සතිමත් සන්නිවේදනය ඉගැන්විය හැකි ද? | සිළුමිණ

සතිමත් සන්නිවේදනය ඉගැන්විය හැකි ද?

 

"මම ඔබ හමුවට ආවේ ‍ඔබෙන් යමක් ඉගෙන ගැනීමට මිසක් ඔබට යමක් ඉගැන්වීමට නොවේ," යනුවෙන් තම දේශනය පටන් ගත්තේ ඉන්දියාවේ හයිද්‍රාබාද් විශ්වවිද්‍යාලයේ සන්නිවේදන අධ්‍යයනය පිළිබඳ මහාචාර්ය ශ්‍යාම් ගුප්ත මහතා ය. මහාචාර්යතුමා අප හමුමට පැමිණියේ තම සප්ත වාර්ෂක නිවාඩුවෙන් අඩක් පමණ කලක් ඇමෙරිකන් විශ්වවිද්‍යාලයක ගත කිරීමෙන් පසුව පෙරලායන ගමනේදි ය. අප හමුවේ පෙනී සිටි මහාචාර්යතුමා ඊළඟට කීවේ කුමක් ද?

"මම ඔබ හමුවේ කතා කිරීමට බලාපොරොත්තු වන්නේ සතිමත් සන්නිවේදනය හෙවත් mindful communication සංකල්පය ගැන යි.

ආගමික චින්තනය (religious thought) සහ අධ්‍යාත්මිකවාදය (spiritualism) මැනැවින් හඳුනන ඔබ හැමට 'සතිමත් සන්නිවේදනය' යන යෙදුම අමුතුවෙන් හුන්වා දිය යුතු නැහැ.

ඒ මන්ද කිවහොත් බුදුන්වහන්සේ වදාළ ආර්ය අෂ්ටාංගික මාර්ගයට අනුව 'සති' යන යෙදුම අපූරු අර්ථ සමුදායක් අප හමුවේ තබන බවත් ඔබ මට වඩා දන්නවා.

ඒත් සන්නිවේදන න්‍යායක් (communication theory) වශයෙන් අද 'සතිමත් බව' (mindfulness) යන්න සන්නිවේදන අධ්‍යයනයට ඇතුළුවෙලා බව නම් කිව යුතු කාරණයක් වෙනවා.

මේ සඳහා මුල් වූ එක්තරා වැදගත් ග්‍රන්ථයක් ඔබට පෙන්වීමටත් ඒ පොතේ අන්තර්ගත ඇතැම් කාරණා කතිකාවට ලක් කිරීමටත් මම මෙහිදි කැමතියි."

ඉන් අනතුරුව මහාචාර්යතුමා අපට පෙන්නුම් කළේ 1978 දි ප්‍රථම වතාවට පළ වූ Communication for Tomorrow නමැති කෘතිය යි. කතුවරයාගේ නම වශයෙන් දැක්වෙන්නේ මාක් යූ පොරාත් (Marc U Porat) යනුවෙනි.

"මේ කතුවරයා හඳුන්වා දීමෙන් අපට පෙනෙන්නේ සමාජය විවිධාකරයෙන් මෙහෙයවනු ලබන ඉතා වැදගත් සන්නිවේදකයින් කීපදෙනෙකුගේ කාර්යභාරය, වඩාත් සාර්ථක වීමට හේතු වූ චින්තනය හා ඒ චින්තනය මෙහෙයවීම පිළිබඳව ය.

ඔහු එය හඳුන්වන්නේ සතිමත් චින්තනය (mindful thinking) යන යෙදුමෙනි. ඒ චින්තනය කෙමෙන් ව්‍යාප්ත කළ අය කවුරුන්ද?"

මීලඟට මහාචාර්යවරයා අප අවධානය යොමු කළේ සමාජතන්ත්‍රය මෙහෙයවන පුද්ගල වර්ග කීපයක් කෙරෙහි ය. ඔවුන් නම්, විද්‍යාඥයින් (scientists), නිපදවන්නන් (inventors), ගුරුවරුන් (teachers), පුස්තකාලයාධිපතරුන් (librarians), පුවත්පත්කරුවන් (journalists), සැලසුම්කරුවන් (designers) සහ විවිධාකාර ග්‍රන්ථකර්තෘවරුන් (various types of authors).

