අපේ සාහිත්‍ය විචාරයට විචාර බුද්ධියක් නැද්ද? | Page 2 | සිළුමිණ

අපේ සාහිත්‍ය විචාරයට විචාර බුද්ධියක් නැද්ද?

 

සාහිත්‍ය සමයත් සමඟම සාහිත්‍ය නිර්මාණය සහ විචාරය සම්බන්ධයෙන් අලුත් කතා බහකට මුල පිරීම නිතර සිදුවන්නකි. මෙවර සැප්තැම්බරයේ කොවිඩ් වසංගතය හමුවේ විවෘතව සාහිත්‍ය සංවාද මතු නොවුණත් අන්තර් ජාලය හරහා මෙන්ම පොදුවේ ජනමාධ්‍ය තුළද එම සංවාදය නොනැසී පැවතුණි. ඒ විවාදාත්මක අදහස් ගැන විවෘත විවේචන මෙන්ම ඇගයීම් ද තිබුණි. ඔක්තෝබරය කියවීම සහ පොත් මුල් කොට ගත් මාසයක් වේ. ඒ නිසා ඉහත විවාදාත්මක අදහස් ද සමඟ සාහිත්‍යයික කියවීම සම්බන්ධයෙන් සංවාදශීලි වේදිකාවක් නිර්මාණය කරදීමට සිළුමිණ මෙවර තීරණය කළෙමු.

මුලින්ම සාහිත්‍ය කියවීම සහ පාඨකයාගේ විචාර බුද්ධිය සම්බන්ධයෙන් අදහස් පළ කළේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි භාෂා ඉගැන්වීම් අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය

මධුභාෂිනි දිසානායක රත්නායක යි

“සාහිත්‍ය විචාරය සම්බන්ධයෙන් අද අපට අවශ්‍යම වෙලා තියෙන්නේ විචාර බුද්ධියයි. එහෙත් අපට අද නැත්තේත් එයම තමයි. අපි ජීවත් වෙන්නේ සෑම දෙයක්ම විමසන තත්ත්වයක නම් සාර්ථක අනාගතයක් වෙනුවෙන් අපට බලාපොරොත්තු තබා ගත හැකියි. එහෙම නොවුණොත් සාර්ථක අනාගතයක් ගැන බලාපොරොත්තු ඇති කර ගැනීම ඇත්තටම අසීරුයි. මා කියන්නේ විමසීමක් නැතිව ජීවත්වීම මරණයක් හා සමානය කියලයි.

මම සිතන විදිහට මෙය අධ්‍යාපනයේ සිටම ඇතිවිය යුතුයි. පාසල් අධ්‍යාපනය කොහොම වුණත් විශ්වවිද්‍යාල අධ්‍යාපනය තුළදීවත් මේ දේ සිදුවිය යුතුයි. ගුරුවරුන් වශයෙන් අප කළ යුත්තේ සිසුන්ට සටහන් ලබා දෙමින් ඒවා කටපාඩම් කිරීමට සැලැස්වීම නොවේ. ඔවුන්ගේ විචාර බුද්ධිය අවදි කිරීමයි. ඒ අනුව පොත් දහයක් ඔවුන්ට කියවන්නට සලස්වා ඒ ගැන සාකච්ඡා කිරීම තුළින් විමසීමට ඔවුන්ව යොමු කරවා ගැනීම මෙහිදි වැදගත් වෙනවා.

