විජේවීරට රුසියාවට යාමට ඩැනියෙල්ගෙන් තල්ලුවක් | සිළුමිණ

විජේවීරට රුසියාවට යාමට ඩැනියෙල්ගෙන් තල්ලුවක්

 

1952 දී කොමියුනිස්ට් පක්ෂයෙන් තරග කොට මාතර මන්ත්‍රීවරයා වූ මහානාම සමරවීර පක්ෂය අත්හැර ශ්‍රී. ල. නි. පක්ෂයට ගියේ සිංහල පමණක් සිය මතය බව කියන තවත් කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයන් පිරිසක් ද සමඟ ය.

1956 මහ මැතිවරණය උදා වූයේ මේ භාෂා ඝෝෂාව ද සමඟය. එ.ජා.ප. අගමැති සර් ජෝන් කොතලාවල සිංහල දෙමළ දෙබසට සමතැන දෙන බව උතුර‍ට ගොස් කීවේය. දින කීපයකට පසු දකුණට ආ ඔහු සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරනා බව කීවේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ඡන්ද පොරොන්දුව වූයේ පැය විසි හතරෙන් සිංහල රාජ්‍ය භාෂාව කරන බවය.

“ඔය පොරොන්දුව රට ලෙයින් තෙත් කිරීමට හේතු වෙනවා.” දොස්තර වික්‍රමසිංහ ජනතාව අමතමින් කීය. බහුතර ජනතාව ඒ හඬට කන්දුන්නේ නැත. ශ්‍රී. ල. නිදහස් පක්ෂය ඇතුළු මහජන එක්සත් පෙරමුණට රටේ බලය හිමි විය. මාතර දිස්ත්‍රික්කයෙන් ම කොමියුනිස්ට් පක්ෂයට හිමි වූයේ අකුරැස්ස ආසනය පවතී. එය ජය ගත්තේ දොස්තර වික්‍රමසිංහ ය.

ඔහු පැවසූ පරිදි 1958 දී රට ලෙයින් තෙත් විණ. ජාතිවාදී ගැටුම් රට පුරා ඇවිළිණ. හදිසි නීතිය පැනවිණ. මාතර සුළු පිරිසක් ආයුධ සන්නද්ධව දෙමළ ජනතාව ඝාතනය කිරීමට සැරසෙන විට ඊලියන් නානායක්කාරගේ ප්‍රධානත්වයෙන් කොමියුනිස්ට් තරුණයෝ ඔවුන් රැකගත්හ. ඊලියන් ගේ නිවසේ, ගෙවත්තේ සති කීපයක් දෙමළ ජනතාව ආරක්ෂිතව සිටියහ. මේ දිනවල ඩැනියෙල් ද ඒ දෙමළ ජනතාව ආරක්ෂා කරමින් මාතරට වී සිටියේය.

මාතර ප්‍රදේශයෙන් දෙමළ අයකුගේ මළ සිරුරක්, තුවාලයක්, ගැන අසන්නට නොලැබිණ. කොමියුනිස්ට් පක්ෂය ඉතා හොඳින් දෙමළ ජනතාව රැක ගත්තේ ය.

කොමියුනිස්ට් පක්ෂයේ කටයුතුවලට මුල් තැන දුන් ඩැනියෙල් සිය පියා සතු කුඹුරුවල වැඩට ද හවුල් වූයේය. ඔහු කුඹුරට යනවිට ඔහු සමඟ වැඩ කිරීම තවත් තරුණ පිරිසක් ද එක්වූහ.

“අපි අද කොමිනිස් ඩැනියෙල්ගෙ කුඹුරේ හානවා” තරුණයෝ කියති.

ඔහු කොමිනිස් ඩැනියෙල් යන නමින් මුළු පළාතම හඳුනයි.

1959 දී ඔහුට තිස්සමහාරාමයේ ගොවිජන සේවා පාලන නිලධාරි තනතුරක් ලැබිණ. ගොවීන් සමඟ සම්බන්ධවීමට ඇති ඉඩකඩ නිසා ඔහු ඒ රැකියාවට සතුටු විය.

