කුකුළු(ල්) කොටුවට ඇතුළු(ල්) වී උකුළු(ල්) ඇටය බිඳ ගන්නෝ | සිළුමිණ

කුකුළු(ල්) කොටුවට ඇතුළු(ල්) වී උකුළු(ල්) ඇටය බිඳ ගන්නෝ

 

හරි වහර කියවන්නෝ බොහෝ විට එ ගැන තම හැඟුම දක්වති. පාඨකයනට වැඩක් වන්නක් ම ලියන්නට එ මඟින් ලැබෙනුයේ මහත් පිටුබලයෙකි. ගිය වර හරි වහර කියැවූ භවතෙක් ද වැදැගත් අදහසක් පළ කෙළේ ය. ඔහු ගේ අදහස ඉදිරිපත් කැරුණේ පැනයක් ලෙසිනි. එ පැනයට පිළිතුරු සැපැයීම හරි වහර කියවන්නන් හට සේ ම භාෂාව පිළිබඳ වැ ඇල්මක් දක්වන හැමට වැඩ පිණිස වෙති යි සිතෙනුයෙන් මෙ සේ දැක්වේ.

එ භවතා ගේ පැනය නම් ගුල්, කෙවුල්, පිල් ආදියෙහි කලින් (මූර්ධජ) ‘ළ‘ යෙදී පසු වැ (දන්තජ) ‘ල‘ යෙදේ නම් ඇතුල්, කුකුල්, උකුල් ආදි වදන් ද නිවැරැදි විය යුතු නො වේ ද‘ යනුයි. හරි වහරිනුත් මෙයට පෙර එ බඳු වදන් වැරැදි යැ , අසාධු යැ යි අපශබ්ද යැ යි දක්වා ඇති බව ද හේ පෙන්වා දිනි. එ හෙයින් මේ පැනයට පිළිතුරු දීම හරි වහරේ වග කීමක් ද වේ.

පළමුයෙන් කිය යුතු කරුණ නම් ‘ගුල්‘ යැ යි වදනක් - නාම ප්‍රකෘතියක් - නොදක්වන ලද බව යි. ‘ගුල්ලන්‘ යැ යි පදයක් ඇති වීමට නම් ‘ගුලු‘ යැ යි නාම ප්‍රකෘතියක් ඇති විය යුතු බව යි, කියන ලද්දේ. මෙ වදන වඩාත් හොඳින් විමසන කල පෙනී යන්නේ ‘ගුළු‘ යන්න ‘ගුල්ලන්‘ යැ යි වරදවා වර නැඟුණු නිසා ‘ගුලු‘ යැ යි නාම ප්‍රකෘතියක් ඇති විය යුතු වූ බවයි. එහෙත් වියතුන් ගේ බසෙහි ‘ගුලු‘ යැ යි නාම ප්‍රකෘතියක් වූ හ‘යි නො පෙනේ.

ප්‍රකෘතිය ‘ගුළු‘ වී නම් එය වර නැඟිය යුතු ‘ගුළුවා - ගුළුවෝ - ගුළුවන්‘ ආදි වශයෙනි. ‘ගුළුවා‘ යන්නට වඩා ‘ගුල්ලා‘ යන්නෙහි උච්චාරණ සුඛයක් ඇති හෙයින් එයට නැඹුරු වූ බව සිතිය හැකි ය. කෙ සේ වුව ද, විද්‍යා චක්‍රවර්තීන් වැනි මහ වියතකු විසිනුත් ‘ගුල්ලන්‘ යනු යොදන ලද නම් එහි නිවැරැදි බවට එය ම සාධක වේ.

‘පිළ‘ ‘පිල‘ වීම ද සැලැකිය යුතු කරුණෙකි. ‘පිළ‘ යනු නාම ප්‍රකෘතියක් බහු වචනයක් විණි නම් එහි ඒක වචනය ‘පිළය‘ විය යුතු ය. ‘කළ‘ ‘කළය‘ වන්නාක් මෙනි. එ නැත හොත් ‘පිළ‘ යනු ‘පිළවල්‘ යැ යි ‘වල්‘ ප්‍රත්‍යයය යොදා බහු වචන කළ යුත්තේ ය. එ ද නැත හොත් ප්‍රකෘතියත් බහු වචනයත් ඒක වචනයත් ‘පිළ‘ ම විය යුත්තේ ය. අර්ථ ව්‍යක්තිය කෙරෙහි කෙළින් ම බල-පාන මේ ගැටලුව විසැඳීමේ මඟක් ලෙස ‘පිල්‘ යනු ප්‍රකෘතියත් බහු වචනයක් ලෙස වහරේ යෙදෙන්නට විණි යි සිතිය හැකි ය. පසු වැ ඒ හා අනුරූප වැ ‘පිල‘ යන ඒක වචන රූපයෙහි ද (දන්තජ) ‘ල‘ ම යෙදිණි යැ යි සිතීම වැරැදි නො වේ. භාෂාවක් ව්‍යවහාර කිරීමේ දී ප්‍රමුඛතම කාරණය නම් නිරවද්‍ය අර්ථ ප්‍රකාශනය යි. එයට ඉඩ දෙනු පිණිස මෙ බඳු වෙනස්කම් සිදු වේ.