ලෝක ඉතිහාසයේ අඳුරු යුගයේදී බයිබලය තිබුණේ පල්ලියේ පූජකවරයාගේ අත මත මිස ජනතාව අතේ නොවේ. ඒ නිසා එය කියවා තේරුම් ගැනීමට හැකියාවක් ජනතාවට තිබුණේ නැහැ. ඒ අනුව පූජකවරයා ලොකු බලයක් තමන් අතේ තබා ගෙන සිටියා. පසුව ගුටෙන්බර්ග් බයිබලය මුද්‍රණය කළා. ජනතාව අතට බයිබලය පත්වුණා. ඒත් සමඟම වෙනස් වෙනස් යුග ඇති වුණා. අලුත් ආගම් බිහි වුණා. අර අධිකාරි බලයට එය භයානක අත්දැකීමක් වුණා. මතක තියාගන්න සිසුන්ගේ විචාර බුද්ධිය අවදි නොකරන ගුරුවරුන් අතර ද මේ බලය පවතිනවා.

අධ්‍යපනය මෙතැනදී වැදගත් යැයි මම කියන්නේ ඒ නිසායි. එහිදී අපි තේරුම් ගන්න ඕනෙ ඇකඩමික් සර්ච් කියන තත්ත්වය හරිම වැදගත් කියලා. එහෙම නැතිවුණොත් බුද්ධිය වුණත් එක තැන පල් වෙනවා.

ප්‍රශ්නවලට පිළිතුරු දීමට වඩා, නිවැරැදිව ප්‍රශ්නයක් ඇසීම වැදගත් බව මතක තියාගන්න.

දහම් පාසැල් අධ්‍යාපනයේදී ආගම, භක්තිය මුල් කොට ගෙන අපට ඉගැන්වූවත්, විශ්වවිද්‍යාල අධ්‍යාපනයේදි අප එය උගත යුතතේ විචාර බුද්ධිය මුල් කොට ගෙනයි. ඒ නිසා විවිධ ආගම් දර්ශන හදාරන්න අපට සිදුවෙනවා. දැන් මම ඔබෙන් ප්‍රශ්නයක් අහන්නම්. පොත පත කියවූ පමණින්ම කෙනෙකුගේ විචාර බුද්ධිය අවදි වෙනවා ද? අපේ සංස්කෘතිය ගැන අප ඉගෙන ගන්නේ පොත් පත් වලින් නම් එය නොවිමසාම අප පිළිගන්නවා නම් ඒක හරි ද? සාම්ප්‍රදායිකව අපට උගන්වා ඇති අන්දමට පොත පත වන්දනය කිරීම, පොත් පත්වල ඇති ඒ සියල්ල නිවැරැදි යැයි නොවිමසා පිළිගැනීම කියන තැනින් අපි අයින් වෙන්න ඕනෙ. බුද්ධාගමට අනුව කිසිම දෙයක් නොවිමසා පිළිගැනීම නොකළ යුත්තක් යැයි ඉගෙන ගෙන සිටියත් අද අපි ඉන්නේ කොතන ද?

පොත පත කියවීම වුණත් අපි ගන්න ඕනේ ඇදහීමක් විදිහට නොවෙයි. මේ යන රැල්ලට එරෙහිව බිත්තියක් වෙන්න පොත් පත්වලට පුළුවන් වුණත් පවතින ක්‍රමය විසින් එය වළක්වනවා. පොත් පත් කියන්නේ ලොකු බලයක්. ශක්තියක්. ඒත් අපේ අධ්‍යාපනය ඒ බලය හා ශක්තිය අපට ලබා දෙනවා ද?

ගුරුවරයාගේ භූමිකාවත් හරිම ප්‍රබලයි. ඔහුගේ දේශපාලන මතය, ඒක පෞද්ගලික කාරණයක්. ගුරුවරයෙක් වශයෙන් මගේ අත්දැකීමට අනුව මම ඉගැන්වීමට යන්නේ සියයට 50 කින් මගෙන්ම නිදහස් වෙලයි. ඒ වගේම මගේ අදහස් මගේ අප්පච්චිගේ අදහස්වලට වඩා වෙනස්. පොත් පත් කියවීමෙන් මම වෙනස් වුණා.

