කවි සිළුමිණ | සිළුමිණ

කවි සිළුමිණ

පිංතාලිය

 

ඉස්සර ගමේ පරිසරයෙහි විසුව දනා

නොගියහ ඈතකට අවැසිම දෙයට විනා

මඟහැරගනු පිණිස ගමනේ වෙහෙස ගෙනා

පින්තාලියෙන් දිය බොන්නට පුරුදු වුණා

 

රත්වෙයි පොළොව නැති කාලෙට වැසි වරයක්

ඉර ගිනිගනිද්දී දැනුනොත් අවහිරයක්

පින් තාලියෙන් දිය බිව්වත් සිය සැරයක්

ගතයුතු නොවේ කාගෙන්වත් අවසරයක්

 

අසරණ විඩාබර වතදෙස බලන්නිය

ළංවන්නට දී තොළකට තෙමන්නිය

කාගේ පවස නිවමිද යැයි සිතන්නිය

පින්තාලිය සැදී පැහැදී සිටින්නිය

 

දිගු නියගයකදී එන හිරුරැස දැඩිය

පින්තාලියට ඒ වනවිට වැඩ වැඩිය

තනිවම එහෙත් මුලුතැන්ගෙයි කලගෙඩිය

නැත ගෙදරින් පිටත යන්නට කඩිමුඩිය

 

පින්තාලියක් ඇතියෙන් දොරකඩම තියා

යන එන මගීදනගේ දුක පහව ගියා

කෙතරම් පවස දැනුණත් එම වෙහෙස කියා

එනවද පිටස්තරයෙකු කළගෙඩිය සොයා

 

මද්දහනයේ හිස මුදුණටම හිරු වඩී

ගිනිගත් කිරණ වුවහොත් ‍එහෙම තව දැඩී

ළංවන නිසා යන එන අයගෙ මුව පොඩී

පින්තාලියට නොගනිමු ගෙදර කලගෙඩී

 

ඥානලතා මල්ලවආරච්චි

-------------------

පසක් කර දෙනු මැනේ

 

නැත දිනක්, නැත තැනක්

නියත කල් වෙලාවක්

හමූවේය මාරයා

ගෙන දෙමින් පාඩමක්

ගැන මනඃකල්පිත වූ

ලෝකයේ අතිර බව...

 

ආපෝද පඨවි සහ

තේජෝද වායෝ ද

විඤ්ඤාණ, ආකාස

ධාතූ සය එක්වෙලා

මැවූ ඒ මායාව, තාවකාලික සතූට

නොදැනේද මිනිසූනේ

සසර උගූලක් බවට...

 

අස්සයාද පසු පස්සෙ

හඹා යයි ජීවිතය

සිතමින්ම එය සැපයි

සාරයි ද කියමින්ම

අඥාන ලෝකයා

ගමන යයි සසරේ

දූකද කර පින්න ගෙන

අවිදු ගණ අඳුරේ...

 

මානයෙන් රජ කරයි

හෙට තනිව වැලලෙයි

නොදෑන තණ්හාව සහ

ආශාවෙ වියරු බව

අසරණයි ලෝකයම

මූලාවෙන් වසාගෙන

නොදැන අරුතක් දිවියෙ

මිස දූටින් වෙලාගෙන...

 

සමිඳුනේ පසක් කර

දූන් අයූරු පෙර ලෙසින

පිහිට වෙනු මැන යළිත්

මේ විසාලාවටද

පමා නැත දැනටමත්

තිබේ නම් අදිඨනක්

තරණය කිරීමට

ඕග හතරක් මැදින්

 

යළිදූ ඒ කාලයයි

යළිදූ ඒ දීපයයි

යළිදූ ඒ දේශයයි

නිවන් මඟ වැඩීමට

ඔබට මට...

