සජිත්ට එරෙ­හිව ඩයනා අවි ගනී | සිළුමිණ

සජිත්ට එරෙ­හිව ඩයනා අවි ගනී

සුගිය සතිය තුළ දේශපාලන ක්ෂේත්‍රය අංශ කිහිපයකින්ම උණුසුම් වූ අතර මැතිසබය තුළ ද උණුසුම්කාරී අවස්ථා සිදුවිය. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ විරුද්ධ පක්ෂයේ ප්‍රධාන සංවිධායක, සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් කිරිඇල්ල අතර වචන හුවමාරුවක් සිදුවිමෙන් පසුගිය (07දා) දින පාර්ලිමේන්තුවේ උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය.

ජොනී, කිරිඇල්ල වචන හුවමාරුව දුරදිග යෑම නිසා උණුසුම් වූ මැතිසබය පාලනය කිරීමට මහින්ද යාපා අබේවර්ධන කථානායකවරයාට සිදුවිය.

ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ලක්ෂ්මන් කිරිඇල්ල අතර මැතිසභය තුළ වාග් හුවමාරු සිදු වී උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවීම සාමාන්‍යයෙන් සිදුවේ.

ආණ්ඩු පක්ෂය වෙනුවෙන් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාට නිතරම පෙනී සිටීමට සිදුවන අතර විපක්ෂය වෙනුවෙන් නිතරම පෙනී සිටීමට විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාට සිදුවේ.

ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ලක්ෂ්මන් කිරිඇල්ල අතර මත ගැටුමට හේතු වූයේ සමගි ජන බලවේගයේ පක්ෂ නායකයකු මෙන් ම පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු වන රිෂාඩ් බදියුදීන්ය.

 

ජොනී - කිරිඇල්ල ගැටුමේ මුල මැද අග

 

විපක්ෂයේ ඉදිරිපෙළ ආසනයක් රිෂාඩ් බදියුදීන් මන්ත්‍රවරයාට හිමී වී තිබෙන අතර ඔහු පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ රක්ෂිත බන්ධනාගාරයේ සිටය.

ලක්ෂ්මන් කිරිඇල්ල නැඟී සිටිමින් කථානායකවරයාගෙන් ඉල්ලීමක් කරන ලද්දේ රිෂාඩ් බදියුදීන් මන්ත්‍රිවරයාට අහිමිවී තිබෙන පාර්ලිමේන්තු වරප්‍රසාද ලබාදීමට කටයුතු කරන ලෙසයි.

"මෙතුමා ෂෙල් එකේ වහලා ඉන්නේ. හවස 05.00ට ෂෙල් එකට දාලා වැහුවම උදේ 06.00ට තමයි ආපහු ෂෙල් එකෙන් එළියට එන්න පුළුවන් වෙන්නේ.

රාත්‍රී කාලයට දෙසැරයක්වත් වතුර ඕන වෙනවා. මෙතුමා මුත්‍රා කරන්නේ බෝතලයකට. ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුත් රිමාන්ඩ් එකේ ඉන්නවා. එතුමාට ගෙදරිනුත් කෑම ගේනවා.

මේවා දේශපාලන නඩු කථානායකතුමනි, ඔබතුමා තමයි මේ ආණ්ඩු පක්ෂයේ, විපක්ෂයේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කළ යුත්තේ.

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීතුමා ඉන්න සිරමැදිරිය හවස 05.00ට වැහුවම ඒ මන්ත්‍රීතුමාට වැසිකිළියට යන්නවත් විදියක් නැහැ. මේක ඉතාම අසාධාරණයි. වහාම මේ ගැන සොයා බැලීමක් කරන්න." යනුවෙන් ලක්ෂ්මන් කිරිඇල්ල විරුද්ධ පක්ෂයේ ප්‍රධාන සංවිධායක විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධනගෙන් ඉල්ලීමක් කරන ලදී.

මීට පිළිතුරු දීමට නැඟී සිටියේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුය.

"කිරිඇල්ල මැතිතුමා රිමාන්ඩ් එකේ ඉන්නැතුව ඇති. නමුත් යහපාලන ආණ්ඩුව කාලේදී මාත් හිරේ යැව්වා. හවස 05.00ට වැහුවම උදේ 06.00ට තමයි අපි කූඩුවෙන් එළියට දාන්නේ. රෑට මාත් මුත්‍රා කළේ බෝතලයකට තමයි.