එහෙම වෙන්න ඕනෙ. ඒ වෙනස ලෝකයේ ඉදිරි ගමනට අවශ්‍යයයි. එහෙම නොවන පසුබිමක ලංකාවේ අනාගතය ගැන මට නම් හිතාගන්න අමාරුයි.”

 

ලේඛක කුමාර සිරිවර්ධනට ඇත්තේ මෙවැනි විවේචනයකි

“පොත් ප්‍රදර්ශනය මෙවරත් පත්වනවා නම් ඒක සතුටක්. ඒ ගැන අදහස් ප්‍රකාශ කිරීමේදී පොදු ජනමාධ්‍ය වගේම සමාජ මාධ්‍ය ජාලයත් අද මුල්තැනක තිබෙනවා. ඒ නිදහස හොඳයි. අදහස් පළ කිරීමේ අයිතිය කාටත් තිබිය යුතුයි. නමුත් එහිදි සදාචාරයක් ද තිබිය යුතුයි. විශේෂයෙන්ම මුහුණු පොත මාධ්‍යයක් කරගෙන අදහස් පළ කරන්නවුන් එසේ කරන්නේ කිසිම විෂය අවබෝධයකින් තොරවයි. උදාහරණයක් හැටියට පොත් මිල ගැන ආන්දෝලනයක් ඇති වෙලා තියෙනවා. නමුත් අපි හොඳටම දන්නවා පොත් ප්‍රකාශනය කියන්නේත් කර්මාන්තයක්ය කියලා. පසුගිය කාලයේ කඩදාසිවල මිළ ගණන් වගේම සෙසු වියදම් දෙගුණයකින් වගේ වැඩි වෙලා තියෙනවා. පොත් මිල ගැන කතා කිරීමේදී ඒ කර්මාන්තය ආරක්ෂා වෙන විදිහට කතා කළ යුතුයි. ඒ වගකීම අපට තිබෙනවා.

පහුගිය කාලයේ පොත් හල් වැහිලා තියෙද්දි ඔන්ලයින් එකෙන් පොත් අරගෙන පොත් කියවපු අය සිටියා. මේ අය අවංකවම මගේ පොත් ගැන අදහස් පළ කරපු අවස්ථා තිබුණා. මම ඒ අත්දැකීම ලබලා තියෙනවා. නමුත් මුහුණු පොතේ පොත් ප්‍රචාරය වගේ විචාරය තුළ කල්ලිවාදයක් දකින්න පුළුවන්. එහි කල්ලි, දායක සභා තිබෙනවා. සමහර

පිටුවල නම් දැක්කම අපට හිතෙනවා මේ අය සාහිත්‍ය ගැන දැනුමක් වගේම සංවේදිතාවක් ඇති අයයි කියලා. නමුත් මේ අය කටයුතු කරන කොට හිට් වෙන්න කියලා වැඩිපුර ලයික්ස් ගන්න හිතාගෙන කොහේ හරි තියෙන කුණු ගොඩක් ගෙනල්ලා අතහරිනවා. සාහිත්‍ය වගේ බුද්ධි විෂයකට මෙහෙම කිරීම සහගහන අපරාධයක්. ඊට සාප වෙනවා.

ඒ වගේම එදා පොත් ප්‍රකාශන සමාගම් අතර යහපත් සහයෝගීතාවයක් තිබුණා. නමුත් අන්තර් ජාලය තුළදී සමහර පොත් ප්‍රකාශකයින් හැසිරෙන හැටි දැක්කම ඔවුන්ට අවම සදාචාරයක්වත් තියෙනවාද කියලා අපට හිතෙනවා. තමන්ගේ ආත්මාර්ථකාමි අරමුණු වෙනුවෙන් මේ භාවිතාවේ කිසිම සදාචාරයක් විනයක් මා දකින්නේ නැහැ.

