‘ලොකු වුණාම නාසා ආය­ත­න­යට යන්න මම කැම­තියි’ 2020 දෙරණ ලිට්ල් ස්ටාර් වූ ඔමිරු සන්දිර මෙන්ඩිස් | සිළුමිණ

‘ලොකු වුණාම නාසා ආය­ත­න­යට යන්න මම කැම­තියි’ 2020 දෙරණ ලිට්ල් ස්ටාර් වූ ඔමිරු සන්දිර මෙන්ඩිස්

 

විවිධ ආකාරයේ දක්ෂතාවලින් පිරිපුන් මල් කැකුළු අද බොහොම ය. සිළුමිණ රසඳුන ඔස්සේ එකතු වන ඔමිරු සන්දිර මෙන්ඩිස් ද එවන් පුංචි හපනෙකි. 2020 දෙරණ ලිට්ල් ස්ටාර් දක්ෂතම තරුව ලෙස අභිසෙස් ලබන්නේ ද ඔමිරුය.

 

‘මම හත ශ්‍රේණියේ තමයි දැනට අධ්‍යාපනය ලබන්නෙ. මගෙ අම්මා ගුරුවරියක්. ඇයත් සංගීත විශාරද දක්වා ඉ‍ෙගනගෙන තියෙනවා. තාත්තා කැනඩාවේ රැකියාව කරනවා.

මම පොඩි කාලෙ ඉදන් තාලෙට සින්දු කියනවා කියලා අම්මා කියනවා. අම්මත් සංගීත විෂයයට ආදරේ නිසා අපි දෙන්නම එකට සින්දු කියනවා. මම අවුරුදු හයෙන් දෙරණ ලිට්ල් ස්ටාර් සීසන් 8 දැම්මා. එයින් අන්තිම හය දෙනා දක්වාම ආවා. සීසන් 10දි තමයි දක්ෂතම තරුව බවට පත්වුණේ.

ඔමිරු ගේ පළමු ගීතය පසුගියදා එනම් ඔක්තෝබර් පළමුවැනි දින එළි දැක්වුවා. ඒ ගැන ඔමිරු පුතා අපට පැවසුවේ හරිම සතුටෙන්.

මේ සින්දුව නම් කළේ අම්මා දකින යනුවෙන්. මගේ තාත්තා ඉන්නෙ ලංකාවේ නෙමෙයිනෙ. තාත්තා විදේශ ගතවුණෙ මම දෙක වසරෙදි වගේ. තාත්තා විදේශයක හිටියත් හැමදෙම ගැන හොයලා බලනවා. ඉතින් අම්මා තමයි කිව්වේ අපි මේ ගීතය තාත්තා වෙනුවෙන් කරමු කියලා. ඔක්තෝබර් පළවෙනිදා ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය දෙකම තිබුණ නිසා මේ ගීතය එළිදක්වන්න තීරණය කළා.

ගීතයට ලැබෙන ප්‍රතිචාර නම් බොහොම ඉහළයි. මුලින්ම මෙම ගීතය විකාශනය කළේ දෙරණෙ. මම ලිට්ල් ස්ටාර් ෆයිනල් රවුන්ඩ් එක ඉවර වුණාම මගෙ අම්මා මම වෙනුවෙන් යූටුයුබ් චැනල් එකක් හැදුවා. එහිත් මම මගේ ගීතය මුදා හැරියා. මගේ පාසලේ ගුරු මෑණිවරුන්, පියවරුන්, මගේ යාළුවො හැමෝම සතුටෙන් ඉන්නෙ මගේ ගීතය ගැන.

මේ ගීතය සඳහා දායකත්වය ලබා දුන් ගේයපද රචක සුඛිත ශිමාල් බුලත්සිංහල, සංගීත අධ්‍යක්ෂණය කළ බුද්ධික දයාරත්න, නාද ශික්ෂණය කළ ජනක දලදාවත්ත, රූප රචනය කළ තීක්ෂණ ශ්‍රී විජේසිංහ සහ අමතර දායකත්වය ලබා දුන් බුද්ධික රාජපක්ෂ, බතීෂ වෙල්ගම, රූප රචනයෙන් රංගන දායකත්වය ලබා දුන් නුවනි වලිමුණි නැන්දලා මාමාලා ආදරයෙන් සිහිපත් කරනවා. බුද්ධික සේමසිංහ මාමත් සෙනුල ලියනගේ මල්ලිටත් ගොඩක් ස්තූතියි.

ගායනයට අමතරව ඔමිරු පුතා ක්‍රිකට් ක්‍රීඩාවට ද බෙහෙවින් කැමතියි. අනාගතයේ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙයිද යන පැනය ඇසු විට ඔහු සිනහවෙන් මුව සරසාගෙන අනාගත හීන අපිට හෙළි කළේ මෙහෙමයි.

" මම කලින් ෆයිලට් කෙනෙක් වෙන්න ආසාවෙන් හිටියා. පස්සේ ඒ අදහස වෙනස් වුණා. දැන් මම කැමති නාසා ආයතනයට යන්න. සංගීතයත් කරනවා. නමුත් අම්මයි තාත්තයි හැම වෙලේම කියන්නෙ අංක එක අධ්‍යාපනය යනුවෙන් කියලයි".

මෙතෙක් වේලාවක් සිදුකළ ඔමිරු හුරතල් ආදරණීය කතාබහ නිමා කරත්ම අපි හැරුණෙ ඔමිරුගෙ අම්මා දෙසටයි. ඇය ඔමිරු පිළිබඳ පැවසුවේ හරිම ආදරණීය ලෙසයි.

‘මට මගේ පුතා ගැන ගොඩක් ආඩම්බරයි වගේම සතුටුයි. එයා අධ්‍යාපනයත් අංක එක කර ගත්ත හැමදේම සමබරව කර ගන්න දරුවෙක්. ඒ වගේම එයාගේ ආත­ාම්මටත් එයා ගොඩක් ආදරෙයි.කිසිම කෙනෙක්ට රිද්දන්නෙ නැහැ. මට පුදුම ආඩම්බරයක් තියෙන්නෙ පුතා ගැන.’

Comments