ලොවක් දිනන පැතුම් පුරන බර උසුලන්නියෝ | සිළුමිණ

ලොවක් දිනන පැතුම් පුරන බර උසුලන්නියෝ

 

'ඔවුහු ජීවිතයේ බොහෝ අවධීන්හි ඔසවන්නේ මහා බර කඳු ය. ළමා කල බලාපොරොත්තු කඳු ඔසවන ඔවුහු මත නව යොවුන් වියේ තැබෙන්නේ ගෞරවයේ කඳු පන්ති ය. ඉනික්බිතිව ජීවය තැනීමේ බර ඔසවා ගෙන යන්නට ඔවුනට සිදුවෙයි. මෙසේ ජීවිතය පුරා බර ඔසවන ඔවුනට එය අවසන් වන කලක් උදා නොවේ. ඒ අනුව බලන කල ආසියාතික සංස්කෘතිය තුළ කාන්තාව යනු මහා බර පැසක් ඔසවා ගෙන යන්නියකි. නමුත් මේ ඊට අතිරේක ව භෞතික ව බර උසුලා ලොව බබළන්නට තතනන පිරිසක් ගැන ය.'

මෙරට කෙළිබිමේ ක්‍රියාත්මක බර පංති ක්‍රීඩා අතරේ "බර ඉසිලීම" ට හිමි වන්නේ ප්‍රමුඛ ස්ථානයකි. ජාතික මට්ටමින් ගත් විට තවමත් සමස්ත ශ්‍රී ලංකාවේ ම ව්‍යාප්තියක් දක්නට නොලැබුණ ද බර උසුලන්නෝ ජා-ත්‍යන්තරයේ ලබන ජය-ග්‍රහණ ප්‍රමාණය අනුව අනිකුත් ක්‍රීඩාවන්ට එල්ල කර ඇත්තේ විසල් අභියෝගයකි.

පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල සහ දකුණු ආසියාතික ක්‍රීඩා උළෙල ආශ්‍රිත ව නිරන්තරයෙන් පදක්කම් අතර සිටීමට දේශීය බර උසුලන්නෝ සමත් ව සිටිති.

එසේ පදක්කම් දිනූ ක්‍රීඩකයන් ආදර්ශයට ගනිමින් දැන් දැන් මෙරට ක්‍රීඩීකාවන් ද ඒ අඩි පාර ඔස්සේ ම යමින් සිටීම කැපී පෙනේ.

1990 දශකයේ අග භාගය තුළ රෝපණය කරන ලද කාන්තා බර ඉසිලීමේ ක්‍රීඩාව මේ වන විට ශක්තිමත් ව ව්‍යාප්ත වෙමින් ඇත. නදිනි ගුණ-සේකර, ප්‍රියංගිකා ජයමාලී ගෝමස්, පේදුරුආරච්චි, ධම්මිකා හරිශ්චන්ද්‍ර, කළුතන්ත්‍රී, විනෝදනී, දිනූදා, නිර්-මාණී, රූපසිංහ වැනි ක්‍රීඩිකාවන්ගෙන් සිදු කරන ලද අත්හදා බැලීම මේ වන විට සාර්ථකත්වයක් ලබා ඇති සෙයකි.

නදිනි ගුණසේකරලාගෙන් ඇරඹි ජාත්‍යන්තර කාන්තා බර ඉසිලීමේ ගමන සෙමෙන් සෙමෙන් වුවත් එය ඉදිරියට පැමිණ ඇති බවක් ප්‍රදර්ශනය වන්නේ පසු ගිය 2018 පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ දී හංසනී ගෝමස් ලැබූ පදක්කමත් සමඟිනි. ඒ කිලෝ ග්‍රෑම් 48 ට අඩු බර පංතිය යටතේ කිලෝ ග්‍රෑම් 155 ක බර එකතුව පදනම් ව දිනූ 'ලෝකඩ පදක්කම' ය.

