අතිරේක ලේකම් පොලිස් පොඩ්ඩාට ‘පාට්’ දැම්මේ ඇයි? | සිළුමිණ

අතිරේක ලේකම් පොලිස් පොඩ්ඩාට ‘පාට්’ දැම්මේ ඇයි?

 

දිනය - 2021 සැප්තැම්බර් 19 වැනිදා

(දිවයිනටම නිරෝධායන ඇඳිරි නීතිය බලාත්මකය)

වේලාව - රාත්‍රී 8.45

ස්ථානය - දක්ෂිණ අධිවේගී මාර්ගයේ අපරැක්ක පිවිසුම.

කොට්ටාව දෙසට වාහන පැමිණෙන පිවිසුමෙන් ඇතුළු වන්නට ආ රථයකි. වාහනය නැවැත්වූ පොලිස් නිලධාරියකු රථයේ පදවාගෙන ආ තැනැත්තා වෙත ගොස් ආචාරශීලීව ඇඳිරි නීති සමයේ අධිවේගී මාර්ගයට ඇතුළු වන වාහනවල විස්තර ලබා ගත යුතු බව පවසමින් රියැදුරු බලපත්‍රය ඉල්ලා සිටියේය. එයින් උරණ වූ රථය පදවා ගෙන ආ තැනැත්තා පළමුව පොලිස් නිලධාරියාට දොස් පවරන්නට විය. පසුව රථයේ සිටම දුරකථනයෙන් කතා කරමින් රියදුරු බලපත්‍රය ලබා නොදී පොලිස් නිලධාරියාගේ රාජකාරියට බාධා කෙළේය.

මේ අතර ඒ අසල සිටි අයෙක් එම ක්‍රියාව දැක තම ජංගම දුරකථනයෙන් එය වීඩියෝ කළේය. පොලිස් නිලධාරියා හා රථය පදවාගෙන ආ තැනැත්තා අතර වූ සංවාදය මේ වන විට බොහෝ දෙනා දැනගෙන සිටියේය.

වීඩියෝගත කිරීමට පෙර රථය පදවාගෙන ආ තැනැත්තා හා එහි සිටි කාන්තාව විසින් අදාළ පොලිස් නිලධාරියාට දැඩි ලෙස දෝෂාරෝපණ එල්ල කළ බවට වාර්තා වෙතත් ඒ ගැන අපට ස්ථිරව කිසිවක් කිව නොහැකිය. එහෙත් අදාළ වීඩියෝ සංවාදයේ පැහැදිලිව දැක්වෙන කරුණු අපට මේ ලිපියට පැහැදිලි සාක්ෂි ලෙසින් පාදක කරගත හැකිය.

රථය පදවාගෙන ආ තැනැත්තා - ඔයාල අපිව අපහසුතාවට පත් කරනවා

පොලිස් නිලධාරියා:- සර්ව අපි අපහසුතාවයට පත් කරන්නේ නැහැ. මම ඩ්‍රයිවින් ලයිෂන් එක ඉල්ලුවේ විස්තර ටික ගන්න. ඒ වගේම ඩිරෙක්ටර් මහත්තයා අපට කියලා තියෙනවා මේ කාලයේ ගමන් කරන රියැදුරන් දැනුවත් කරන්න කියලා.

අකමැත්තෙන් දැඩි ලෙස දොස් පවරමින් රියදුරා තම රියැදුරු බලපත්‍රය පොලිස් නිලධාරියාට ලබා දුන්නේය. පොලිස් නිලධාරියා රියැදුරු බලපත්‍රයේ විස්තර ලියා ගැනීම ආරම්භ කළේය. ඒ අතර රථය පදවාගෙන ආ තැනැත්තා තම ජංගම දුරකථනයෙන් ඇමතුමක් ගත්තේය. පළමුව සෙමෙන් මොනවාදෝ පැවසූ ඔහු පසුව තරමක හඬකින් “ගන්නකෝ. රෝහණට... මේ කියන්නකෝ, මෙතන සිද්ධියක් වුණා කියලා. එස්.පී.ට”

ඒ අතරේ පොලිස් නිලධාරියා තමන් විස්තර ලියාගත් පසුව රථය පදවා ගෙන ආ තැනැත්තා අමතා ‘‘හරි ඔබතුමාගේ විස්තර ටික මම ගත්තා. ෂීට් බෙල්ට් එක දාගෙන මාස්ක් එක දාගෙන යන්න. වේගයෙන් යන්න එපා උපරිම වේගය 100යි නේ.