 

දමයන්ති මාලා රණසිංහ

----------------------

දියණිට මවගෙන්

 

පවන් රැලි දරාගෙන මල් සුවඳ හමාවී

විසි එකක් වස් ගෙවී නව වසක් උදාවී

ගුවන් ගැබ එකලු කර නැඟී ආ සඳක් වී

සොමි කැළුම් රැස් දිදී හද කොණක හිඳීවී

 

කිරි සුවඳ මුව පුරා සදා සිත රැන්දූ

මවු තුරුළ උණුහුමේ උරා කිරි බිංදූ

පියාගේ සෙවණතේ රැකවරණ බැන්දූ

නොයිඳුල් ප්‍රේමයක පළමු අස්වැන්න දූ

 

සුමුදු දෙපතුල ඔබේ මිහි කතට බර නොවූ

තම හිසට තම අතම සෙවණැල්ල කරවූ

අසිරි මල් ඉසින්නේ සෙනෙහසයි ළතෙත් වූ

නොපෙනෙනා මුත් ඉම සාගරය බඳු වූ

 

පණ සරිය මල් කැකුළ සුවඳ දී විකසිත වන්න

අගනේ ය ගුණදම් එයම අබරණ කොට ගන්න

බරක් නොම වී දැයට දිනෙක ලොව ජය ගන්න

මගෙ මැණික පතන්නෙමි ඔබට තිසරණ සරණ!

 

සුභාෂිණී ජයතිලක

----------------

අපේ ප්‍රේමය

 

සුදුම සුදුත් නැති

කළුම කළුත් නැති

අළු පාට ප්‍රේමයක්

රොමෑන්ටික් ප්‍රේමයක්...

 

ඇයට අවැසි විට

මටද අවැසි විට

අත්හළ හැකි ප්‍රේමයක්

වීසිකළ හැකි ප්‍රේමයක්

අපේ ප්‍රේමය...

 

දිනීප මධුෂාන් නානායක්කාර

 

------------------

හඳ

 

අහස දෙස නිකමට බැලූවිට

හඳ කෑල්ලක් වලාකුළු යට

නොසෙල්වී එක තැනම ඉන්නේ

හීතලේ ගුලි වෙලා වෙන්නැති..

 

ලෝක ගෝලයෙ අනිත් පැත්තේ

කිසිම දවසක මුණ ගැහෙන්නට

හීනෙකින් වත් හිතන්නේ නැති

කවුරු හෝ ඔය කොහේ හරි ඇති..

 

එයත් නිකමට අහස බැලුවොත්

හඳ දකීවී මේ වෙලාවෙම

ඇස් කිරණ හමුවේවි එතැනදි

එය ද තව හීනයක් වෙනු ඇති...

 

ශ්‍යාම කුමාර මුණසිංහ

---------------

හ්ම්ම්ම්...

 

කියවීමි ටිම්රාන්ගෙ කවියක්

"එ ජෙට් එකේ ගියෙ

සමන් සිරිමයිලු"

 

ඈ කිව්වෙම එහෙමයි

සද්දෙ ඇහිලද කොහෙද?

අනේ ආස නෑ මම නම්

අහස පේනවට දැන්

පුංචි කාලේ දිව්වට

 

හ්ම්ම්ම් ගාන සද්දෙට

ප්ලේන් යන

පාලුයිනෙ ඇහෙනකොට

හිතට

දැන් ඒ සද්දෙට

දන්නවද දවසක් රෑ

හරියටම අටේ කනිසමට

අහසම කඩන් වැටුණනෙ

ඔලුවට

 

ඔය කියාපු ප්ලෙන් එක

නගිනවලු රැ අහසට

දනව තාමත් පපුව

දෙකේ කනිසමට

සීතල මහ පාන්දර.

 

තුෂාරි ජයසිංහ

--------------

තවමත් සොයමි

 

ලියා අහවර කළ නොහැකි

ස්වර රටා ද්වනිත කරනා

ප්‍රේමයක සුමට ශෘංගාරය

ඇස් මත තරංගා මවන

 

නෙළුම් පතක සිතුවම්කර

නිල් පැහැ සයුරත් පඬුපැහැ අහසත්

හමුවෙනා තැන හිද

ඇස් පිහාටුවෙන් පාට කර

උන්මාද නොවන කල

වංකගිරි අරණට වැද

සොයමි සොයමි ස්නේහයේ මසවුළු

අනුරාගී නුවන් විවරකර

 

ධම්මි අනුරපුර

----------------

 

ජිවිතය අලුත් වී

 

මෘදු හදක නැඟි සිතිවිලි

දුදන ලොවකට හිමිනැති

නැඟුව මුත් මුව හසරැලි

නොවෙයි හදවත තැති ගනී

 

පිපෙන මුත් මල්කෙමී දිලී

සුවඳ දී දසතම නැගී

කාලයට අවනත වෙවී

යළිඳු පරවෙයි අඳුරෙදී...