මේක හරිම අවලස්සන පොරයක්. පොත් ප්‍රදර්ශනය ළං වෙනකොට මේ තත්ත්වය හොඳින් දැක ගන්න පුළුවන් වේවි. මේ කියන කල්ලි වගේම දායක සභා පිටුපස දේශපාලනයක් තියෙනවා වෙන්න පුළුවන්. ඒත් පොත් පත් සාහිත්‍ය සම්බන්ධයෙන් මෙවැනි අවිචාර විෂය අවබෝධයක් නැති හැසිරීම් ගැන මම ඇත්තටම කනගාටු වෙනවා.”

 

ලේඛක පාලිත ජයකොඩි ඒ සම්බන්ධයෙන් පැවසුවේ මෙවැන්නකි

“90 දශකය වනවිටත් අප දන්නවා සාහිත්‍ය විචාරයට පුවත් පත්, ටෙලිවිෂන්, ගුවන් විදුලිය පවා ඔවුන් පිළිගත් තතවයන් තුළ ඉඩ කඩ ලබාදීමක් සිදුවුණා කියන එක. ඒ විචාරය තුළද සීමාවන් තිබුණත් අද මෙන් තරගකාරි වෙළඳ පොළ මානසිකත්වයක් අප දුටුවේ නැහැ. ඒත් වෙනස් වූ ගෝලීය සමාජ හා තාක්ෂණය හමුවේ තව දුරටත් කලාව කලාව සඳහාය හෝ ජනතාව සඳහාය වැනි පිළිගැනීම් වලින් එහාට ගිය තත්වයක් තමයි අපි දකින්නේ. වෙළෙඳපළ තරගකාරීත්වය හමුවේ වෙනස් වූ මේ කියන සාහිත්‍ය විචාර සහ අදහස් දැක්වීම් ගැන මම හිතන්නේ මෙහෙමයි.

මම ගෙයක් හදල තියෙනවා. ඒ ගෙය ගැන අදහස් පළවීම් විවිධ විය හැකියි. නමුත් ඒ නිසා ඒ ගෙදර මුලින් අතට හරවන්න මට බැහැ. ආයේ කවදාවත් ගෙයක් හදන්න බැරි වෙන විදිහට සාධනීය නොවන විචාර අදහස් නිසා කලකිරීම සහ වේදනාව නම් ලැබෙන්නේ ඒක මොන වගේ තත්වයක් ද? ඉදිරි පියවරක් වෙනුවෙන් අර මුලින් සැදු නිවස ගැන අදහස් පළවීම කොතරම් නිර්දය වුවත් ඒවා ප්‍රතිඵලදායකයි. එය ඉවසීමේ මනා ගුණයක් ලේඛකයන්ටද තිබිය යුතුයි.

අද පවතින මුහුණු පොත මුල් කරගත් විචාර අදහස් බොහොමයක් විෂය අවබෝධයකින් යුතුව කරන ඒවා යැයි අපට සිතන්න බැහැ. මේ හැමෝම විචාරකයෝ නොවෙයිනෙ.

විවිධ අරමුණු තියෙනවා. විකෘති වගේම පරණ කතන්දර පිරිමසා ගන්නත් සමහරු අදහස් දක්වනවා. අදහස් පළකිරීමේ අයිතිය කාටත් තිබෙනවා. ඊටත් වඩා මෙතැන තියෙන්නෙ ඒ වෙනුවෙන් හැමෝටම වාගේ අවස්ථාවක් ලැබිල තියෙන එකයි. ඇතමුන් සිය හිතවත්කම් වෙනුවෙන් වගේම තමන්ගේ අය නිසා හෝ පළකරන අදහස් පදනමකින් තොරව සිදු කරනවානම් ඒවා විචාර වශයෙන් සලකන්න බැහැ. තවත් අය වෙළඳපොළ තරගකාරිත්වය නිසාම ව්‍යාජ ගිනුම් තුළින් ඉදිරිපත් කරන නින්දාලාප ඇත්තටම කනගාටුදායකයි.

