පන්නිපිටිය ධර්මපාලයෙන් බිහි වූ රාජ්‍ය ත්‍රාන්තිකයා | සිළුමිණ

පන්නිපිටිය ධර්මපාලයෙන් බිහි වූ රාජ්‍ය ත්‍රාන්තිකයා

 

මලල ක්‍රීඩා, ඉලක්කයට වෙඩි තැබීම, යුද හරඹ වලට දක්ෂතා දැක්වූ ජෝතියරත්න නම් පන්නිපිටියේ ධර්මපාලයේ ශිෂ්‍යයෙක් ඉංග්‍රීසි විවාද කණ්ඩායමේ නායකයා ලෙස ද තම පාසලට ජයග්‍රහණය ලබා දුන්නේ චතුර කථිකත්වය විදහාපාමිනි. මෙහි විශේෂය නම් එදා ධර්මපාලය සමඟ අවසාන තරගයට සහභාගි වූයේ කොළඹ රාජකීය විද්‍යාලය වීම ය. පුදුමය නම් රාජකීය විද්‍යාලයේ නායකයා වූයේ දීප්තිමත් ශිෂ්‍යයකු වූ පසුව කෘතහස්ත ඇමතිවරයකු වූ ලලිත් ඇතුලත්මුදලි වීමය.

මේ ධර්මපාලයේ ශිෂ්‍යයා ධර්මපාලයෙන් ලංකා විශ්වවිද්‍යාලයට සමත්ව සිවිල් සේවා විභාගයෙන් උසස් ලෙස සමත්ව රාජ්‍ය අංශයේ විවිධ තනතුරු හොබවා පොළොන්නරුව, කෑගල්ල මහා දිසාපති ලෙස ද, වසර 11ක් අගමැති ලේකම්, ජනාධිපති ලේකම් වශයෙන් රට ජාතිය ආගම සහ භාෂාව වෙනුවෙන් අනූපම සේවයක් කළ කන්දෙකුමාර හපුදොරගේ ජෝතියරත්න විජයදාස හෙවත් කේ. එච්. ජේ. විජයදාස ය.

දම්පල් සෙවණ ගැන විජයදාස මහතා කතා කරන්නේ එතරම් සුන්දර තවත් කාලයක් තම ජීවිතයෙන් සොයා ගත හැකිදැයි තමාටම නොදැනෙන බව පවසමිනි. කොළඹ 05 තිඹිරිගස්යාය රන්දෝලි, පටුමගේ පිහිටි නිවසට වී විජයදාස මහතා විශ්‍රාම සුවයෙන් පසුවන්නේ ඒ පාසල් සමය කුඩා වියේ අතීත තොරතුරු කුඩා දරුවකු මෙන් බදා අල්ලා ගනිමිනි.

“එදා ධර්මපාලය වෙනුවෙන් අපි රාජකීය විද්‍යාලය පරාද කොට ජය ගත් දිනට පසු දා විදුහල්පති ජී. සී. එදිරිසිංහ මහතා එසම්බ්ලි එක කැඳවල අපේ විවාද කණ්ඩායමට සුබ පැතුවා. අපේ ජයග්‍රහණයට මුල් වූ අපට වඩා පහළ පන්තියක හිටිය තිස්ස අබේසේකරගේ ඉංග්‍රීසි වාග් ප්‍රහාර ද තරගයෙන් ජය ගැනීමට හේතු වුණා. ඒ දවස්වලත් තිස්ස චිත්‍රපට කලාවට ඇලුම් කළ අතර පාසලේ චිත්‍රපට සංගමයේ සභාපතිවරයා ද වුණා. මම ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යභට කණ්ඩායමේ සාමාජිකයකු ලෙස දියතලාවලදී පැවැත්වෙන මලල ක්‍රීඩා, ඉලක්කයට වෙඩි තැබීම, යුද හරඹ ආදිය තරග සඳහා සති ගණන් මාස ගණන් සටන පුහුණු වුණා. කැලේ අතරමං වූ විට මාලිමාවක් උපයෝගි කරගෙන ඉන් ඉවතට ආ අයුරු ද මට අමතක වන්නේ නැහැ. අපේ ශිෂ්‍යභට කණ්ඩායමේ දස්කම් දැකලා හමුදාවෙනුයි පොලීසියෙනුයි අපිට විශාල ඉල්ලුමක් තිබුණා. ශිෂ්‍ය භට කණ්ඩායමේ මගේ සමකාලීන සිසුන් රාශියක් ත්‍රිවිධ හමුදාවේ උසස් නිලතල ලැබීමට සමත් වුණා. ජනරාල් රොහාන් දළුවත්ත, එයාර් මාෂල් ඔලිවර් රණසිංහ සහ රියාද් අද්මිරාල් කේ. ඩී. දිසානයක යන තිදෙනා පිළිවෙළින් හමුදාපති, ගුවන් හමුදාපති සහ නාවික හමුදාවේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි තනතුරු එකම වකවානුවකදී හෙබවූවා. මේ ශිෂ්‍යභට කණ්ඩායමේ තිස්ස අබේසේකරත් හිටියා.“