දැන් නඩු ගැන කතා කරන්න එනවා. එදා නඩුවල තත්ත්වය කොහොමද? බැසිල් රාජපක්ෂයන් කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කළේ මහ රෑ 12.00ට. බැසිල් ඇමැතිතුමා මහ රෑ 12.00ට එදා හිරේ දාපු හැටි අමතකද? මේගොල්ලත් හැමදාම මෙහෙමයි. කාදිනල්තුමා හමුවෙලා එකක් කියනවා. ජාත්‍යන්තරයට තව එකක් කියනවා.

ඇමැති බැසිල් රෑ 12ට හිරේ දාපු හැටි මතකද?

 

මේගොල්ලන්ට ඕන දිගටම මොකක් හරි කියලා ආණ්ඩුවට ගහන්න. අපිට එදා කොච්චර දේශපාලන බලපෑම් කරලා කරදර කළත් අපි ඒක ඉවසගෙන හිටියා." යනුවෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ඒ සමඟම එම උණුසුම්කාරී තතත්වයක් පැවැතිය අතර ටික වේලාවක් පාර්ලිමේන්තුවේ අනෙකුත් කටයුතු සාමකාමීව සිදුවිය.

ඉන්පසුව යළිත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා නැඟී සිටියේය.

"මං විපක්ෂයේ ප්‍රධාන සංවිධායක. රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා ලබාදුන් උපදෙස් අනුවයි. මං කතා කළේ.

මං ඒකාලේ හැන්සාඩ් වාර්තා බැලුවා. මෙතුමා ගැන කවුරුත් කතා කරලා නැහැ. එදා හිටපු විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාත් මේ ගැන කතාකරලා තිබුණේ නැහැ.මං මේ කතාකරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රිවයකුගේ වරප්‍රසාද ගැන. ඒවා උසාවිවල කතාකරන්න බැහැ. ඒ ගැනවත් නොදැනයි මෙතුමා මේ කතා කරන්නේ." යනුවෙන් ලක්ෂ්මන් කිරිඇල්ල තරමක් උස් හඬින් ප්‍රකාශ කරන විට ජොන්ස්ටන් ප්‍රනාන්දු යළිත් වරක් නැඟී සිටියේ ඊට ප්‍රතිචාර දැක්වීමටයි.

"මං මන්ත්‍රී වරප්‍රසාද භාවිත කළේ නැහැ. ඒ දේශාපලන පළිගැනීම්වලට මං මුහුණ දුන්නා. මං හිරේ දාලා දින දෙකක් යනවිට ඔබතුමාගේ නායකයා මට පණිවිඩයක් එව්වා. කැබිනට් ඇමතිධුරයක් දෙන්න ආණ්ඩුවට එකතු වෙන්න කියලා. නමුත් මං මගේ ස්ථාවරයේ දිගටම හිටියා.

දැන් මෙතුමා කියනවා, එදා හිටපු විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මං ගැන කතා කළේ නැහැ කියලා.

එදා විපක්ෂයේ හිටියේ යහපාලන ආණ්ඩුවේම නියෝජිතයින්ගේ විපක්ෂ නායක කවුද? විපක්ෂයේ ප්‍රධාන සංවිධායක කවුද? ඒ ගොල්ලන් මං ගැන කතා කරයිද?

එදා නඩුවලට බලපෑම් කළේ කවුද? අධිකරණ විනිසුරුවන්ට බලපෑම් කළේ කවුද? කියලා රටටම හෙළිවුණා.

ඒ වගේ දේශපාලන පළිගැනීම් ගන්න අපේ ආණ්ඩුව කටයුතු කරන්නේ නැහැ. සමහරෙකුට හිතෙන්න පුළුවන් ඒක අපේ දුර්වලතාවක් කියලා. ඒත් අපේ ආණ්ඩුව ඔබතුමන්ලාගේ ආණ්ඩුව කළා වගේ දේශපාලන පළිගැනීම් සිදු කරන්නේ නැහැ.

"ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඉතා ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරනවා. නැත්නම් ඔබතුමාලා ගොඩ දෙනෙක් අද ඉන්න ඕන හිරගෙදර. එදා බොරු පැමිණිලි දාලා තමයි අපිව හිරේ දැම්මේ" යනුවෙන්ද ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

 

පුරාවිද්‍යා ස්ථාන නරඹන්න අගමැතිගෙන් නව ප්‍රවේශයක්

 

ඉන් අනතුරුව යළිත් කිරිඇල්ල සහ ජොන්ස්ටන් අතර වාදය ඇති විය.

"මං බන්ධනාගාර කොමසාරිස්වරයාට දැන් දුරකථනයෙන් කතා කරලා ඇහුවා. ඔහු කිව්වා රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාට වැසිකිළිය පාවිච්චි කරන්න පුළුවන් කියලා.

කොවිඩ් නිසා පිටින් ආහාර පාන ගෙන ඒම වැළැක්වූවත් ඉදිරියේදී යළිත් ඒ සඳහා අවස්ථාව ලබාදෙනවා කියලා බන්ධනාගාර කොමසාරිස්වරයා කිව්වා.

"ඒක නිසා පාර්ලිමේන්තුව නොමඟ යවන්න එපා කියලා මං ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රිතුමාගෙන් ඉල්ලා සිටිනවා" යනුවෙන් ජෝන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මධ්‍යම සංස්කෘතික අරමුදල ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ පංච පුද්ගල කමිටුව අදාළ වාර්තාව පසුගිය (07) දින පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අරලියගහ මන්දිරයේ දී භාර දුන්හ.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මෙම පංච පුද්ගල කමිටුව පත්කර තිබිණි.

“මධ්‍යම සංස්කෘතික අරමුදල පිළිබඳව පූර්ණ අධ්‍යයනයක් කොට එය සම්පූර්ණයෙන් ප්‍රතිව්‍යුහගත කෙරේ” යනුවෙන් සඳහන් සෞභාග්‍යයේ දැක්ම ජාතික ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව යමින් අග්‍රාමාත්‍යතුමා ඊට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා මෙම කමිටුව පත් කර තිබිණි.

 

බන්දුලට පවිත්‍රා විරුද්ධ වුණේ ඇයි?

 

ඒ අනුව මධ්‍යම සංස්කෘතික අරමුදල පිළිබඳව පූර්ණ අධ්‍යයනයක් කර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා නිර්දේශ ඇතුළත් වාර්තාව සකස් කළ බව කමිටු සමාජිකයෝ අග්‍රාමාත්‍යතුමා හමුවේ පැවසූහ. මෙම වාර්තාවේ ඇතුළත් නිර්දේශ ක්‍රියාත්මක කිරීම මඟින් ඉදිරියේ දී මධ්‍යම සංස්කෘතික අරමුදල එහි අරමුණු සාක්ෂාත් කරගත හැකි වඩාත් ඵලදායී ආයතනයක් බවට පත් කළ හැකිවනු ඇතැයි අග්‍රාමාත්‍යතුමා මෙහි දී විශ්වාසය පළ කළේය.

ඒ අනුව වාර්තාවේ සඳහන් නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස අදාළ නිලධාරීන්ට අග්‍රාමාත්‍යතුමා මෙහි දී උපදෙස් දුන්නේය.

මෙතෙක් කිසිවෙකුගේ ඇස නොගැටුණු පුරාවිද්‍යා ස්ථාන මෙරට ඇති බව තමන්ගේ විශ්වාසය බව ප්‍රකාශ කළ අග්‍රාමාත්‍යතුමා ඒවා පිළිබඳව සොයා බලා අවධානය යොමු කරමින් නිසි ක්‍රියාමාර්ග ගන්නැයි නිලධාරීන් දැනුම්වත් කළේය.

මේ අතර ශ්‍රී ලංකාවට පැමිණෙන විදෙස් සංචාරකයින් සඳහා සියලුම පුරාවිද්‍යා ස්ථාන නැරඹීමට මාර්ගගත ක්‍රමයට එක් ප්‍රවේශපත්‍රයක් නිකුත් කරන්නැයි අග්‍රාමාත්‍යතුමා මෙහි දී නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

පසුගිය සති අන්තය වන විටත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ඇමරිකානු සංචාරය නිමවා ලංකාවට පැමිණ තිබුණේ නැත. එනිසා එතුමා මහත් උනන්දුවෙන් සහභාගී වන කොවිඩ් මර්දනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකායේ රැස්වීම්ට මෙවරත් සහභාගී වන්නට සිදුවූයේ අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට ය. ඒ අනුව එදින අදාළ අනෙකුත් දේශපාලනඥයෝ්, සෞඛ්‍ය බලධාරීහු, ආරක්ෂක අංශ ප්‍රධානීහු, වෛද්‍යවරු් හා සෞඛ්‍ය නිලධාරීහු සියලුම දෙනා පාහේ මෙම රැස්වීම්ට පැමිණ සිටියහ.

"නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පස්සේ රටේ ඇතිවෙලා තියන තත්ත්වය ගැන අලුත් තොරතුරු දැනගන්න කැමතියි. මොනවද ඔබතුමාට ලැබිලා තියෙනවා ආරංචිය ගැන." බැසිල් වටපිට බලමින් ඇසීය. එම අවස්ථාව ලබා ගනිමින් මුලින්ම කතා කළේ බන්දුල ගුණවර්ධනයි. "අපනයන ක්ෂේත්‍රයට නිෂ්පාදන සපයන කර්මාන්ත ශාලාවල සේවකයන්ට සතියකට සැරයක් පී. සී. ආර්. එකක් කර ගන්න කියලා සෞඛ්‍ය අංශ නිර්දේශයක් දීලා තියෙනවා කියලා කියනවා. එහෙම කතාවක් තියෙනවා නම් ඒක ටිකක් ලිහිල් කරන එක තමයි හොඳ. කර්මාන්තශාලා ඔය විදිහට හිර කරන එක හොඳ නෑ අපේ ඇඟලුම් ක්ෂේත්‍රයට."

"නෑ නෑ අපි චක්‍රලේඛනය අයින් කරලයි තියෙන්නෙ දැන් ප්‍රශ්නයක් නෑ." සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කිව්වේය.

"මම මේක කලිනුත් මතක් කළා. රෙස්ටෝරන්ට්වලට අඩුම තරමින් 30% වත් ධාරිතාවයකින් පවත්වාගෙන යන්න ඉඩ දෙන්න ඕන. ඒ මිනිස්සු ඉන්නෙ ගොඩක් අමාරුවෙන්." ප්‍රසන්න රණතුංග විස්තර කරන්නට පටන් ගත්තේය. බැසිල් ඇමතිවරයා ඒ පිළිබඳ සෞඛ්‍ය අංශ සමඟ සාකච්ඡා කළත් අනුමැතියක් පළවූයේ නැත. අවසානයේ තවත් සතියක් ඉදිරියට එම ප්‍රශ්නය කල් දමන්නට තීරණය කළේය.

"දුම්රිය ගමනාගමනය තවම පටන් ගත්තෙ නැති නිසා ඒ ගැන විවිධ කතා රටේ පැතිර යනවා. දුම්රිය මාර්ග ටික තවම පිරිසුදු කරල ඉවර නැති නිසයි දුම්රිය පටන් ගන්න බැරි." බන්දුල යෝජනා කළේය.

"ඒ කතාවට නම් පදනමක් නෑ ඇමතිතුමා. ඒ ගැන මම හොඳාකාරවම බලලා කටයුතු කළා. පාරවල් ටික ක්ලියර් කරලා දුම්රිය 120න් 108ක් පටන් ගන්න මම සූදානම් කළා. ඒ වුණාට සෞඛ්‍ය අංශවල නිර්දේශ ලැබුණේ නැති හින්දයි නතර වුණේ. දැන් වෙනවෙන කතා කියන්න එපා." පවිත්‍රා බන්දුලට විරුද්ධත්වය පළ කළාය.

ඉන්පසුව පළාත් අධ්‍යක්ෂවරු ඔවුන්ට තිබෙන ප්‍රශ්න ගැන කතා කරන්න පටන් ගත්තේය. පළාත්බදව තිබෙන්නේ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානවල හා නිරෝධායන මධ්‍යස්ථානවලට ආහාර සපයන කොන්ත්‍රාත්කරුවන්ගේ මුදල් ගෙවා නැතිකම නිසා ඇතිවන අඩුපාඩු ගැන ඔවුන් කරුණු කියද්දී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පොරොන්දු වූයේ ඉතා ඉක්මනින් එම මුදල් පියවීමට රජය කටයුතු කරනු ඇති බවය.

