රන් කෙන්දෙන් සීරාවක් | සිළුමිණ

රන් කෙන්දෙන් සීරාවක්

 

පරිසරය රක්ත වර්ණ කරමින් හිරු බැස යමින් තිබූ මන්ස්කාන්ත වූ යාමයකි. රාස්සිගේ රත් පැහැති අවු කැරලි පාර පුරා ඉහිරී ගොස් තිබිණ. ඒ අතර සෙවණැලි අඳිමින් සීරුවට පියවර තබමින් ඇවිද යන්නට වූයේ අවුරුදු විසි තුනක් වේදිකාව සමඟ ඔට්ටු වෙමින් නාට්‍යය නිර්මාණයේ සහ රංගනය යේ නියැලෙමින් සිටින්නා වූ ශෙනූලි මධුරාවෙල ය. ගාල්ල මහ වීදිය ඔස්සෙ පැමිණ පෙට්ටිගල දිසාවට පා ගමනින් යන්නට වූයේ හුරු පුරුදු ලෙසය. එසේ ගොස් නාවික හමුදා කඳවුර ළඟින් ගාලු, මාතර ප්‍රධාන පාරට පැන, යළිත් ගාලු දිසාවට යන බසයක නගින්නට විය.

බස් ගමනින් කෙටි දුරක් පැමිණ ගාලු නගරයෙන් බැස ගත් සෙනූලි මදුරාවෙල කොටුව දිශාවෙන් සමනළ පාලම කරා පැමිණ උද්‍යානයට ඇතුළුව එහි විසල් නුග තුරක් යට එරමිණිය ගොතා ගෙන

හිඳ ගනිමින් තම නාට්‍ය ය පිටපත ගෙන එය පිරික්සා බලමින් පිටපතෙහි යම් තැන් සකසමින් කියන්නට විය.

තම නිවහන තුළදී නාට්‍යය පිටපත සැකසීමට නොහැකි නිසාවෙන්, ගෘහය නම් වේදිකාව මත සැබෑ රංගනය ට ඉඩ හසර සකසාගෙන යා යුතුව තිබිණ. දරුවන් තිදෙනාත් සැමියාත් වෙනුවෙන් එදා පටන් කළ සියළු කටයුතු නිම කිරීම තමාට නියත වූවකි.

ඇය සිහින් සිරුරක් සහිත තලෙළු පැහෙයෙන් යුතු සුන්දර ගැහැණියක් විය. ඉඟතෙක් ඇති කිරි සුදු කොණ්ඩයත් නිකට යටින් වල ගැසීමත් නිසා ඇගෙ සිනහව ඉතා සුන්දර වූවකි. ගෙල පෙදෙසෙහි ඇති උපන් ලපය ද ඇයට ආකාර්ෂණීය බවක් එක්කර තිබිණි .

" හලෝ මැඩම්..තාම මෙතන ද ? "

වයස අවුරුදු තිහක පමණ සුදු පැහැ කඩවසම් තරුණයෙකි. ඔහු වෙතින් විහිදෙන්නාවු හුරු පුරුදු විලවුන් සුවඳකි. තද දුඹුරු පැහැ ඩෙනිමක් සහ සුදු පැහැති ටී ෂර්ට එකක් හැඳ හුන් ඔහු වෙතින් හුරු රුවක් තම ඇස් මානයේ මැවෙමින් යන්නට විය. ඒ, මුහුණ ඔහු වගේමය.

" හලෝ මැඩම්...ඔයාගෙන් අහුවෙ මම.."

" ඔව් කියන්න මොකක් ද මගෙන් දැන ගන්න ඕන මාව දන්නව ද..?"

" ඔයා නාට්ටිකාරිනෙ මොකෝ නොදන්නෙ වේදිකාවෙ ඔයා දැකල තියනව..මම.

රිහසල් ඉවර වෙලා හැමදාම මෙතෙන්ට එනව නෙ "

" ඕ...ඔයා කොහොමද ඒක දන්නෙ.."

