කවියෙන් රට හෙල්ලූ පී. මලල්ගොඩ | සිළුමිණ

කවියෙන් රට හෙල්ලූ පී. මලල්ගොඩ

 

දිවි මඟ සටහන්

 

උපත - 1921-10-11 දික්කුඹුර මලල්ගොඩපිටියේ දී

පියා - ඩබ්. ඩී. සාමෙල් සිල්වා

මව - එම්.එම්. බබුන් හාමි

නම - පියදාස මලල්ගොඩ

සහෝදර සහෝදරියන් - 4කි. සයිමන්, ප්‍රැන්සිස්, ප්‍රේමවතී, ප්‍රේමදාස

පාසල - දික්කුඹුර ශ්‍රී සිද්ධාර්ථ විද්‍යාලය ය

පැවිදි වීම - 1934 මාර්තු 02, වයස 13 දී

පැවිදි නාමය - මලල්ගොඩ සුමනවංශ

උපැවිදි වීම - 1953

සිරගතවීම - 1953 හර්තාලය

උසස් අධ්‍යාපනය - ශ්‍රාස්ත්‍ර විශාරද පණ්ඩිත - බලගල්ල සරස්වතී පිරිවෙන

ප්‍රථම රැකියාව - ගම්පහ විද්‍යාසේකර විද්‍යාලයේ ගුරු වෘත්තිය

ප්‍රථම පළ කිරීම - අමාව කවි සඟරාව 1948.08.01

විවාහය - 1954

බිරිඳ - ශ්‍රියාවතී පද්මසිරි

දරැවන් - 5කි. මාධවී ලලිතකලා, ජගත් රසාංජන,

භාග්‍යා කාදම්බරී, බුද්ධි ප්‍රියංවදා හා භාෂිනී වසුන්දරා

මුුනුපුරු මිනිබිරියෝ - 11කි කවිත, සුරනි, තිස්වි, අමන්ත,

මානිත, පවාල, රචිත, නීරෝධා, මහීකා හා එරන්දි

මී මුනුබුරෝ - 2කි. කියන් හා යශෝධ

අභාවය - 1985 සැප්තැම්බර් 19

“වාච්‍යානාං වාචකානං ච

යදෞවීක්‍යෙන යොජ නමී

රසාදිවිෂයෙණෛතත් කර්‍ම

මුඛ්‍යං මහාකවෙඃ”

 

ආනන්ද වර්ධනයන්ගේ මේ කියමන පියදාස මලල්ගොඩ කවියාට බෙහෙවින් ම ගැළපෙන්නකි. වාච්‍ය වාචක යෝග්‍ය පරිද්දෙන් හා රස භාව පැහැදිලි වීමට අනුකූල වන පරිද්දෙන් කවියෙහි යෙදීම කවියකුගේ ප්‍රධානතම කටයුත්තයි. ආනන්ද වර්ධනයන් මෙසේ කියා ඇත්තේ මහා කවීත්වයෙන් හෙබි කවීන් ලෝකයෙහි දුර්ලභ වන බැවිනි.

1960 මාර්තු 03 දා සිට මාර්තු 23 දා දක්වා කිසිදු නීතිඥවරයකුගේ සහයක් නැතිව බණ්ඩාරනායක ඝාතන නඩුවේදී පී. මලල්ගොඩ කවියා සාක්ෂි දුන්නේ ය. ඒ සාක්ෂි අඩුවැඩි වශයෙන් විවිධ කොටස් තැන් තැන්වල පළ වී තිබේ. මේ මුළු සාක්ෂි මාලාව ම එක ම සාහිත්‍ය ගඟුලකි. එය ලංකාවේ උසාවි ඉතිහාසයට එක්වෙන්නේ මෙතෙක් පැවැති රසවත් ම හා දීර්ඝතම සාක්ෂිය වශයෙනි.