කොහොම නමුත් ගෝලීය වසංගතය හමුවේ අන්තර්ජාලය අපට ලබාදී ඇති මෙම වේදිකාව මුළුමනින්ම ප්‍රතික්ෂේප කිරීමටත් අපට පුළුවන්කමක් නැහැ. මේ නව තාක්ෂණ දියුණුව මුළුමනින්ම බැහැර කරල ඉදිරියක් ගැන සිතන්නත් අපට බැහැ. කුමන සීමාවල් මැද වුණත් අපි අපේ ගමන යායුත්තේ මේ සියල්ලම සමඟයි.

අද පොත් ප්‍රකාශනය කියන්නේ ලේඛකයා, පාඨකයා සහ ප්‍රකාශකයා අතර සම්බන්ධයක්.

ඒ පසුබිමේ ලොකු වෙළෙඳපොළක් ද තිබෙනවා. ඒ වගේම වාර්ෂිකව පැවැත්වෙන පොත් ප්‍රදර්ශනය මුද්‍රාවක් වගේ අප හමුවේ පවතිනවා. ලේඛකයකුගේ ලිවීම, පාඨකයින්ගේ කියවීම, ප්‍රකාශකයින්ගේ පොත් පළකිරීම ඒ ඉලක්කය සමඟ පවතින එක අපට වළක්වන්න බැහැ.

මේ නව වෙළඳපොල සංස්කෘතිය තුළ සීමාවන් තිබිය හැකියි. ඒ වගේම සැප්තැම්බරයෙන් ඇරඹෙන සාහිත්‍ය ප්‍රබෝධය අමතක කළ නොහැකියි. මා කියන්නේ බණ්ඩාරනායක ශාලාවේ පොත් ප්‍රදර්ශනය ගැන පමණක් නෙවෙයි.

රටපුරාම ඇතිවන සාහිත්‍ය ක්‍රියාකාරකම් වලිනුත් මේ ප්‍රබෝධය ලොකු මහත් කරනවා. සාහිත්‍යයට එක මාසයක් විතරක් මොකටද කියල අහන අයත් ඉන්නවා. තමන්ගේ රුචි අරුචිකම් අනුව කටයුතු කරන්න හැමෝටම අයිතියක් තියෙනවා.

ඒත් මේ සාහිත්‍ය වසන්තය ඒ නිසාම පැත්තකට තල්ලු කරල දාන්න අපට පුළුවන්කමක් නැහැ. අපේ ඉදිරි ගමන පවතින්නේ මේ හැම වෙනස්කමක්ම සමගයි.”

 

කැළණිය විශ්වවිද්‍යාලයේ කතිකාචාර්ය (ජර්මන් භාෂාව)

අෂානි ශාලිකා රණසිංහ දැක්වූ අදහස් මෙසේය

“මා දන්නා තරමින් අපේ රටේ විශ්වවිද්‍යාල මුල් කොට ගෙන ප්‍රධාන පෙළේ භාෂා ගණනාවක්ම උගන්වන්නේ අද ඊයේ ඉඳලා නොවෙයි. නමුත් ඒ නිසා අපි සංවර්ධනයක් ලබා තිබෙනවාද? ශිෂ්‍යයන් භාෂා අධ්‍යාපනය ඔස්සේ ප්‍රගතියක් ලබා තිබෙනවාද? බොහෝ විට වෙන්නේ ඉගෙන ගන්නවා; එතනින් අමතක කරනවා.

