කෙටි චිත්‍ර­පට තර­ඟය දිනූ මීරි­ගම දෙල්වල ඕල්කට් දරුවෝ | Page 2 | සිළුමිණ

කෙටි චිත්‍ර­පට තර­ඟය දිනූ මීරි­ගම දෙල්වල ඕල්කට් දරුවෝ

ජී. ඒ. රේණුකා අමා­වක කෙටි චිත්‍ර­ප­ටය සඳහා  ලැබුණු සම්මාන ත්‍රිත්වය සමඟ

 

ලෝක ළමා දිනය වෙනුවෙන් පැවැත්වුණු කෙටි චිත්‍රපට තරගයෙන් දිවයිනේ පාසැල් පනස් පහක් අබිබවා ප්‍රශස්ත සම්මාන ත්‍රිත්වයක් සමඟ විවෘත අංශයේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට මීරිගම දෙල්වල ශ්‍රීමත් ඕල්කට් මහා විද්‍යාලය සමත්විය. පරිවාස හා ළමාරක්ෂණ සේවා දෙපාර්තමේන්තුව මඟින් ලෝක ළමා දිනය නිමිත්තෙන් මෙම තරගය සංවිධානය කරනු ලැබුයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ දායකත්වය ඇතිවය.

දෙල්වල ඕල්කට් විදුහලෙන් මේ තරගය සඳහා ඉදිරිපත් කෙරුණු " අමාවක " කෙටි චිත්‍රපටය සඳහා හොඳම චිත්‍රපටිය, හොඳම තිර රචනය, හා හොඳම අධ්‍යක්ෂණය සඳහා මේ සම්මාන ත්‍රිත්වය හිමිවී ඇත. විද්‍යාලයීය ආචාරිණි ජී.ඒ.රේණුකාගේ තිර රචනය හා අධ්‍යක්ෂණය යටතේ මෙම කෙටි චිත්‍රපටය නිෂ්පාදන කරනු ලැබීය. මෙහි කැමරාකරණය දෙල්වල ඕල්කට් විදුහලේ ආදි සිසුවකු වන අනුර රත්නායක විසින් සිදු කරනු ලැබීමද විශේෂත්වයකි.

පසුගිය 1 දා කොළඹදී අධ්‍යාපන ඇමති දිනේෂ් ගුණවර්ධන, රාජ්‍ය ඇමතිවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, පියල් නිශාන්ත, සීතා අරඹෙපොල යන මැති ඇමැතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් ජයග්‍රාහකයන්ගේ කුසලතා තිළිණ ප්‍රදානය සිදු විය.

අධ්‍යාපනික කටයුතු අඩාළ ව පවතින පාසල් දරුවන්ගේ මානසිකත්වය නඟා සිටුවමින් ඔවුන්ගේ අධ්‍යාපනය නඟා සිටුවීමේ වැඩසටහන යටතේ මීරිගම දෙල්වල ශ්‍රීමත් ඕල්කට් මහා විදුහල දරුවන් එදිනෙදා මුහුණ දෙන ප්‍රශ්න ගැටලු කියැවෙන කෙටි චිත්‍රපට දෙකක් නිපදවා තිබිණි. අමාවක හා අවර්ණ ඒ චිත්‍රපට දෙක විය.

පාසල් සිසුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ඔන්ලයින් අධ්‍ය­ාපනය ලබා ගැනීමේ දී මුහුණ දෙන ගැටලු පිළිබඳව සම්මාන ලැබූ කෙටි චිත්‍රපටියෙන් කියැවිණි. දරුවන් පහසුකම් ලබා ගැනීමට නොහැකිව පසුවෙන අන්දමත් එම පහසුකම් ඇති දරුවන් ඒවා අනිසි ලෙස ප්‍රයොජනයට ගන්නා අන්දමත් විග්‍රහ කර තිබිණි.

විදුහල්පතිනි නීලා වික්‍රමාරච්චිගේ මෙහෙයවීම යටතේ ආචාරිනී පී. ඒ රේණුකා මෙම චිත්‍රපට නිෂ්පාදනයට මූලිකත්වය ලබාදී ඇත්තේ ආචාර්ය මණ්ඩලයේ සෙසු සාමාජිකයන්ගේද සහාය ඇතිවය.

Comments