විජයදාස සමඟ ධර්මපාලයේ සිටි සමකාලීන සිසුන්ව ඇත්තේ කේ. ඩී. පී. වික්‍රමසිංහ (පසුව ආචාර්ය, සම්මානනීය ලේඛක), වික්‍රම බෝගොඩ (ප්‍රකට රංග ශිල්පී), ධර්මසිරි වික්‍රමරත්න (සම්මානනීය නාට්‍යකරු), ප්‍රේමරංජිත් තිලකරත්න (සම්මානනීය නාට්‍යකරු), හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආචාර්ය විමල් වික්‍රමසිංහ, ලීලාරත්න විජේසිංහ, රාජා ගන්කන්ද ආදීන් ය. කෙසේ වෙතත් විජයදාස ධර්මපාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා විය. ධර්මපාලයෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශයෙන් උසස් ලෙස සමත්ව ලංකා විශ්වවිද්‍යාලයට ඇතුළත්ව භූගෝල විද්‍යා සඟරාවද සංස්කරණය කළේ විජයදාස ය. භූගෝල විද්‍යාව පිළිබඳ ගෞරව උපාධිය ලැබූ ඔහු විශ්වවිද්‍යාලයේ සහකාර කථිකාචාර්ය පදවිය ලබා පසුව මොරටුවේ සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ ජනප්‍රිය ගුරුවරයකු ලෙස ප්‍රශංසා ලබා ඇත.

1960 වර්ෂයේ පැවැත්වූ ලංකා සිවිල් සේවා විභාගයෙන් ලංකාවෙන්ම තේරී ඇත්තේ 08 දෙනෙකි. එයිනුත් මුල් තැනට තේරී ඇත්තේ විමල් අමරසේකර ය. ඔහු කොළඹ මහා දිසාපතිවරයා විය. දෙවැන්නා හර්ෂ පණ්ඩිත ගුණවර්ධනය. විජයදාස තෙවැන්නාය. විජයදාස පොළොන්නරුව මහා දිසාපතිව සිටි කාලය වන විට විවාහවී සිටියේය. ඔහු විවාහ වූයේ බොරැල්ලේ බැල්කම් පෙදෙසේ “බැල්කම් හවුස්“ හි විශ්‍රාමලත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ දොස්තර රෝලන්ඩ් වීරසූරිය මහතාගේ සහ මාතර නන්දනී වීරතුංග මහත්මියගේ එකම දියණිය වූ නිමල්කා ය.

“අම්මාගේ සහ තාත්තාගේ බලවත් ඇවිටිලි නිසා ඔවුන් සමඟ ඇය බැලීමට මම ගියා. සිහින් සිරුරකින් ද, පියකරු පෙනුමකින් ද, රන්වන් පැහැයකින් ද, ළගන්නාසුළු සිනාවකින් යුක්ත නිමල්කා විවාහ කර ගැනීමට කැමති වීමට මට අපහසුවක් නොවීය. ඇය ද මා හා විවාහ වීමට එකපයින්ම කැමති බව පසුදාම දැන ගැනීමට ලැබුණා. 1968 ජනවාරි 24 වෙනිදා අපි විවාහ වී පොළොන්නරුවේ දිසාපති මැදුරට ගියා. අප දිසාපති මන්දිරයේ ගත කරන කාලය තුළදී අනුගමනය කළ යුතු පිළිවෙත් දෙකක් හිටපු දිසාපති අයිවන් සමරවික්‍රම මාව දැනුවත් කළා. ඉන් එක් පිළිවෙතක් බුදු මැදුරේ පහන දිනපතා දැල්වීමත්, අනෙක අවට පරිසරයේ ගැවසෙන කිසිදු සර්පයෙකු හෝ සතෙකු නොමරන ලෙසය.“