“මාත් මෙතෙන්ට එනව මැඩම් හැමදාම ජිම් ගිහින් එද්දි. හරිම ලස්සනයි මෙතන. මනසට සැහැල්ලුයි. මොකද මගෙ රස්සවට මානසික සුවය ඕන... ඒක හරි සියුම් වැඩක්.. මම රිදී ජුවලරි හදන්නෙ ඒව ජර්මන් අරන් යනව මාස හයෙන් හයට ... ඉතින් බිස්නස් වුණත් පිස්සුවක් වෙලාවකට .

හිත නිදහස් කර ගන්න මෙතෙන්ට එනව . ඔය යන්නද හදන්නෙ මැඩම්.....මගෙ කා එකෙන් ඩ්රොප් කරන්න පුළුවන් කැමති නම්..."

" ස්තුතියි !

හඳුනා ගැනීම සතුටක්. ඕන නෑ මට යන්න පුළුවන් "

ශෙනූලි මධුරාවෙල අඳුර අතින් ගෙන කඩිසරව පාරට පැමිණිය ද සිත ඔහු ළඟය. ප්‍රශ්න කෝටියකි. ඒ දිගු කන් පෙති, පළල් වූ නැහැය සේම තද කළු පැහැ තියුණු නෙත් ද, ඒ ඔහුම නොවේ ? ජීවිතයට හමු වූ ආදරණීය ම මිනිසා ඔහු නොවේ ද...මේ එදා ඔහුම ය, අද ඔහු කොහි සිටිනු ඇතිද ..?

අතීයට පැවරී ගිය වෙනම කතාවක් අහඹුව මෙසේ යළි මැවීම පුදුමයක් ම විය. මේ කොල්ලට ඕන්නම් තිස් පහක් ඇති . රැවුල කොටට යම් මට්ටමක් ඉතිරි වනසේ කපා තිබීම ඒ මුහුණ ට කදිමට ගැලපෙන්නකි. අතරින් පතර ඉදී ගියා රැවුල් ගස් කීපයක් මද අඳුරේ වුව ඇගෙ ඇස් වලට හසුව තිබිණි .

ගාලු කොටුට එපිටින් හෝටල් පෙළ සහ උසාවිය පසුකර ගිය ඇය ෆෙඩ්ලර් වීදියේ පිහිටා තිබූ පැරණි පන්නයේ තම නිවස කරා පිවිසියේය .

" චූටි දූ කෝ තාත්තට කතා කරන්න කෑම නිවෙනව .."

ඇයට නතු වූ දියණිය මොහොතකින් ඈ අසලට පැමිණ ..

" අම්මෙ තාත්තා රෑවෙලා කනව කිව්ව බිල් ගොඩක් තියනවලු චෙක් කරන්න.."

" හ්ම්ම් හරි එහෙනම් ඔයාගෙ සුදු ගවුම් දෙකක් ගේන මම අයන් කරන්න .."

මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා සූදානම් වන තම බාල දියණිය ගේ සුදු ගවොම් මැද තැබූ ඇය නිදන කාමරය යන්නට විය.

තම සැමියා නාට්‍ය කලාව ගැන තියා තමා ගැනවත් අවධායක් නැත්තෙකි.

ගෙවී යන්නා වූ මේ දිනවල තමා විසින් පුහුණු කරන බත්කූරා, නාට්‍ය වේදිකා ගත කිරීම සඳහා තවත් මාස එකහමාරක කාලයක් තිබිණ . තමාගේ පන්ති සහ පුහුණු කිරීම් තුළ තමන් තෘප්තිමත් වන්නා වූ එකම දෙය විය. සියල්ල විනිවිද නොවූව ද, ආගන්තුක වූ තරුණයා තම සිතට යළි යළිත් එබෙන්නට විය. ඔහුට ප්‍රේම කරන්නටත්, එම රැවුල් කොට සහිත මුහුණ සිපගන්නටත් ඇත්නම් ..‍යැයි ඇයගේ සිත නුහුරු තාරුණ්‍ය ප්‍රේමවන්තියක සේ ගැහෙන්නටත් ප ප්‍රමුදිත හැඟුමන් පිරී යන්නටත් පටන් ගෙන තිබිණි .

