මා මළ පසු සොහොන් කොතේ දුක් ගීයක් ලියනු මැනව | සිළුමිණ

මා මළ පසු සොහොන් කොතේ දුක් ගීයක් ලියනු මැනව

මට කිසිදිනෙක මහගම සේකරයන් මුණ ගැසී නැත. එහෙත් මම ඔහු අඳුනනවා. ඒ සේකරයන් ගේ ලේඛන කලාවෙන්. මං උසස් පෙළ හදාරන කාලෙ ප්‍රේමයක් නොලැබීම නිසා දුකින් හිටියා. නිතර නොයන පාසල් පුස්තකාලෙට ගිහින් පොත් රාක්කෙන් පොතක් ඇදල ගත්තා. ඒක කවි පොතක්. කිසිම අරමුණක් නැතිව ඔහේ කියවාගෙන යනකොට මට පොත දැනෙන්න පටන් ගත්තා.

 

අරුණෝදයේ ළා හිරු රැස් මත නටන

පිනි බිඳුවක් ලෙසින් ඔබ මට මුණ ගැසිණ

දැඩි හිරු රසින් වියළෙන්නට පෙර නිවෙන

පිනි බිඳුවක් ලෙසින් ඔබ අහසට නැඟිණ

මේ වගේ කවි ගොඩක් ඒ පොතේ තිබුණා. මේ පොත ලියන මිනිහා මගේ දුක බෙදා ගන්නව වගේ මට දැනුණා.

ඒ වෙලාවෙ තමයි පොත ලියපු මනුස්සයා කවුද කියල පිටකවරෙ හරවලා බැලුවෙ. ඒ තමා මහගම සේකර මහත්තයා. ඊට පස්සෙ මං එතුමන්ගෙ පොත් හොය හොයා කියෙව්වා.

“පාළු අඳුරු නිල් අහස මමයි

ඈත දිලෙන තනි තරුව ඇයයි“

ඔහුට රසිකයන් ඇලුම් කළා වගේම ඔහුත් රසිකයන්ට ඇලුම් කළා. ඔහුගේ “ප්‍රබුද්ධ“ කියන පොතේ ආරම්භයට මෙහෙම කවියක් තියෙනවා.

“ඔප් නැඟූ විසල් මේසයක් මත

තබා සුදු කරදාසියක්

ඒමත පාකර් පෑන් තුඩකින්

ලියන්නට මට නොමැත කවියක්

වැඩ ඇරී එන කලට ඔබ සමඟ

සෙනගින් පිරී ගිය දුම්රියක

අහුලාගෙන හිස් සිගරැට් පැකැට්ටුවක්

ඒමත පැන්සල් කෙටියකින්

කුරුටු ගාන්නට මට ඇත කවියක්“

කව්ද මේ ඔබ. එකපාරම හිතෙන්නෙ පෙම්වතියකට ලියූ කවියක් කියලා. එහෙම වෙන්නත් පුළුවන්. ඒත් සේකර ඔබ කියලා අමතන්නෙ සාමාන්‍ය ජනතාවට.

ඔහු “මා මළපසු“ නැමැති ගීතය ලියන්නෙත් ජනතාවට. තමන්ට ආදරය කරන රසික රසිකාවියන් ඔහු පෞද්ගලිකව අඳුනන්නෙ නෑ. මියගියත් ඔවුන්ට තමන් ආදරය කරන බව සේකර පෙන්නුවෙ මෙහෙම.

“නන්නාඳුනනා ඔබගේ

අත් අකුරින් ලියනු මැනව

දුක් ගීයක් ලියනු මැනව......“

තමන් සොහොනක නිදන සීතල රාත්‍රියක ඒ අවංක කවිය ඔහුට ඇසෙන බව සේකරට විශ්වාසයි.

“අඬ සඳ බැසගෙන යන සඳ

රෑහි හඬන රැව් අතරින්

එතකොට ඒ ගී රාවය

යාන්තමින් මට ඇසේවි....“

මේ ළඟදි දවසක අහම්බෙන් මං රදාවානෙ තුංමංහන්දියට ගියා. සේකරයන්ගෙ පිළිරුවට අලුත් ඉඩක් ලබලා දීලා. සේකර අනුස්මරණ ශාලාවක් ගොඩනැඟෙනවා. මට සතුටක් දැනුණා.

සේකර මහත්තයා තුන්කල් දැකපු මනුස්සයෙක්. ඔහුගේ ප්‍රබුද්ධ කාව්‍යයෙන් ඔහු 70 දශකයේ අගදී අනාගතය දැක්කා.

ආර්ථිකවාදී කුහක මිනිසුන් අනාගතයේ බිහිවන බව ඔහුට පෙනුණා. ඒක අද යථාර්ථයක් වෙලා.

මම ඔබ කඩා බිඳ දමා

අලුතෙන් ගොඩනඟමි

කවියා සමාජයට කීය.

සමාජය එයට සිනාසිණි.

මම නුඹ කඩා බිඳ දමා

අලුතින් ගොඩනඟමි යි

සමාජය කවියාට කීය.....

සේකරයන්ගේ පංචස්කන්ධය අද දකින්නට නැත. එහෙත් ඔහුගේ නිර්මාණස්කන්ධය තවමත් පවතී. ඒ නිසා ඔබේ සොහොන්කොතේ හැමදාම සතුටු කඳුළකින් ගීයක් ලියවෙනු ඇත.

 

 

 

 

 

 

 

 

 

 

 

මේ ලොව යම් කිසිවෙකු

මා හට පෙම් කළ බව

එතකොට ඒ ගී රාවය

හීන් හඬින් මට කියාවි

මා මළ පසු සොහොන් කොතේ

දුක් ගීයක් ලියනු මැනව

නන්නාඳුනනා ඔබගේ

අත් අකුරෙන් ලියනු මැනව

දුක් ගීයක් ලියනු මැනව....

අඬ සඳ බැස ගෙන යන සඳ

සීතල අඳුරු රැයක

අඩ සඳ බැස ගෙන යන සඳ

රෑහි නඟන රැව් අතරින්

එතකොට ඒ ගී රාවය

යාන්තමින් මට ඇසේවි

 

ගී පද - මහගම සේකර

සංගීතය හා ගායනය - පණ්ඩිත් අමරදේව

Comments