ළමා විවාහයට ටයිකොන්ඩෝ පහරක් | සිළුමිණ

ළමා විවාහයට ටයිකොන්ඩෝ පහරක්

'ලෝකය තුළ සුප්‍රකට පිළිගැන්ම සුදු හා කළු යනු හොඳ හා නරක කියා ය. එහෙත් එය සත්‍යයක් ද? කළු වූ සියල්ල අයහපත් ද? කිසිසේත්ම එසේ කිව නොහැකි ය. එසේම සුදු පැහැ සියල්ල සර්ව සුබවාදී වන්නේ ද නැත. කොටින්ම කියන්නේ නම් කළු වූව ද සුදු වූව ද එහි සමාන, අසමානතා, හොඳ නරක තිබෙන්නට පිළිවන. එය හුදෙක් සමාජ බෙදීමක් විනා ඉන් ඔබ්බට යන්නක් නොවේ. කළු පැහැයෙන් බහුල මිනිසුන් වෙසෙන සමාජයකි සිම්බාබ්වේ දේශය. පසුගිය දා ඔවුහු එරට සමාජයීය අරගලයක් ආරම්භ කර ඇත්තේ සම්මතය අනුව 'සුදු' පැහැ තීරණයකට එළැඹීමේ අරමුණෙනි. ඒ දැරිවියන්ට ඔවුන්ගේ ම වූ නිදහස් ජීවිතයක් තිබිය යුතු යැයි නිගමනය කරමිනි. එවැනි තීරණයකට පාදක වූයේ ක්‍රීඩාව ය. එහෙයින් මේ ඒ ගැන ය.'

සිම්බාබ්වේ අගනුවර වන හරාරේ සිට ගිනිකොන දිගට වන්නට පිහිටි උපනගරයකි එප්වර්ත්. ලිසා නයම්බුපු එහි ජීවත්වන දහ හත් හැවිරිදි දැරිවියකි. ඈ යන්තමින් වැඩිවියට එළඹෙන දා සිට දැක තිබුණු සිදුවීම් අතර බොහෝ විට තමන්ට වඩා මඳක් වැඩිමහලු මිතුරියන් විවාපත්වීම සුලබ අත්දැකීමකි. කෙදිනක හෝ තම ජීවිත ඉරණම ද අනාගතයේ දී එය ම වනු ඇතැයි ඈ ද සිතුවා ය. එහෙත් ඒ ඇය ටයිකොන්ඩෝ ක්‍රීඩාව හඳුනා ගන්නා තුරු පමණි.

'මගේ අවට සිද්ධ වුණු හැමදෙයක්ම සාමාන්‍ය දේවල් විදිහටයි මම දැක්කේ. ඉක්මන් විවාහයකට යන එක අමුත්තක් නොවෙයි කියලයි මමත් හිතුවේ. ඒත් එය නිවැරදි නැති බව ටයිකොන්ඩෝ මට කියා දුන්නා.' නයම්බුපු කියන්නේ එහෙයිනි.

ඈ එම ක්‍රීඩාවවට යොමු කළේ ඇගේම වයසේ මිතුරියක වූ නැට්සියාරිෂේ මාරිට්සා ය.

“කුඩා කාලයේ විවාහ වෙන්න කිසිකෙනෙකුට ධෛර්යය ලබා නොදිය යුතු බව මම ඉගෙන ගත්තා. ඇත්තටම කියනවා නම් ටයිකොන්ඩෝ ක්‍රීඩාව මගේ ජීවිතයට නව බලාපොරොත්තුවක් දුන්නා.” දැන් ඈ අවුරුදු දහ අට සම්පූර්ණ වීමට පෙර නන්නාඳුනන මිනිසකුගේ බිරිය බවට පත්වීමේ අනතුරෙන් නිදහස්ව ඇති අයුරු අපූරු ය.

“මෙම ක්‍රීඩාවට බැඳුණාට පස්සේ මම විනය කියන දෙය ඉගෙන ගත්තා. පුද්ගල ආරක්ෂාව ඇතිකර ගන්න හැටි උගත්තා. ඇත්තටම කියනවා නම් මේ කලාව යළි මාව සැබෑ ජීවිතය තුළට තල්ලු කළා.” ඈ පවසන්නේ සතුටිනි.