මේ යුගයේ පිලිප් ගුණවර්ධනගේ කුඹුරු පනත හම්බන්තොට දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක විය. ඒ පනත අනුව කුඹුරේ අස්වැන්නෙන් ගොවියාට හතරෙන් තුන් පංගුවක් හිමිවෙයි. කුඹුරු හිමියාට හතරෙන් පංගුවකි. කුඹුරු හිමියාගේ වහලකු මෙන් දුප්පත් ජීවිතයක් ගෙවූ ගොවියාට කුඹුරු පනත හොඳ කාලයක් උදා කළේ ය. එහෙත් බලවත් කුඹුරු හිමියෝ සහ ගම්බාරෙලා මැර බලය යොදා ගනිමින් තමාට අවශ්‍ය පරිදි පාවර බෙදූහ. නීතිය කතා කළ ගොවීන්ට මැරයෝ පහර දුන්හ.

මේ අවස්ථාවේදී හම්බන්තොට මන්ත්‍රී ලක්ෂ්මන් රාජපක්ෂ මහ පිරිසක් පිරිවරාගෙන කුඹුරුවලට ගියහ. කුඹුරු හිමියන්ට සහ ගම්බාරෙලාට පහරදී උන්ගේ ආයුධ උදුරාගෙන ගොවීන්ට නීතියට අනුව අස්වැන්න බෙදා ගැනීමට ඉඩ දුන්නේ ය.

ඉඩම් හිමියගේ හතරෙන් පංගුව ඔහුගේ නිවසට යවා, එය ලැබුණු බවට ලියවිලිවලට අත්සන් ගත්තේ ය. මෙය දිගටම සිදු විය.

ඩැනියෙල් මේ සිද්ධි නිසා මහත් සතුටක් ලැබීය. ඔහු ද කාර්යාලයෙන් බැහැරට ගියේය. පාවරවල් අසල බලා සිටියේය. ඔහුගේ කාර්යාල ප්‍රධානීහු ඩැනියෙල්ට අනතුරු ඇඟවූහ.

“ඩැනියෙල් නුඹ රජයේ සේවකයෙක්. ඔය දේශපාලන සටන්වලට එකතුවෙන්න එපා.”

ඉහළ නිලධාරීහු අවවාද කළහ.

“මා දන්නවා. ඒත් මා කොමියුනිස්ට් පාක්ෂිකයෙක්. කොමියුනිස්ට් පාක්ෂිකයා සිටිය යුත්තේ ජනතාව සමඟ. මට නියම තැන එතැන.” ඔහු වැඩිකල් ඒ රැකියාවේ සිටියේ නැත.

රත්ගම, ඕකන්ද ගමේ එම්.ඩී. ආරියවතී 1960 දී ඩැනියෙල් සහායිකාව වූවාය. ඇය සිය සැමියා මෙන් ම සේවයට කැපවූවාය. සිය සැමියා හමුවීමට පැමිණෙන විවිධ වර්ගයේ අමුත්තන් පිළිගෙන ඔවුන්ට ආහාර පානවලින් සංග්‍රහ කළේ ඇයයි. ආරියවතී සහෝදරියයි. ඇගෙන් බත් කටක් නොකෑ කෙනෙක් මාතර වමේ ව්‍යාපාරයේ නැත. සිය දූ පුතුන් සිවු දෙනා ද හදා වඩා ගනිමින්, නිතර අරගල හා ගැටුම්වලට මුහුණ දෙන සැමියා රැක බලා ගත්තාය. ඈ ගත කළේ කටුක ජීවිතයකි. එහෙත් ඇය එය කටුක බව කීවේ නැත. ඒ සියලු දුක් ගැහැට ඇය සතුටින් පිළිගත්තා ය.

අභ්‍යාවකාශයට ගිය ප්‍රථම මිනිසා වූ රුසියානු ජාතික යූරි ගගාරීන් 1961 දී ලංකාවට ආවේ ය. ඔහු මාතර උයන්වත්ත පිට්ටනියේ දී පිළිගැනීමේ උලෙළක් පැවැත්විණ.

එහිදී ඔහු රතු මල් මිටකින් පිළිගනු ලැබූයේ ඩැනියෙල්ගේ බිරිය වූ එම්. ඩී. ආරියවතී විසිනි.