“මට පිස්සු...මේ ප්‍රියන්ජන නෙවෙයි

ඔව් එයා මේ රටේවත් නෑ... ඔහු ගැන ආරන්චියක් නැතිව වසර දාහතරක් ගෙවී ගොසිනි. සියලු පැටලීම් ද, ප්‍රශ්න ද සඟවා ගෙන නුහුරු සුසුමකින් පපුව පුරවා ගනිමින් ඇය සයනය ට වැදුණාය.

පසු දින උදැසනින් ඇහැරුණු ශෙනුලි මධුරාවෙල තම නිවසේ කටයුතු නිමා කළේ වෙනදාටත් කලියෙනි. ඉන් අනතුරුව නාට්‍ය පිටපත ද රැගෙන ප්‍රදීපාගාර වීදිය ඔස්සේ පාගමනින් පහළට බැස ගමන් කරන්නට වූයේ පුරුදු කර මල්ල උරයෙහි හොවා ගනිමිනි.

ඇයට කිසිදු අරමුණක් නොවීය. වෙරළට අනෙක් පසින් පාර අයිනේ වූ කෙටි පැති බැම්මක ඈ හිඳ ගත්තාය. එහා මෙහා යන දෙනෝදාහක් අතරින් කොයි මොහොතේ හෝ ආගන්තුක ඔහු එනු ඇතැයි ඈ සිතුවාය.

ප්‍රියන්ජන මින් වසර දහ අටකට පෙර තමන් විසින් නිර්මාණය කරන ලද බ්‍රමණය, නාට්‍යයේ තමා නටාශා නම් පෙම්වතිය ව හුන් කලෙක මාලක නම් පෙම්වතාගෙ චරිතය හරහා පැමිණ සැබෑ පෙම්වතාය.

එම රහස අදටත් නිධන් ගතය. ඒ නිසා තවමත් යහතින් පවුල් කන වග ඇය හොඳින් දැන හුන්නාය.

" ඊයෙ අපරාදෙ අර කාර් එකෙන් නොගියෙ "ශේනූ ගේ යටි සිත එසේ මොරගාන්නට විය.

ඔහු හැමදාම එනව නම් අදත් ඒවි..

වෙනදා මෙන් නොව තමා ඕනෑකමින් වට පිට බලන වග දැනුන ඇයට ම ලැජ්ජාවක් ඇති වුව ද එය මොහොතක් පමණි. සුපුරුදු පිටපත අතෙහිය. කියවන කිසිවක් නොව හිත වෙනතකය. මෙය සුදුසු ද නැද්ද .. ඒත් මෙය නිමේශයක් පමණි . සියල්ල සීතල සුළඟට නතුය. සොබාදම එය නම් වැලඳ ගනු හැර කුමක් කළ යුතුද... සියල්ල පාකර දමමි. අලුත් සුසුමට ඉඩහරිමියි. ඈ තරයේ සිතූවාය.

" හලෝ මැඩම්..අද කලින්ම ඔයා එනව දැක්කා..මම,

ජිම් එකේ ඉද්දි ජනේලෙන් මට පේනව ඔයා එනව හවසට.

දැන් මාස හතර පහක් ඔයාව එනව දකිනව. අහඹු දවසකයි ඔයා

නො එන්නෙ නේද මැඩම්.."

අසල වූ නුග තුරට හේත්තුව තම මුහුණ ට එබී ගත් ඔහුගේ හඬය .

" ඔයා පාරෙ යන ගෑණු බලනව ද ?

ජිම් ඇවිත්.."

" හ්ම්ම් ඔව් ගෑණු කිව්වට ඔයා...

වගෙම ඔය ... කෙල්ලො දිහාත් බලනව.

ඒ වුණාට ඔයා එනකම් බලන එක පුරුද්දක් වෙලා. ඒ උනන්දු ව ටිකක් වැඩියි මගෙ හිතේ ."සන්ධ්‍යා ව දුරින් විය. සිසිල් සුළඟෙහි පවා සිරුර රත්ව ඇතුවාක් මෙන් ඇයට හැඟෙන්නට විය.