විජයදාස දිසාපති තුමා තම බිරිය සමඟ රාජකාරියක් සඳහා කොළඹ පැමිණෙන විට දිසාපති මැදුරේ ගෘහ සේවක විල්බට්ට බුදු පහන දැල්වීමට උපදෙස් දී තිබුණි. කොළඹ සිට පොළොන්නරුවට පැමිණි විජයදාස යුවළට දක්නට ලැබුණේ විල්බට් අන්ද මන්දව සිටින බවය.

“සර් මට ගෙදර යන්න ඕනෑ...“

“අපෙන් වරදක් වුණාද?“

“අනේ නෑ සර්, ඊයේ මේ ගෙදර ඉන්න බැරිව ගියා. ගල් ගහනවා. අමුතු කට හඬවල්, හොල්මන් වෙනව. මාව ඇඳෙන් එළියට ඇදල දැම්මා.“

“විල්බට් ඊයේ රෑ බුදු පහන තිබ්බද?“

“නැහැ සර් අමතක වුණා.“

විජයදාස මහතා තම හිතවත් දිසාපති අයිවන්ට කතා කොට විස්තර කීවේය.

“බුදු පහන හැමදාම තියන්න කියලා මම කිව්වනෙ. එහෙම නොවුණොත් අයහපත් විපාක ඇතිවෙනවා.“

ඉන්පසු තමා අතින් දිසාපති මැදුරේ පහන දිනපතා දැල්වුන බව විජයදාස මහතා අපට කීය.

තම පරිපාලන ජීවිතයේ ස්වර්ණමය, සුන්දරම කාලය ගත කළේ 1962දී ලංකා ගුවන් විදුලියේ ස්වදේශීය සේවා අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ කාලයේ බව විජයදාස මහතා අපට කීය.

“මේ කාලයේ මට අමරදේව, එදිරිවීර සරච්චන්ද්‍ර, මහගමසේකර, මඩවල රත්නායක, පණිභාරත, ඩන්ස්ටන් ද සිල්වා, විමල් අභයසුන්දර, දයානන්ද ගුණවර්ධන, සී. ද ඇස්. කුලතිලක වැනි විශිෂ්ට නිර්මාණකරුවන්ගේ දායකත්වය මට ලැබුණා. දිනපතා ‘ධර්ම චින්තා‘ වැඩසටහන අවසානයේ ප්‍රචාරය වූ දේශානුරාගී ගීත මෙන්ම “ග්‍රාමීය සේවය“ වැඩසටහන් ගොවිජන හද ගැස්මත් ගැමි ජනතාව අතරට ගෙනයන්න මට ප්‍රශංසනීය මෙහෙයක් කළේ එල්. එම්. පී. ජයතුංග, බර්ටි ගලහිටියාව, චිත්‍රානන්ද අබේසේකර වැනි වැඩසටහන් නිෂ්පාදකයන්. ග්‍රාමීය සේවය ඔස්සේ ගුවන් ගත කළ ‘කුරුළු බැද්ද‘ කිවුලේ ගෙදර ‘මුවන්පැලැස්ස‘ ජනප්‍රිය වුණා. හේමසිරි ප්‍රේමවර්ධන, විමල් අමරසේකර, අමරදාස ගුණවර්ධන ආදී මහා දිසාපතිවරුන්ගේ අනුග්‍රහයෙන් වැදි ජනතාවගේ කිරි කොරහ නැටුම, කොටහළු නැටුම පටිගත කිරීමටත් පල්ලේබැද්ද දඹානේ වැනි ගම්මානවල රැයක් ගත කිරීමේදී බර්ටි ගලහිටියාවත් සහාය වුණා. මගේ පාලන කාලයේ ක්‍රිකට් තරග සජීවී සිංහල ප්‍රකාශය ආරම්භ කොට ඒ ප්‍රචාරක නිවේදන කටයුතු සඳහා ප්‍රේමසර ඈපාසිංහ හා පාලිත පෙරේරාත්, ඉංග්‍රීසි පද වෙනුවට නිර්මාණශීලි සුගම පදමාලාවක් සිංහල භාෂාවට එක් කිරීමට කරුණාරත්න අබේසේකරගේ දායක්වයක් ලබා ගත්තා.“ විජයදාස මහතා කීවේය.

