වෙනසක් වෙනුවෙන් නව්‍ය සම්ප්‍රදා සොයන නිර්මාණකරුවෙක් | සිළුමිණ

වෙනසක් වෙනුවෙන් නව්‍ය සම්ප්‍රදා සොයන නිර්මාණකරුවෙක්

ජීවිත වියමන් වෙන්නේ කුමන ආකාරයට ද යන්න ගැන කිසිවකුටත් කලින් කිව නොහැකිය. ගෙවන ජීවිතයේ අත්දැකීම් ද එලෙස ය. ඒවා විවිධ අය විවිධ ලෙස අර්ථකතනය කර ගනිති. අයෙක් ඒ අත්දැකීම් තමන් ලද බවක් හෝ විඳීමක් නොදැන ම ජීවන ගමන නිම කරති; තවත් අයෙක් ඒ අත්දැකීම් ජීවිතයට සරසවියක් කර ගනිති. තවකෙක් එය තවත් කෙනකුගේ ජීවන පරිඥානය වෙනුවෙන් සටහන් කර තබති. කෙනකුගේ අත්දැකීමක් තවත් කෙනකුගේ ජීවන ලාලසාව වෙනුවෙන් කුමනාකාරයකට ඉවහල් වේ දැයි කිව නොහැකි ය. ඒ ජීවන රටා නිසා යටගිය ජීවන අපේක්ෂා හා බලාපොරොත්තු පිළිබඳ ඉඟි ලැබෙන්නේ ඒවා නිර්මාණයක් සේ සමාජගත වුවහොත් පමණකි. ස්වකීය අත්දැකීම් හෝ සමීපතමයන්ගේ අත්දැකීම් සමාජ ඥාණනය පිණිස නිර්මාණය වීම වටින්නේ ඒ නිසා ය.

මහාචාර්ය ආරියරත්න ඇතුගල කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ දීර්ඝ කාලයක් සේවය කිරීමෙන් අනතුරුව විශ්‍රාම ගත්තේ නොබෝදා ය. ගුරුවරුන්ට විශ්‍රාම ගැනීමක් කියා දෙයක් නැත; නිර්මාණකරණයට නම් එය කිසිසේත් ම අදාළ නැත. එනිසා මහාචාර්ය ඇතුගලයන් ද සිය සක්‍රිය නිර්මාණ ක්ෂේත්‍රය හා ගුරු සේවාව අත්නොහරිනු ඇති බව අපේ අපේක්ෂාවයි. අත්දැකීම් හි වන අපූර්වත්වය වැඩි වැඩියෙන් දැනෙන්නේ පරිණත වූ විට ය. ඒවා වෙනදා නොපෙනුණු කෝණවලින් පෙනෙන්නේ සහ ඒවාට නියමාර්ථය ලැබෙන්නේ සිය සමාජාවේක්ෂණය තියුණු වන තරමටය. මහාචාර්ය ඇතුගලයන් ද ස්වකීය බුද්ධි හා නිර්මාණ ප්‍රභාවේ නැණ මහිම අපට ප්‍රධානය කරන්නට යොදා ගන්නා මාධ්‍ය අතර නවකතාවට ද ප්‍රමුඛ ස්ථානයක් ලැබෙන්නේ ය. ඒ අනුව ඔහු අතින් මෑතකදී බිහිවෙන නවකතාව වන්නේ ‘සහෝ‘ ය. මුලින්ම බිහිවන්නේ සහෝ චිත්‍රපට ය. ඒ නිර්මාණයෙන් තවත් නිර්මාණයකට පාර කැපෙමින් සහෝ නවකතාවක් වන්නේ ය. මේ එහි අත්දැකීම් වපසරිය පිළිබඳ මහාචාර්ය ඇතුගලයන් දැක්වූ අදහස් හි සංක්ෂිප්තයකි.

"සහෝ නවකතාව සඳහා වන වස්තු බීජය බිහිවෙන්නෙ චිත්‍රපටයට පෙර. ඒ කියන්නෙ ලිඛිත කාර්යයක් විදියට. දීර්ඝකාලීනව මම විශ්වවිද්‍යාල ජීවිතෙන් ලබපු ඉතාම සියුම් ජීවන ස්වභාව හා තාරුණ්‍යයේ තියෙන විවිධ හැලහැප්පීම් සහිත ලක්ෂණ තමයි එහි අන්තර්ගත වෙන්නෙ. ඒ අත්දැකීම් තිර රචනයක් බවට පත්වෙනවා. රූප මාධ්‍යයේදී එයට උරා ගන්නා ඊට ආවේණික ප්‍රමාණයක් තියෙනවා. උදාහරණයක් විදියට ගත්තොත් සමහර අවස්ථාවල උද්ගත වෙන ඉතාම සියුම් හැඟීම් දැනීම්, ආදරය, ලිංගිකත්වය වගේ දේවල් ආදිය චිත්‍රපටය විසින් උරා ගන්නා හා දැනවීමට හැකි ප්‍රමාණය සීමිතයි. චිත්‍රපටය හැදුවට පස්සෙ මට කියන්න ඕන දේවල් තව තියෙනවා නේද කියන ප්‍රශ්නය මට එනවා. ඒක ට තියෙන හොඳම මාර්ගය නවකතාව නේද කියන හැඟීම මට එනවා. මම භාෂා පොරබැඳීමකට යන්නෙ ඒ ආකාරයට"