 

මලක් මෙන් හදවතක සිසිලස

දුටුව දිනයක යළි යළී

පහන් සිතකින් පිබිදෙමි

එළිය අරගෙන තරු ලොවින්

.

වසන්ති වික්‍රමආරච්චි

-----------------

 

මලක වැලපුම

 

මලක් ගිලිහුණු නිසා නටුවක්

සඳත් බැසගිය පසුව අහසක්

විලක් දියවර සිඳුණු සවසක්

සත්තකයි හැඩ නැතිම දවසක්...

 

ඉරුණු සමනලියකගෙ තටුවක්

මැරුණු කිරලෙක් ගයන ගීයක්

රිදුණු උලලේනි වයන තනුවක්

ඇත්තමයි එය දුකම මෙහොතක්..

.

හිතින් ඉකිලන සිනා ගඟුලක්

නෙතිත් වැළපෙන සුසුම් අහුරක්

ගතින් ඉන්නට නැතත් වරමක්

සහතිකයි නුඹ සොඳුරු රිදුමක්...

 

ලක්නා නිරෝෂිමා

 

-------------------

ඔබ හමුවූ විට

 

හමුවුණාම නැති තොදොල් කථා

පෝන් එකෙන් නම් කියයි ගොතා

යනමග තනියෙන් හිනාවෙලා

ඇස් නටවයි ලොකු බෝනික්කා..

.

කොට කොට පාරෙ යනව

කියනව රණ්ඩු වෙනව

යන මඟ නතර වෙලා

කොහෙද යන්නෙ හිතනව..

.

අයිනක වාඩිවෙනව

බැලුවොත් තරහ යනව

කඩන් වැටෙන ලෝකය

හොරෙන් හොරෙන් බලනව...

 

සඳරුවන් කරුණාරත්න

 

--------------------

 

අප්පච්චි

 

ඉරුණු කමිසය එලලාගෙන අතේ මැස්මෙන්

ඉදුණු කෙස් වැටිය පීරාගෙන කැඩුණු පනාවෙන්

ඉතුරු මුදල් ගැන ගැන මහ කල්පනාවෙන්

ඉදිරි ජීවිතය ඔබ හැදුවා දරුවන්ගෙ මනාවෙන්...

 

මහ වරුසාවට තෙමි තෙමී

මහ උන් ළඟ නැමි නැමී

මහා දුක් කන්දක තැවි තැවී

මහ මගම උන්නා දවසම ගැහි ගැහී...

 

හිස කසා ලොකු මහතුන් ළඟ

හිස නවා මහ පුටු ළඟ

හිස පොවා හීන පිරිමැද

හිස අතගා වරම් දුන්නා ඔබ...

 

ඇඳිවතේ කිලිටි වහගෙන

මුදු වතේ දුක ඔතාගෙන

මුනිවතේ දෑස තවාගෙන

මං පෙතේ ඔබ ගියා උදෑසන...

 

අපට නැති දේම අසමින්

දුකට සැප මාරු කරමින්

මඟට බැස්සේ හිස් අත් වලින්

හැඩට ඉටු කළා යුතුකම් ලද දෙයින්...

 

ඉඳහිට දොඩමලු වුණේ

ඉඳගන්න ඉසිඹුවක් නැති වුණේ

ඉඳුණු කෙස් ගැන නොතැවුණේ

ඉඳුකිලසෙ හිනැහුණේ...

 

නිහඬබව නිතර රැක්කා

කල්පනාවෙම සිටිනු දැක්කා

පෝදාටත් පාන්තිර වික්කා

හැම දහඩිය බිංදුවම වික්කා...

 

රඹුක්කන කීර්ති. එස්. කුමාර

-------------------

මම තමා ඒ ඇය

 

එකම හැල්මට දුවන ජීවිතය

මොහොතකට නවත්තා ඉසිඹුලන

එකම එක මිලි තප්පර අංශුවක

මං ගැනත් වගක් ඇති බවම

 

හිත හිතා මුලු හිතම නිවන

නිදුකින්ද කෝ කොහෙද හිතන

දුර ඉදන් ඇල්පෙනෙත්තෙන්

හිතට අනින

මම තමා - ඒ ඇය

 

නදීෂා දිල්හානි වෙලගෙදර

--------------------

වැස්ස සහ ඔන්ලයින් පන්තිය

 

වැසි ඇති දිනක අපෙ පන්තිය කුමක් වැනී

මඩ වල ගොඩැලි උඩ යන රිය සකක් මෙනී

ඩිජිටල් තිරය රඟ දෙන හැඩ අරුම පෙනී

ළා පොද හැලෙන සර සර හඬ මතක් වුණී...