1966 එක් දිනෙක ඊලියන් නානායක්කාර ඩැනියෙල් ද සමඟ කෝට්ටේගොඩ ලුණු කලපුවට ගියේය. 1947 දී එ. ජා. ප. මැර ප්‍රහාරයකට ලක්ව අබ්බගාතයකු වූ දොන් අන්දිරිස් විජේවීර ඔහුට එහිදී හමු විය. මැරයන් ඔහුට සිමෙන්ති මිශ්‍ර කොට වතුර පොවා තිබිණ.

ඔහු ඊලියන් ඇමතුවේය.“සහෝදරය, උන්ට වුවමනා වුණේ මා නිශ්ශබ්ද කරන්න. සිමෙන්ති කවල උන් කරන්න හැදුවෙ ඒකයි. ඒකෙන් මගේ හිත තවත් කොමියුනිස්ට් වුණා. කවදාවත් මම කොමියුනිස්ට් පක්ෂයෙන් පිට යන්නෙ නැහැ. ප්‍රේමලාල් කුමාරසිරි සහෝදරයා අපට උගන්නපු කොමියුනිස්ට් වාදය අපි අමතක කරන්නෙ නැහැ. කවදහරි මේ රටේ සමාජවාදය ඇති වූ දාට තමයි අපි වගේ පහළ පන්තිවල අයට සැනසිල්ලක් ලැබෙන්නේ.”

ඊලියන් ඔහු වැතිර සිටි ඇ‌ෙඳ් කෙළවර හිඳ ගත්තේ ය. කෙට්ටු ගැටවරයෙක් ගෙතුළ සිට එළියට ආවේය.

“සහෝදරයා මේ මගේ පුතා. නන්දසිරි. දැන් සාමාන්‍ය පෙළ ලියලා ප්‍රතිඵල බලාගෙන ඉන්නේ. සහෝදරයා මගේ පුතා බාරගන්න. මට දැන් දේශපාලන වැඩ කරන්න බැහැ. මගේ පුතාට දේශපාලනන රැස්වීම්වල කතා කරන්නත් පුළුවන්. පුතා ඒවාටත් යොදවන්න, අන්දිරිස් කීය.

“මම කැමැතියි. පුතා මගේ ළඟට ගන්නම්. හෙටම එවන්න. මම එයාගෙ ඉගෙනීමට උදව් කරන්නම්...”

පසුදා උදෑසන ඒ දරුවා ඊලියන් ගේ නිවසට ගියේ ඩැනියෙල් සමඟ ය. වසර කීපයක්ම ඒ නිවසේ සිට අධ්‍යාපනය ලැබූ ඔහු රුසියාවේ ලුමුම්බා විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළු විය. පසුකලෙක රෝහණ විජේවීර නමින් ප්‍රකට වී ජනතා විමුක්ති පෙරමුණ පිහිටා වූයේ ඒ දරුවා ය.

1960 මහ මැතිවරණ දෙකක් පැවැත්වීණ. 1960 මාර්තු මැතිවරණයෙන් එ. ජා. ප. ය ජය ලබා රාජාසන කතාවේදී පැරදිණි. ඒ වර්ෂයේම ජූලි මාසයේදී තවත් මැතිවරණයක් පැවැත්විණ. එහිදී ශ්‍රී. ල. නි. පක්ෂය ආසන 75 ක්, සමසමාජ පක්ෂය ආසන 12 ක් කොමියුනිස්ට් පක්ෂය ආසන 4 ජයගනී. ඒ පක්ෂ තුන තරග කළේ සමගි පෙරමුණක් වශයෙනි. මේ යුගයේ වාමාංශික පක්ෂ පමණක් එක්ව මැතිවරණය මඟින් රාජ්‍ය බලය ලබාගෙන සමාජවාදී සමාජය බිහි කළ යුතුය යන මතය වමේ ඇත්තන් අතර පැතිරිණ.

මාතර දිස්ත්‍රික්කයේ ද මෙය සාකච්ඡා විය. ඩැනියෙල් සිය පාක්ෂිකයන් අතර මේ මතය වපුළේය.

සමසමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය, පිලිප් ගුණවර්ධනගේ මහජන එක්සත් පෙරමුණ පක්ෂවල ඉහළ පහළ සියල්ලෝ මේ මතය දැරූහ. ඒ අනුව 1964 ගෝල්පේස් පිටියේ දී පිලිප්, දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ සහ ඇන්.ඇම්. පෙරේරාගේ ප්‍රධානත්වයෙන් වාමාංශික එක්සත් පෙරමුණේ මංගල රැස්වීම පැවැත්විණ.

දස දහස් ගණන් වැඩ කරන ජනතාව තුටු කඳුළින් තෙත්විය. සමාජවාදී ශ්‍රී ලංකාවේ ආරම්භය අද යයි සිතූහ.

“ආසියාවේ ඊළඟ සමාජවාදී රාජ්‍යය ශ්‍රී ලංකාවයි” කෙනකු කියනු ඇසිණ.

“ඔව්, සහෝදරයා එය විය හැකියි” ඩැනියෙල් පිළිතුරු දුනි. “අහෝ! ගෙවී ගියේ දින කීය ද?

අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක ඇමැති මණ්ඩලයට එක්වන්නැයි සමසමාජ පක්ෂයට ආරාධනා කළා ය. සමසමාජ නායකයෝ කඩාගෙන බිඳගෙන ඇමැති තනතුරු ලබාගැනීමට දිව ගියහ.‍

1964 ජූනි මාසයේ ශ්‍රී. ල. නිදහස් - සමසමාජ සභාග රජය බිහිවිය. සමසමාජ නායක ඇන්.ඇම්. පෙරේරා මුදල් ඇමැති විය. අනිල් මුණසිංහ ප්‍රවාහන ඇමැති විය. ඇමතිකම් කිරීමට ඉඩ ලැබුණේ මාස පහකි. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු 14 දෙනෙක් විපක්ෂයට ගියේය. ඒ අය අතර මාතරින් ආ මහානාම සමරවීර ද විය.

ඩැනියෙල් ගේ කුටියේ රාක්ක දෙකක් ම පිරී තිබුණේ රතු පොත්වලිනි. මේ පොත්වලින් හෙළි කරන ලොව කරා මේ දේශය ගෙන යන්නට මා මෙතෙක් කළ කටයුතුවලින් කිසි පලක් වුණේ නැහැ. මා සමඟ සිටින නායකයන් මේ පොත් දෙස බලන්නේවත් නැහැ. උන්ට වුවමනා පාර්ලිමේන්තු යාම පමණයි. නව ලොව දෙස බලන විට පෙනෙන්නේත් අපට ගැළපෙන මග හෙළිවන්නේ චීනයෙන් බව. මා‍ඕගෙන් බව. මාඕ චින්තනය... මගේ රටට ගැළපෙන මාර්ගය... ඩැනියෙල් කලෙක සිට මාඕගේ පොත් රාශියක් කියවූයේය. දින කීපයක්ම සිය කුටිය තුළ සිතමින් සිටි ඔහු එක් දිනෙක කොළඹ ගොස් කොමියුනිස්ට් පක්ෂයේ ෂන්මුගදාසන් හමු වූයේය. “ඔබ ගැන මා හොඳින් දන්නවා.” ඔහු ඩැනියෙල් පිළිගත්තේ සතුටිනි. ෂන් සමඟ වතුකරයේ ඇවිද ආ ඩැනියෙල් කම්කරුවා පුවත්පතට කම්කරු ප්‍රශ්න පිළිබඳව ලිපි පෙළක් ලීවේ ය. ගොවි ප්‍රශ්න කීපයක් ලීවේය. ධීවරයන් අතරට ගොස් වැඩ කිරීමෙන් කොමියුනිස්ට් පක්ෂයේ චීන පිලට ඔවුන් සම්බන්ධ කැර ගත්තේය.

වැඩ කරන පන්තියේ ජනතාව දිනා ගැනීමට ඩැනියෙල් සතු අපූරු ශක්තිය ෂන්මුගදාසන්ට වැටහිණ. සිය පක්ෂයට ඔහු හොඳ ආධාරකරුවෙකු බව පෙනිණ.