බණ්ඩාරනායකයන්ගේ ඝාතන නඩුවේ ප්‍රධාන සාක්ෂිකරුවකු ලෙස පැටලෙන්නට මලල්ගොඩ කවියාට සිදුවුණේ කුමන්ත්‍රණකරුවන්ගේ පෞද්ගලික රහස් ඔහුගේ කවි කොළයකින් හෙළිදරව් වූ නිසා ය. ‘රාජ්‍ය රහස්’ හෙළිදරව් කිරීමේදී මෙන්ම රැකීමේදී ද රුසියකු වූ මලල්ගොඩ කවියාගෙන් තමන්ට වුවමනා සාක්ෂි ලබා ගැනීමට නොහැකි වන බව නීතිඥයනට පෙනුණේ ඔහුගේ සියත් පිළිතුරු බැඳීම නිසා ය.

කවියකු යනු කවරෙක් ද යන්නත් කවියාගේ ආධ්‍යාශය කුමක් විය යුතු ද යන්නත් ගැන කිසිවකුට හෝ අනුදැන්මක් අවශ්‍ය නම් හේ අධ්‍යයනය කළ යුතු බොහෝ දෑ මෙකී මලල්ගොඩ සාක්ෂි මාලාවේ අන්තර්ගත ය. කවියකු ජනතාව වෙනුවෙන් දුන් සාක්ෂියක් මෙහිලා සඳහන් කරන්නේ එකී ආධ්‍යාශය ගැන සඳහන් කරනු පිණිස ය.

නීතීඥ- පදික වේදිකාවල මහජන මත සත්‍යයයි කියලයි ඔබ සලකන්නේ

මලල්ගොඩ- ඔව්! පදික වේදිකාවෙ මිනිසුන් කතා කරන බොහොමයක් ඇත්ත. ධනවතුන් නළවන්න මම කවදාවත් ලිව්වෙ නෑ.

සාමාන්‍ය ජනතාව ගැන කවියකු ලෙස තමන්ගේ විශ්වාසය පළ කළ එවන් සාක්ෂියක් තවත් වේද? එය රටක මුළු මහත් ජනතාව තමන් විශ්වාස කළ කවියා වෙනුවෙන් ඒකරාශී වූ මොහොතක් විය.

පියදාස මලල්ගොඩ උපත ලබන්නේ 1921 ඔක්තෝබර් 11 දා දික්කුඹුර මලල්ගොඩපිටියේ ය. ඔහුගේ පියා වන්නේ ඩබ්. ඩී. සාමෙල් සිල්වා ය; මව එම්.එම්. බබුන් හාමි ය. ඔහුට සහෝදර සහෝදරියන් 4කි. ඒ සයිමන්, ප්‍රැන්සිස්, ප්‍රේමවතී හා ප්‍රේමදාස ය. මලල්ගොඩ සුමනවංශ නමින් ගාල්ල විජයානන්ද පිරිවෙනේදී වයස 13 එළැඹි කල පැවිදි දිවියට ඇතුළත් වෙන හේ ඒ අවදියේදී කාව්‍ය ශාස්ත්‍රයට අදාළ ශ්ලෝක හා භාෂා පරිචය ලබා ගනී. නම්පොත, මඟුල් ලකුණ, බුද්ධ ගජ්ජය, වදන් කවි පොත හා නාමාෂ්ට ශතකය වැනි පොත් සියල්ල එහිදී කියවා ප්‍රගුණ කළේ ය.

හිටිවන කවි ශාස්ත්‍රයෙහි හපනෙක් වූ සුමනවංශ හිමි කළුගල ගුණවර්ධනාරාමයේ ඉගෙනුම ලබනා සමයේ ඉදහිට පන්ති කාමරය ඇතුළේ හිටිවන කවි දෙක තුනක් කීවේ ය. මේ ගැන කිපුණු ලොකු හාමුදුරුවෝ සුමනවංශ පොඩි නමට අවවාද කරමින් දඬුවම් ද කළහ. කිපුණු පොඩි හාමුදුරුවෝ මෙකල්හි මෙන් ලොකු හාමුදුරුවන්ට පාඩම් උගන්වන්නට සිතුවේ අතින් පයින් හෝ මඬ ගැසීමෙන් නොවේ. කුඩා උන්වහන්සේ අඟුරු කැබැල්ලකින් ආවාස ගෙයි බිත්තියෙහි ලොකු හාමුදුරුවන්ට පේන්නට කවියක් ලියුවේ ය.