මහාචාර්ය ඇතුගලයන්ට මේ බලපාන්නේ පරිකල්පනීය විචිත්‍රත්වය ගැන සවිඥානිකත්වයයි. අප පොතක් හා බැඳෙන්නේ, ගීතයක පද අතර සරන්නේ එහි කියැවෙන, නොකියැවෙන හා දැනවෙන බොහෝ දෑහි මිහිරි ස්පර්ශය සිතින් විඳිමිනි. එය තම තම නැණ පමණින් පුළුල් හා සීමිත විය හැකිය. කෙසේනමුත් අප හැමෝටම විචිත්‍රවත් පරිකල්පන ලෝකයක් තිබේ. එහි පියෑඹිය හැක්කේ කුරුල්ලන්ට පමණක් නොවේ; පිපෙන්නට හැක්කේ මල්වලට පමණක් නොවේ. පරිකල්පනය ඇතුළත විය හැකි නොහැකි ඕනෑම දෙයක් විය හැකි ය.

"ඒ සඳහා පාදක වෙන්නෙ විශ්වවිද්‍යාල ජීවිතය වුණාට ඒ අපි දන්න කියන ජනප්‍රිය විශ්වවිද්‍යාල ජීවිතය නොවෙයි. අරගලය, නවක වදය ආදී දේට යටින් දිවෙන දේවල් ටිකක් තියෙනවා. විශ්වවිද්‍යාල ජීවිතයේ තියෙන දුක්ඛ දෝමනස්සයන්, උභතෝකෝටිකයන් ස්පර්ශ කරමින් හා නොකරමින් තාරුණ්‍ය ගැවසෙන හැටි, මහා සමාජය විශ්වවිද්‍යාල තාරුණ්‍ය දෙස බලන විදිය ආදී තාරුණ්‍යයේ ආධ්‍යාත්මය ගැනයි මෙහි කතා කරන්නේ. මම දීර්ඝ කාලයක් විශ්වවිද්‍යාල ජීවිතය ගත කළ කෙනෙක්. මම බොහෝ දේ දැක්කා; වින්දා. මේක දීර්ඝකාලීන නිරීක්ෂණයක්. අරගල කියන කාරණය ගත්තත් ඊට යටින් දිවෙන වෙනම කතා ටිකක් තියෙනවා. වීරසූරිය තරුණයාගේ සිද්ධිය මගේ තරුණ කාලය කම්පිත කළා. මේවාට බලපාන සාධක මොනවද යන කරුණ මගේ සිතේ තිබුණා. මම උත්සාහ ගත්තේ මේ ගැන කතා කරන්න. මේක ඇත්තටම සන්නිවේදන සමුදායක්" බොරුවෙන් සහ වේදනාවෙන් පිරුණු වේදිකාවට භක්තියෙන් සහ ආදරයෙන් ගොඩවී ප්‍රේමය, දයාව, පරිත්‍යාගය ප්‍රචලිත කරන ලෙස ෆෙඩ්රිකෝ ගාර්ෂියා ලෝකා පවසා තිබේ. අපේ වේදිකාවට ද ආදරය අවැසි ව තිබුණු යුගයෙක වේදිකාවේ වෙනසකට අප්‍රමාණ ආදරයෙන් මහාචාර්ය ඇතුගල "මහ සමයම" ගෙන එන්නේ ය. පුංචි තිරයක පුංචි මනසක් සමඟ සිරවුණු බොහෝ දෙනකුට ඒ විසල් ආදරය ලොකුවට දැණුනු බව දැනෙන්නේ මහසමයම ලද අප්‍රමාණ ආදරය ගෞරවය දකිද්දී ය. පුංචියට ගොඩනැඟුණු මහා අධිමාණ කොදෙව්ගත කර සිටිය ද ඒ අධිමාණ, ෆැන්ටසි බි‌ෙඳන්නට යන්නේ හයිය හිතක් පමණක් බව මහසමයම වේදිකාවට ඉගැන්වූ පාඩමයි.

