දක්ෂතා පෙන්නුම් කරන්න රියැලිටි හොඳ වේදිකාවක් | Page 2 | සිළුමිණ

දක්ෂතා පෙන්නුම් කරන්න රියැලිටි හොඳ වේදිකාවක්

 

 

සුපිරි රංගන තරු, නර්තන තරු ලෙස අභිෂේක ගැන්වූ "හිරු මෙගා ස්ටාර්ස් Season 03" පසුගිය දා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා. මාස 8ක් පුරා සතිඅන්ත 31ක් ඔබේ ආලින්දය නැටුමෙන්, ගැයුමෙන් රසවත් කළ 'හිරු මෙගා ස්ටාර්ස්' Season 03 වැඩසටහනේ අවසන් මහා තරගාවලිය සඳහා නර්තනයෙන් ඉහළ ම දක්ෂතා දැක්වූ යුවළ හතර ලෙසින් ඩිස්නි රාජපක්ෂ සමඟ ලලිත්, ඉරේෂා අසංකි සමඟ සලා‍‍, ශනුද්‍රි ප්‍රියසාද් සමඟ කවිඳු සහ අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වූ එක ම රංගන ශිල්පියා වූයේ කැලු‍ම් ශ්‍රී සහ ඔහුගේ සහායිකාව වූ අශානිය.

 

අවසන් සංග්‍රාමයේ පළමු නර්තන වටයේදී තරග වැදුණේ ඩිස්නි රාජපක්ෂ සමඟ ලලිත් සහ ඉරේෂා අසංකි සමඟ සලා‍. එහිදී වැඩි ප්‍රේක්ෂක මනාපයෙන් අවසන් තරග වටය සඳහා ඩිස්නි රාජපක්ෂ සමඟ ලලිත් තේරීමත් සමඟ ඉරේෂා අසංකිට හිරු මෙගාස්ටාර් වේදිකාවට සමු දෙන්න සිදුවුණා.

දෙවැනි නර්තන වටයේදී තරඟ වැදුණේ ශනුද්‍රි ප්‍රියසාද් සමඟ කවිඳු සහ කැලුම් ශ්‍රී සමඟ අශානි. මෙම වටයේදී වැඩි ප්‍රේක්ෂක මනාපයෙන් අවසන් අදියරට ශනුද්‍රි ප්‍රියසාද් සහ කවිඳු සුදුසුකම් ලබද්දී කැලුම් ශ්‍රී මෙගාස්ටාර් වේදිකාවෙන් බැස ගියා.

අවසානයේ හිරු මෙගාස්ටාර් කිරුළ වෙනුවෙන් තරග වැදුණේ ශනුද්‍රි ප්‍රියසාද් සමග කවිඳු සහ ඩිෂ්නි රාජපක්ෂ සමඟ ලලිත්. හිරු මෙගාස්ටාර් වේදිකාව මත දැක්වූ නර්තන පෙළහරට ලද ඉහළ ම ප්‍රේක්ෂක මනාපයෙන් ඩිෂ්නි රාජපක්ෂ සහ ලලිත් පැරකුම් කිරුළ දිනා ගත්තා.

සති 31කින් පසුව මෙගාස්ටාර් කිරුළ අත දරා සිටින ඩිස්නි රාජපක්ෂ තරග අත්දැකීම් සිළුමිණ රසඳුන සමඟ බෙදා ගත්තේ මෙහෙම.

මගේ ජිවිතේ මම කැමති ම දේ තමා ඩාන්සින් කියන්නේ. මේක තමා මගේ පළවෙනි රියැලිටි එක. ඒ නිසා කිරුළ දක්වා එන්න ලැබීම ගැන හරිම සතුටුයි. මට අවංකව ම ඕනේ වුණේ අපිට ආදරය කරන අය පුදුමයට පත් කරවමින් සතුටු කරන එක. මගේ අතපය කකුල් තුවාල වෙලා ලේ හලාගෙන මම නටලා තියෙනවා. ඒකට ගොඩක් පුරුදු පුහුණු වෙන්න වුණා. මොකද මේ වගේ කැපවීමක් අපිට හැම කාලයකම කරන්න බෑ.

