ඉන්දීය සිහින කුමරාගේ පුතා හිරේ | Page 2 | සිළුමිණ

ඉන්දීය සිහින කුමරාගේ පුතා හිරේ

ශාරුක් ඛාන් තම පුතු ආර්යන් ඛාන් සමඟ

 

තාත්තා කළ දෙයක් පුතා නොකළ හොත් ඔහු ‘නොට්ටිගෙ පුතා’ යනුවෙන් ව්‍යවහාරයක් සිංහලයේ වේ. එහි අදහස වනුයේ දරුවන් යනු මව්පියන් අනුගමනය කරන ඔවුන්ගේ අඩිපාරේ යන අයවලුන් වන බවය. එහෙත් දැන් පියවරුන් නොකළ බොහෝ දේ දරුවන් කරයි නම් ඔවුන් හැඳින්විය යුත්තේ කෙසේද යනුවෙන් පැනයක් නැගේ. එසේ වන්නේ මේ දිනවල ලෝකයේ අතිශයින් ජනප්‍රිය තාත්තා කෙනෙකුගේ පුතෙක් ඉන්දියාවේදී මත්ද්‍රව්‍ය චෝදනා ලබමින් අත්අඩංගුවට පත්ව සිටින නිසාවෙනි. මේ ජනප්‍රිය තාත්තා අන් කිසිවකු නොව රටින් රට කාන්තාවන්ගේ සිහින කුමරා බවට පත්ව සිටින ශාරුක් ඛාන් ය. අත්අඩංගුවට පත්ව සිටින්නේ ඔහුගේ වැඩිමහල් පුත් ආර්යන් ඛාන් ය. ඔහුට එල්ල වී ඇත්තේ මත්ද්‍රව්‍ය සහිත උත්සවයකට සහභාගී වීම ය.

 

මේ උත්සවය පැවැත්වී ඇත්තේ ගෝව ආශ්‍රිත මුහුදු සීමාවේදී කෲස් වර්ගයේ නෞකාවකදීය. උත්සවය පසුගිය සෙනසුරාදා දින රාත්‍රියේ පැවැත්වී ඇති අතර ඒ සඳහා ආර්යන් ඛාන් සහ තවත් හත් දෙනෙක් සහභාගී වී තිබේ. ඒ අතර කාන්තාවන් දෙදෙනෙක්ද වූ බව සඳහන්ය. මේ නෞකාවේ උත්සවය පැවති කොටසේ කොකේන්, එක්ස්ටසී සහ එම්.ඩී යනුවෙන් හඳුන්වන Mephedrone නම් මත්ද්‍රව්‍යද තිබූ බව ඉන්දීය මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් තහවුරු කර තිබේ. ඒ අනුව පසුගිය ඉරිදා දිනයේදී ආර්යන් ඛාන් අත්අඩංගුවට ගැනීමට ඉන්දීය මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කටයුතු කළ අතර මේ වන විට ඒ පිළිබඳව විවිධ මතිමතාන්තර සමාජය පුරා පැතිර යමින් තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස අතර ඉන්දීය සිනමා නිළියක වශයෙන් සැලකෙන මන්මන් දමේචා නම් කාන්තාවකද වූ බවට මාධ්‍ය වාර්තාවල සඳහන් විය. මේ කාන්තාව ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ධැව ව්‍යාපාරිකයකුගේ දියණියක් බවද සැලය.

මේ උත්සවය සංවිධානය කර තිබුණේ කෝර්ඩීලියා කෲස් නම් වූ අති සුඛෝපභෝගී නෞකාවක වූ අතර එම නෞකාව ඉන්දියාව වටා සාගරයේ සුඛෝපභෝගී සංචාර සඳහා ප්‍රසිද්ධ වූවකි. මත්ද්‍රව්‍ය පවතින බවට වූ තොරතුරත් සමඟම ඉන්දීය මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් මේ නෞකාවට කඩාවැදීමට කටයුතු කර තිබූ අතර අදාළ පිරිස අත්අඩංගුවට ගැනීමෙන් පසුව නෞකාවේ සංචාරය අවසන් කිරීම සඳහා සෙසු පිරිසද සමඟ එය මුදාහැර තිබිණි.

කෙසේ වුවද ආර්යන් ඛාන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධව මේ වන විට ඉන්දියාව පුරා විවිධ මතිමතාන්තර පැතිර යමින් තිබේ. මීට පෙර මත්ද්‍රව්‍ය චෝදනාවලට ලක් වූ සල්මන් ඛාන් සිද්ධිය සැලවූ සැණින් ශාරුක් ඛාන් ගේ නි‍ෙවසට පැමිණි අතර තමන් ශාරුක් ඛාන් වෙනුවෙන් පෙනී සිටින බවද ප්‍රකාශ කර තිබේ. ඒ සමඟ තවත් ඉන්දීය නළු නිළියන් රැසක් ශාරුක් ඛාන්ට සහය පළ කරමින් සමාජ මාධ්‍ය හරහා අදහස් දැක්වීමට එක්ව තිබේ.

එහෙත් එම මතවලට ප්‍රතිපක්ෂව අදහස් දැක්වූ සාමාන්‍ය ජනතාව විමසා ඇත්තේ ජනප්‍රිය පුද්ගලයෙක් වූ පමණින් අනුකම්පාව හිමි විය යුතුමද යන්නයි. මුදල් බලය හෝ ජනප්‍රියත්වය යනු නීතියෙන් රිංගා යාමට සුදුසුකම් නොවිය යුතු බව බොහෝ දෙනාගේ අදහස වී තිබේ.

පසුගිය සඳුදා දිනයේදී ආර්යන් ඛාන්ට ඇප ලබා ගැනීමට උත්සාහ දරමින් තම නීතිඥයන් සමඟ ශාරුක් ඛාන්ගේ බිරිය ගෞරී ඛාන් උසාවි භූමියේ සිටිනු දැක ගත හැකි වූ මාධ්‍ය වාර්තා කර තිබිණි. එහෙත් මාධ්‍ය වාර්තාවල දක්වා තිබුණේ ඉන්දීය මත්ද්‍රව්‍ය නාශක අංශයේ බලාපොරොත්තුව ආර්යන් ඛාන් ඇතුළු පිරිස තවදුරටත් රඳවා ගැනීම බවයි. මීට අමතරව ඔහු ඇතුළු පිරිස වෛද්‍ය පරීක්ෂණයකටද ලක් කිරීමට කටයුතු කර තිබේ.

මේ සිදුවීම වාර්තා වීමෙන් කම්පාවට පත් ඇතැම් දෙනා ටිවීටර් හරහා ‘ශාරුක් සමඟ’ යනුවෙන් ව්‍යාපාරයක් ආරම්භ කර ඇත්තේ මේ අවස්ථාවේදී ශාරුක් ඛාන්ට සහය දැක්වීම අරමුණු කර ගනිමිනි. මේ අන්දමින් ජනමතය නොයෙක් අතට දෝලනය වුවද උසාවිය මඟින් කිනම් අන්දමේ තීන්දුවක් මේ 23 හැවිරිදි තරුණයා සම්බන්ධයෙන් ලබා දෙනු ඇත්ද යන්න විමසිය යුතුය. එහෙත් කෙසේ කිනම් තීන්දුවක් ලබා දුන්නද ජනප්‍රිය පියකුගේ පුතකු ලෙස මෙවැනි සිදුවීම්වලට තම නම ගාවා ගැනීමෙන් ආර්යන් ඛාන් සිදුකරගන්නේ හොඳක් නම් නොවන බව පැවසිය හැකිය.

 

Comments