මම ජර්මන් භාෂාව හැදෑරීමෙන් පසු පරිවර්තන කාර්යයට යොමු වුණා. එතනදී මම තේරුම් ගත් දේ තමයි ජර්මනියේ දැනුම අපට ලබා ගන්නවා වගේම අපේ දැනුම හා ඉතිහාසය ඔවුන්ටත් ලබා දෙන්න පුළුවන් කියන කාරණය. නමුත් ඒ දේ අපේ පරිවර්තන සාහිත්‍ය තුල සිදුකළ හැකිද? විශ්වවිද්‍යාලවල කෙරෙන්නේත් ඉගැන්වීම විතරයි. භාෂා අධ්‍යයනය තුළින් අපට පුලුල් සමාජ අධ්‍යයනයක් ලැබෙනවා. ඒ තුළ සාහිත්‍යයික වගේම ආර්ථික වශයෙනුත් අවස්ථා ඇති වෙනවා. නමුත් එවැනි විමසීමක් යොමු කිරීමක් ශිෂ්‍යයින්ට ලැබෙනවාද? බොහෝ විශ්වවිද්‍යාල මේ සම්බන්ධයෙන් අපට සෑහීමකට පත්වෙන්න පුළුවන් තත්ත්වයක නෑ. ඔවුන් බොහෝ විට භාෂා අධ්‍යයනය පවත්වා ගෙන යන්නේ කීර්තිනාමය, අධිකාරි බලයක් වෙනුවෙනුයි. ඒ ගැන දැනුවත් කරන්නේ හරියට “ප්‍රෙස් රිලීස් ” එකක් දෙනවා වගේයි. මෙය ගුරු මුෂ්ටිය තබා ගැනීමක් වශයෙන් දකින්නත් පුළුවන්. එතකොට භාෂා අධ්‍යයනය කරන ශිෂ්‍යයන්ට මොකද වෙන්නේ. තමන් උගත් දේ ගැන විමසීමක්, ගවේෂණයක් තියා බලාපොරොත්තුවක්වත් ඒ අයට ඉතුරු වන්නේ නැහැ. ගුරුවරුන්ගේ පවා බොහෝ විට නව අධ්‍යයනයන් කරා යොමුවීමක් දකින්න ලැබෙන්නෙ නැහැ. මේ ප්‍රශ්නය හරියට තේරුම් ගන්න ඕන.”

 

ලේඛක ප්‍රේමකීර්ති රණතුංග තමන් ලද අත්දැකීමක් මෙසේ පැවසීය

“වසරකට වරක් පැවැත්වෙන පොත් ප්‍රදර්ශනය මුල්කොට ගත් මේ සාහිත්‍ය සමයේ බොහෝ අයට බොහෝ අදහස් තිබිය හැකියි. ඒත් මේ සමඟ බිහිවන උසස් හා පහළ මැද පන්තියට අයත් යැයි සිතිය හැකි නව පාඨක පිරිසක් සිටීම වැදගත් දෙයක්. ඒ වගේම සම්මාන ප්‍රදානෝත්සව මගින් ලේඛකයන්ගේ කෘති ඉහළට ඔසවා තැබීම මම අගය කරනවා. ඒත් මගේ කෘතියක් වරක් සම්මාන විනිශ්චයකට ලක්වුණා. පසුව මට දැනගන්න ලැබුණ විදිහට ඒ සමීක්ෂකයා මගේ කෘතිය ගැන කිසිවක්ම නොවිමසා මා ගැන විමසා තිබුණේ මෙහෙමයි. මෙයා කවුද? ඉන්නේ කොහිද? මොනවා කරන කෙනෙක්ද? ඔහු මගේ කෘතියට අත තියලවත් නැතැයි මම සිතනවා. යම් කෘතියක් සම්බන්ධයෙන් කරන විනිශ්චයකදී වැදගත් වන්නේ ඵලය මිස පුද්ගලයා නෙවෙයි කියන එකයි මගේ හැගීම.

