එකමුතුව විසින් මෙය දියත් කළේ ඔවුන්ගේ ඉල්ලම් රැසක් දිනා ගන්නටය.

කොවිඩ් රාජකාරි කිරීමේදී ප්‍රමාණවත් පහසුකම් ලබා නොදීම, මෙතෙක් කොවිඩ් සඳහා ලබා දුන් විශේෂ සහන දීමනාව නොකඩවා ලබා දීම, අතිකාල නිවාඩු දින ගෙවීම් සීමාවන් ඉවත් නොකිරීම, සෞඛ්‍ය සේවාවන්වල පුරප්පාඩු නොපිරවීම, සෞඛ්‍ය සේවාව සංවෘත සේවාවක් බවට පත් නොකිරීම ආදී වෘත්තිය ක්‍රියාමාර්ග වෙනුවෙන් වෘත්තීය සමිති 41 ක ඒකාබද්ධ වෘත්තිය සමිති එකමුතුව ලෙස පසුගියදා ද වෘත්තිය ක්‍රියාමාර්ගයකට පිවිසියේ සිය ඉල්ලීම් දිනා ගැනීමටය.

වෛද්‍යවරු හැරුණු විට ලංකාවේ සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලය 125,000 ක් පමණ වන්නේය. එයින් හෙද සේවයේ යෙදෙන්නන් 38,000 ක් පමණ වෙති.

මහජන සෞඛ්‍ය පරීක්ෂක සේවයේ යෙදෙන්නන් 2000 කි. පවුල් සෞඛ්‍ය සේවිකාවන් 10,800 ක් පමණ වෙති. සෞඛ්‍ය වාත්තිය සමිති එකමුතුව පවස පරිදි මේ වන විට 12,000 ක හෙද පුරප්පාඩු සංඛ්‍යාවක් පවතියි. කනිෂ්ඨ කාර්ය මණ්ඩල පුරප්පාඩු 6000 ක් පවතියි. එසේම කලමනාකාර සහයක පුරපුපාඩු 600 කි. විකිරණශිල්පි පුරප්පාඩු 700 කි. මේ පුරප්පාඩු පිරිවීම කළ යුතු වුවද සිදු වුවද අනිකුත් අයට සිදුවූයේ ඒවාටත් සරිලන පරිදි වැඩ කරන්නටය. එසේම මීට මාස තුනකට පෙර ලබා දුන් කොවිඩ් විශේෂ සහන දීමනාවද මේ මාසයේ සිට ගෙවීම් නවතා ඇත්තේය.

“ අපේ අතිකාල දීමනා කපලා. පැය 24 ම වැඩ කළත් මාසයකට පැය 80 කටයි ගෙවීම් කරන්නේ. KN 95 මාස්ක් කාටවත් ලබා දෙන්නේ නැහැ. ලොක් ඩවුන් නිසා ප්‍රවාහන වියදම් මාසයකටම රුපියල් 15000- 20,000 ක් යනවා. අතිරේක වියදම් බහුලයි. මේ නිස අපි ජාතික රෝහල් දෙකක, මූලික රෝහල් 81ක, ශික්ෂණ රෝහල් 9 ක මහ රෝහල් 22 ක අපේ වෘත්තිය ක්‍රියාමාර්ගය පසුගියදා දියත් කළත්, ළමා රෝහල, පිළිකා රෝහල මෙන්ම කොවිඩ් සඳහා ප්‍රතිකාර කරන රෝහල්වල මානුෂික හේතු සලකා බලා මෙම වෘත්තීය අරගලය ක්‍රියාත්මක කළේ නැහැ. ....“ ඒ සෞඛ්‍ය වෘත්තිය සමිති එකමුතුවේ කැඳවුම්කරු සමන් රත්නප්‍රියය.

“ මේ වන තෙක් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සේවය කළේ දැඩි අවදානම දරා ගෙනයි. දියුණු රටවල මේ සේවය අඩාළ වුණේ තාක්ෂණය හෝ මුදල් නැති නිසා නෙමෙයි, සෞඛ්‍ය කාර්ය මණ්ඩල ගැටලු නිසා . අපිත් මේ වන තෙක් කිසිදු වෘත්තීය ක්‍රියාමාර්ගයකට ගියේ නැහැ. අපේ සේවය උපරිමයෙන් ලබා දුන්නා. නමුත් රාජකාරියට සම්බන්ධ ප්‍රශ්න රැසක් මතුවුණා. දිගින්

දිගටම සේවය කළත් අතිකාල දීමනා කපා දැමුවා. අපේ ප්‍රශ්නවලට අධ්‍යක්ෂ ජනරාල්වරු, ලේකම් ඇතුළු කිසිවෙකුත් කන් දුන්නේ නැහැ. අමතර වැය වන ප්‍රවාහන වියදම්, ආහාර වියදම් ඇතුළු වියදම් ගැන කිසිවෙකුත් කතා කළේ නැහැ.

අපේ ආරක්ෂාවට KN 95 මාස්ක් සපයා ගත යුතු වුණෙත් අපිමයි. නමුත් වෛද්‍යවරුන්ට නිල නිවාස වාහන පර්මිට් වගේම අමතර දීමනාවකුත් ලැබෙනවා. වෛද්‍ය නොවන ඒ ක්ෂේත්‍රයේ වෘත්තිකයින්ට ඒ කිසිවත් ලැබුණේ නැහැ. ලබා දුන් 7500 ත් හිටි හැටියේ කපා දැම්මා. එසේ කරද්දී අපිත් සමඟ සාකච්ඡා කළේ නැහැ. තීන්දු ගනිද්දී අපිව සම්බන්ධ කර ගත්තේ නැහැ. නමුත් අපි මේ වර්ජනය කළේ කිසිදු අත්‍යාවශ්‍ය සේවාවකට බාධා නොවන පරිදි හා අවම පීඩාවක් සිදුවන පරිදියි. ....“ ඒ සෞඛ්‍ය වෘත්තිය සමිති එකමුතුවේ කැඳවුම්කරු රවි කුමුදේශ්ය.