" මැඩම්..අපි හොඳ යාළුවොනෙ. මොනව හරි බොමු ද.. කැමති නම් ටිකක් එහාට යමු "

ඔහුගෙන් ආයාචනාත්මක ඇරයුමකි.

" ඔව් යමු. කොටුවෙන් එළියට යමු ."

ඇය නොපැකිලව වදන් පිට කරන්නට විය. ඔහුගේ මෝටර් රථය කරා ගිය ඇය ඉදිරිපස අසුනෙහි හිඳුවා ,ඔහු රියදුරු අසුනට පැමිණ ගාලු කොටුවෙන් නික්මිණ. ඔවුන්ගේ නැවතුම වූයේ ඇය කෝපි බොන්නට පැමිණෙන හොට් ඇන් කූල්, නම් කුඩා අවන්හලය.

" මැඩම්...ඇයි නිහඬ..කියන්න

ඔයා ගැන "

" මොනව කියන්නද...ස්තුතියි ඩිනර් එකට. "

"අනේ ඒක මොකක් ද..."

ඔහු ඇගේ අත මත අත තබා පිරිමදිමින් සෙනෙහසින් ඇය දෙස ඉදිරි පස කණ්ණාඩියෙන් බලාගෙන වාහනය පදවන්නට විය. සිහින් අන්ධකාරය ට ඉඩ හැර ඔවුන් දෙදෙන සමුගෙන යන්නට විය.

රාත්‍රිය උදාවෙහි සයනයට ගියද ශේනූ ප්‍රමෝදයට පත්ව උන්නාය. සන්ධ්‍යාව මොනතරම් මනරම් වීද යන්න සිතා ගත නොහැකි විය. ඇය අදට වඩා හෙට ඔහුට ළංවීමට සිතුවාය.

ප්‍රේමණීය ආශ්වාදයෙන් තම සිරුර ගැහෙමින් ගෙවු තප්පර ගණන දරා හුන්නාය. යළි එය සිහිපත් කරමින් හිඳි ඇය කලින්ම නිදි ලොවට පිවිසියා ය.

පහුවදා හිමිදිරිය දෝතින් ගෙන අවදි වූ ඇය සැමියාට අවශ්‍ය යකි නාරං කොළ, ඔසු කැඳ සකසා තැබීමෙන් දවස ඇරඹී ය. දිගු දහවලට ඇදී යන්නට හැර නාට්‍ය පුහුණුව සඳහා කළින්ම නික්ම ගිය ඇය

රංගනය සඳහා තම කණ්ඩායමට අවැසි ඇඳුම් නිර්මාණය ගැන කතිකා කරමින් හිඳ පුහුණු වීම් කණ්ඩායම ට පවරා නික්ම යන්නට විය. ගාලු නගරයේ කලබල කාරී බවත් වියලි සුළඟත් අතර සිය කටයුතු නිම කළ ඇය සෙමින් සෙමින් සමනල පාලම මතින් උද්‍යානය කරා පිවිසිණ.

නාට්‍යය පිටපත අතට ගන්නට කර මල්ලට අත පෙව්වා පමණි.

" මැඩම්...අද කලින්ම ආව නේද "

" ආ....ඔව් අද නාට්‍යයට ඕන ඇඳුම් වලට

රෙදි අරන් තියන්න ෂොප් එකට ආව.."

" මැඩම්...."

වට පිට බලා ඇය අසලට පැමිණි ඔහු එක් වරම ඇගෙ උරහිස මත දෑත තැබුවෙ කිසිදු පැකිලීමකින් තොරවය. කාලය මායාවකි. එම ක්ෂණය තුළ ශේනූගේ ශරීය උණුසුම්ව ගැහෙමින් විය. ඔහු හා තුරුළු වන්නට තවත් පමා නොවිය යුතුය. මේ නිමේශය මඟහැර ගත හැකි ද ඒත් නාඳුනන මොහු කවුරුන් ද..