කෝවිඩ් ගැන බැසිල්ගේ යෝජනාව

 

යළි පාසැල් විවෘත කිරීම ගැනද මෙහිදී කමිටුව කතාබහ වූහ. පාසැල් විවෘත කිරිම පිණිස ඇති දුෂ්කරතා ගැන මෙහිදී කරුණු සාකච්ඡා වූහ. ඉන්පසුව කමිටුව අවධානය යොමු කළේ එන්නත්කරණය සිදුකිරීමේ දී යම් යම් තැන් තැන් වල මග හැරී ඇති කණ්ඩායම් වලට එන්නත් ලබාදීම ගැනය.

"ඇයි අපිට බැරි ගෙවල් ගානේ ගිහිල්ලා සංගණනයක් කරන්න එන්නත මගහැරිලා කියන අය ගැන." බැසිල් හොඳ යෝජනාවක් කළේය. ඒ අනුව සෞඛ්‍ය බලධාරීහු ඒ පිළිබඳ කැමැත්ත පළ කර සිටියහ.

ඉන්පසුව කමිටුවේ සාකච්ඡාවට පදනම් වූ කරුණු අතර සංචාරක ව්‍යාපාරයද විය.

මෙහිදී ප්‍රසන්න රණතුංග අවධානය යොමු කළේ සංචාරක ව්‍යාපාරය නගා සිටුවීමට තවමත් ඇති බාධාවන් පිළිබඳවය.

"සංචාරක ව්‍යාපාරය නගා සිටුවන්න අපි උපරිම සහයෝගය දෙනවා. හැබැයි අපට මෙතෙන්දි එක පැත්තක් විතරක් බලලා වැඩ කරන්න බැහැ. සෞඛ්‍ය නීති රෙගුලාසි පිළිපදින්න වෙනවා. ඒ වගේම අපි මහජනයා අතර රෝගය පැතිර යාම වළක්වන අවශ්‍ය හැම පියවරක්ම ගන්නවා.

"ලෝකයේ ගොඩක් රටවල් දැන් සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කරන්න ආයුර්වේද ප්‍රතිකාර යොදා ගන්නවා. පශ්චාත් කොවිඩ් රෝගී තත්ත්වයන්ට ප්‍රතිකාර කරන්නත් ආයුර්වේදයේ හොඳ ප්‍රතිකර්ම තියනවා. අපට පුළුවන් නං ඒවා ප්‍රවර්ධනය කරන්න සංචාරක ව්‍යාපාරයටත් වැදගත් වේවි." සිසිර ජයකොඩි ඉදිරිපත් කළේ ඉතා වටිනා අදහසකි.

මේ අතර මහජන සහ සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය වෙනුවෙන් කමිටුවට පැමිණ සිටි උපුල් රෝහණ තවත් යෝජනාවක් කළේය.

"එයාර්පෝට් එකෙන් ලංකාවට එන අයව පී. සී. ආර්. කරලා ගෙදර යවනවා. එහෙම අය ගැන පී එච් අයි මහතුන්වත් දැනුම්වත් කරන්න ඕන. නමුත් දැන් ඒක වෙන්නේ නෑ."

"අපි ඒක සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දෙනවා. එතනින් තොරතුරු ටික අර ගත්ත නම් හරි." ප්‍රසන්න කීවේ ය.

විපක්ෂයේ කෝකටත් තෛලය ගැන ප්‍රසන්නගෙන් ප්‍රකාශයක්

 

මිනුවන්ගොඩ ආසනයේ "2022 ඔබට අය වැයෙන්" වැඩසටහන ඉකුත් සෙනසුරාදා ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. මෙම අවස්ථාවට අමාත්‍ය බන්දුල ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රි සාගර කාරියවසම්, මධුර විතානගේ, ජගත් කුමාර මහත්වරු සහභාගි වූහ.

"ආණ්ඩුවට විරුද්ධව විවිධ බලවේග ක්‍රියාත්මක වෙනවා. ඔවුන් ආණ්ඩුවට එරෙහිව විවිධ උපක්‍රම භාවිත කරන්නේ ආණ්ඩුව වට්ටන්න. ඒකට ඉඩ දෙන්න එපා. මේ ආණ්ඩුව නොතිබුණානම් කොවිඩ් වසංගතය සමඟ මීට වඩා දරුණු තත්ත්වයකට රට පත්වෙන්න ඉඩ තිබුණා. මරණ වැඩි වෙලා, කන්න බොන්නවත් නැති විශාලාවක් බවට පත්වෙන්න ඉඩ තිබුණා." යැයිද එහිදී බන්ධුල අමාත්‍යවරයා සඳහන් කළේය.

