ක්ෂණික ඖෂධ භාවිත කරන්නේ පරෙ­ස්ස­මින් | සිළුමිණ

ක්ෂණික ඖෂධ භාවිත කරන්නේ පරෙ­ස්ස­මින්

 

 

රූපය කියන්නෙ අපට උරුමයෙන් ලැබෙන දෙයක්. එක් එක් පුද්ගලයාට අනුව එම සෑම රූපයක ම අනන්‍ය වූ ස්වභාවික සෞන්දර්යක් ගැබ්ව ඇත. වර්ණ භේදය අනුව වුවද සියල්ලන්ට ම කිසියම් සුන්දරත්වයක් ආවේණික ය. එහෙත් වර්තමානයේ බොහෝදෙනා මෙම ස්වභාවිකව දයාද වූ සුන්දරත්වය නොතකා රැල්ලක් මෙන් කෘත්‍රිම සුන්දරත්වයක් මවා ගැනීමට ඒ පසුපස හඹා යති. සුන්දරත්වය යන කතිකාවතෙහි ප්‍රධාන අංගය වනුයේ ශරීර ප්‍රමාණය ප්‍රියමනාප ලෙස පවත්වා ගැනීමයි.

 

එහිදී කෙට්ටු වීම හෝ මහත් වීම ගැන වැඩි අවධානයක් යොමු වී ඇත. කෙටිකාලීනව ඒ ශාරීරික වෙනස්කම්වලට භාජනය කර ගැනීමට බොහෝ කාන්තාවන් ක්ෂණික ඖෂධ ප්‍රතිකාර ක්‍රමවේද සඳහා යොමු වූ බව දක්නට ලැබේ. මෙය කෙතරම් දුරට සාර්ථක ද යන්න සියල්ලන්ගේම ගැටලුවක්. මේ පිළිබඳව දැනුම්ලත් පෝෂණයවේදී න්ගේ අදහස් හා විසඳුම් පිළිබඳ තොරතුරු දැනගැනීම සුවදායී මෙන්ම සුන්දර සිරුරක් බලාපොරොත්තුවෙන කාන්තාවන්ට ඉතා වැදගත්.

වර්තමානය වනවිට විවිධ නිෂ්පාදන සන්නාමයන් ඔස්සේ ශරීරයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ලබාදෙන බව පවසා විවිධ ක්ෂණික ඖෂධ වෙ‍ෙළඳපොළේ දක්නට ලැබේ. එහි ගුණාත්මකභාවය විමසීමේදී එම ඖෂධවල ප්‍රෝටීන වැඩි වශයෙන් පැවතියත් එය ලබා ගන්නා පුද්ගලයා අනුව නිරෝගීමත් හා ක්‍රමවත්ව ශරීරයට පෝෂණය ලබා දීමක් නොමැත.එහිදී යම් කාන්තාවක් කෙට්ටු වුවද එහෙත් ශරීරයේ සාමාන්‍ය ප්‍රෝටීන් මට්ටමක් තිබියදී තවත් ප්‍රෝටීන් ලබා දීමෙන් ප්‍රෝටීන් මට්ටමක් වේගයෙන් ඉහළ ගොස් සංකූලතා, නිදන්ගත රෝගවලට භාජනය වීමේ අවධානමක් පවතී. එනම් ක්ෂණික ඖෂධවලින් සිදු වනුයේ ඉක්මන් ප්‍රතිකාර ලබාදී එමඟින් ශරීරයට අනවශ්‍ය ලෙස පෝෂ්‍ය පදාර්ථ ඇතුළු වීමකි. මෙය වකුගඩු තුළ තැන්පත් වී ඒ ආශ්‍රිත රෝග ඇති වීමටද ඉඩකඩ ඇත. මෙම ක්ෂණික ඖෂධ ක්‍රමවේදය වෛද්‍යවරුන් කිසිසේත් අනුමත නොකරති.

එයට හේතුව මෙහි ක්‍රමවත්භාවයක් හෝ නැවත නැවත ශරීරය පරික්ෂා කිරීමක්වත්, එම කාන්තාවන් පිළිබඳව කිසිදු වගකීමක් දැරීමට කෙනෙකුද අවසානයෙහි නැති වීම ය. එනම් ඔබගේ ශරීරය නිරෝගීව සුන්දර කරගැනීමට නම් ඒ පිළිබඳව දැනුම්ලත් පෝෂණයවේදී සම්බන්ධ කොට අවශ්‍ය පෝෂණය මෙන්ම නිරෝගීබාවයද රැක ගැනීමට උපකාරී වේ. එහිදී healthy weit program වලින් ශරීරයට අවශ්‍ය පෝෂණය මෙන්ම ආහාර රටා, ශරීරයේ ප්‍රෝටීන් මට්ටම බැලීම ආදිය පිළිබඳව දැනුම්වත් කිරීම් ක්‍රමානුකූලව සිදු කරයි.