සියළු ප්‍රශ්න වලට ගොළුවන්නට හැර තම දෙනෙත් වසාගත් ඇය ඔහුට ඉඩ හැර සිටින්නට විය

" මැඩම්..තරහද...? "

ඔහු මුදු ස්වරයෙන් විමසයි

" නැහැ මං දන්නෑ ඒත් මට ශේනු කියන්න මම ඒකට ආසයි ..."

" හරි ශේනූ අපි මොනව හරි බොමු ද ? ටිකක් එහාට යමු .

“ඔයාගෙ ගෙවල් මෙහෙද..."

" ඔව් මම මේ අවට. ඔයා කොහෙද ..? ."

" මම අම්බලන්ගොඩ ගාල්ලෙ .

මෙහේ ජුවලරි ශොප් එකේ අලුත් වැඩියා කටයුතු නිසා තමයි ගාල්ලෙ ඉන්නෙ..."

පෙර දින දෙකක මද වෙලාවක් හෝ ඔහු හා ගෙවුනද කිසිදු තොරතුරක් හුවමාරු නොවීය. ඔහු අවිවාහක පිරිමිකු බවත් මේ වන විට කෙල්ලන් දෙදෙනෙක් හා පෙමින් වෙලුනද ඒව අසාර්ථක වූ හැටිත් ඔහුගේ මෝටර් රථයට නැඟුණු ඇයට දැනගන්නට ලැබිණ. මේවන විට ඔහු කාන්තාවන් තිදෙනෙකු හා යහන් ගතවූ බවත් ඔවූන් ගේශාවන් නොවන අතර අසුරු කිරීම් මත සිදු වූ දෑ බවත් ඇයට ඔහු නොපැකිලව පැවසීය. ඒ සියල්ලන්ටම වඩා ඇය කෙරෙහි උපන් ප්‍රේමාන්විත බවත් ආශාව ගැනත් තෙපලමින් උණවටුණ ප්‍ර ‍ෙද්ශයේ වෙරළ ආසන්න යේ වූ අඳුරින් වැසීගත් කුඩා අවන්හලක් වෙත ඔවුන් ගොඩ විය.

එහිදී උණුසුම කෝපි පානයකින් අනතුරුව ඔහු වෙන් කළ කාමරය වෙත කුහුලක් මවා පාමින් හුන් ඇය ප්‍රීතියෙන් පිවිසෙන්නට විය ..

අහඹු කෙටි ඇසුරකින් මෙවන් ගැඹුරකට, ආශ්වාදයකට යා හැකි ද..

ප්‍රේමය හුදෙක් හැඟීමක් ද ?

නැත එහෙත් මෙයට කිනම් අරුතක් දිය හැකි ද..?

සියලු ප්‍රශ්නත් පිළිතුරුත් නිමා කර කාලයේ පමාව අතර නික්ම යා යුතු හෝරාව ළංව තිබිණ. ප්‍රේමාන්විත සිප වැළඳ ගැනීමකින් පසු ඔවුන් මෝටර් රථය කරා පැමිණියේ ය.

" ශේනූ ඔයාට කියන්නමයි උන්නෙ. මට හෙට රෑ ප්ලයිට් එක... සමාවෙන්න කලින් කියන්න බැරි වුණා.

ජර්මන් යන්න වෙනව මාස හයකට, ආවම ආයෙ එනව ඔයා බලන්න.. ප්‍රොමිස් සුදූ ."

"ඔයා නරකයි බොරු කාර‍යෙක් ගෑණු රවටගන්න ආකර්ෂණය භාවිතා කරන්නෙක් ඔව්...." කියවීම් බොහොමයක් අතර ඔවුන් ආපසු ගාල්ල කරා පැමිණෙන්නට විය.

" නැහැ අපි හමුවෙන්න පමා වුණ එකයි වෙනස . මට රට යන්න කාලෙ

ළං වුණා. සුදූ... ගිහින් ඔයාට කෝල් කරන්නම් මම. නම්බර් එක දෙන්න..."

ඔහු ද යම් වේදනාවකින් මෙන් ඇය දෙස බලා හිඳ වාහනයෙහි වේගය බාල කරමින් ඇගේ දෙතොල සිප ගනිමින් .....