ප්‍රවීණ ලේඛකයකුගේ නම දුටු පමණින් ඒ පොත් මිලට ගන්නා සමහරු නවක ලේඛකයකුගේ පොතක් දුටුවිට ඒ ලියූ මිනිසාගේ උස මහත හමේ වර්ණය ශරීරයේ බර සෙවීම අද ඊයේ සිට සිදුවන දෙයක් නෙවෙයි. ප්‍රවීණ ලේඛක ඩබ්. ඒ. සිල්වාගේ අපදානය කියවන විට ඔහුත් මෙවැනි අත්දැකීම්වලට මුහුණපා ඇති බව පෙනී යනවා. මා සිතන හැටියට නම් විචාරය කියන්නේ යල්පිනූ අවියක්. ඒක හරියට මල්ටිබැරල් අවි ඇති බිමක කඩු සටන් කරනවා වගේ වැඩක්. මම ලේඛකයෙක්. ඒ නිසා මම කරන්නේ ලියන එකයි. ඒවා තෝරා ගැනීම ඒ අයගේ වැඩක්. ඒවා කියවීම පාඨකයින්ගේ වැඩක්. ඒ මොන දෙයක් නිසාවත් මගේ ලිවීම නතර වන්නේ නැහැ.”

 

 

ලේඛක අනුරසිරි හෙට්ටිගේට අනුව පවතින විචාරයේ අයහපත් සීමාවන් තුළ වුණත් යහපතක් දැකීමට සිදුවී තිබේ

“වර්තමාන ලාංකික කලාව සහ කලා විචාරය අතර පවතින සබඳතාව අතිශයින් ම කනගාටුදායක ලෙස බිඳී ගිය අයුරක් දැකිය හැකියි. කොටින් ම කිවහොත් ලාංකික කලා විචාරයක් ඇත්තෙම නැතැයි කීම බොරුවක් නෙමෙයි. තැනින් තැන හිටිහැටියෙ උස් පහත් වෙමින් දිදුලන කණමැදිරි එළි තිබුණට එය පවතින කලා අන්ධකාරය දුරු කිරීමට තරම් ප්‍රබල නැහැ.

කලාව සහ විචාරය අතර පවතින අවියෝජනීය බැඳීම ශක්තිමත් නොවුණ හැම විටම එම කලාවේ අපගමනය ඉක්මන් වෙනවා. අපි අද ඒ අවාසනාව අත්විඳිනවා. කලා නිර්මාණ පාදක කරගත්, විචාර මූලධර්මයන්ට අනූකූල භාවිතයක් සහිත විචාරයක් නැති මේ කලා අවකාශය කලාවේ ප්‍රගමනයට විශාල බාධාවක්.

මගේ කලා භාවිතය සාහිත්‍යය මූලිකව පවතින්නක් නිසා මං කැමතියි මේ තත්ත්වය සාහිත්‍යයට බලපා ඇති ආකාරය ගැන කියන්න. මෙයට දශක තුන හතරකට පෙර අප අත්විඳි සාහිත්‍ය විචාරය පවා අවිධිමත්, අධිපතිවාදී එකක් වුවත් එහි බලපෑම කිසියම් අකාරයක ගුණාත්මක දායකත්වයක් කරා සාහිත්‍යය කැඳවා ගෙන යාමේ ශක්තියක් උසුලා ගෙන සිටියා. එහෙත් ගුණාත්මක සාහිත්‍යයක් කරා නිර්මාණකරුවන් ඒකරාශි කර ගැනීමේ බලයක් නොදැරූ නිසා එම විචාරයත්, ඊට පාදක කලාවත් අපේක්ෂිත ඉලක්ක ජය ගැනීමේ අසමත් වුණා. අද අප කේන්ද්‍ර කරගනිමින් අප වටා පරිධිගතව පවතින කලා මොහොත එහි ප්‍රතිඵලයක්.