දැන් අර පැනය වෙත යොමු වෙමු. ඇතුල්, කුකුල්, උකුල් ආදියත් මෙ බඳු ම යෙදුම් ද? විමසා බලමු. එයට පෙර කිය යුත්තේ අද වහරේ බෙහෙවින් ම මේ වදන් යෙදෙන බව යි.

‘ඇතුල් වීම තහනම්‘ යන්න මෙන් ම ‘කුකුල් මස්‘, ‘උකුල් ඇටය‘ ආදි යෙදුමුත් බැලූ බැලූ අතේ පෙනෙන්නේ ය යනු නො රහසෙකි. එ වුව ද එ සේ යෙදුණු පමණින් ම ඒ නිවරද යැ යි සැලැකිය හැකි නො වේ. ජේක ව්‍යවහාරය - උගතුන් ගේ වහර - ද සලකා බැලීමෙන් පසු යි එහි වර ද නිවරද තහවුරු කළ හැක්කේ.

පළමු ව ගනිමු ‘ඇතුල්‘ යන්න. මෙහි නිවැරැදි වදන ‘ඇතුළු‘ යනු යි. සංස්කෘතයෙහි ද පාලියෙහි ද ‘අන්තර‘ යනු මේ ‘ඇතුළු‘ හා අනුරූප වැ යෙදේ. එ දෙකෙහි ම ‘ර‘ හා අනුරූප වැ සිංහලයෙහි ල - ළ දෙකින් එකක් යෙදෙතොත් ඒ බොහෝ විට (මූර්ධජ) ‘ළ‘ වෙයි.

එ මතු ද නො ව, ‘ඇතුළු‘ යනු වර නැඟීමෙහි ද කිසි අපහසුවක් නො වේ. ‘ඇතුළ - ඇතුළෙන් - ඇතුළට‘ ආදි වශයෙන් ඒ වර නැඟේ. ‘ඇතුල්‘ යන්නෙහි වුව ද වර නැඟීමෙහි වෙනසක් නැති. එ හෙයින් ‘ඇතුළු‘ යනු ‘ඇතුල්‘ වීම යුක්ති යුක්ත වූවක් නො වේ. එ වුව ද අවධානය යොමු කළ යුතු එක් කරුණෙකුදු වේ. ඒ සිංහල භාෂකයන් කෙරෙහි බොහෝ සෙයින් දක්නා ලැබෙන ද්‍රැත උච්චාරණය (ඉක්මනින් වචන කියැවීම) යි. ද්‍රැත උච්චාරණය නිසා බොහෝ විට වචන විකෘත වේ. ඇතුල් යනු ද එ බන්දෙකි. අවිචාරයෙන් භාෂාව භාවිත කරන්නන් අතින් එය දැන් ලේඛනයට ද පිවිස ඇත්තේ ය.

‘කුකුල්‘ යන්නෙහි ද තතුව මෙ බඳු ම ය. සංස්කෘතයෙහි ‘කුක්කුට‘ යනු හා අනුරූප වනුයෙන් මෙහි (මූර්ධජ) ‘ළු‘ යෙදෙන බව නිසැක ය. මෙහි දු වර නැඟීමෙහි අපහසුවක් නො වේ.

‘කුකුළා - කුකුළෝ - කුකුළන් - කුකුළනට ආදි වශයෙන් වර නැඟේ. ‘කුකුල්‘ යනු ද වර නැඟෙන්නේ එ සේ ම ය. එ හෙයින් මෙ ද විකෘත උච්චාරණයක් ලේඛනයට පිවිසීමෙන් ඇති වූවක් බව මනා වැ පෙනේ. ‘උකුල්‘ යනුත් මෙ බඳු ම යෙදුමෙකි.

පෙර සඳහන් කැරුණු පැනය නැඟූ භවතාට සෑහෙන පමණ පිළිතුරු ලැබුණා හ යි සිතමු.

 

Comments