රූගත කිරීම්වලදී දරුණු අනතුරු පවා සිදු වුණා | සිළුමිණ

රූගත කිරීම්වලදී දරුණු අනතුරු පවා සිදු වුණා

 

හොඳම චිත්‍රපට සටන් අධ්‍යක්ෂණය වෙනුවෙන් 2019 වසරේ දෙරණ ලක්ස් ගෝල්ඩන් සිනමා සම්මානය හිමි කරගන්නා ලද්දේ අංගම් සටන් ශිල්පී සුමුදු අමල්ක විසිනි. ඒ චත්‍ර වීරමන් හා භාරතගේ අධ්‍යක්ෂණයෙන් යුතු "ආලෝකෝ උදපාදී" චිත්‍රපටයේ සටන් අධ්‍යක්ෂණය වෙනුවෙනි.

 

ඔබට සම්මානයක් ගෙන දුන් ආලෝකෝ උදපාදී චිත්‍රපටයේ සටන් අධ්‍යක්ෂණය ගැන ඔබට මොකද හිතෙන්නේ...?

වෙච්ච මහන්සියට අගැයුමක් ලැබීම ගැන ගොඩාක් සතුටුයි. රාවණ රජුගෙන් පැවත එන අපේ රටට අනන්‍ය වූ අංගම් සටන් කලාව තමයි මගේ විෂය වන්නේ. මම ඒ ඇසුරෙන් තමයි ආලෝකෝ උදපාදී චිත්‍රපටයේ සටන් අධ්‍යක්ෂණය කළේ. කාලයක් අපේ රටේ උරුමය වෙලා තිබිලා තවත් කාලයක් අප විසින් ම පවත්වාගෙන ප්‍රගුණ කරගෙන ආ මේ කලාව ලෝකයට ගෙන හැර දැක්වීම සඳහා එවැනි චිත්‍රපට හා සම්මාන හරහා අපගේ උනන්දුව වැඩි දියුණු වෙනවා. ඒක මේ පුංචි රට ධනාත්මකව ලෝකයට රැගෙන යාමට හොඳ අවස්ථාවක් වෙනවා.

 

අංගම් සටන් කලාව හා බැඳුණු නිල ශාස්ත්‍රයත් ඔබ හොඳින් ප්‍රගුණ කර තිබෙනවාද.....?

අංගම් සටන් කලාවේ වටිනාම කොටස වන්නේ නිල කලාවයි. රාවණ රජුගේ සීයා පුලස්ති සෘෂිවරයා බව සැලකෙනවා. ඔහු පිළිගත් ආයුර්වේද වෛද්‍යවරයෙක් බව කියවෙනවා. ඔහු සතුව තිබූ නිල වෙදකම තමයි අංගම් සටන් කලාවට එකතු වෙලා තියෙන්නේ. ඇත්තෙන්ම මෙයින් කිසිම ලේ වැගිරීමකින් තොරව සතුරා ඝාතනය කළ හැකියි. මේ කලාව ඉගෙන ගන්න නම් අංගම් සටන් කලාවේ මූලික හරඹ ඉතා හොඳින් ප්‍රගුණ කර තවත් පියවර ගාණක් ඉදිරියට පැමිණිය යුතුයි. ඊට පස්සේ ගුරුවරයාගේ ආශිර්වාදය හා මඟපෙන්වීම යටතේ තමයි නිල කලාව හදාරන ලැබෙන්නේ.

 

ඔබ මේ සටන් කලාව ඉගෙනගත් ගුරුවරු කවුද...?

මම ගුරුවරු හතර දෙනෙක් යටතේ අංගම් කලාව සියලු අංග සහිත ව ඉගෙන ගත්තා. ඒ ගුරුවරු ඔවුන්ගේ නම් ගම් නොකියන ලෙසට මාව එකඟ කරගෙන තිබෙනවා. මේ කලාවේ තිබිය යුතු ජවය හා වේගවත් බව මට ඉගැනුන්වේ උපේක්ෂක වීරධරණී ගුරුතුමායි. ඔහු ලැනී වීරධරණි ගුරුතුමාගේ පුතා යි. ඔහු ඉතා තරුණ වියේ පසු වූ නිසා ඔහු සමඟ හරි හරියට සටන් පුහුණු කිරීමට මට අවස්ථාව ලැබුණා. මම මුලින් ම මේ කලාව ඉගෙන ගත්තෙ මොරටුව ඉඳිබැද්ද කඩුපිටිය ගමේ කළුබෝවිලගේ සුනිමල් ප්‍රනාන්දු ගුරුතුමාගෙනුයි.