රියැදුරා:- හැමදාම ඔහොම තමයි යන්නේ. අමුතුවෙන් කියන්න දෙයක් නෑ.

පොලිස් නිලධාරියා:- ඩිරෙක්ටර් මහත්තයා කියලා තියෙන්නේ. ඔබතුමන්ලා දැනුම්වත් කරන්න කියලා.

රියැදුරු:- (ජංගම දුරකථනයේ ඇමතුමේම රැඳී සිටිමින්) “ඔයා මේක දා ගන්නකෝ. 40938. ඒ.එස්.පී.ට කියන්න. මෙතන අපහසුතාවයට පත් කළා කියලා. අයි.ඩී. එක අර ගන්නවා. අයි.ඩී. එක බලනවා. ලියා ගන්නවා.“

එය ඇසුණු පොලිස් නිලධාරියා තමන් සිටින තැනම සිට එයට පිළිතුරු සැපයුවේය.

‘‘අයිඩෙන්ටිය නොවෙයි. ඩ්‍රයිවින් ලයිෂන් එක ගත්තෙ මහත්තය. අයිඩෙන්ටිය ගන්නත් පොලිස් නිලධාරියට බලතල තියෙනවා.“

රියැදුරු:- (දුරකතන ඇමතුමේම රැඳී සිටිමින්) “ඔයා දැන් එස්.පී.ට කියන්නකෝ. මම දැන් වාහනය අයින් කර ගන්නකම්. අරන් කියන්නකෝ. මෙහෙම සිද්ධියක් වෙලා. රිපෝට් කළා කියලා.” රියැදුරු පොලිස් නිලධාරියා දෙසට හැරුණේය.

‘‘ඔය ගොල්ලෝ පුරුදු වෙන්න ඉස්සෙල්ලා, රාජකාරිය කරන්න‘‘

පොලිස් නිලධාරියා:- ඔබතුමාගේ ඩ්‍රයිවින් ලයිසන් එක මෙන්න. මගේ සර්විස් එක අවුරුදු 16 ක්. මට පුරුදු වෙන්න දෙයක් නෑ සර්.

රියැදුරු:- මටත් පුරුදු වෙන්න දෙයක් නෑ. මමත් අවුරුදු 20 ක් සර්විස්.

පොලිස් නිලධාරියා:- මම ඔබතුමාව නවත්ත ගත්තේ ඔබතුමාගේ විස්තර ටික ලියා ගන්න මහත්තයා.

රියැදුරු:- කවදාවත් අමාත්‍යාංශයේ වාහන මේ එන්ට්‍රන්ස් එකේ නවත්වලා නැහැ.

පොලිස් නිලධාරියා:- ඉතින් මහත්තයා මෙහෙමනේ. ඩොක්ටර් බෝඩ් එක ගහගෙන ඩොක්ටර් නෙමෙයි යන්නේ. අමාත්‍යාංශ ලේකම් බෝඩ් එක ගහගෙන අමාත්‍යාංශයේ ලේකම් නෙමෙයි යන්නේ.

රියැදුරු:- ඔයාට මේක විශ්වාස නැද්ද?

පොලිස් නිලධාරියා:- ඕක විශ්වාසයි. ඒක තමයි ඔබතුමාගේ විස්තර ටික ලියා ගත්තේ.

රියැදුරු:- විශ්වාස නම් විස්තර ටික ගන්නේ මොකටද?

පොලිස් නිලධාරියා:- විස්තර ගන්නේ දැනුවත් කරන්න. අධිවේගී මාර්ගයේ යනකොට දැනුම්වත් කරන්න කියලා තියෙනවා. හරි... හරි... පස්සෙන් වාහනයක් ඇවිත්. දැන් යන්න සර්.

රියැදුරු:- ඔයා දන්නවද මම කවුද කියලා? මම අමාත්‍යාංශයේ දෙවැනියා.

යාබද අසුනේ සිටි කාන්තාව විසින් ‘මේ වගේ ඩියුටි කරන හින්දා....‘ යනුවෙන් පවසමින් පසු පසින් පැමිණි වාහනය පරීක්ෂා කිරීමේ ඔහුගේ රාජකාරියට යළිත් බාධා කෙළේය.