පනහ දශකයේ ආරම්භ කර තිබූ එච්. ඩී. විජේදාසගේ “විහිළු තහළු“ වැඩසටහන ඒ වන විට තහනම් කර තිබූ අතර විජයදාස මහතා විසින් නැවත පටන් ගැනීමට උපදෙස් දී ඇත.

“ඩඩ්ලි සේනානායක අගමැතිතුමාගේ කාලයේ පොළොන්නරුවේ දිසාපතිවරයා මම. සිවිල් නිලධාරියකු වූ පොළොන්නරුවේ හිටපු දිසාපති ඉඩම් අමාත්‍ය සී.පී. ද සිල්වා මහතා මගෙන් උපරිම ප්‍රයෝජන ගත්තා. කොටින්ම ඩඩ්ලි සේනානායක අගමැතිතුමාගේ ප්‍රියතම දිසාපතිවරයා මම කියා තිබුණා. මා යන කොට අක්කරයකට බුසල් 45ක්වූ සාමාන්‍ය අස්වැන්න අවුරුදු 4ක් ඇතුළත අක්කරයට බුසල් 110 ඉහළ දැමීමට හැකිවුණා.“ විජයදාස මහතා පැරණි සිද්ධියක් මතක් කළේය.

විජයදාස මහතා ඔක්ස්ෆර්ඩ් විද්‍යාලයට ගොස් අධ්‍යාපනය හමාර කොට 1973 ලංකාවට පැමිණි පසු ඉඩම් හා කෘෂිකර්මාන්ත ඇමැති හෙක්ටර් කොබ්බෑකඩුව මහතා විසින් තම අමාත්‍යාංශයේ අතිරේක ලේකම්ට අමතරව ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ සභාපති, ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ සභාපති ලෙස ද පත්කර ගත්තේය.

“හෙක්ටර් කොබ්බෑකඩුව මහතාගේ සැබෑ මහත්මා ගතිය මා දැක ගත්තේ 1970 මහ මැතිවරණයෙන් ජය ගෙන ඇමතිකම භාර ගැනීමට පැමිණි අවස්ථාවේ. එතුමා පැමිණියේ E. N. කාණ්ඩයේ කළු පැහැති පර්ජෝ 203 රථය පදවාගෙන. කිසිම අවස්ථාවක පුද්ගලික ගමන්වලට නිලරථය පාවිච්චි නොකළ එතුමා 1977 මැතිවරණයෙන් පරාද වී කොළඹ සිට ගමට ගියේත් අර පරණ පර්ජෝ රථය පදවාගෙන.“

විජයදාස මහතා රණසිංහ ප්‍රේමදාස අගමැති හා ජනාධිපති තුමාගේත් ලේකම් පදවිය වසර 14ක් දැරීම දැළි පිහියෙන් කිරි කෑ කාල පරිච්ඡේදයක් ලෙස දක්වා තිබුණි.

විජයදාස මහතා විසින් 2006 වසරේ ලියන ලද “පහන් සංවේගය.“ කෘතියේ ඔහුගේම වචන වලින්ම එහි එක් අවස්ථාවක් දක්වා තිබුණි.

“මම අගමැති ප්‍රේමදාස මහතා සමඟ සමීපව ඇසුරු කළ කෙනෙක්. තම සමීපතමයන් ගැන රහස් පොලීසියෙන්, ජාතික බුද්ධිමය තොරතුරු කාර්යාලයෙන් රහස් වාර්තා ලබා ගැනීම අගමැතිතුමාගේ සිරිතක්. එම රහස් වාර්තා ලබා සැක නම් ඔහු ඉවත් කරනවා. මගේ තොරතුරු ගැනීමට අවස්ථා තුනක් රහස් පොලීසිය යොදා තිබුණා. බොරු තොරතුරු, පුස්සක් වීම නිසා ඇතැම් අය අමාරුවේ වැටුණ අවස්ථා තිබුණා. එහෙත් එතුමාගේ මා දුටු ලොකුම දුර්වලකම තමයි කේලම් ඇසීම. එහෙත් දීර්ඝ ගමනක අරමුණක්, ඉලක්කයක් ඒ සඳහා කාර්යක්ෂමව, සැලසුම් සහගත සූදානමක් ඔහුට තිබුණා. එතුමා තරම් උදේ පාන්දර තුනහමාරට නැගිට වැඩ කටයුතු කරන ක්ෂණික පිළිතුරු සොයන ක්ෂණිකව වැඩ කරන නායකයකු මා දැක නෑ. ඔහු ගරුගාම්භීර ගති ආරෝපණය කර ගත් හිතුවක්කාර තීරණ ගත් රාජ්‍ය නායකයෙක්.