පසුදා උදෑසන කවිය දුටුව ද ලොකු හාමුදුරුවන් ද කිපුණේ නැත. සුදු බිත්තියේ අඟුරුවලින් ලියූ කළු අකුරු කවිය මකා දමා පොඩි නමගේ හැකියාව ගැන උන් වහන්සේ යටි සිතින් ආශීර්වාදාත්මක වූහ.

පන්සල් අධ්‍යාපනය නිම කළ පොඩි හාමුදුරුවෝ වැඩිදුර අධ්‍යාපනය සඳහා වැල්ලවත්තේ ධර්මෝදය පිරිවෙනටත්, බලගල්ලේ සරස්වතී පිරිවෙනටත් ගියහ. ප්‍රාචීන භාෂෝපකාර සමිති විභාගයෙන් ඉහළින් ම සමත් වෙන සුමනවංශ පොඩි හාමුදුරුවන්ට පණ්ඩිත උපාධිය පිරිනැමිණි.

1953 වසරේදී ම උපැවිදි ව යළිත් පියදාස මලල්ගොඩ නාමය ලද හේ මහණකම අතහැරියත් කවිකම අතහැරියේ නැත. ළමා කල පැවිදි දිවියට ඇතුළත් වුවද තරුණ වියට එළැඹි විට මේ අසාධාරණ සඳහා නැගිටින්නට සිවුර බාධාවක් බව ඔහුට හැඟෙන්නට ඇත. ඔහු කොමියුනිස්ට් පක්ෂයේ ක්‍රියාකාරී මිතුරකු විය. එහෙත් කොමියුනිස් පක්ෂයෙන් ඉවත් වන්නට ඔහුට පාර කැපුණේ භාෂා සටන නිසා ය. සිංහල භාෂා සටන බණ්ඩාරනායකයන් හා එක් ව දිගට ම ඉදිරියට ගෙන ගියේ මලල්ගොඩ ය. ඒනිසා ම සිංහල දෙමළ දෙබසට ම සමතැන් දීමේ පිළිවතෙහි සිටි කොමියුනිස්ට් පක්ෂය අතහැර ඔහු මහජන එක්සත් පෙරමුණෙහි මිතුරකු වී ය. එහෙත් කලක් යද්දි පරිණත අවදියට එළැඹෙන හේ සිංහල කවි සම්මේලනය ඇතුළත ජාතිවාදී වීරෝධී හඬක් නැඟුවේ ය.

ඔහුගේ කවිවල ජනතාව හා දේශපාලනය ගසට පොත්ත මෙන් බැඳී සිටියේ ය. කවියත් දේශපාලනයත් එකිනෙකට වෙන්කළ නොහැකි තරමට ඔහු අත ඒකීය භාවයට පත් ව තිබිණි. ඔහු බෙහෙවින් අවංක විය; තමා නිරත ක්ෂේත්‍රයට දැඩි සාධාරණයක් කිරීමේ පිපාසයක් ඔහුට විණි. ඔහු ලියූ කවි හේමපාල මුණිදාසයන් හැඳින්වූයේ එල්ලය බලා කුරුමානම නොවදින සේ ඊය විදින දුනුවායකුගේ හීසර වැනි ය කියා ය. අසාධාරණයට, දූෂණයට, රදළවාදයට, නව යටත්විජිතවාදයට, අධිරාජ්‍යවාදයට හා ධනවාදයට එරෙහිව ඔහුගේ කවි චින්තන ධාරාව විදුලි සැරයක් මෙන් එල්ල වූයේ අභීත ව ය; එඩිතර ව ය; වේගවත් ව ය. සිංහල කවි සම්මේලනයත්, කවිය පත්‍රයත් පණ සේ රැකි ඔහු; ඇස්. මහින්ද හිමියන් කවියෙන් කළ දේශානුරාගී විමුක්ති අරගලයේ දෙවැනි පරපුර පරපුර නියෝජනය කළේ ය. ජාතික නිදහස අර්ථවත් කළ හැකි යුක්ති දේශපාලනයක් ඉල්ලා හේ කවියෙන් සටන් වැදුණේ ය. පාලකයන් රිදවන, බිය වද්දන ප්‍රබල හාස්‍ය හා උපහාසයක් මලල්ගොඩගේ කවියෙහි විය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම පෑන ඔහුට අවියකි. ඔහු සෑම කල්හි ම කටයුතු කළේ ‘බිය නැත කිසිදු රජ අණකට කවි පෑන‘ යන මූලධර්මයෙහි පිහිටා ය. ‘බම්මන්නා’ යනු බාරගත් කාර්ය හරිහැටි නොකරන්නා යැයි කී මලල්ගොඩ කවියා ජනරංජනයෙහි අසමත් පාලකයා ද එවැන්නෙක් යැයි වරක් පැවසී ය.