" මගෙ කෙනෙක් ඔයා ළඟ තියල යන්නද..? "" කවුද ?“

ඇය තරහින් විමසන විට ඔහු ඇගේ මුහුණ ට එබී හිණැහෙන්නට වූ අතර නැවතත් වාහනය වේගය වැඩිකරමින් ගාල්ලට පැමිණ ශරීර යෝග්‍යතා මධ්‍යස්ථානය අසල වාහනය නතර කර ඉන් බැසගත් ඔහු ඊට ඇතුළුව පෘෂ්ඨිමත් ලෙස වැඩුණු බල්ලෙකු සමඟ යළි පැමිණ ඌ, මෝටර් රථයෙහි පිටු පස අසුනෙහි ඉන්දවා හිණැහෙමින්...

“මෙයා තියා ගන්න පුළුවන් ඔයා කැමති නම්. ..මම ආයෙ එනකම් .හැබැයි පරෙස්සමින් බලාගන්න පුළුවන් වෙන්න ඕන..."

" අනේ මට බෑ ...මම බල්ලන්ට බයයි .

ඔයා ආවත් නාවත් මට මතක තියේවි.

මම යන්නම්. ඔයාට ජේසු පිහිටයි..."

ඇය නොපෙනී යන තුරුම මෝටරථය නතර කරගෙ හිටි ඔහු නික්ම යන්නට විය. කිහිපවරක් පසුපස හැරෙමින් ගිය ශේනූ හට මනස සන්සුන් නොවීය. සියල්ල පැටලී ඇත. ඔහු ගැන කියූ තතු බොහෝය .ආදරණීය වූ ඔහු බොරු කාරයෙකි. ගැහැණුන් රවටා ඔවුන් හා යහන් ගත වන්නෙකි. ඇය සිතින් ප්‍රශ්න කරමින් ද පිළිතුරු ද තමා විසින් සපයමින් අඳුරෙහි නිවෙස කරා පැමිණෙන විටත් ඇයට දරුණු හිසේ ඇම්මක් හටගෙන තිබිණ .

දිගු රාත්‍රියකින් පසු උදෑසන සයනයෙන් නැඟිට ගත නොහැකිව මේ රිදුම් දෙන්නේ ශරීරය ද ..? සිතද ? යන්න ඇයටම පැටලීම් සහගත විය. එහෙත් පෙරදා ඔහු වෙතින් ලද සෙනෙහස , උණුසුම කෙසේ නම් අමතක කරන්න ද..

ඔහු තමාට ප්‍රේමයෙන් වග මවා පෑමක් වුව ද ඇය යළි ඊට ප්‍රිය කිරීමටත්, ආදරය කිරීමටත්, ඔහු එතැයි බලා හිඳුමටත් සිත හදාගන්නට හුරු විය. රැවටීම මේ තරම් සතුටක් නම් ඒ රැවටීමටත් ඈ පෙම් කළාය. හීයක් බඳුව කාලය ගෙවෙමින් තිබිණ.

සමනල පාලම, උද්‍යානය ,ඒ ප්‍රේමණීය බව හා උණුසුම කිසිදා අමතක නොවනු ඇත. දැන් ඇය බල්ලන්ට ද ආදරය කරන්නට පටන් ගෙන තිබිණ. එදා ඔහුගෙ බල්ලා තමන් ළඟ තබා ගත්තා නම් අනිවාර්යයෙන් ඔහු යළි හමුවණු ඇත. දැන් තමා ළඟ ඇත්තේ සිතුවිල්ලක් පමණි.

සැමියාගේ බැනුම් වලට පවා ඉඳහිට ලක් වන්නට ඇයට සිදු විය. දැන් ..අවසිහිය දැයි , විමසමින් බැනුම් ඇසුවා ය.

වෙනදා සේම එදින සවස ද ගාලු ප්‍රදීපාගාර වීදිය දිගේ පහළට ඇදෙන ඇය සිත හිස් ය මුහුදු රළ දෙස බලා හිඳ නාට්‍ය පිටපතද ගෙන යළි පිටව යන සවසකි...එසේ ගෙවූ දින මාස පහක් පමණ වන්නට ඇත.