 

හදවත වසා පැතිරුණු ගන අඳුරු වලා

දෙකොපුල් තෙමා ගිනියම් ඇස් සිහිල් කළා

අපටත් නැවත ඉර පායන දිනක් බලා

පමා නොවී අකුරට එමි සිනහ වෙලා

 

රුසිරි ලංකාතිලක

-------------------------------

 රිසානා

 

නිසල සිරුර අතහැර නුඹේ

හිස වැටෙන්නට පෙර පළමුව

සසල වෙලා ලංකාවෙම

හදවත් බිම වැටුණයි...

 

අරාබියේ වැලි කතරම

හේදෙන්නට තරම් කඳුළු

උපන් බිමේ හැම නෙතු අග

දෝරෙ ගලා හැළුණයි...

 

වරද කිම කොතන නො අසා

වැරදිකරු කෙරුව වරදට

පැරදිලා හැඬුව නුඹ ළඟ

කිසිවෙක් ළඟ නොවුණයි..

.

අතැර මවුපියන් සොයුරන්

එතෙර ගොස් ගෙවුව පාපය

සසර වසනතුරු දියණියෙ

කිසිදා නොම වෙන්නයි..

 

සුජිත් චමින්ද එදිරිසිංහ

-------------------

 

ප්‍රේමය

 

සසල සිතුවිලි වලාවක්

නිසල කළ එක හිනාවක‍

දැවෙන හදකට ඉනාවක

ප්‍රේමයද භාවනාවක්...

 

හඬන නොහඬන වෙලාවක්

නොකර කිසි විට මුලාවක්

ළඟම හිඳ කළ කතාවක්

ප්‍රේමයද භාවනාවක්...

 

තැවෙන සිතුවිලි විඩාවක්

නිවන බව නොව මුසාවක්

මියුරු වදනත් කලාවක්

ප්‍රේමයද භාවනාවක්...

 

එස්මි සේනාරත්න

--------------------

ආදරය

 

නුඹව හමුවන තුරු

මම කවි ලිව්වෙමි

සිතුවම් ඇන්දෙමි

යහළු, යෙහෙළියන් සමඟ

තැන තැන සැරුවෙමි..

 

දැන්...

මම නුඹට ආදරය කරමි

නාකි බලු නකුටකු මෙන් - වකුටුව

මා ජීවිතයම සංතෘප්තව

සතපවා ඔබ තුළ...

 

එපමණි ...

 

සම්මානනීය ඉන්දීය කිවිදිය.

කමලා දාස් ගේ Love

කවියෙහි අනුවාදයකි.

 

කුමුදිනී වේලාරත්න

---------------------

නිහඬ විලාපය

 

මලානික හිරු සිතිජ ඉම ගිලගද්දී

ඔබ සිරිය බලන්නට ඇදෙන්නම්

සුදෝ සුදු වැලිතලාවේ පහස විඳින්නට

එදා මෙන් අප දෙපා නගන්නම්...

 

දුරු කතර ගෙවා ඔබ සොයා අප පැමිණියා

කිමද ඔබ නිසොල්මන් වී මෙදා

එදා මෙන් දඟකාර රැළි නොමැත පා සිඹින

සිසිල් පෙන කැට නොමැත අප බදා...

 

වේදනාවෙන් නැගෙන රළ රැගෙන ඇදි ඇදී

කියන්නට තනන්නේ කුමක්දෝ

එදා සුන්දර වෙරළ අද නොමැත රඟන්නට

මුදු සුළග කසල හා රඟයිදෝ...

 

සඳ එළියේ දිලුනු සුදු පෙණ කැටිය අද නොමැත

හොරෙන් අප දෙස බලා සිටින්නේ

වෙරළ සිප ගනු නොහැකි, වදන් තෙපලිය නොහැකි

නිසා ලතැවුලෙන් දෝ සිටින්නේ...