පොලිස් නිලධාරියා:- අයිනට කර ගන්න. මේ සර් යන්න.

කාන්තාව:- නැහැ. නැහැ. අපි ඉන්නවා.

අදාළ රථය එතැනින් වේගයෙන් පිටව ගියේය. එතැන සිද්ධිය එතැනින් හමාර විය. එහෙත් සැප්තැම්බර් 24 වැනිදාම අදාළ පොලිස් නිලධාරියට ස්ථාන මාරුවක් ආවේය. ඒ අපරැක්ක පිවිසුමේ සිට පින්නදූව දක්වාය. පසුව එය මාතර ගොඩගම දක්වා වෙනස් කරන ලදී. මේ සියල්ලට හේතුව වූයේ අදාළ නිලධාරියාගේ විස්තර ලබා ගැනීමය.

මේ පිළිබඳව සිළුමිණ විමර්ශනයක නියැළුණි. රථය පදවාගෙන පැමිණ ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකි. ඔහු ජයන්ත එදිරිසිංහය.

ඔහු එදින දන්දෙණියට ගොස් නැවත පැමිණෙමින් සිටියදී මෙම සිද්ධිය වී ඇතැයි වාර්තා වෙයි. ඔහු සමඟ සිටි කාන්තාව ඔහුගේ බිරිය බවට වාර්තා වේ.

අදාළ සිදුවීමෙන් පසුව පොලිස් නිලධාරියාට ස්ථාන මාරුවක් ලබා දෙන්නට තරම් එය බලාත්මක වූයේ කෙසේද? එක ම රටක් එක ම නීතියක් යනුවෙන් ජනාධිපතිවරයාගේ දැක්මට එය යටත් වන්නේද? අදාළ නිලධාරියාගේ ස්ථාන මාරු ලිපියේ පොලිස් නිලධාරියාගේ නම සඳහන් කර ඇත්තේ ‘රුවන් ‘ යනුවෙන් පමණි.

මීට පෙරද මෙවන් සිදුවීමක් අපට හොඳින් මතකය. ඒ ‘නැනෝ රාලහාමි‘ නමින් පොලිසියේ කා අතරත් ප්‍රකට පොලිස් නිලධාරියා විසින් අධිවේගයේදී දඩ කොළයක් ලබා දීම නිසා උරණ වූ හිටපු මන්ත්‍රීවරයකු විසින් ඔහුට පරුෂ වචනයෙන් බැණ ගියේ “උඹට හෙට අනිද්දට වෙන දේ බලාගනින්‘‘ කියාය. අදාළ පොලිස් නිලධාරියාගේ නිවසේ නවතා තිබූ නැනෝ මෝටර් රථය පිරිසක් ගිනි බත් කරන ලදි. පොලිස් පරීක්ෂණ යට ගියේය. පසුව මැතිවරණයෙන් අදාළ මන්ත්‍රීවරයා පරාජයට පත් විය.අනතුරුව ඔහු යහපාලන ආණ්ඩුවේ ඉහළ තනතුරකට පත් විය. ඒ තවත් අතීත කතාවකි.

අදාළ පොලිස් නිලධාරියා වයස අවුරුදු 35ක නිලධාරියෙක් වන අතර වසර 16ක සේවා කාලය තුළ යාපනය, මන්නාරම, වවුනියාව, තංගල්ල ඇතුළු පොලිස් කොට්ඨාස රැසක සේවය කර තිබේ. මේ වන විට කොස්තාපල් තනතුරේ සිට සාජන් තනතුරට උසස්වීමට නියමිත ඔහු නමින් රුවන් විදානපතිරණය. රුවන්ගේ භාර්යාව දරුවන්ට අකුරු කරනා පාසල් ගුරුවරියක් වන අතර මොරවක පදිංචි ඔවුන්ට දෙහැවිරිදි කුඩා පුතෙකුගේ සුරතල් බලන්නට වාසනාව ලැබී තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර විසින් අදාළ පොලිස් නිලධාරියාට ලබා දුන් ස්ථාන මාරුව වහාම අවලංගු කළේය. එය සමාජ මාධ්‍යයේ ඇගයුමටද ලක්කර තිබිණි.

Comments