හැමිල්ටන් ශතක මතක | සිළුමිණ

හැමිල්ටන් ශතක මතක

ශතකය කිසිවිටෙකත් අමතක නොවන්නකි. ඒ එය ලෙහෙසියෙන් පිරිය නොහැකි ඉලක්කයකැයි කීව ද වරදක් නැත.විභාගයක දී ප්‍රශ්න පත්‍රයක් වෙනුවෙන් සිසුවකුට ලබා දෙන උපරි ම ලකුණු ප්‍රමාණය සියයකි. ක්‍රිකට් තරගයක පිතිකරුවකු ලබා ගන්නා විශිෂ්ට ඉනිම් ගණනය කිරීම ඇරැඹෙන්නේ ශතක, ද්විත්ව ශතක ආදී ලෙසිනි. එහෙත් මෝටර් රථ ක්‍රීඩාවේ ජයග්‍රහණ ශතකයක් සම්පූර්ණ කිරීම යනු සුවිශේෂී ය. එවැනි විශිෂ්ට මතක ගොනු කරගන්නෝ ලෝකයේ විරලව වුව ද වරින් වර පහළ වෙයි. මේ එවන් හපන්කම් පෑ එංගලන්ත වාසී ලුවිස් හැමිල්ටන් ගැන ය.'

පසුගිය මාසයේ 26 දා ත්‍රාසජනක ෆෝමියුලා 01 ග්‍රෝන් ප්‍රී මෝටර් රථ 2021 ලෝක ශුරතාවයේ ධාවන පථයට සුවිශේෂි දිනයක් විය. ඒ රුසියාවේ සෝචි ධාවන පථයේ දී පැවැති රුසියානු ෆෝමියුලා 01 ග්‍රෝන් ප්‍රී තරගය ජය ගැනීමට ලුවිස් හැමිල්ටන් සමත්වීමත් සමඟ ය.

එය සුවිශේෂී වූයේ එය හැමිල්ටන් ෆෝමියුලා 01 ග්‍රෝන් ප්‍රී තරග රටාවේ ලැබූ සිය වැනි ජයග්‍රහණ ලෙස සැලකෙන හෙයිනි.

මර්සිඩීස් කණ්ඩායම නියෝජනය කරන හැමිල්ටන් දැනට ලොව සිටින විශිෂ්ටත ම මෝටර් රථ ධාවකයෙකි. හැමිල්ටන්ට පෙර වැඩි ම ෆෝමියුලා 01 ග්‍රෝන් ප්‍රී ජයග්‍රහණ සංඛ්‍යාවකට හිමිකම් කීවේ මයිකල් ෂූමාකර් (91) ය. ඒ අනුව ෆෝමියුලා 01 ග්‍රෝන් ප්‍රී තරග 100 ක් ජය ගත් ලොව පළමු ක්‍රීඩකයා බවට හැමිල්ටන් පත් විය.

1985 වසරේ ජනවාරි 07 වැනි දා උපත ලැබූ හැමිල්ටන් නියෝජනය කරනුයේ අප පෙර

කීවාක් මෙන් මර්සිඩිස් කණ්ඩායමයි. 2007 ජුනි 10දා කැනඩා ෆෝමියුලා 01 ග්‍රෝන් ප්‍රී ධාවන පථයේ ලත් සිය පළමු ජයග්‍රහණයේ සිට ම හෙතෙම මෝටර් රථ තරග බිමේ තරග වදී. මේ වන විට ඔහු ලෝක ශූරතා හතක හිමිකරුවෙකි. ඒ 2008, 2014/ 15 , 2017 /18/19/20 වසරේ දී ය. මෙවර ලෝක ශූරතාවයේ දී ඔහු තරග 05 ක් ජය ගත්තේ ය. 2021 ලෝක ශූරතාව අවසන් වී

ම සඳහා තවත් තරග හතක් ඉතිරිව තිබේ. අවසන් තරගය පැවැත්වෙන්නේ අබුඩාබි හි දෙසැම්බර් 12 වැනි දා ය.

සොවි හිදී ලැන්ඩෝ නෝරිස් ගේ සුළු ප්‍රමාදයකින් පසුබසිමින් අවුල්සහගත අවසන් තරගයකින් පසු ශතක ජයග්‍රහණය සනිටුහන් කිරීමට ලුවිස් හැමිල්ටන් සමත් විය. මේ ආකාරයෙන් තරග සියයක ජය සලකුණු කළ පළමු ෆෝමියුලා 01 ග්‍රෝන් ප්‍රී මෝටර්රථ ධාවකයා වනුයේ ලූවිස් හැමිල්ටන් ය.

මැක්ස් වර්ස්ටැපෙන් පසුගිය තරගයට වඩා ස්කම් දක්වමින් දෙවන ස්ථානයට පත්වි ය. ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හැමිල්ටන්ට ය. ඒ ලකුණු 246. 5 ක් ලෙස ය. දෙවැනි ස්ථානය වර්ස්ටැපෙන්ටය, ඒ ලකුණු 244.5 ක් ලබමිනි.

මර්සිඩිස් කණ්ඩායම දැනටමත් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන ඇත්තේ ලකුණු 573 ක් හිමි කර ගනිමිනි. 2014 සිට 2020 දක්වා ම ඔවුහු ලෝක ශූරයෝ වූයේ පිට පිට හත් වැනි වතාවට ය.

මැක්ලරන්ස් කණ්ඩායමේ ලැන්ඩෝ නොරිස් දිගු වේලාවක් මෙකී තරගයේ පෙරමුණ ගත් නමුත් අවසානය ආසන්නයේ දී පසු බැස්සේ ය. බ්‍රිතාන්‍ය තරුව වූ හැමිල්ටන් සිව් වැනි ස්ථානයේ සිට තරගය ආරම්භ කරමින් සෙමෙන් ඉදිරියට ඇදෙමින් එය ජය ගැනිමට සමත් විණි.

හැමිල්ටන් ශූරතා ලකුණු සටහනේ දී තම රෙඩ්බුල් ප්‍රතිවාදියාට වඩා ලකුණු 5 ක් පසුපසින් සිටිමින් මේ තරගයට අවතීර්ණ විය.

ලුවිස් හැමිල්ටන්ගේ 100 වැනි ජයග්‍රහණය ඔහුගේ පළමු ජයග්‍රහණය සහ ඔහුගේ අසමසම ශතකය අතර කාලය වසර 14 ක් සහ දින 108 කි. එසේම ඔහු නිතර සහභාගී වූ තරගවලදී වැස්සේ නොමසුරු අනුග්‍රහය ද ලැබී ඇතැයි පැවසිය හැකි ය.

2007 ජුනි මාසයේ දී කැනඩාවේ දී ලද පළමු ජයග්‍රහණයේ සිට මේ දක්වා ඔහුගේ කාර්ය සාධන මට්ටම පවත්වා ගැනීමෙන් ඇඟවෙන්නේ ඔහුගේ ජයග්‍රහණය දිගු කලක් නොනැසී පවතිනු ඇති බවයි.

 

Comments