කාන්තාවක හෝ පිරිමි පුද්ගලයකු වේවා මහත් වීමට හා කෙට්ටු වීමට බලපාන ප්‍රධාන හේතුව ශරීරයේ ප්‍රෝටීන මට්ටම අඩු වීම පමණක් නොවේ. එයට හේතුව ප්‍රෝටීන හොඳින් ආහාරයට ගන්නා අයකුට වුවද ශරීරය වර්ධනයට අවශ්‍ය කැලරි ප්‍රමාණය නොමැති නම් ඇගේ ශරීරය කෙට්ටු ස්වභාවයක් ගනී. මේදය හා කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාර කැලරි වශයෙන් ලබා දේ. සාමාන්‍ය ශරීර ස්කන්ධය දර්ශකය අඩු කෙනෙකුට නිරෝගීමත් ස්කන්ධ දර්ශකයක් පවත්වා ගැනීමට කැලරි වැඩි වශයෙන් ආහාරයට එකතු කර ගැනීම සුදුසුය.

එම නිවැරැදි ස්කන්ධය දර්ශකය ලබා ගැනීමේදී ඔවුනගේ ප්‍රධාන ආහාරවේල් තුන අතරට අමතරව උදේ හා සවස තේ වෙලාවෙදීද කැලරි ප්‍රමාණය ඉහළ ආහාරපාන ගැනීම වැදගත්. එම කෑම වේල් පහ ඔස්සේ ක්‍රමක්‍රමයෙන් ඔබට අවශ්‍ය ස්කන්ධය දර්ශකය පවත්වා ගැනීමටත් නිරෝගීව සිටීමටත් අවස්ථාව උදා වේ.

තරමක් තරබාරු හෝ මහත ශරීරයකට ද healthy weit program එක ඉතා වැදගත්. එහිදී සාමාන්‍ය ශරීර ස්කන්ධය දර්ශකයට වඩා අධික ලෙස බර වැඩි නම් එම කාන්තාවට නිරෝගීව සිටීමට සාමාන්‍ය කෙනකුට වඩා වැඩි පෝෂණයක් අත්‍යවශ්‍යයි.ඒ සමඟ ම කැලරි ලබා ගැනීමේ ප්‍රමාණය අඩු කළ යුතුය. එළවළු වැඩිපුර ආහාරයට එක්කර ගන්නා අතර පලතුරු, ධාන්‍ය වර්ග, කිරි ආහාර, මාළු දවසකට ගැනීමට අවශ්‍ය සියලු පෝෂදායී ආහාර ගැනීම වැදගත්. ඒ සමඟ එම ආහාර කැලරි අඩු ලෙස සකස් කර ගැනීමට වගබලා ගත යුතුය. ව්‍යායාම් කිරීමට පවා නොහැකි ආහාරවලින්ම ශරීරයේ බර (ස්කන්ධය ) පාලනය කළ යුතු කාන්තාවන් නැතිනම් අධික තරබාරු අය මේ ගැන වඩා අවධානයෙන් කටයුතු කළ යුතුය.

මෙමඟින් පැහැදිලි වනුයේ නිවැරදි ආහාර රටාවලින් ඔබ බලාපොරොත්තු වන ශරීරයක් ලබා ගැනීමත් එමඟින් ශරීරයට හිතකර බවත්. එනම් ක්ෂණික ඖෂධ ප්‍රතිකාර ක්‍රමවේදයන් පසුපස හඹා යාම ශාරීරික සෞඛ්‍යයේ නිරෝගීභාවයට හානි ගෙන දිය හැකිය. කෙටි කාලයකින් ශරීරය නිරෝගීමත්ව අවශ්‍ය ස්කන්ධය දර්ශකයක් ලබා ගැනීමට නොහැකිය. එයට යම් කාලයක් ගත වේ. ඒ සඳහා ක්‍රමානුකූල ක්‍රමවේදයක් අනුගමය කිරීමට නම් ඒ පිළිබඳව දැනුම ඇති සුදුසුකම් සහිත පෝෂණයවේදීන් සම්බන්ධ කර ගැනීමෙන් ඔබේ නිරෝගී බව රැකගනිමින් අවශ්‍ය පෝෂණය මෙන්ම ස්කන්ධ දර්ශකය පවත්වා ගැනීමට උපකාරී වේ.

උපදෙස් - පෝෂණයවේදී ශිරෝමි පරණවිතාන

(දියවැඩියා හා අන්තරාසර්ග ඒකකය ශික්ෂණ රෝහල,

කරාපිටිය)

Comments