" මැඩම්..ඔයා මෙතන..?

“කොයිතරම් හෙව්ව ද මම ඔයාව“

සමනල පාලම ළඟ මම දවස් කීපයක්ම බලා උන්න.."

" දෙයියනෙ මේ ඔයා ද ?... ආවද..ඔයා ...."

වස්සානය ගෙන ඔහු පැමිණ ඇත. කොට්ටම්බා වියන තුටින් රඟන්නක් බඳුය සිලි සිලි නළ රැඟුමකි. මුහුදු රළ එසැවෙමින් තුටින් පැන් ඉසලන සේය. වෙරළ මතට ගිය ඔවුන් සමඟ ඔහුගේ ආදරණීය මිතුරු ලැබ්රඩෝ වර්ගයේ සුනඛයා ද විය. ඌ මුහුදු රළ වෙත පණිමින් එහි ඇවිද යන්නා වූ ගැහැණුන් හා මින්සුන්ගේ ඇඟෙ හි එල්ලෙමින් දඟලන්නට වූයේ ප්‍රීතියෙනි. සුනඛ සුරතලා නිසාවෙන් අවට හුන් කීපදෙනෙකු ගෙන් සමාව ගන්නට ද ඔහුට සිදුවිය .

මෙම ඉසව්ව ඇයට ද අනතුරක බවක් වූ නිසාවෙන් ඔවුන් සුනඛ සුරතලා පිටුපස අසුනෙහි ඉන්දවා මෝටර් රථයෙන් වෙරළ තීරයට ඔබ්බෙන් වූ මාවත දිගේ මද දුරක් ගොස් නතර විය.

" සතුටුයි දැකීම .. ඒත් ඔයාගෙ බොරුව... එක කෝල් එකක් ගත්ත ද මම බලා උන්න..."

" සොරි සුදූ ... මම මැරි කරා වයිෆ් නම්බර් ඔක්කොම ඩිලිට් දාල. මට ඒකි හරියන්නෑ ශේනූ ඒත් අම්මල නිසා ඉවසන් ඉන්නව. ලංකාවෙන් යද්දි එන්ගේජ් වෙලා ගියේ..ඒක අම්මලගෙ සැලසුමක් මගෙ වයස එක්ක.."

" ඒකත් එහෙම ද ...හ්ම් හොඳයි සුබපැතුම් ! "ඇයට එය රිදුමක් නොවිණි.

ආදරණීය බව දෙදෙනාටම ආතුර නොවූ සේ තොරක් නොවූ සිප වැළඳ ගැනීම් ය. බ්ලූ සෆායා සහ රතු ගල් අල්ලා ඇති සුන්දර රිදී මුද්දකින් ඔහු ඇගේ අතැඟිලි සැරසා තුටු විය.

ඒ වන විටත් මැද ඇඟිල්ල මත ප්‍රියංජන විසින් තෑගි දුන් රිදී මුදුව විය.

" ස්තුතියි ... ඒත් ඔයා ඇවිත් යන එක දුකක් මම හිතහදා ගන්න ගොඩක් දේ කරමින් ඉන්නව..මේ..කාලය පුරාම "

" සොරි ..මට ඔයා නිතර මතක් වුණා සුදූ. ජර්මන් වලින් ඇවිත් දවස් හතරකින් ගාල්ලට ආව. ඒත් ඔයා දකින්න ලැබුණෙ නෑ නෙ.."

ඔහු රිදුමකින් ඇය අස්වසන්නට විය.

" ඔයාගෙ ජුවලරි ශොප් එකේ නම මොකක් ද ..? "

" ආ ඔයා ඒක දන්නෙත් නෑ නේද ? කළුවැල්ලෙ තියෙන්නෙ ප්‍රියංජන රිදී ජුවලරි...කියල . ප්‍රියංජන රත්නවීර කියන්නෙ මගෙ මාමා ආහ්.. ඔයා දන්නව ද එයත් ඉස්සර හොඳ නළුවෙක් ලු....දැන් ඉන්නෙ ජර්මන්. මම තමයි ලංකාවෙ තියන මාමගෙ ජුවලරි ශොප් වල වැඩ කරමින්, බලමින් ඉන්නෙ..."