බම්මන්නකුව හැසිරෙන ජනපතිය කැන

මින්පසු නොඑව පෙරළන්නට පරණ පොත

බලකාමී දේශපාලනයේ අමනකම් මුළුමනින් ම ප්‍රතික්ෂේප කළ හේ ජීවත් වූයේ ජනතා වේදිකාවේ ය.

හාල් මිල ගැන ප්‍රශ්න තිබුණේ අද විතරක් නොවේ ය; එදා ද එය මේ වැනි ම විය. එහෙත් එක ම වෙනසක් තිබේ. එදා ඒවැනි අත්තනෝමතික ක්‍රියාවලට එරෙහි ව දැන් මෙන් නොව කලාකරුවෝ දෑස් අඳ සේ නොසිටියහ. ඔවුහු ජනතාව වෙනුවෙන් පෑනෙන් පෙළ ගැසුණහ. අසාධාරණයට විරුද්ධ වීමට දෙවරක් නොසිතූ මලල්ගොඩ ඒ වෙනුවෙන් කල්යල් බැලීමක් හෝ ඉවසීමක් නොකළේ ය. 1953 දී හාල්මිල ඉහළ දැමීමට එරෙහි ව කවියෙන් මහජන මතයක් ඇති කිරීමේ චෝදනාවට මලල්ගොඩ කවියා සිරබත් කෑ බව දන්නා අය ඇත්තේ අල්පයක් විය යුතුය. එකල හිරගදෙර සිට ලියූ කවි සමහරක් හේමපාල මුණිදාසයන් සංස්කරණය කළ සිංහලේ පුවත්පතෙහි ද පළ විණි.

විමලා විජයවර්ධන අගමැතිට කැලෑ පත්තර ගැසූ හැටි, ආණ්ඩුව පෙරළීමට කුමන්ත්‍රණය කළ අයුරු සහ බණ්ඩාරනායක අගමැති මැරීමේ අධිකරණයේ සහ තොරතුරු ඇතුළත් කෘති තුනක් කවියෙන් පළකිරීම නිසා මලල්ගොඩ රහස් පොලිසියේ හතරවැනි තට්ටුවට දිනපතා ප්‍රශ්න කිරීම සඳහා ද කැඳවන ලද්දේ ය.

1954 දී ශ්‍රියාවතී පද්මසිරි සමඟ සිය ජීවන ගමන බෙදාහදා ගැනීම අරඹන ඔහුට දරුවන් පස්දෙනෙකි. ඒ මාධවී ලලිතකලා, ජගත් රසාංජන, භාග්‍යා කාදම්බරී, බුද්ධි ප්‍රියංවදා හා භාෂිනී වසුන්දරා ය. මුුනුපුරු මිනිබිරියෝ 11කි. ඔවුහු කවිත, සුරනි, තිස්වි, අමන්ත, මානිත, පවාල, රචිත, නීරෝධා, මහීකා හා එරන්දි වෙති. කියන් හා යශෝධ නමින් මී මුනුබුරෝ දෙදෙනෙක් ද වෙති. කවියකු හෝ ලේඛකයකු නොරැඳෙන මොහොතක් නැති තරම් වූ නිවෙසක මලල්ගොඩ කවියාගේ සියලු අභීතකම් හා ඒ අභීතකම් නිසා ආ ගැහැට සියල්ල දරා ගත්තෝ නිවැසියෝ හා හිතවත්හු ය.