අද වනවිට සාහිත්‍යය, පූර්ණ ලෙස ම ආර්ථික සාධක විසින් හසුරුවන වෙළඳ වටිනාකම් චක්‍රයට ඇතුළු වුණු අලෙවි භාණ්ඩයක්. එය මේ වනවිට කෘතියත් හෝ ග්‍රන්ථයක් හෝ කියන බරසාර සමාජ වටිනාකමෙන් දුරස් වුණ ‘මුද්‍රිත පොතක්’ පමණයි. හැමෝම බලා ඉන්නෙ පොත් ප්‍රදර්ශනය දිහා. හැමෝටම අවශ්‍ය තමන්ගේ පොත ඒ දවස් දහය තුළ හැකි උපරිම ප්‍රමාණයක් විකුණ ගන්න. ව්‍යක්ත බව, සතතාභ්‍යාසය ඇති නැති කවුරුත් පොත් ලියන්න පෙලඹෙනවා. තමන්ම ප්‍රකාශකයන් ද වෙනවා. ඒවා විකුණා ගන්න උපක්‍රම හොයනවා. මෑත කාලයේ පොත්වල පිට කවර සමහරක් ඒවා සිනමා ප්‍රචාරක පට වගේ. කවරයේ හැම තැනම අර්ධකවාකාර ‘වී කරල්’. ඒ තමා ප්‍රාග්ධනය විසින් හසුරුවන කර්මාන්තයක අධිකාරි බලයට සාහිත්‍යය යටත් ව පවතින බවට සාධක. සාහිත්‍යකරුවා වෙළඳපොළට අවශ්‍ය භාණ්ඩයක් නිෂ්පාදනය කරන කලා ශිල්පයෙක් ලෙස රූපාන්තරණය වෙලා.

මෙවැනි තත්ත්වයක වෙළඳ අපේක්ෂා ජය ගැනීමේ ප්‍රචාරණ කටයුතුවල අවශ්‍යතාව ඉහළයි. ‘පොතක් උදෙසා වැඩක්’ කළ යුතුයි. සාහිත්‍ය විචාරය ද අවසන් ව ඇති නිසා අද වනවිට මාර්ගගත විචාරයක් ද බිහි වෙලා.

‘සූම් විචාරය’ කියන්නෙ ඒකට. රසය පාදක කරගත් වින්දන අවකාශයක් විය යුතුව තිබූ මේ නව්‍ය අවකාශය සමහරුන්ගේ පාණ්ඩිත්‍යය පෙන්වන වේදිකාවක් වෙලා. විශේෂය කියන්නෙ කතිකාවට අදාළ කෘතිය නොකියවා වුව විචාර පාණ්ඩිත්‍යයක් පෙන්වා සිටීමේ කවුළු විවර ව තිබීමයි. නිර්මාණකරුවන් ම විචාරකයන් වෙලා. මේ බොහෝ තත්ත්වයන් මට මතක් කර දෙන්නෙ සිංහල සිව්පද කවියේ බිඳ වැටීමට පාදක වූ අහිතකර තත්ත්වයන්.

මේ කලා මොහොත වසර දෙකකට ආසන්න කාලයක් මුළු ලෝකය ම මාරාන්තික වසංගතයක් විසින් අකර්මණ්‍ය කර ඇති මොහොතක් ද නියෝජනය කරනවා.

ගුණාත්මක සාහිත්‍යයක් උදෙසා වූ බොහෝ මං පෙත් වැසී ගිය මොහොතක්. සමීප වීමකට වඩා දුරස් ව සිටීමට බලපෑම් කරන මොහොතක්. සාහිත්‍යකරුවන් විදිහට අපට තවත් කාලයක් සාහිත්‍යම ය ඉවසීමකට ආරාධනා කරන මොහොතක්. එනිසා අප මේ සිදුවන සියල්ල හේතුවෙන් ලාංකික කලාව අවසන් ය කියන නිශේධනීය ආස්ථානයකට එළැඹිමට තරම් ඉක්මන් විය යුතු නැහැ. එළැඹි සිහියෙන් යුතුව තත්ත්වාරෝපිත නිරීක්ෂණයක නිරත වීම හැර වෙන විකල්පයකුත් අපට නැහැ.”

Comments