මේ නිසා ඩැනියෙල් චීනයට යවා දේශපාලන කටයුතු පිළිබඳ පුහුණුවක් ලබාදීමට ඔහු සිතුවේය.

ඩැනියෙල්ට වාර්ෂික පුහුණුව සඳහා චීනයට යාමට අවස්ථාව ලැබිණ. ඔහු මහත් සතුටින් චීන සහෝදරවරුන් සමඟ වැඩ කෙළේ ය. කම්හල්වල, ගොවිපොළවල ජනතාව සමඟ ඔහු සම්බන්ධවී කටයුතු කෙළේය. පක්ෂ පාසල චීන විප්ලවයේ විවිධ අවස්ථා පෙන්වා දුන්නේය. විප්ලවයට සම්බන්ධ වූ මහලු ගොවීන්ගේ කතා අතිශය හෘදයාංගම විය. ඔවුන්ගෙන් කියැවුණේ දුකෙන් සැපට ආ සිටිය.

සභාපති මාඕ සේතුං සහෝදරයා හමුවීමේ භාග්‍යය ද ඔහුට ලැබිණ. එය ඉතා කලාතුරකින් ලැබෙන්නකි. පක්ෂ පාසල් ප්‍රධානියා මඟින් ඔහු චීන වචන කීපයක් අහුළා ගත්තේය. “සභාපති මාඕ සේතුං සහෝදරය, ශ්‍රී ලංකාවේ ගොවි කම්කරු ජනතාව වෙනුවෙන් මා ඔබට දීර්ඝායුෂ පතනවා” චීන බසින් මෙය කී විට මාඕ ඩැනියෙල්ගේ උරහිස අල්ලා සොලවා සිනා සී සිය සතුට පළ කෙළේ ය.

ශ්‍රී ලංකාවේ ගොවි කම්කරු ජනතාවට ද සුබ පැතුවේය.

“මගේ ජීවිතයේ වැදගත් ම මතක සටහන එයයි.”

චීනයට ගොස් පැමිණි පසු ඩැනියෙල් කළ මුල් ම කටයුත්ත වූයේ සමස්ත ලංකා ගොවි සම්මේලනයේ සභාපතිවරයා හමුවීමට අනුරාධපුරයට යාමය.

ඒ ගොවි සම්මේලනය ඇරැඹුණේ දොස්තර ඇස්.ඒ. වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් 1942 දී ය. රදළ ඉඩම් හිමියන්ගේ ගොවි ජනතාව රැකගෙන, ඔවුන්ට ඉඩම් ලබාදීමේ අරමුණෙන් ඇරැඹුණු සටන්කාමී සංවිධානයක් වූ එය ඓතිහාසික කාර්ය භාරයක් ඉටු ‍කළේ ය. ගොවීන්ට ඉඩම් ලබාදීම සඳහා ක්‍රියාත්මකවූ අරගලය අරකාවිල සටන නමින් ප්‍රකට විය. 1965 සිට ඔහු ගොවි සම්මේලනය සමඟ සිටියේය. වසරෙන් වසර ගොවි ජනතාව රජයෙන්, වෙන්ව ඉඩම් හිමියන්ගෙන් වෙනත් බලවතුන්ගෙන් පීඩාවට හසුවන අයුරු ඩැනියෙල්ට පෙනිණ.

1980 න් පසු ඒ තත්ත්වය වඩාත් බරපතළ විය. කුඹුරු අක්කරයකට රුපියල් 100 ක ජල බද්දක් අය කිරීමට එ. ජා. ප. රජය තීරණය කෙළේ ය. ඊට එරෙහිව විරෝධතා රැල්ලක් ගොවි සම්මේලනයේ මෙහෙයවීමෙන් ඇරැඹිණ. ඩැනියෙල් සිය සහෝදරවරු සමඟ රට පුරා ඇවිද්දේ “වතුර වෙනුවෙන් අපි ලේ වතුර පුදමු” යි කියමිනි. මේ සටන් පාඨය අති බලවත් විය. රජය ජල බදු පත්‍රිකාව අකුලා ගත්තේ ය. (තවත් කොටසක් ලබන සතියේ)

 

Comments