මෙම වෘත්තීය අරගලයට එක් වී ඇති තවත් පාර්ශ්වයක් වන්නේ රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සංගමයයි. ලංකාවේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් 10,800 ක් පමණ සිටිති.

විශේෂයෙන් වත්මන් කොවිඩ් මර්දන කටයුතු පමණක් නොව පවුල් සෞඛ්‍ය වෙනුවෙන් සුවිශාල මෙහෙයක් ඉටුකරන මේ ක්ෂේත්‍රය සතු වගකීම් විශාල වුවද සිය රජකාරි ඉටු කිරීමේදී බාධා රැසක් මතුව ඇති බව ඔවුන්ගේ චෝදනාවයි.

“ මේ අය රෝහල් හා ක්ෂේත්‍ර යන දෙකෙහිම සේවය කළ යුතුයි. විශේෂයෙන් කොවිඩ් ඇඳිරි නීති කාලයේ අපි රැකියාවට යන්නේ බොහෝ දුෂ්කරතා මධ්‍යයේ. ප්‍රවාහන පහසුකම් ලබා ගැනීමේ දුෂ්කරතා නිසා මාසයකට විශාල වියදමක් යනවා.

මෙය වෙනදාට වඩා අමතර වියදමක්. ප්‍රධාන රෝහල් සඳහා පොදු ප්‍රවාහන සේවාවක් මේ දිනවල යෙදා තිබුණත් ප්‍රධාන මාර්ගවලින් හැර අනිකුත් මාර්ගවල මේ එවැනි පහසුකමක් නැහැ. මුලික, දිස්ත්‍රික් මෙන්ම ග්‍රාමීය රෝහල් සඳහා රාජකාරි යාමේදි දිනකට රුපියල් 1000 ක පමණ මුදලක් යාමට හා ඒමට වියදම් වෙනවා.

රජයේ බොහෝ සේවා නිවසේ සිට රාජකාරි කළ හැකි වුවත් අපේ සේවය අනිවාර්ය නිසා කුමන ප්‍රශ්න මතුවුණත් සේවයට වාර්තා කළ යුතුයි. එසේම අපිට දිනකට ආරක්ෂක මාස්ක් දෙකක් අනිවාර්යයෙන් පැලඳිය යුතුයි.

නමුත් මාසයටම ලැබෙන්නේ දහයක් පමණයි. නමුත් කොවිඩ් රෝගීන් සමඟ රාජකාරි කළත් ආරක්ෂිතම KN 95 මාස්ක් ලබා දෙන්නේ නැහැ. මේවා ලබා ගැනීමට අපට අමතර වියදමක් යනවා.

ඒ වගේම මේ දිනවල එන්නත්කරණ වැඩ පිළිවෙළ නිසා සෙනසුරාදා හා ඉරිදා රාජකාරි කැඳවිම් සිදු වෙනවා. නමුත් ඒවාට කිසිදු අමතර දීමනාවක් නැහැ. එසේම අතිකාල දීමනා ගෙවීමද පැය ගණන අනුව සීමා වී තියෙනවා. ......“ ඒ රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපතිනී දේවිකා කොඩිතුවක්කුය.

එම සංගමය අවධාරණය කරන පරිදි රජය විසින් තම ඉල්ලීම් සලකා බලා රුපියල් 7500 විශේෂ කොවිඩ් සහන දීමනාව ලබාදීම අගය කළ යුත්තක් බවද, කොවිඩ් ව්‍යසනය අවසන් නොවුවද මේ මාසයේ සිට එම දීමනාව ලබා නොදීම කනගාටුවට කරුණක් බවය. අනිකුත් සේවා නිවෙස්වල සිට සේවය කරද්දී අවදානම දරා ගනිමින් සේවයට යන මේ පිරිස වෙනුවෙන් මෙම දීමනාව ලබා දීමට රජය කටයුතු කළ යුතු බවයි.

මෙම වෘත්තිය සංගම් ප්‍රකාශ කරන්නේ ඉදිරියේදී මෙය තවදුරටත් දැඩිව ක්‍රියාත්මක කිරිමට පෙර බලධාරින් මේ පිළිබඳව අවධානය යොමු කළ යුතු බවයි.

නමුත් මෙවන් ජාතික ආපදා අවසථාවකදී එවැනි දැඩි වෘත්තිය ක්‍රියා මාර්ගයකට යාම සුදුසු නොවන බව සමහරකුගේ මතය වී ඇත්තේය.

“ වෘත්තිය සමිති යම් ප්‍රශ්න සහගත අවස්ථාවකදී සටන් කිරීම සාධාරණයි. නමුත් මේ ඊට වෙලාවද? මේ වන විට අපේ රටේ පමණක් නොව ලෝකයාම දැඩි ආපදා තත්ත්වයකට මුහුණ දී තිබෙන මොහොතක ජනතාව අපහසුතාවයට පත්කරමින් මෙවැනි වෘත්තිය ක්‍රියාමාර්ගවල නියැළීම නුසුදුසු බවයි මගේ හැඟීම. අපි ඉල්ලීම් දිනාගත යුතුයි. නමුත් ඊට පෙර සාකච්ඡා මාර්ගයෙන් විසඳුමකට යා හැකිනම් වඩාත් උචිතයි. ....“ ඒ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිය.

 

 

Comments