මගේ ප්‍රධාන ඉල­ක්කය රංග­නය නොවෙයි | සිළුමිණ

මගේ ප්‍රධාන ඉල­ක්කය රංග­නය නොවෙයි

ඡායා­රූපය - හිරන්ත ගුණතිලක

තනුජා ජයවර්ධන ගැන අමුතුවෙන් හඳුන්වා දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. විවිධ මාධ්‍යයන් තුළින් විවිධ රසවින්දන වැඩසටහන් තුළින් ආදරණීය ලෙසින් සමීප වුණු ඇය, පසුගිය කාලයේ පොදු නාට්‍යයෙන් ද දැක ගන්නට ලැබුණා. මේ වෙද්දීත් එහි දෙවැනි කොටස රූපගත වෙනවා. එහි භූමිකාව සේම ජාතික නාළිකාවේ දිග හැරෙන "අපේ සින්දුව" සහ "තාල භාෂණ" ගැනත් රසඳුන අපි තනුජා සමඟ කතා කළා.

 

නුදුරේදීම පොදු දෙවැනි කොටසෙන් ඔබ නැවත හමුවෙනවා, එතනින් ම කතාව පටන් ගමු

පොදු දෙක ඇතුළතත් මගේ භූමිකාව මාධ්‍යවෙදිනියගේ චරිතය. ශර්මිලා ධර්මදාසා ෆොන්සේකා අධ්‍යක්ෂකවරිය පිටපත ලියලා මට කිව්වේ කලින් සැරේට වඩා විවිධ පැතිකඩ වලට ව්‍යාප්ත වෙන මාධ්‍ය භූමිකාවක් කියන එක. මාධ්‍ය ආයතන තුළ, සහ විටෙක පර්යේෂණාත්මක ජන මාධ්‍යවේදිනියක් ලෙසින් වෙනස් පැති වලට ව්‍යාප්ත වන චරිතයක්. "පොදු" එපිසෝඩ් 10ක් 12ක් ඇතුළෙ උඩුයටිකුරු වෙන කතාවක්. මම සතුටුයි ඒ අය එක්ක වැඩ කරන්න ලැබීම ගැන. එකක් තමා කාන්තා අධ්‍යක්ෂවරියන් එක්ක වැඩ කරන්න ලැබිලා තියෙන අවස්ථා අඩුයි. ශර්මිලා කියන්නේ කාලයක් තිස්සේ මම දන්නා ටෙලිවිෂන් දැනුම සහ ටෙලි නාට්‍ය තුළ ස්ටෝරි ටෙලින් කියන එක හොඳට ඉගෙන ගත්ත කෙනෙක්. ඒ නිසා මේ දිනවලව බොහොම ආසාවෙන් ශුටින් යනවා. කලන ගුණසේකර එක්ක තමා වැඩියෙන්ම වැඩ කරන්න තියෙන්නේ. ගොඩක් අලුත් ළමයි මේ වටා එකතු වෙලා ඉන්නවා. මම ඉස්සර ඉඳන්ම කොල්ලෝ කෙල්ලෝ එක්ක හිටපු කෙනෙක්. මේක මම ආත්ම තෘප්තිය ඉහළින්ම ලබන වැඩක්. පොදු 2 මගේ ජිවිතේ අලුත් කළා. එකෙන් කියවෙන්නේ නැහැ ඉදිරියේදී මම රංගනයට වැඩි බරක් දෙයි කියන එක.

 

තව සිනමා කෘතියකින් හෝ ටෙලි

නිර්මාණයකින් ආරාධනා ලැබුණොත්

මුලින්ම චරිතයකට ආරධනා කරන්න කලින් මගේ චරිතය ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. මම මොනවගේ කෙනෙක් ද? කතා කරන්නේ කොහොමද? අඳින්නේ මොනවද වගේ දේ. මම වෘත්තියෙන් මාධ්‍යවේදිනියක් නිසා එයින් ගොඩ නඟා ගත්ත ලොකු විශ්වාසයක් සහ ආදරණීය ගෞරවයක් තියෙනවා. ආරාධනා කරන චරිතය මගේ වෘත්තිමය ප්‍රතිරූපයට හානියක් නොවෙන නිර්මාණයක් වෙන්න ඕනේ. මේ වෙද්දීත් තව නිර්මාණ දෙකකට ආරාධනා ලැබිලා තියෙනවා. මගේ ප්‍රධාන ඉලක්කය මාධ්‍ය තුළ කරන්න ඕන විප්ලවීය වෙනස්කම් සිදු කිරීම මිස රංගනය නෙවෙයි.

 

පරම්පරා කිහිපයකට ගීත

රසවින්දනය රසට සමීප කරන "අපේ සිංදුව" ගැනත් කතා නොකරම බැහැ.