පස් දෙනෙකුගෙන් යුත් පවුලක උපන් ඇගේ පාසල් ගමන අවුරුදු දහතුන වද්දී නතර විය. ඒ තම පියාගේ හදිසි අභාවය සමඟ නිවෙස තුළට පියඹා ආ දහසක් වූ ආර්ථික කම්කටොළු හේතුවෙනි.

එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල විසින් 2019 වසර වෙනුවෙන් නිකුත් කළ වාර්තාවකට අනුව කියැවුණේ සිම්බාබ්වේ දේශයේ ළමා විවාහයන් සිදුවන ප්‍රවණතාව ඉහළ ගොස් ඇති බවයි. ඊට දරිද්‍රතාව මෙන් ම පාසලෙන් ඉවතට විසිවීම ඉවහල් වන බව එම වාර්තාව පෙන්වා දෙයි.

කෙසේ නමුත් සිම්බාබ්වේ දේශයේ දැරිවියක විවාහ ජීවිතයට ඇතුළත් වීමේ නීත්‍යානුකූල වයස ලෙස සැලකෙන්නේ අවුරුදු දහ අට කි. එහෙත් එය නොසලකා එරට සමාජය තුළ බහුතර විවාහ සිදුවන්නේ ළමා විවාහයන් ලෙසිනි.

මෙම ළමා විවාහයකට ගොදුරුව ජීවිතය තුළ අර්බුදකාරී වාතවරණයක් ඇති කර ගත් දැන් හතළිස් තුන් වැනි වියේ පසුවන ගැහැනයක ලෙස නයාසා ටොමෙනි හැඳින්විය හැකි ය. ඈ අවුරුදු දහ හතේ දී ඇගේ ම ඥාති සහෝදරයකු අතින් අපහරණයට ලක්වී ගැබ් ගැනීමෙන් ළමා කාලය වනසා ගත්තා ය.

එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල 2019 වසරේ නිකුත් කළ තවත් වාර්තාවකින් කියැවුණේ එරට සෑම දැරිවියන් තිදෙනෙකුගෙන්ම එක් අයකු නැතහොත් සිම්බාබ්වේ වෙසෙන සමස්ත දැරිවියන් අතරින් සියයට තිස් හතරක් අවුරුදු 18 ට පෙර තම පළමු විවාහයට පත්වන බවය.

මේ අතර කොරෝනා වසංගතය ද ඊට තවත් ආකාරයකින් බලපා ඇති බව විශ්වාස කෙරේ. ඊට බොහෝ පවුල්හි පවතින දරිද්‍රතාවය ඉවහල්ව ඇත. එසේම දීර්ඝ කාලයක් තිස්සේ දරුවන් පාසල්වලින් ඈත්ව සිටීම ද ඉවහල්වී ඇත.

ළමා විවාහයට වැට බඳින්නට උපකාර කරන සිම්බාබ්වේ හි එප්වර්ත් ප්‍රදේශයේ 2018 වසරේ දී ආරම්භ කරන ලද ටයිකොන්ඩෝ ඉගෙනුම් කඳවුර දැන් වැඩි දෙනෙක්ගේ අවධානයට ලක්වෙමින් තිබේ. ඒ එම ක්‍රීඩාව අනුසාරයෙන් විශාල දැරිවියන් පිරිසක් ක්‍රීඩාව හා ජීවිතය උගන්නා හෙයිනි. ඔවුහු ජීවිතයට පැවතිය යුතු විනය ගැන එහිදී උගනිති. ළමා වියේ හදිසි ගැබ් ගැනීමෙන් තමන්ගේ ජීවිත අවුල් කර ගැනීම් අඩු වෙමින් ඇත්තේ ද ටයිකොන්ඩෝ පුහුණු පාසලෙන් ලැබෙන ශික්ෂණය නිසා ය. එය දැන් දැන් වේගයෙන් ව්‍යාප්ත වෙමින් ඇත

“මගේ මිතුරියෝ ගොඩ දෙනෙක් අවුරුදු දහ අටට ඉස්සර විවාහ වෙලා තිබෙනවා. මේ දැරිවියන්ගේ අනාගතය සොරකම් කර ගන්නවා. මම ඒ දෙස බලා ඉඳලා තියෙනවා. සමහරු විවාහ වෙන්නේ තමන්ගේ මාපියෝ හෝ භාරකරුවෝ නොමැති නිසයි. මට උවමනා මෙම තත්ත්වය වෙනස් කරන්නයි.” ටයිකොන්ඩෝ කඳවුරේ නිර්මාතෘ මාර්ටිසා පවසන්නී ය.