 

සොබාදහමේ අසිරි නොමසුරුව ලබා දුන්

නිසාදෝ මට මෙහෙම කරන්නේ

ඔබ වැළපෙනා අයුරු කිසිවකුට නො ඇසේද

මිනිසුනේ ඇයි වෙරළ නසන්නේ

 

මංජුලා සිල්වා

*************************

කෘතිය - කොරෝනා කාලෙ කවි

කර්තෘ - කෝ. ආනන්ද හිමි

විද්‍යාලංකාර ප්‍රකාශනයකි

මිල රුපියල් 350 පිටු 135

 

“කොරෝනා කාලේ කවි“ දැනට ප්‍රංශයේ වෙසෙන කෝන්ගස්දෙණියේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ නවතම කාව්‍ය සංග්‍රහයි. පැපිලියාන සුනේත්‍රාදේවී පිරිවණෙන් මුලික අධ්‍යාපනය ලද උන්වහන්සේ විද්යෝද්‍ය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍ර වේදී ගෞරව උපාධිය හිමිකර ගත්හ. පසුව එම විශ්ව විද්‍යාලයෙන්ම ශාස්ත්‍රපති එම්. ඒ උපාධිය හිමිකර ගත්හ.

උන්වහන්සේ විසින් ලියන ලද පළමු කෘතිය වන්නේ “හේ සිද්ධාර්ථ නම් වෙයි“ නවකතාවයි. ඒ 1978 වසරේදීය. එම නවකතාව සඳහා 1980 දී රාජ්‍ය සාහිතය සම්මානය ද හිමි විය.

මුල් කාලයේ සිටම කවිය කෙරෙහි විශේෂ හැකියාවක් දැක් වූ උන් වහන්සේ විසින් රචිත මුල් කාව්‍ය සංග්‍රහය වන්නේ ඈ විතරාගී (1968) නම් කවි කෘතියයි. ඉන් පසු ඈ හමු වුණි මෙසේ මැවුණි (1969) අම්මයි මමයි (1973) අලුත් ඉස්කෝලේ (1974) නොනැවතී ඉදිරියට (1975) උරුමය සොයා (1976) නව කැලණි පාලම (1982) මහපොළව අලුත් කිරීම (1994) මාගේ දේශය අවදි කරමු (1997) යන කාව්‍ය සංග්‍රහ ලියා පළකර ඇත.

අවසන් කාවය සංග්‍රය පළකර වසර විසි හතරකට පසු කෝ. ආනන්ද හිමියන් විසින් රචිත නවතම පද්‍ය සංග්‍රහය “කොරෝනා කාලෙ කවි“ ය

විවිධ තේමාවන් ඔස්සේ, සිද්ධි ඔස්සේ කවි ලියු කෝ ආනන්ද හිමියන් මෙම කාව්‍ය සංග්‍රහයේදී වැඩි බරක් දරා ඇත්තේ කොරෝනා අත්දැකීම ඔස්සේ තම සිත ඇති සිතුවිලි ලිවීමටය. විශේෂයෙන්ම එක් රටකට සීමා නොවී ලෝක වසංගතයක් වූ කොරෝනා ව පිළිබද රටට රටවල මිය ගිය, අසාධ්‍ය රෝගින් ගණනද දක්වමින් උන්වහන්සේ සිතට නැඟි අදහස් ලියා ඇත. එය මිනිස් සිතකට කොතරම් නම් වේදනාවක් දැයි දැනෙන්නේ මේ නිර්මාණ කියැවිමේදීය. ඇතම් කවියක ඇත්තේ අවවාදයකි. ඇතැම් තැනක ඇත්තේ කොහේ කොතැනක හෝ සිදු වු සිදුවීම විග්‍රහ කිරීමකි. තවත් විටෙක මිනිස් දුර්ගති දුරු කිරීමටද, මිනිසාට ශාන්තිය ළඟා වේවා යැයි ද පතයි. මේ සියල්ලටම උන්වහන්සේ බුදු දහම අනුව යන්න යැයි , පිළිපදින්න යැයි මිනිසා උනන්දු කරවයි.

මාතෘකාව කොරෝනා කාලයේ.

“පුරෝනා පින් සිතින බුදු දම් සඟුන් සැමකල් පුදන්න

දිරෝනා කය කෙළෙස් කහටින්

මිදෙන්නැයි පතන්න

නිරෝධායන පටිපදාවකි නොපසුබට වී පුරන්න

කොරෝනා පවතින තුරාවට උතුම් පන්සිල් රකින්න“

තවත් තැනක ආනන්ද හිමියන් ලියන්නේ සුව සේවා

ඇගයීම වෙනුවෙන් ය.