රැස්වීම අවසානයේ පැමිණි පිරිසට ප්‍රාදේශීය සභා සභාපතිවරයාගේ කාර්යාලයේ තේ සූදානම් කර තිබිණි. තේ බොන අතරතුර වත්මන් තත්ත්වය පිළිබඳ කතාබහක් ඇති වීය.

"විපක්ෂයට කෝකටත් තෛලය වෙලා තියෙන්නෙ රාජපක්ෂවරු. විපක්ෂයට රාජපක්ෂවරුන්ට පහර දෙනවා ඇරෙන්න වැඩපිළිවෙළක් නැහැ. නිරූපමා රාජපක්ෂ ඇත්තටම මහින්ද මහත්තයා එක්ක හිටියේ නැහැ. 94 දේශපාලනයට ආවා විතරයි. එතන තියෙන්නේ දේශපාලන ප්‍රශ්නයකට වඩා ව්‍යාපාරික ප්‍රශ්නයක්" ප්‍රසන්න රණතුංග ඇමතිවරයා කීය.

"සංචරණ සීමා ඊයේ ඉවත් කළා විතරයි ගුරුවරු ආයෙත් උද්ඝෝෂණ කරන්න ලෑස්ති වෙනවාලු. ගොවීන් උද්ඝෝෂණ කරන්න යනවාලු. උද්ඝෝෂණය කරන්න සුදුසු වෙලාවක් නෙවෙයි රටේ තියෙන්නෙ." මධුර විතානගේ මන්ත්‍රීවරයා පැවසීය.

ඩයනා රහස් හෙළිකරයි?

 

ගුරුවරුන්ගෙ ප්‍රශ්නයෙන් දේශපාලන වුවමනාවන් ඉටු කරගන්න හදන පිරිසක් තමයි මේ පිටිපස්සේ ඉන්නේ. අමාත්‍ය මණ්ඩල අනු කමිටුව ප්‍රශ්නෙට පැහැදිලි විසඳුම් දුන්නා.

සමගි ජනබලවේගයේ පත්කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ සමගි ජනබලවේගයෙන් නෙරපීමට පසුගිය 07 වැනිදා තීරණය කළ බව සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ප්‍රකාශ කළේය.

පක්ෂ මතයට පිටින් ගොස් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහාය ලබාදීම නිසා එම පියවර ගත් බව ඔහු පැවසීය.

කෙසේ නමුත් ඩයනා ගමගේ පසුගිය 08 වැනිදා පාර්ලිමේන්තුවට පැමිණියේ කොළපාට සාරියකින් සැරසිලාය.

"මොකද මන්ත්‍රීතුමිය කොළපාට වෙලා." යනුවෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විමසා සිටි අතර ඩයනා ප්‍රකාශ කළේ තමා හදාපු නිවසින් තමා එළියට දමා දොරේ ලොක් එක මාරු කිරීමට සජිත් ප්‍රේමදාස, රංජිත් මද්දුමබණ්ඩාර ක්‍රියා කර ඇති බවයි.

තමා මේ සම්බන්ධයෙන් නීතීය හමුවට යන බවත් සජබය පිහිටුවීමට ගත් වෙහෙස සහ සජබ පිටුපස තිබෙන රහස් රැසක් ළඟදීම තමා හෙළිකරන බවද ඩයනා ගමගේ ප්‍රකාශ කළාය.

රනිල් ඩිජිටල් වෙයි

 

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඉකුත් අඟහරුවාදා සිරිකොත පක්ෂ මූලස්ථානය වෙත ගියේ පක්ෂ සාමාජික ප්‍රවර්ධන වැඩසටහන ගැන සාකච්ඡා කිරීමටය. පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුව දක්වා පක්ෂ සාමාජික ජාලය ශක්තිමත් කිරීම වෙනුවෙන් ගත යුතු තීන්දු තීරණ මෙහිදි සාකච්ඡාවට ගැනින.