 

බොහෝ කාලයක් අංගම් සටන් කලාව සැඟවී තිබුණත්, ටෙලි හා සිනමා කලාවන් නිසා දැන් එය යළිත් ජනප්‍රිය වෙමින් තිබෙනවා නේද...?

ප්‍රවීණ චිත්‍රපට හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරිගේ දඬුබස්නාමානය ටෙලිනාට්‍ය නිසා මේ කලාව යළි මතු වුණා. සරත් වීරසේකරගේ ගාමණී චිත්‍රපටය නිසා මේ කලාව තවත් ජනප්‍රිය වුණා. දැන් තරුණ පරපුර අතර ප්‍රචලිත වෙලා තියෙනවා.

 

තරුණයන්ගේ කැමැත්ත මේ කලාවට ලැබීමේ විශේෂ හේතුවක් තියෙනවා ද..?

18 කැරැල්ල වෙලාවේ විශාල පිරිසක් සිංහලයන් අතින් ඝාතනය වූ නමුත් ඒ මළ සිරුරුවල ලේ වැගිරීම් තිබුණේ නෑ. ඒ ගැන දැන ගත් ඉංග්‍රීසීන් මේ කලාව තහනම් කළා. අපේ පැරැන්නො කැලේ ඇතුළේ විශාල වළවල් හදලා ඒවා ඇතුළේ බැහැලා පිටතට නොපෙනෙන විදියට මේ සටන් කලාව පුරුදු පුහුණු කළා. ඒ වළවල්වලට රෑට ඌරෝ වැටුණ නිසා ඒවා ඌරාවල කියලා ප්‍රකට වුණා. ඒ වගේ ම උඩරට නැටුම් කලාවේ කැරකිලි පිනුම් එහෙමත් මේවාට එකතු කරමින් මේ කලාව පරම්පරාවෙන් පරම්පරාවට ඉදිරියට අරගෙන ආවා. පෙරහැරවල ගිනි බෝල කැරකීම, ලී කෙළි නැටුම් හරහාත් මේ කලාව ඉදිරියට ගෙනාවා. සටන් කලාවක් බව හෙළි නොකර නිර්මාණ කලාවක් ලෙසට ඉදිරි පරපුරට මේ කලාව උරුම කළා. අපේ රටේ සිනමාව ටෙලිනාට්‍ය හරහා තමයි දැන් මේ අංගම් සටන් කලාව නැවතත් ඉදිරියට ඇවිත් තියෙන්නෙ.

 

තවමත් මේ තහනම තියෙනවා ද...?

ඔව්. නමුත් ඒ තහනම ඉවත් කිරීමට යම් උත්සාහයක් තියෙනවා. අංගම්පොර සම්මේලනයේ උප සභාපති හා එහි තාක්ෂණ කමිටුවේ සභාපති හැටියට වගේ ම මේ කලාවේ නියුතු කෙනෙක් වශයෙන් මමත් තව බොහෝ පිරිසකුත් ඒ තහනම ඉවත්කර ගැනීමේ ක්‍රියාවට දායක වෙලා කටයුතු කරගෙන යනවා.

 

ඔබ මුලින් ම චිත්‍රපට කලාවට සම්බන්ධ වන්නේ කෙලෙස ද....?

මහින්දාගමනය නමින් චිත්‍රපටයක් කරන බව ආරංචි වෙලා සමන්ත මායාදුන්නේ සහ ඉස්සර එක්ක මම ගිහින් සනත් අබේසේකර මුණ ගැසුණා. මුලින් ම චිත්‍රපටයේ සටන් අධ්‍යක්ෂණය කරන්න ලැබුණා. ඊට පස්සේ දේවින්ද කෝන්ගහගේ අධ්‍යක්ෂණය කළ භවතරණ, සමන් වීරමන්ගේ සිද්ධාර්ථ ගෞතම, මහාචාර්ය සුනිල් ආරියරත්නගේ යශෝධරා, විජයබා කොල්ලය සහ ඉදිරියේදී තිරගත වීමට නියමිත එතුමාගේ ම 'කදිර දිව්‍ය රාජයා' චිත්‍රපටයේත් සටන් අධ්‍යක්ෂණය කළා. මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය වුණේ චත්‍ර වීරමන් හා භාරතගේ ආලෝකෝ උදපාදි චිත්‍රපටය යි.

 

චිත්‍රපටවල සටන් කටයුතු කරද්දී ඇත්තටම ගුටි කාලා නැද්ද...?

ඇයි නැත්තේ. අංගම් පුහුණුවලදී පවා පුහුණුව ලබන අය පහරකෑම්වලට ගොදුරු වෙනවා. ඒ නිසයි පුහුණුවීම්වලදී ගුරුවරයා ළඟ ම සිටිය යුතු වන්නේ. රූගත කිරීම්වලදී ගුටි විතරක් නෙවෙයි දරුණු අනතුරු පවා සිදු වෙනවා.