මගේ පාට්නර් ලලිත් පැරකුම් අයියා. එයා තමා පිටරට වේදිකාවෙ දකින්නට ලැබෙන අක්‍රෝබැටික් (acrobatic dance) කියන නැටුමට එහා ගියපු ටිකක් අවධානම් නැටුම් අංග ලංකාවට හඳුන්වා දුන්නේ. මම හොඳ සාම්ප්‍රදායික නර්තන ශිල්පිනියක් සහ මම කැමතියි අභියෝග බාර ගන්න. ඒ නිසා මගේ නර්තන හැකියාවට ලලිත් අයියා එකතු කරපු දේවල් එක්ක අපිට හැමදාම පුළුවන් වුණා නැටුමට එහා ගිය දෙයක් කරන්න. ඒ නිසා විශාල ප්‍රේක්ෂකයන් ප්‍රමණයක් මා වටා එකතු වුණා. ඒක මම දැක්කේ මට පැවරුණු වගකීමක් විදියට. මම ඒ ආදරයට පෙරළා දැක්වූ ප්‍රතිචාරය තමා මගේ උපරිමයෙන් ම මම තරග වැදුණු එක. ඒ නිසා මට කිරුළ උරුම කරලා දෙන තැන දක්වා ආදරණීය ප්‍රේක්ෂකයන් හිටියා. ඒ නිසා මට ලොකු තෘප්තියක් තියෙනවා.

රංගන ශිල්පිනියක් විදියට මට ලබන්න පුළුවන් ඉහළම ආදර ගෞරවය තමා ප්‍රේක්ෂක ආදරය. ඒක මට හිරු මෙගා ස්ටාර්ස් වේදිකාවෙන් ලැබුණා. ඒ එක්ක ම මට ලැබුණු හොඳ ම ශක්තිය තමා ලලිත් පැරකුම්. ලලිත් කියන්නේ හොඳ පිරිමි පෞරුෂයක් තියෙන අපිට ඉන්න දක්ෂ නර්තන ආචාර්යවරයෙක්. එයාගෙ ඒ පෞරුෂත්වය මුසුවූ නර්තනය සහ මගේ ලාලිත්‍ය මුසු වූ නර්තන හැකියාව තමා අපේ නිර්මාණ හැඩ කළේ කියන එක තමා විනිශ්චය මණ්ඩලය හැමදාම කිව්වේ. අපේ කැපවීමට ජනතාව උත්තර දුන්නා කියන එක තමා මට ජයග්‍රහණය ලැබුණු මොහොතේ දැනුණේ. ඒ නිසා හැමදාමත් මම මගේ රසික ජනතාවට ආදරෙයි. මගේ සියලු කලා නිර්මාණවලින් ඒ අයව පිනවනවා සහ හැමදාම මම ඒ අයත් එක්ක ඉන්නවා කියන පොරොන්දුව මම දෙනවා.

මේ ගමන ඩිස්නිට එන්න හැමදාම හෙවණැල්ල වගේ හිටියේ ඇයගේ නර්තන ආචාර්යවරයා වන ලලිත් පැරකුම් බව නොරහසක්. ඒ නිසාම මේ මෙගා ස්ටාර් කිරුළ දක්වා ආව ගමන් මඟ ගැන ඔහුගෙන් නොඅසා කොහොමද?

මෙගාස්ටාර් කිරුළ කියන්නේ මට ජිවිතේ ලැබුණු භාග්‍යයක් සහ ත්‍යාගයක්. මේ තරගය ආරම්භයේ සිට අවසානය දක්වා බැලුවොත් ලොකු කැපකිරීම් එක්ක හිත් රිදීම් දරාගෙන ආව ගමනක්. මෙගා ස්ටාර්ස් ගැන කතා කරද්දී අමාරු තරගයක්. හැබැයි අද දවසේ සිට ආපස්සට හැරිලා බලද්දී ලොකු සතුටක් තියෙනවා.