මහාමාන්‍ය ඩි.එස් සේනානායක මහතාගේ ඡන්ම දිනය යෙදෙන ඔක්තෝම්බර් 20 වන දින පක්ෂ සාමාජික ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය. ක්‍රම 3 ක් ඔස්සේ සාමාජිකයන් බදවා ගැනීමේ වැඩසටහන එදින සිට ආරම්භ වනු ඇත. විද්‍යුත් සාමාජික හැඳුනුම්පත වෙනුවෙන් සකස් කෙරෙන ‘ඇප්’ මෘදුකාංගය සකස් කිරීමේ ප්‍රගතිය ගැනද නායකයා විමසා බැලුවේය.

"විද්‍යුත් මාධ්‍ය ඔස්සේ සාමාජිකයන් බදවා ගැනීමට ලැහැස්තිද? මොකක්ද ඒ ගැන තිබෙන සැලසුම?" නායකයා විමසූවේ සන්නිවේදන කටයුතු සම්බන්ධිකරණය කරනා දිනුක් කොළඹගේ ගෙනි.

"ඩිජිටල් සාමාජික කාඩ් නිකුත් කරන වැඩේ ලැහැස්තියි. මෙම සතිය අවසන් වන කොට ඇප් එක හදලා ඉවර වෙනවා. 20 දට අපිට මේක එළිදක්වන්න පුළුවන්." ඔහු පිළිතුරු දුන්නේය.

සුදුලූනු සමඟ සජිත් සටනේ

 

පක්ෂයේ 75 වන සංවත්සරයට සමගාමීව පැවැත්වීමට සැලසුම් කළ රැස්වීම් 75 සම්බන්ධයෙන්ද නායාකයා මෙහිදි විමසා බැලුවේය.

ලක් සතොසේ සිදුවූ බව කියන දූෂණ වංචා සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ මන්ත‍්‍රීවරු පසුගිය සතියේදී වැඩි අවධානයක් යොමු කර තිබුණේය.

"රේගුව මඟින් රාජසන්තක කරන ආහාර ද්‍රව්‍ය ලක් සතොස හරහා ජනතාවට ලබාදීමට තමයි ආණ්ඩුවෙන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා අනුමැතිය අරගෙන තියෙන්නේ. ඒත් සතොසේ ලොක්කෝ එකතුවෙලා මේවා ව්‍යාපාරිකයින්ට විකුණනවා" මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයා කීවේ තමන්ට සතොසේ ඉහළ නිලධාරීන්ගෙන් ලැබුණ ලේඛනත් ඉදිරිපත් කරමිනි.

"මේ ගැන පාර්ලිමේන්තුවේදී අවධානය යොමු කරන්න ඕන" සජිත් කීවේය.

පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රශ්නයක් යොමු කරමින් සජිත් ප්‍රේමදාස සුදුලූනු වංචාව ගැන ප්‍රශ්න කළේය.

"වෙළෙඳපොළේ සුදු ලූනු කිලෝ එකක් රුපියල් 350ට විකුණනවා. ඒත් ව්‍යාපාරිකයෙක්ට රුපියල් 135කට ලබාදෙන්නේ. එහෙම අඩු මිලට සුදුලූනු අලෙවි කළේ කොහොමද? කාගෙන්ද ඒකට අනුමැතිය ලබාගත්තේ? මෙවැනි සුදු ලූනු ගනුදෙනුවක් වංචාසහගත ලෙස විෂයභාර අමාත්‍යවරයා හෝ ලක්සතොස ආයතනයේ ප්‍රධාන නිලධාරීන් නොදැනුවත්ව සිදු වූයේ කෙසේ ද? සජිත් ඇසිය.

අලියා ZOOM කරමින් වජිර රටපුරා යයි

එක්සත් ජාතික පක්ෂය බලගැන්වීම සඳහා නායක රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි රටපුරා ක්‍රියාවට නංවා ඇති වැඩපිළිවෙළ සම්බන්ධව ප්‍රගති සමාලෝචන රැස්වීම් මාලාවක් පසුගිය සති අන්තයේ ZOOM තාක්ෂණය ඔස්සේ ආරම්භ කරනු ලැබීය.

පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන, මහලේකම් පාලිත රංගේ බණ්ඩාර, උප සභාපති සාගල රත්නායක යන අයගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කළ මෙම රැස්වීම් මාලාව ගාල්ල, මහනුවර, කළුතර, කෑගල්ල, ත්‍රිකුණාමලය, යාපනය, මුලතිව්, කිලිනොච්චිය, වව්නියාව සහ දිගාමඬුල්ල යන දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ඉතා සාර්ථකව පැවැත්විණි.

එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි වැඩකටයුතු සහ සංවිධාන ජාලය ගොඩනැඟීම සම්බන්ධව ගාල්ල දිස්ත්‍රික්කයේ එජාප ක්‍රියාකාරීන් සහ වජිර අතර තවත් සාකච්ඡාවක් සඳුදා දින දහවල් පැවැත්විය. දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරු සහ ක්‍රියාකාරීන් රැසක් එම රැස්වීමට එක්ව සිටි අතර පක්ෂයේ ඉදිරි වැඩකටයුතු සාර්ථකව සිදුකිරීම ගැන මෙහිදී දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කරගන්නා ලදි.

නාමල්ගෙන් යළි තුරුණු ශක්ති

 

නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසුව සෞඛ්‍යාරක්ෂක නීති රෙගුලාසිවලට අනුකූලව යළිත් ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම රජයට මහත් අභියෝගයක් විය.

දිගු කලක් සුපුරුදු රාජකාරිවලින් හා රැකී රක්ෂාවලින් ඉවත්ව නිවෙස්වලට වී පාළුවෙන් කාන්සියෙන් අලසකමින් දිවි ගෙවූ ජනතාව මානසිකව සුවපත් කර යථා තත්ත්වයට ගැනීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවීය. විශේෂයෙන්ම තරුණ පරපුර සුපුරුදු පරිදි යළි නගාසිටුවීම මහත් ගැටලුවක් විය.

මේ පිළිබඳව රජය අභ්‍යන්තරයේ පැවති කමිටු සාකච්ඡාවලදී මේ සම්බන්ධයෙන් වැඩි වගකීම් සමුදායක් නාමල් රාජපක්ෂ තරුණ ඇමතිවරයාට පවරන්නට යෝජනා විය.

ඒ අනුව තරුණ නිර්මාණශීලීත්වය හා ක්‍රියාශීලිත්වය නඟා සිටුවන්නට අලුත් අලුත් වැඩසටහන් හඳුන්වා දීමේ වගකීම ඔහුට පැවරිණි.

මේ පිළිබඳ නාමල් රාජපක්ෂ ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් සමඟ කරන ලද සාකච්ඡාවකින් අනතුරුව ජාතික තරුණ සේවා සභාවේ සභාපති දමිත වික්‍රමසිංහ ට කතා කළේය.

"පුළුවන්ද 'තුරුණු ශක්ති' වැඩසටහන ආයෙත් සැරයක් පටන් ගන්න"

මොකද බැරි. ඒක අපේ වැඩසටහනක් නේ. ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මෙතන සභාපති වෙලා ඉන්න කාලේ පටන් ගත්ත තුරුණු ශක්ති තමයි ලංකාවේ මුල්ම රියැලිටි වැඩසටහන. ඒ වේදිකාවෙන් බිහි වුණු සෂිකා නිසංසලා ලාගේ පරපුර අදටත් ලංකාවේ ජනප්‍රියම තරු."

"එහෙනම් මේ අවුරුද්ද අවසන් වෙන්න කලින් ඒක පටන් ගන්න. ඒ විතරක් නෙවෙයි අපට මේ අවුරුද්දේ රියැලිටි වැඩසටහන් තුනක් පටන් ගන්න වෙනවා. එකක් ක්‍රීඩාව සම්බන්ධයෙන්. අනික මේ රට බෙර වාදනය සම්බන්ධයෙන්. තුන්වෙනි එක තුරුණු ශක්ති. මේ තුනම ඉතා ඉක්මනින් සැලසුම් කරන්න."

"අභියෝගය සතුටින් බාරගන්නවා. හැබැයි ඉතින් ඒකට හොඳ රූපවාහිනී චැනල් එකකුත් ඕන වෙයි.

"එකක් නොවෙයි. චැනල් තුනක්ම ලෑස්ති කරල දෙන්නම්. බය නැතුව වැඩේ පටන් ගන්න." නාමල් එසේ කියමින් දුරකතනය තැබුවේය.

Comments