 

එවැනි සිදුවීමක් ගැන මතකය කෙබඳු ද....?

එක් අවස්ථාවක කඩු පහරක් වළක්වන්න ගිහින් මගේ ඇඟිල්ල කැපිලා මැහුම් දැම්මා. ශල්‍යකර්මය කරපු වෛද්‍යවරයාගේ දක්ෂකම නිසා මගෙ ඇඟිල්ල නවන්න පුළුවන් වෙන විදියට තමයි ශල්‍යකර්මය කළේ. එහෙම බැරි වුණා නම් මේ කලාව මට එදා ම නතර කරන්න වෙනවා.

 

පාසල් කාලයේදී ඔබ ක්‍රීඩා කළා ද....?

"මම මොරටු විද්‍යාලයෙන් තමයි පාසල් අධ්‍යාපනය ලැබුවේ. එහිදී දුර දිවීමට මම ගොඩක් දක්ෂයි. වයස අවුරුදු නවයේ ඉඳලා අංගම් සටන් කලාව ඉගෙන ගත්ත නිසා වෙන වැඩ කරන්න වෙලාවක් තිබුණෙ නැහැ. ඊට අමතර ව මම විදේශ සටන් වර්ග හතරක බ්ලැක් බෙල්ට් අරන් තියෙනවා.

 

ඔබේ දරුවන් මේ කලාවට කැමතිද...?

"මට දුවෙකුයි පුතෙකුයි ඉන්නවා. දෙන්නා ම තව ම පාසල් යන වයසේ ඉන්නේ. ඒ දෙන්නා ම අංගම් සටන් කලාව ඉගෙන ගන්නවා. මගේ බිරිඳ සුජානි පීරිස් ගුරුවරියක්. ඇය නම් මේ සටන් කලාවට සම්බන්ධ නැහැ. නමුත් දරුවන්ගේත්, මගේත් වැඩකටයුතුවලදී ඇය ලොකු සහායක් දෙනවා.

 

ඔබ මේ සටන් කලාව ග්‍රන්ථාරූඪ කළා ද...?

ඔව්. 'යක් සුවිරෝ - අපේ හෙළ හටන්' යනුවෙන් මම පොතක් කළා. හෙළ යක්ක හටන් කලාව ඉතා ඈත අතීතයක පටන් පැවත එන්නා වූ ශිල්ප ශාස්ත්‍රයක්. ඒ ඉතිහාසය ආශ්‍රිත ව ලබා ගන්නා ලද දැනුම හෙළ සටන් කලාවේ දියුණුව සඳහා යොදා ගන්නේ කෙසේ ද කියා මම මේ ග්‍රන්ථය මඟින් පහදා දෙනවා. මේ පිළිබඳ ලිඛිත සටහන් කවදා හරි ප්‍රයෝජනවත් වේවි.

 

මිසයිල ලෝකයකට මේ හටන්වලින් ප්‍රයෝජනයක් තියේවි ද...?

මේකත් ආත්මාරක්ෂක සටන් කලාවක්. චීනය ජපානය වගේ රටවල මොන තරම් නවීණ අවි ආයුධ තිබුණත්, ඔවුන් කොතරම් දියුණු වුණත් තවමත් ඒ අය කුංෆු, වූෂු කරාටේ වගේ සටන් කලාවන් හදාරනවා. යුද්ධ කරන්න විතරක් නෙවෙයි, මෙයින් කෙනෙකුගේ ශාරීරික හා මානසික සෞඛ්‍ය වර්ධනය වෙනවා. සටන් කලාව හා බැඳුණු භාවනා පුහුණු කිරීම් තිබෙනවා. ඒවායින් පුද්ගලයකුගේ ආධ්‍යාත්මික ශක්තිය වඩන වගේ ම කලා නිර්මාණ සඳහා ලෝකයේ බොහෝ රටවල් ඉතා උසස් හා විශිෂ්ට ආකාරයට මෙහි සටන් කලාව යොදා ගන්නවා නිර්භීත හික්මීම ඇති ජවසම්පන්න තරුණ පිරිසක් සිටීම රටක අනාගත සුබසිද්ධිය සඳහා හේතු වෙනවා. එවැනි තරුණ පිරිසක් තැනීම හා නිර්මාණාත්මක කලාවට මගේ උපරිම දායකත්වය ලබා දීමට මම බලාපොරොත්තු වෙනවා. මං හැම තිස්සෙම මගේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට උගන්වන්නේ මං වෙන්න උත්සාහ කරන්නේ නැතුව මාව අබිබවා යන්න කියලයි.

Comments