පළවෙනි ලොක්ඩවුන් වෙලාවේ ටෙලි නාට්‍යය ශුට් කරන එක නතර වුණා. අලුත් වැඩසටහන් කරන්න සැලසුම් කරන කාලේ එතකොට හිටපු අධ්‍යක්ෂ ජනරාල් අජිත් නාරගල මහත්තයා මට කෝල් එකක් දීලා ඇහුවා මේ වැඩසටහන ගැන. ධම්මික බණ්ඩාර මහත්තයාත් ඉන්නවා. එයා කියන දේ ඕනෙම කෙනෙක්ට සමීපයි. පුළුවන්ද තව ටිකක් මේක ඩිවලොප් කරලා කරන්න කියලා. ඒ එක්කම එයා මට කිව්වේ තනුජා ඔයාව මම මේකට ගන්නේ ඔයා වෙන ජෙනරේෂන් එකක නිසා; මේ පරම්පරා එකතුව හොඳ දෙයක් වෙයි කියලා. මම එන්ටර්ටේනර් කෙනෙක් විදියට මතුවුණු ඉරිච්ච ඩෙනිමක් ඇඳලා ඩෙක්ශුස් දෙකක් දාලා ප්‍රසන්ට් කරන්නේ. ‘අපේ සින්දුව‘ ඇතුළෙ දන්නේ නැති වචන ගැන බය නැතුව අහන්න පුළුවන් ගුරු ගෝල සම්බන්ධතාවක් අපි අරන් ආවේ. කෙටියෙන්ම කියනවා නම් කාලෙකට පස්සේ කොෆි ෂොප් එකක දී හමුවෙලා සින්දුවක් ගැන කතා කරන සංවාදයක් තමා අපි රූපවාහිනී තිරයට ගෙනාවේ. රවී අබේවික්‍රම කියන අපේ වැඩසටහන් අධ්‍යක්ෂතුමා හරියට මහන්සි වෙනවා රූපවාහිනී පුස්තකාලය පෙරළලා සින්දු හොයලා මේ වැඩසටහන සාර්ථකව කරන්න. මේ වෙද්දී වැඩසටහන් 64ක් කරලා තියෙනවා. කියන්නම ඕනේ දේ, මගේ මේ වයසට මම දැකලා නැහැ ධම්මික බණ්ඩාර මහත්තයට වගේ මතක ශක්තියක් තියෙන මනුස්සයෙක්. එයා චිත්‍රපට ලෝකයේ ජිවත් වෙන මනුස්සයෙක්. එයා නිසා මගේ ජීවිතේ නව පිටුවක් පෙරළුණා. මමත් සංගීතය එක්කම මේ ගමන ආරම්භ කරපු සහ ජීවත් වුණු කෙනෙක්. නමුත් එයා මට දෙන දැනුම් සම්භාරය අතිමහත්.

 

නැවත “තාල භාෂණ” අපිට සමීප වෙන්නේ කවදද

මාවෝ ලක්ෂිත “තාල භාෂණ” හි අධ්‍යක්ෂවරයා. විවිධ වෘත්තිකයන් 800කට වඩා සෑහෙන ප්‍රමාණයක් ඉන්ටව් කරන්න මට වාසනාව ලැබුණා. මගේ වැඩසටහනට එන හැමෝටම මම කියන්නේ ඒ අය සහභාගී වෙන මතක හිටින ඉන්ට විව්වලින් එකක් වෙන්න ඕනේ කියන දේ. ඒ අයගේ වෘත්තියට වඩා ජීවිතය සහ අත්දැකීම් ඇසුරෙන් මම කතා කරන්න උත්සාහ කරන්නේ. මේ ඔක්තෝබර් මාසේ නැවත ඒ වැඩසටහන පටන් ගන්න අපි සුදානම්.

 

අනාගත පරපුරට දෙන උපදෙස මොකක් ද?

ජීවිතය ඩිජිටල් ලෝකය ඇතුළෙ හොයන්න එපා. ජීවිතය තියෙන්නේ සාමාන්‍ය ලෝකයේ මිනිස්සු එක්ක තියෙන ගනුදෙනු ඇතුළෙ. ඒ ගනුදෙනුව හොඳ අදහස් එක්ක ඩිජිටල් ලෝකයට අරන් යන්න. වර්චුවල් අවකාශයේ පොරක් වෙන්න කලින් සැබෑ ලෝකයේ මනුස්සයෙක් වෙලා ඉන්න ඕනේ. ඔක්කොම රැඩිකල් අදහස් FB එකේ, හැබැයි ළඟම මිනිස්සු එක්ක ජිවත් වෙන්නේ ගෝත්‍රිකයින්ටත් එහා පහත් විදියට. එතන තමා ගොඩක් අයට වැරදිලා තියෙන්නේ. ඇත්ත මිනිස්සු ඉන්නේ ඇත්ත ලෝකයේ. මනුෂ්‍යයෙක් වෙන්න ඕනේ මනුෂ්‍යයන් ආශ්‍රය කරලා මිසක් පරිගණක ආශ්‍රය කරලා නෙවෙයි. ඒ හින්දා මුලින්ම හොඳ මනුෂ්‍යයෙක් වෙලා ඒ මිනිසත් බව ඩිජිටල් ලෝකයට අරගෙන යන්න.

Comments