මම අන්තර්ජාතික සහතික 11ක් ලබා තියෙන ලංකාවේ ඉන්න රියැලිටි ගණනාවක් ජයග්‍රහණය කරපු කෙනෙක්. මගේ දරුවන් ගණනාවක් රියැලිටි තරග දිනලා තියෙනවා. ඒ වගේම වැඩි ම ළමයින් සංඛ්‍යාවක් ඉන්න ගුරුවරයෙක්. ඒ නිසා දක්ෂතා එක්ක මට අභියෝගයක් තිබ්බේ නැහැ කොතැනකදීවත්. ඒක මම නිහතමානී ආඩම්බරකමකින් කියන්නේ. හිත් රිදීම් ඇති වුණේ අපේම මිනිසුන්ගේ යම් යම් හැසිරීම් එක්ක. නර්තනය කියන්නේ මම දේවත්වයෙන් අදහන දෙයක්. නමුත් සමහර අය ඉස්සරහට යන්න ඕනෙ ම දෙයක් කරනවා. ඒ දේවල් දකිද්දී ඇතැම් වේදිකාව මත තව දුරටත් ඉන්න ඕනේ දක්ෂයන් වේදිකාවෙන් බැහැලා යනවා දකිද්දී හිත් රිදීම් ඇති වෙලා තියෙනවා.

ඩිස්නි මට මුලින් ම මුණගැහෙන්නේ මීට අවුරුදු 5කට විතර කලින්. ඒ ආවේ මිස් ශ්‍රී ලංකා තරගයේ ටැලන්ට් රවුන්ඩ් එකේ ඇක්ටින් එක හදා ගන්න. එදා ඉදන් අද වෙනකම් ලොකු බැඳීමක් තියෙනවා අපි අතරේ. ඩිස්නි කියන්නේ මුල මතක තියෙන ගුරුවරුන්ට ගරු කරන ඉතාමත් හොඳ ළමයෙක්. කොහේ දැක්කත් පාරක දී වුණත් ඇය වැඳලා කතා කරන්නේ. ඇය සතු වටිනා ම දේ තමා ඇය තුළ තියෙන නිහතමානීකම. ඒ නිසා තමා මම ඇයත් එක්ක මේ තරගයට සහභාගී වෙන්න කැමති වුණේ.

ඒ එක්කම ඩිස්නි කියන්නේ පාසලේ දී නර්තනය හදාරපු සහ චන්න විජේවර්ධන සර්ගෙන් නර්තනය ඉගෙන ගත්ත දක්ෂ නර්තන ශිෂ්‍යාවක්. එයාගේ නර්තන හැකියාව සියයට සීයක් ම තිබ්බා. මට ඕනේ වුණේ ලෝකයේ ජනප්‍රිය ම අක්‍රෝබැටික් එක්ක යන නර්තනාංග. ඒ කියන්නේ ෂෝ ඩාන්ස් එකතු කරන්න. ඉතින් ඒ දේත් එකතු කරගෙන අපි ලස්සන වැඩ ටිකක් කරා.

මම දකින්නේ දක්ෂතා පෙන්නුම් කරන්න රියැලිටි කියන්නේ හොඳ වේදිකාවක්. නමුත් ඒ තුළත් ඉදිරියට එන්න දක්ෂතාව සහ හැකියාව එක්ක වාසනා ගුණයත් තියෙන්න ඕනේ. මම නැවත රියැලිටි තරගයකින් වේදිකාවේ දකින්න ලැබෙන එකක් නැහැ. නමුත් හිරු නාළිකාවේ ආරාධනාවක් නම් මම දෙපාරක් හිතලා බලන්න ඉඩ තියෙනවා.

 

ජායාරූප - කල්ප මේනක පීරිස්

NEXUS Creations

Comments