" නෙලුම් පොකුණ රඟහල ලංකාවෙ ස්ථාපිත කළාට පස්සෙ එවකට රජය ඉල්ලීමක් කළා; ඒකට ගැළපෙන නාට්‍යයක් කරන්න කියලා. මම ඒ ඉල්ලීම අනුවයි හිතුවෙ මෙහෙම දෙයක් කරන්න. ජංගම නාට්‍යය කලාවකට වඩා වේදිකාවේ ප්‍රේක්ෂාව කියන දේ හොඳින් මතුකරන්න පුළුවන් වේදකාවක් අපට නෙළුම් පොකුණ නිසා ලැබුණා. ලෝකයේ ඔපෙරා කලාව ගමන් කරන්නෙත් මහා වේදිකාවත් එක්ක. දැවැන්ත බවත් එක්ක එන එහි ආලෝකකරණය ඇතුළු විවිධ පහසුකම් ජංගම නාට්‍යය කලාවේ නෑ.

මට මුලින් ම ආවේ මේ පහසුකම ජයගන්න ඕන කියන කැමැත්ත. ලෝකයේ මම එහෙම දැකලා තියෙන දැවැන්ත වේදිකා එක්ක මම හිතුවා මම මේක ජයගන්නවා කියලා. වෙනස් පරිමාවක් ජයගත යුතුයි කියන හැඟීම මට තිබුණා.

ඒවගේම මම වෙනත් හැදෑරීම් කිහිපයක ඒ කාලයේ යෙදෙමින් සිටියා. එහිදී මගේ අවධානය යොමු වුණා මහසෝනගේ කතාවට. ඒ ගැන මම පොත් කිහිපයක් කියෙව්වා. එය මුලින් ඉන්දියානු පුරාවෘත්තයක් විදියට ඇවිත් ලංකාවට සම්බන්ධ වෙලා තියෙන විදිය හරිම ආකර්ෂණීයයි. මහසෝන් ගෝඨයිම්බර සටන ගත්ත ම එහි සැඟවුණු දේශපාලන අර්ථයක් තියෙනවා. ඒ්, බල දෙකක් ගැටුණ ම බිහිවෙන තුන්වැනි බලයේ ස්වභාවය ගැන වන මතය. මේවා සර්වකාලීනයි; සර්වභෞමිකයි.

මට ඕන වුණේ සම්මත තැනින් ඔබ්බට යන්න. මට ගොඩක් ම බලපෑවෙ ඒ කරුණ. වෙනස් වෙන්න, විශ්වීය කලා එක්ක ගනුදෙනු කරන්න මගේ නිතරම කැමැත්තක් තියෙනවා"

ස්වීය නිර්මාණය යනුවෙන් ලොව පහළ වූ සංකල්පයක් ඇතැයි මම නොසිතන බවත්, සිතීමට පටන්ගත් මිනිසා යම් යම් දේ තම පරිකල්පනයේ ශක්තිය අනුව ප්‍රබල ලෙසත් දුබල ලෙසත් පවතින තත්ත්වලට අර්ථකථනය කළ බව වටහා ගත යුතු බවත් කියන්නේ හෙන්රි මිලර් ය. මිලර් ස්වකීය නිර්මාණවලට පුරාතනයේ සිට මානව වර්ගයා අතර පැවැති පුරාවෘත්ත පදනම් කර ගත්තේ ය. මහාසමයම ද එවැනි පුරාවෘතයක නූතන කියැවීමකි.

ප්‍රතිනිර්මාණයෙන් බිහිවෙන බොහෝ නිර්මාණ සර්වකාලීන අගයක් කරා තවදුරටත් ඒ මුල් නිර්මාණය තල්ලු කරන්නේ ය. ආරියරත්න ඇතුගල නාමය ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ සුවිසෙස් ලකුණක් තැබූවෙකි. රූප මාධ්‍යයක ශ්‍රව්‍ය මාධ්‍යයක් සේ වැඩ කරමින් සිටි පිරිසක් අතරට මහාචාර්ය ඇතුගල නව සම්ප්‍රදානයක් හඳුන්වා දීමේ ලා උපස්ථම්භක විය. රම්‍ය නගරය එහි අග්‍ර ඵලයයි.

ඉබ්සන්ගේ නාට්‍ය වඩාත් සංකීර්ණ බවත් පරිවර්තනය දුෂ්කර බවත් බොහෝ නාට්‍යවේදීන් හා විචාරකයන් දරන්නා වූ මතවාදයකි. ඔහුගේ කෘතිවල ගැබ්වන ගැඹුරු, සංකීර්ණ ජීවන දර්ශනය රූපයට නැඟීම අසීරු ය. අනෙක් අතට බාහිර ක්‍රියාකාරකම්වලට වඩා ආධ්‍යාත්මික ලක්ෂණවලට නැඹුරු වූ චරිත බහුල ව ඒවා හි දක්නා ලැබීම ඊට හේතුවක් විය හැකිය.