පොරාත් මහත්මයා ඉතා මුදු මොලොක් ලෙස පෙන්නුම් කරන්නේ මේ පුද්ගල සංඛ්‍යාව හැරුණු කොට තවත් ඒ හා සමාන අය සිටිය හැකි බව යි.

"ඒත් මේ අයගේ සතිමත් බව අපගේ අවධානය යොමු විය යුතු යි. ඔවුන් තමයි සතිමත් සන්නිවේදනය තම කාර්යභාරයට සෘජුවම නතු කරගන්නේ."

ඊළඟට අප හමුවේ තබන්නට වෑයම් කළේ 'සතිමත් බව' අනිවාර්ය ඵලයක් වන අයුරුයි.

ඒ කෙසේද යත්.

"විද්‍යාඥයාගේ කාර්යභාරය කුමක් ද?

ඔහු හෝ ඇය සොයන්නේ කුමක් ද?

ඒ සොයන දේ ලැබෙන්නේ කෙසේ ද?

'සෙවීම' (search) පටන් ගන්නේ පළමුව සිතින්. කෙනෙක් තමන්ගෙන්ම අහන්නට පටන්ගන්නේ මම කුමක් ද සොයන්නේ (what am I searching?) යන්න යි.

ඔහුට හෝ ඇයට රසායනාගාරය පළමුව ඔහු සමීපයේ ඔහු සන්තකව ඇති දේ යි. ඒ චින්තනය යි.

චින්තනයේන තොර සෙවිල්ලක් නැති බව වටහා ගත යුතු යි. ඒ නිසා ඉංග්‍රීසි කියමනක් තිබෙනවා no thinking no search කියල. චින්තනයක් හෙවත් හිතිවිල්ලක් නැද්ද සෙවිල්ලකුත් නැත යන්නයි එහි සරල තේරුම. පොරාත් මහතා පෙළගස්වා ඇති හැම කෙනෙකුගේම කාර්යභාරය පිටුපස ඇත්තේ චින්තනය යි. ඒ නිසා ඒ චින්තනයේ විවිධාකාර මුහුණුවර හඳුනා ගැනීමට සිදු වී තිබෙනවා.

මේ චින්තනය හේතුකොටගෙන කෙනෙකුට තම ක්ෂේත්‍රයේ නිපුණත්වයක් ලබා ගැනීමට පුළුවන්කම ලැබෙනවා. මෙය හඳුන්වන්නේ වෘත්තිය නිපුණත්වය (professionalism) යනුවෙනි.

මැනැවින් සිහිකල්පනාව ඇති සන්නිවේදකයා වඩාත් ඉහළ ගණයේ සන්නිවේදන නිපුණත්වය ලබාගන්නවා. ඒ වග පෙන්නුම් කරන්නේ තම තමන්ගේ වෘත්තියට අනුකූල ව යි. මේ නිසා වෘත්තිය නිපුණත්වය හා සතිමත් සන්නිවේදනය අත්වැල් බැඳගෙන සිටින බවක් අපට පෙන්නුම් කෙරෙනවා.

මේ නිසා තමයි සතිමත් බව (mindfulness). සුලබ යෙදුමක් බවට පත් වීම පුදුම නැහැ.

එහෙත් නිතර භාවිතයට පත් වී ඇති ඇතැම් යෙදුම් සුලබ යෙදුම් ලෙස පෙනුණත් ඒවා පිටුපස පවතින්නේ දුර්ලභ ගුණාංග බව අමතක නොකළ යුතු යි.

මේ නිසා සතිමත් සන්නිවේදනය කෙමෙන් සුලබ යෙදුමක් හා න්‍යායක් බවට පත් වුණත් ඒ පිටුපස ඇත්තේ දුර්ලභ අර්ථ සමුදායක් බව අපට වටහා ගැනීමට සිදු වී තිබෙනවා."

Comments