" ඔහ් අනේ දෙයියනේ ...එයා.."

" ඇයි ශේණූ මොකද. ? "

"නෑ මොකුත් නෑ ... හද මතට එක්වර ඉඳිකටු පහර දහසක් වැදී යන්නක් බඳු රිදුම් පිරි නිමේශය දරා ගනිමින් ඔහුගෙ ළය මත හිස හොවා හුන්නා මිස ඇය කිසිත් නොකීවාය. සිප ගැනීම් අතරින් ඇය ඔහු හා සුන්දර වූ අඳුරු තානයම කරා ඇදී යන්නට විය. ඔවුන් ප්‍රේම සල්ලාපයන් නිමා කරමින් තානායමට සමුදී යළිත් ගාල්ල බලා පිටත් විය.

මෙය කිනම් ප්‍රේමයක් ද ,කිනම්

බලා හිඳුමක් ද ?

රිදුම් දහසක් මැද වුව මෙම ප්‍රේමය හෝ උණුසුම අහිමි කරගන්නට ඇයට අවැසි නොවීය. ඊට නිදසුන් උපමා කිසිත් නොසොයා ඔහු හා මේ ගෙවන්නේ ප්‍රේමයම විය .

ඔහු ද මා වෙනුවෙන් බලා හිඳුම.. ප්‍රේමය ම නොවන්නේ දැයි යන්න‍ යළි යළි පසක් කරමින් ඇය හිත හදාගත්තා ය. අන් කිසිත් නො සොයන්නට ද හිතා ගනිමින් එදිනට ඔහුගෙන් සමු ගන්නා ලද්දේ එක් මතකයකට තවත් මතකයක් කලතා එකක් නොව හෙටින් පසු තමා කෝපි කෝප්ප දෙකක් පානය කරමි යි සිතා උණුසුම් සේම ප්‍රේමාන්විත බවකින් සිත පුරවා ගනිමිනි ..

" එයාගෙ බල්ලා මැක්ස් හරිම ආකාර්ෂණීයයි හුරතල්, ඔව් හෙට ඌ මම ගෙදර ගේනව.."

වසන්තය හැර මේ ඇරඹෙන්නා වූ සමය ග්‍රීස්මයයි ! එය කෙසේනම් වනු ඇති ද..?

කුමක් වුව ඊට හැඩ ගැසෙන්නට ඇය සුදානම් වෙමින් සිටිය. විටෙක සයුර චණ්ඩය. යළි නිසලය. සයුර එහෙම ය. නමුදු වෙරළ කවදත් නිහඬ ය.

කිළුටක් නැත නවුමු වූ නිල් රළට පෙම් බැන්දා පමණි.

මාර්ගයෙහි අදුර මකා ලූ විදුලි එළි දැල්වෙමින් විය. ඒ අතර ඇය පා ඉක්මන් කරන්නට විය. එක්වරම

" අනේ ! කවුරුත් නැද්ද....?

මේ බල්ලා මාව හපනව .."

ඈ කෑ මොරගාන්නට විය. ලැබ්‍රඩෝ වර්ගයේ ඔහුගෙ බල්ලා මැක්ස් වගේම බල්ලෙකි .

" ඕ.. මූ බැල්ලකි. මැක්ස් වගේ වුණාට මූ නපුරු බැල්ලකි. "

ඒ දෑස් බිහිසුණු ය. සපා කන්නට ම රුදු ලෙස ඈ සිරුරට එම බැල්ල කඩා පැන්නාය.

කෝටුවක් ගත් මිනිසෙකු පැමිණ එම බල්ලා වැරෙන් අල්ලා ගේට්ටුව කින් ඇතුළට ඇද දැමීය .

" එයාගෙ බල්ල මැක්ස්, රත්තරනෙ

මූ නම් .. මහ රාක්ෂ බැල්ලියෙක් ."

 

Comments