1978 දී පැය 18 ක් හතරවැනි තට්ටුවේ ප්‍රශ්න කිරීමකට ලක් ව ගෙදර එන මලල්ගොඩ කවියාට, ආ සැණින් කවි ලියන්නට තරම් මානසික සුවයක් නිවෙසේ සැදුවේ ප්‍රිය බිරිය ශ්‍රියාවතී ය. ඔහුගේ කවි සිත හඳුනාගත් සහෘදයෝ වූ කලී කවියෝ ය. පොදු පාඨකයෝ ය. පී. එච්. අමරසේන, මීදෙණියේ විමලානන්ද හිමි, විමල් අබේසුන්දර, මීමන ප්‍රේමතිලක, සාගර පලන්සූරිය, විමලේන්ද්‍ර වතුරේගම, උපනන්ද බටුගෙදර, පී. බී. අල්විස් පෙරේරා වැන්නෝ ඔහුගේ හදවත හැඳිණූ සහෘදයෝ ය. එවන් සහෘදය පිරිසක් ලැබීම ම හේ කෙතරම් ඥාන හා මිතුරු පොහොසත් බවෙකින් යුක්ත වූයේ ද යන්නට මනා නිදසුන් ය. ප්‍රිය ඇසුර තරම් පුද්ගලයෙක් සාර සුභාවිත හා මුදු කරන තව යමක් ඇත්තේ නැත.

සිංහල, පාලි හා සංස්කෘත භාෂා ත්‍රිත්වයෙහි ම එකසේ නිපන් මලල්ගොඩ කවියා ලියූ පද්‍ය කෘති සංඛ්‍යාව 17 කි. ලේ සලකුණ, කසපහර, සබුක්කු පහර, දේශපාලන කරළිය, විමලා විජයවර්ධන අගමැතිට කැලෑ පත්තර ගැසූ හැටි, ආණ්ඩුව පෙරළීමේ කුමන්ත්‍රණ කළ හැටි, බණ්ඩාරනායක අගමැති මැරීමේ අබිරහස, මෙන්න දහනායක, නූතන දේවදත්ත, බණ්ඩාරනායක නඩුව සහ මලල්ගොඩගේ සාක්කිය, කොළඹ කවි යුගය, ස්ත්‍රී සූත්‍රය, තුන් විපත, තොලට තොල හා ජෝතිමත් ජීවිතය ඇතුළු කෘති බොහොමයක් ඔහු රචනා කර තිබේ.

මලල්ගොඩයන් ගුරුවරයකු වශයෙන් කලක් සේවයේ යෙදී සිටියේ මිතුරකුගේ ආරාධනයක් පිට ඔහු සතුටු කිරීමේ පරමාර්ථයෙන් මිස ජීවනෝපාය වශයෙන් හෝ වැටුපක් තකා ගෙන නොවේ. වැටුපක් ලැබුණත් නොලැබුණත් ඔහු ඒ අවස්ථාවේ මිතුරාගේ ඉල්ලීම ඉටු කරමින් ගුරුකමේ යෙදෙන්නේ ය. ගුරුකමින් ලැබුණු ආදායමට වැඩි ආදායමක් මලල්ගොඩ පොත් ලිවීමෙන් ලැබුවේ ය. සමහර අවුරුදුවල ඔහු පොත් ලිවීමෙන් රුපියල් හත් අට දාහ ඉපැයූ අතර ඇතැම් අවුරුදුවල ඔහු රුපියල් දෙතුන් දාහ ඉපැයුවේ ය. ඒ කාලයේ හැටියට එය විශාල මුදලකි.

මිනිසුන් ඉපැදේ; මැරේ. කවියන් ද දුර්ලභ ව හෝ ඉපැදේ; මැරේ. නොමැරෙන්නට මෙන් උපනුන් නොව; ඕනෑ ම මොහොතක මියෙන්නට බිය නැති වෙන්නට නම් තමන් උපන් දේශයට මතක හිටින යමක් කළ යුතුය. එසේ කිරීමට හැමෝට ම හැකියාවක් නැත. එය සුදුර්ලභ ලක්ෂණයකි. නිවට, නියාලු හෝ බයාදු කමෙන් තොර ව තමාගෙන් ඉටු විය යුතු සේවාව නොපැකිළ ව ඉටු කළ පී. මලල්ගොඩ කවියා වැටෙන්නේ අමරණීය කවි පරපුරට ය. ඔහු අවශ්‍ය ම සමයක ඔහුගේ නික්ම යෑම ගැන මෙතරම් කතා කරන්නේ ඒ හිඩැස නිසා ය.

 

Comments