බුදුන් දැකීමට යනුවෙන් එය නම් කර ඇත.

“දැලකින් වටවී නැත ගැලවීමක්

මළවුන් ළඟ දිවි පින්පල දීමක්

පිලවුන් ගැලවූ මී පිඬු පිදුමක්

ගිලනුන් උවටැන් බුදුන් දැකීමක්..“

මුව වසාගෙන සිටින තරමටම බොහෝ ගැටළු අවම වේ. ඒ සියල්ලටම කට මුල් වන නිසාය. වචනය මිනිසුන් බිඳවයි රිදවයි. සනසයි නලවයි. නමුදු කොරෝනා වයිරසය පැතිර යාමට මුලික වන්නේ මුව ය. මුව වැස්මක් නොමැති වීම බලවත් තර්ජනයකි. ආවරණය කළ මුවින් රෝගය බෝ නොවීමට ඇති ඉඩ කඩ අවම වනවා සේම, මුව වසාගෙන සිටීම සමාජය තුළ යහපත්ම සිටීමට ද පිටිවහලක් වනු ඇත. මාතාකෘව යහ වදන.

දැම්මා ලොවටම මුව ආවරණය

නම්මා ගන්නට කොවිඩ් මරණය

සම්මා සම්බුදු අනුදත් චරණය

සම්මා වාචාමය රැකවරණය

ගෙවුණ දෙවසරක කාල සීමාව තුළ කොරෝනා වසංගතය නිසා මිය ගිය ජීවිත ගණන ලක්ෂ ගණනකි. උස්පහත් භේදයක් ජාති ආගම් කුල භේදයකින් තොරව මිනිසාට මරුවා ළඟා විය. භේදයක් නැති මරණය හමුවේ ජිවත් වීම අන්අයට පිහිට උපකාර වීම යහපත් ගුණ ධර්ම ඇතිව ජීවත් වීමය වටින්නේ. මේ එවන් අදහසක් ගැබ් වූ කවි පෙකි. මාතෘකාව දුක සැප අතරේ

රජ මැදුරෙත් දුගී මැදුරෙත් කොරෝනා

රජකරගෙන ලොව ජය ගෙන කොරෝනා

ගජරාමෙට කතා මැඬෙලන කොරෝනා

අජරාමර නිවන නිමවයි කොරෝනා...

ඉපිද ඉපිද මැරි මැරි

කිමිද ඉල්පෙන රළ සරි

නොවිඳ බව දුක දරනු බැරි

කිමද ළතැවෙනු වනු දිරි

ලොව පවතින්නේ ප්‍රේමය ආදරය නිසාය. මේ ප්‍රේම කාව්‍යයක අවසන් පද පෙළයි. මාතෘකාව ප්‍රේමයේ සරදම් (බස් නැවතුමේදී හමුවූ අදිසි ප්‍රේමය පුවතක්)

ප්‍රේමය සුන්දරය නිර්මලය ප්‍රේමය

ප්‍රේමය සෝමුසුය බියමුසු ප්‍රේමය

ප්‍රේමය විරහ ගීයක් වුවද ප්‍රේමය

ප්‍රේමය සනාතනමය නොනිමි ප්‍රේමය...

කොරෝනා වයිරස තත්වයත් සමඟ ලොවේ තතු මිනිස් ගති ස්වාභාවයන් ලියන අතරේම බුදු දහමට අනුගතව මේ සියල්ල දෙස බලන්නටත්, ආදරය දයාව කරුණාව ප්‍රේමය ආදි වූ සිතුවිලි, හැඟිම් දැනීම් ගැන සමාජයේ දකින විදින අත්දැකීම් සියල්ල විවිධාකාරයෙන් ලියා ඇත.

කෝ. ආනන්ද ස්වාමින් වහන්සේ මේ හැම කවියකින්ම මිනිසාට උගන්වන්නේ අපූරු පාඩමකි. එමෙන්ම මේ කවි අතර මෙරට නැසීගිය කලාකරුවන් කිහිප දෙනෙකු වෙනුවෙන්ම ලියැවුණු නිර්මාණ ද හමුවේ.

 

ඔබේ කවි නිර්මාණ පහත ලිපිනයට එවන්න

කවි සිළුමිණ, ලේක්හවුස්, කොළඹ 10.

විද්යුත් තැපෑල - [email protected]

 

 

Comments