“ඇත්තටම කියනවා නම් ඕනෑම කෙනෙකුට ළමා කාලයක් තියෙන්න ඕනෑ. මනුෂ්‍යයෙක් වුණාම විවාහයකට යා යුතුයි. ඒත් කසාද බඳින්න ඕනැ අවුරුදු දහ අටෙන් පස්සෙයි.” යැයි ඈ පවසන්නී ය.

ඇය ද දරුවන් පස්දෙනෙකුගෙන් යුත් පවුලේ තෙවැනියා ලෙසින් උපත ලැබූ දැරිවියකි. “ඇත්තටම කියනවා නම් කෙනෙකුගේ නීත්‍යානුකූල වයස සම්පූර්ණ වුණා කියලත් විවාහයට කලබල වෙන්න ඕනෑ නෑ. ගැහැණු ළමයකුට පළමුවෙන්ම වැදගත් වෙන්නේ එයාගේ සිහින සාර්ථක කරගන්න එකයි. නිදර්ශනයක් විධිහ තිරසර ආදයම් මාර්ගයක් නිර්මාණය කරගන්න අවශ්‍යයි.” මාර්ටිසා පවසයි.

කිම්බර්ලි මුපම්බාවාටි යනු මාර්ටිසාගේ ටයිකොන්ඩෝ සටන් පන්තිය සමඟ සම්බන්ධව සිටින්නියකි. ඈ පවසන්නේ ළමා විවාහයන්ට උල්පන්දම් දෙන දරුවන්ගේ මාපියන් හෝ නීත්‍යානුකූල භාරකරුවන් නීතිමය ප්‍රතිවිපාකයන්ට මුහුණ දීමට සිදුවිය යුතු බවයි.

'බොහෝ දැරිවියන් ඉක්මනින් විවාහවෙන්නේ දරිද්‍රතාවයෙන් ගැලවෙන්නයි. ඒත් මම දන්නා දෙය තමයි දුගී භාවය ඔබට ඔබේ සැමියාගේ නිවසේ දීත් මුණ ගැසෙන බව. ඒ නිසා පළමුවෙන්ම අපි කරන්න ඕනෑ අපේ සිහින සැබෑ කරගැනීම මිස දරිද්‍රතාවය ගැන බියෙන් ළමා විවාහයක පැටලීම නොවෙයි.' ඈ පවසන්නී ය.

මේ අනුව දැන් සිම්බාබ්වේ දේශයේ ළමා විවාහයන් වැළැක්වීමට දැඩි ප්‍රයත්නයක් ක්‍රියාත්මක වෙමින් ඇත. එයට පිටුබලය සැපයීම සිදුකරනුයේ ටයිකොන්ඩෝ ක්‍රීඩාව හරහා ය. එහි නියැලෙන දැරිවියන් සංඛ්‍යාව දිනෙන් දින වැඩිවෙමින් ඇත්තේ එහෙයිනි.

එප්වර්ත් හි නයම්බුපු කොවිඩ් නිරෝධායන නීතිවලට අනුව තාවකාලික නතර කළ ටයිකොන්ඩෝ පුහුණුව යළි අරඹා ඇත.

'ටයිකොන්ඩෝ මගේ ජීවිතය වෙනස් කරනවා. මම සංචාරය කරන්න කැමතියි. ඔලිම්පික් වගේ තරගයකට සහභාගි වෙන්නත් සිහින දකිනවා. දැන් විවාහ වෙනවා කියන එක මගේ කාල සටහනෙන් බොහෝම දිග කාලයකට අයින් කරපු දෙයක්.' ඈ පවසන්නී ය.

 

Comments