ප්‍රේමදාස මහතා අර්බුද අවස්ථාවල හිටියේ ඉබ්බෙක් වගෙ. අඬු ඔක්කෝම ඇතුළ දා ගෙන. කිසිම විදිහකින් මුහුණින් ප්‍රකාශ කළේ නෑ. අභිනයෙන් හෝ අංග චලනයෙන් තමා කලබල වී ඇති ස්වභාවය පෙන්නුවේ නෑ. එවැනි අවස්ථාවල එතුමා වෙනදාටත් වඩා තැන්පත්. කේන්තිය ඇතුළේ තිබුණ බව මම දැන ගත්තා. කලබලයක් ඇති වුණාම එයට අවශ්‍ය උපක්‍රම එතුමා හිතින් හදනවා. දකුණත කරකවනවා. එයින් සංකේතවත් වන්නේ තම සිත තුළ ඇති උපක්‍රම ක්‍රියාවලට නංවා ඇති බවයි. එතුමා බෙහෙවින් කලබලයට පත්වුණේ දෝෂාභියෝගය පැමිණි අවස්ථාවේ නොවෙයි, ලලිත් ඇතුලත්මුදලි මහතාගේ ඝාතනය සැලවූ විට අසාමාන්‍ය ලෙස කලබල වුණා.

දෝෂාභියෝගය ඉදිරිපත්වූ අවස්ථාවේ ඔහු ගුප්ත දේවල්වලට ඇබ්බැහි වූ බව මට අහන්ට ලැබුණා. එතුමා එක් අවස්ථාවක පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ ආසනවල ඌරුතෙල් ගැල්වූ බව මම දැන සිටියේ නෑ. සමහරවිට පාර්ලිමේන්තුවේ ඇතැම් අය දැනගෙන ඉන්න ඇති. එහෙම දෙයක් සිදු වුණත් මම පුදුම වෙන්නෙත් නැහැ.“

ජනාධිපති ප්‍රේමදාසට වඩා අගමැති ප්‍රේමදාස හොඳ බව විජයදාස මහතා කීවේය. වසර 14 ප්‍රේමදාස අගමැතිවරයා හා ජනාධිපතිවරයා ළඟ සමීපව කටයුතු කළත් කිසිම ගැටුමක් නැතිව තමා කටයුතු කළ බව කියන ලේකම්වරයාට ඒ ගැන අදටත් පුදුමය. ප්‍රේමදාස මහතා තමන් සිතූ දේ ඒ ආකාරයටම කරන පුද්ගලයෙක් බවත්, තමන් සිතන දේ වැරදි හෝ හරි හෝ එම මතයේම ඇලී ගැලී සිටීම ස්වභාවයක් බව විජයදාස මහතා කියයි. අගමැතිවරයාව සිටියාවට වඩා ජනාධිපතිවරයා දරදඬු වී ඇති බව ඔහු කීවේය. ප්‍රේමදාස ජනාධිපතිවරයා ඝාතනය වීමෙන් පසු ඩී.බී. විජේතුංග මහතාගේ ලේකම් ලෙස කටයුතු කිරීමට ඔහුට අවස්ථාව ලැබුණි.

“මම විජේතුංග ජනාධිපතිතුමා දකින්නේ හිත හොඳ මිනිසෙකු වශයෙන්. එතුමා උඩරටට වැඩි සැලකිල්ලක් තිබුණා. එතුමා වැඩ බලන ජනාධිපතිවරයා ලෙස පාර්ලිමේන්තුවේ ඒකමතිකව තෝරා ගත්තා. සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියයි ඒ යෝජනාව ස්ථිර කළේ. ජනාධිපති විජේතුංග මහතා ජනාධිපතිවරයා ලෙස මුලින්ම ගියේ බණ්ඩාරනායක මැතිනිය ළඟට.“

“අද මට ප්‍රීතිමත් දවසක්. අපේ එක්කෙනෙක් අද ජනාධිපති වුණා.“ මැතිනිය කීවා. විජයදාස මහතා ඒ දවස මතක් කළේය.

