වසරේ සන්ඩේ ඔබ්සවර් පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මාන උළෙල මෙවරත් එස්.එල්.ටි. මොබිටෙල් අනුග්‍රහයයෙන් | සිළුමිණ

වසරේ සන්ඩේ ඔබ්සවර් පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මාන උළෙල මෙවරත් එස්.එල්.ටි. මොබිටෙල් අනුග්‍රහයයෙන්

දිවයිනේ වැඩිම අලෙවියක් සහ ජනප්‍රියත්වයට උරුමකම් කියනු ලබන සති අන්තර ඉංගිරිසි පුවත්පත වන සන්ඩේ ඔබ්සවර් පුවත්පත එස්.එල්.ටී. මොබිටෙල් සමාගම සමඟ අත්වැල් බැඳගනිමින් සංවිධානය කරනු ලබන සන්ඩේ ඔබ්සවර් - එස්.එල්.ටී. මොබිටෙල් වසරේ ක්‍රිකට් සම්මාන උළෙල මෙවරත් පැවැත්වීමට සැලසුම්කර තිබේ.

දිවයිනේ සංවිධානය කරනු ලබන උත්කර්ෂවත්ම පාසල් ක්‍රිකට් සම්මාන උළෙල වන මෙමගින් වසරේ විශිෂ්ට දක්ෂතා දක්වන පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන් ඇගයීම සිදුකෙරේ.

මේ සඳහා ඔබ්සර්වර් පුවත්පත සමඟ ශ්‍රී ලංකාවේ වේගවත්ම මෙන්ම වැඩිම ආවරණයක් සහිතව බහුතර ජනතා විශ්වාසය දිනා සිටින එස්.එල්.ටී. මොබිටෙල් මේ කාර්ය සඳහා එක් වන්නේ අඛණ්ඩව 14 වැනි වසරට වීම විශේෂත්වයකි.

මේ සම්මාන උලෙළ වෙනුවෙන් එක්වූ නව අංගයක් ලෙස පාසල් ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට ද සම්මාන පිරිනැමීම ආරම්භ වුණේ මීට වසර 2 ක ට පෙර දී ය. ඒ අනුව මෙවර ද එම අංගය ඔබ්සවර්- එස්.එල්.ටී. මොබිටෙල් ක්‍රිකට් සම්මාන උළෙලට ඇතුළත් ය.

දක්ෂ යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයන් ජාතික ක්‍රිකට් කණ්ඩායමට එක්කිරීමේ කාර්යය දිරිගැන්වීමේ අරමුණින් ඇරැඹි මෙම සම්මාන උළෙලේ පළමු වැන්න පැවැත්වුනේ 1979 වසරේ දී ය.

ඒ අනුව මේ වන විට විශිෂ්ට හා දක්ෂතා සපිරි පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන් 42 ක් බිහි කරමින් දසක 4 ක ට අධික කාලයක් මෙම සම්මාන උළෙල සංවිධානය කෙරේ. ඒ අනුව මෙවර එම සම්මාන උළෙල පැවැත්වෙන්නේ 43 වැනි වතාවට ය.

මෙම සම්මාන උළෙල මහජන මතයට විවෘත කරමින් ජනප්‍රියම ක්‍රීඩකයන් තේරීමේ තරග අංගයකින් ද සමන්විතය. ඒ අනුව එය වෙනුවෙන් ක්‍රීඩක, ක්‍රීඩිකාවන් නම් කිරීමට ප්‍රේක්ෂකයනට අවස්ථාව හිමිවන්නේ ලේක්හවුස් පුවත්පත්හි පළවන කූපනය පුරවා එවිමෙනි.

අදාළ කූපනය ලේක්හවුස් ආයතනය විසින් නිකුත් පුවත්පත් හි පළ කිරීම මේ වනවිට ආරම්භ කර තිබේ.

මෙහි ඇති තවත් විශේෂත්වයක් වනුයේ කූපන්පත් එවන පාඨකයන්ට ද ත්‍යාග දිනා ගැනීමේ අවස්ථාවක් ලබාදී තිබීම ය. තමන්ගේ අභිමතය පරිදි සම්මාන හිමිවිය යුතු ක්‍රීඩකයන් දක්වා යොමුකරනු ලබන කූපන කුසපත් ඇඳීමකට යොමුකර ජයග්‍රාහකයන් තෝරාගැනීමට ද තරගාවලියේ සංවිධායකයන් වන සන්ඩේ ඔබ්සවර් පුවත්පත හා මොබිටෙල් ආයතනය සැලසුම් කර ඇත. ඒ අනුව පළමු ස්ථානය සඳහා මොබිටෙල් 4GB රවුටරයක් හිමි වන අතර, දෙවැන ස්ථානයේ සිට සිව්වැනි ස්ථානය දක්වා පිළිවෙළින් රු. 2500, 1500 සහ 1000 ක මුදලක් පිරිනමන බව තරගාවලි සංවිධායකයෝ පවසති.

සම්මාන උලෙළට අනුග්‍රාහකත්වය පිරිනැමීම පසුගිය එස්.එල්.ටී. මොබිටෙල් කාර්යාලයේ දී සිදු කෙරිණි. එම අවස්ථාවට සහභාගි වූ (වමේ සිට) සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතේ ප්‍රධාන කර්තෘ දිනේෂ් වීරවංශ, ලේක්හවුස් ආයතනයේ නීති හා පරිපාලන අධ්‍යක්ෂ නීතිඥ රඛිත අබේගුණවර්ධන, මොබිටෙල් ප්‍රධාන අලෙවි නිලධාරී (එස්.එල්.ටී. මොබිටෙල් වෙනුවෙන්) ශෂික සෙනරත්, මොබිටෙල් ජ්‍යෙෂ්ඨ කළමනාකාරු ජූඩ් සිල්වා, ලේක්හවුස් ප්‍රචාරණ කළමනාකාර චානක ලියනගේ යන මහත්වරු එම අවස්ථාවට එක්ව සිටිය හ.

Comments