හංසනී ගෝමස් මෙන්ම චතුරිකා ප්‍රියන්ති, ශ්‍රීමාලී සමරකෝන්, නදීශානි රාජපක්ෂ, ආශිකා විජයබාස්කර්, චතු-රිකා ප්‍රියන්ති, සහ තිමාලි හපුතැන්න 2019 දකුණු ආසියාතික ක්‍රීඩා උළෙල ආශ්‍රිත ව පදක්කම් දිනා ගනිමින් අන්තර්ජාතික අවධානය දිනා ගැනීමට සමත් ව සිටිති.

බර ඉසිලීම හඳුන්වා දෙමින් 2016 ඉන්දියාවේ දී පැවති සාග් ක්‍රීඩා උළෙල ආශ්‍රිතව ද පදක්කම් දිනා ගැනීමට අපේ ක්‍රීඩිකාවන්ට හැකි විය. ඉන්දියාවට පමණක් දෙවැනි වෙමින් දකුණු ආසියාකරයේ ඉදිරියෙන් පසුවන්නට

ශ්‍රී ලාංකේය ක්‍රීඩිකාවන් මේ වන විට සමත් ව සිටීම කැපී පෙනේ.

එවන් ජයග්‍රහණයන්ගෙන් හා අපේක්ෂාවන්ගෙන් පිරුණු බර ඉසි-ලුම් ක්‍රීඩාවේ කාන්තා බර ඉසිලීමේ කණ්ඩායම තව තවත් අන්තර්ජාතික ජයග්‍රහණ පතා සංචිතගතව සූදානම් වෙති. මේ ධෛර්යවන්ත ක්‍රීඩිකාවෝ මහනුවර, කොළඹ, යාපනය, කුරු-ණෑගල, පොළොන්නරුව යන ප්‍රදේශවල සිට පුහුණුවීම් ලබන්නේ මීළඟ තරගාවලියේ දී මව්බිම රනින් සරසන්නට උත්සාහ ගනිමිනි.

එළැඹෙන දෙසැම්බර් මස උස්බෙ-කිස්තානයේ ටෂ්කෙන්ට් අගනුවර දී ක්‍රියාත්මක කෙරෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ ශූරතාව

සඳහා ක්‍රීඩිකාවන් දස දෙනෙකුගෙන් සමන්විත ප්‍රබල කණ්ඩායමක් සහභාගී කර වීමට ශ්‍රී ලංකා බර ඉසිලීමේ සම්මේලනය දැනටමත් තීරණය කර ඇත.

පසුගිය අන්තර්ජාතික ජයග්‍රහණ හා තෝරා ගැනීමේ පරීක්ෂණ තරග ආශ්‍රිත ව ප්‍රදර්ශනය කර ඇති හැකියාවන් පදනම් ව මෙවර ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නම් කර ඇති අතර එයට පළපුරුදු ම ක්‍රීඩිකාවන් ද අයත් වෙති.

නම් කර ඇති ජාතික කාන්තා බර ඉසිලීමේ සංචිතය - ශ්‍රීමාලී සමරකෝන් (කිලෝග්‍රෑම් 45 ට අඩු බර පංතිය ), බී ඩී හංසනී ගෝමස් (කිලෝග්‍රෑම් 49 ට අඩු බර පංතිය), චමරී වර්ණකුලසූරිය (කිලෝග්‍රෑම් 55 ට අඩු බර පංතිය), එම්.උමෙයිරා මොහිඩීන් (කිලෝග්‍රෑම් 59 ට අඩු බර පංතිය),

ආර්.එම්.නදීශානී, එස්. රාජපක්ෂ (කිලෝග්‍රෑම් 59 අඩු බර පංතිය), ආශිකා විජයබාස්කර් (කිලෝග්‍රෑම් 64 ට අඩු බර පංතිය), ජී. ජී. දුල්නී, ටී. ගුරුගම (කිලෝග්‍රෑම් 71 ට අඩු බර පංතිය),

පී.ඩී.එන්. සංජනා වෙදආරච්චි (කිලෝග්‍රෑම් 81 ට අඩු බර පංතිය) , බී.චතුරිකා ප්‍රියන්ති (කිලෝග්‍රෑම් 87 ට අඩු බර පංතිය) සහ තිමාලී එන්.බී.ජේ. හපුතැන්න (කිලෝග්‍රෑම් 87 ට වැඩි බර පංතිය).

 

Comments