විජයදාස මහතා රාජ්‍ය සේවයෙන් සමුගත් පසු තම අතීත සැමරුම් මතක් කරමින් සිය සන්ධ්‍යා ජීවිතය ගත කරයි. ඔහුගේ සිත යන්නේ බාල කාලය දෙසටය.

ඔහු උපන්නේ මුල් ගුරුවරයකු වූ පියාගේ ගුරු නිවසකය. කන්දෙකුමාර හපුදොර ගමගේ හෙන්රි විජයදාස නම් ඔහුගේ පියාත්, පොතුවිල ආරච්චිගේ එමලින් පීරිස් ජයතුංග මවත් පුහුණු ගුරු යුවළක් වූහ.

“වෙල් විදානේ කෙනෙකුගේ වැඩිමහල් දරුවා වූ මගේ තාත්තාගේ ගම ඇහැලියගොඩ බෝපැත්ත. පිටිසර ගම්මානයක් වූ බෝපැත්තකින් ඇහැලියගොඩ ළඟා විය හැකියි.

පවුලේ වැඩිමහල් දරුවා වූ තාත්තාට හොඳට උගන්වා ඉස්කෝලේ මහත්තයෙක් කිරීමට සීයාට අවශ්‍ය වුණාලු. මේ අනුව මගේ තාත්තා මොනිටර් ගුරුවරයකු වුණා. පසුව වලානේ ගුරු අභ්‍යාස විද්‍යාලයේ පුහුණුව ලබන කාලෙ අම්මව හඳුනගන්න ලැබිලා 1933 වර්ෂයේ විවාහ වී ඇත්තේ යෝජිත විවාහයක්. විවාහයෙන් පසු දෙමාපියන්ට ලැබුණු ප්‍රථම දරුවා මම. මම උපන්නේ 1936 ජනවාරි 24 වැනිදා. සොහොයුරන් තුන් දෙනෙකුගෙන් හා නැගණියන් තුන් දෙනෙකුගෙන් අපේ පවුල හැඩ වුණා. තලපත්පිටිය පාසලට ද, කොළඹ හැව්ලොක් ටවුමේ ද්විභාෂා පාසලේ (අද ලුම්බිණි මහ විදුහල) ටික කලක් ඉගෙන පන්නිපිටියේ ධර්මපාල විද්‍යාලයට ගියා.“

විජයදාස යුවළට චාමලී සහ උදිත නම් දියණියක් හා පුතෙකු සිටී. චමලී ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියකි. ඇය කොළඹ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සේවය කරන්නීය. උදිත පුතා ඕස්ට්‍රේලියාවේ තොරතුරු තාක්ෂණ විශේෂඥයෙකි.

විජයදාස මහතා අද විවේකීව ජීවිතය දෙස උපේක්ෂාවෙන් බලයි. ලිවීමේ ශූරයකු වූ හෛතම 2005 වසරේ “සිංහල ජාතිය පාවාදීම“ (Betrayal of The Sinhala Nation) නම් කෘතිය ද්වි භාෂාවෙන් රචනා කළේය.

“මම බොහෝ දුරට සාර්ථක මිනිසෙකු බව විශ්වාස කරනවා. ඒ මගේ පෞද්ගලික හැඟීම. ඉතා කුඩා අවදියේ සිටම ප්‍රශ්න කර, ඇසින් දැක, කනින් අසා, තර්ක කර අත්හදා බැලීමෙන් බොහෝ දේ සාක්ෂාත් කර ගැනීම ඊට එක් හේතුවක්. මා විශ්වාස කරන බුදු දහමේ එන හේතුඵල වාදය මගේ සාර්ථකත්වයට තවත් ශක්තිමත් අඩිතාලමක් වූ බව මට දැනෙවා. ඒ තුළින් වරදක් නොකර සිටින්නටත්, අවම වශයෙන් වරදේ ප්‍රමාණය අඩු කර ගැනීමටත් මට ශක්තියක් ලැබුණු බව මම විශ්වාස කරනවා.“ විජයදාස මහතා අවසන් වශයෙන් කීවේය.

 

 

Comments