ඉබ්සන්ගේ "An enemy of the people" නාට්‍යය කෘතිය මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර 1976 දී "ජනහතුරා" ලෙසින් පරිවර්තනය කර නාට්‍යයක් කරන්නේ ය. ඉබ්සන්ගේ සෙසු නාට්‍ය කෘතිවලටත් වඩා මේ නාට්‍යය වෙනත් බසකට නංවා නිර්මාණය කිරීම දෙස් විදෙස් සියලු නිර්මාණවේදීන්ට අභියෝගයක් වූ බැව් පෙනේ.‍ ඊට හේතුව මුල් කෘතියෙහි දැක්වෙන සංකීර්ණ, ආධ්‍යාත්මික මානය කිසිදු පරිවර්තනයකට හසු නොවීම ය. එහෙත් සුනන්දයන්ගේ පුළුල් කියැවීමට හා දැක්මට එකී සංකීර්ණ දෑ සංකීර්ණ නොවන බව අපි දනිමු. මහාචාර්ය ආරියරත්න ඇතුගල "රම්‍ය නගරය"(1994) ටෙලි නාට්‍යය නිර්මාණය කරන්නේ ද මේ නාට්‍යය පාදක කරගෙන ය.

"මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන් එක්ක මට තිබුණෙ ළඟ සම්බන්ධයක්; එතුමා මගේ ගුරුවරයා. එතුමා කරන කියන දේ ගැන අපේ අවධානයක් තියෙනවා. සුනන්දයන් ඉබ්සන්ගෙ An enemy of the people ජනහතුරා ලෙසින් කළ පරිවර්තනය මම කියවලා තිබුණෙ. මට පුදුම උවමනාවක් තිබුණා, ටෙලිනාට්‍ය ඇතුළෙ මේ තියෙන මූලික හැඩය වෙනස් කරන්න. එතකොට මට හිතුණා ටෙලිනාට්‍යයේ රූපයට යම්කිසි බලයක් දෙන්න පුළුවන් දේ තමයි වේදිකා නාට්‍යය කලාව කියලා. ටෙලිනාට්‍යය කියලනෙ කියන්නේ; එතකොට එහි නාට්‍යමය ගුණය තියෙන්න ඕන. ඉබ්සන්ගෙ මේ කෘතියට මම හරිම කැමැත්තෙන් හිටියෙ. බල අරගලය කියන කාරණය හැමතැනටම පොදුයි. මෙහිත් පොදු ධාරණාව එයයි. ඒකෙ මම භාවිත කරන රූපාවලිය නාට්‍යමය ආකාරයෙන් භාවිත කළේ. නළුවාගේ රංගනයට වෙනාකාර රාමුවක් දීම කියන දේ. සාමාන්‍යයෙන් ටෙලිනාට්‍යයේ රූපය සිනමාවට ආසන්නයි. ඒක ඇතුළෙ නළුවා රඟපානවා. සංස්කරණ රීතිය ගන්නෙ සිනමාවෙන්. මම රූපයට වෙන බලයක් දුන්නා. ඒක මා දන්නා තරමින් අද වෙන කවුරුත් කරලා නෑ.

අපි කලාව කියල බොරුවක් කරමින් ඉන්නෙ. හැම නිර්මාණ කාර්යයකම එහෙමයි. මට තවත් ඒකෙම කොටසක් වෙන්න ඕන වුණේ නෑ. මම පර්යේෂණාත්මක, අභියෝගාත්මක දේවල්වලට අතගහන්නෙ ඒ නිසයි"

ස්වභාවධර්මය, මනුෂ්‍ය සබඳතා හා මිථ්‍යාව නිර්මාණවල ආත්මයයි. එ්වා විවිධ අයුරෙන් විවිධ හැඩතල ගැන්වීම කරන්නේ නිර්මාණකරුවා ය. නිර්මාණකරුවා සමාජයේ පෙරගමන්කරුවකු යැයි කියනු ඇසේ. එසේ නම් ඒ පෙරගමනට අවැසි දෑ ඔහු අතින් නිර්මාණය වීම විය යුතුව තිබේ. එසේම ඒ පෙරගමනට අවැසි පරිසරය නිර්මාණය කිරීමේ ලා ඔහු දායක විය යුතු ව තිබේ. මහාචාර්ය ආරියරත්න ඇතුගල දශක කිහිපයක සිට මේ කරමින් සිටින්නේ එකී කාර්යයයි. වෙනස හා නව සම්ප්‍රදායට බිය නොවීමත් අත්හදා බැලීමත් ඇති තැන ආනන්දයෙන් ප්‍රඥාවට දුර නැත.

Comments