මුහුදු කොල්ලය හදවත් කොල්ලයකට පෙරැළූ මෝ | සිළුමිණ

මුහුදු කොල්ලය හදවත් කොල්ලයකට පෙරැළූ මෝ

 

ප්‍රචණ්ඩත්වය දෙපාවලට එන්නත් කර

බ්‍රිතාන්‍ය රැජිනගේ සෝමාලියානු නයිට්

මහා බ්‍රිතාන්‍යයේ මොගඩිෂු ප්‍රහාරය ඔහුය

 

‘කොල්ලය යනු ඩැහැ ගැනීමකි, උදුරා ගැනීමකි. සරල ව කියන්නේ නම් සොරා ගැනීමකි. එහෙත් ඒ සියලු කොල්ලකෑම් හි සියුම් ම කොල්ලකෑම වන්නේ හදවත් සොරාගැනීම ය. ඔහු දරිද්‍රතාවයෙන් ප්‍රචණ්ඩ වූ සෝමාලියාවේ දී කොල්ලකරුවකු වීමට උගත්තේ ය. එහෙත් ඒ වෙඩි පහරට නොව මල් පහරට ඉලක්ක වන්න කොල්ලකරුවකු ලෙස ය.’

ලොව පුරා ක්‍රීඩා ලෝලීන් ඔහු දැන හඳුනන්නේ ‘මෝ ෆාරා’ ලෙසිනි. නමුත් ඔහුගේ නියම නම මොහොමඩ් මුක්ටා ජමා ෆාරා ය. ඔහු මහා බ්‍රිතාන්‍යය නියෝජනය කළ ශ්‍රේෂ්ඨතම දුර ධාවකයා ය.

අද ඔහු මහා බ්‍රිතාන්‍යයට අපරිමිත කීර්තියක් ලෝක මට්ටමෙන් උරුම කර දී ඇතත් ඔහුගේ උපත සිදුවූයේ සෝමාලියාවේ අගනගරය වන මොගඩිෂුහි දී ය. ඒ, 1983 මාර්තු 23 වැනිදා ය.

මුක්ටා ෆාරා නම් වූ පියා බ්‍රිතාන්‍යයේ උපත ලැබූවෙකි. අම්රාන් ෆාරා වූ මව සෝමාලියානු ජාතික කාන්තාවකි. මේ දෙපොළට දරුවන් සයදෙනෙකි.

සෝමාලියාව යනු ඉතිහාසයේ දිගු කලක පටන් ම අතොරක් නැති පීඩාවන්ට ගොදුරු වන රාජ්‍යයකි. දැනට දසක ගණනාවක සිට දරුණු සාගතයකට මුහුණ දෙමින් තිබෙන අවාසනාවන්ත දේශයකි එය. තවත් අතකින් සෝමාලියාව සැමදාම පාහේ අස්ථාවර දේශපාලන වාතාවරණයක් උරුම රාජ්‍යයකැයි ද කිව හැකි ය. සාගතයෙන් මෙන් ම අස්ථාවර දේශ-පාලන ගැටුම්වලින් ද පීඩාවට පත්වන බහුතරය සෝමාලියාවේ සාමාන්‍ය වැසියන් ය.

එරටේ දේශපාලන ගැටුම්වල ප්‍රතිවි-පාකයන්ට මුහුණ පෑමට සිදුවීම මෝ ෆාරාගේ පවුලට ද පොදු යථාර්ථයක්

විය. අවසන ඉන් මිදීමට මෝ ෆාරාගේ පියා තීරණයක් ගත්තේ ය. ඒ, දරු

මල්ලන් ද සමඟින් එංගලන්තයට සංක්‍රමණය වීමට ය. නමුත් මේ මුළු පවුලට ම ඒ ගමන යෑමට එංගලන්-තයෙන් අවසර නොලැබිණි. අවසන වරණීය වාසනාව නැතහොත් තෝරා ගැනීමේ වාසනාව ට දරුවන් සය දෙනාට මුහුණ දීමට සිදුවිය. ඒ අනුව පියා මේ ඉරණම් ගමනට තෝරාගත්තේ මෝ ෆාරා හා එක් දියණියකි. සෙසු දරු දැරියෝ මිත්ත-ණියගේ සෙනෙහස හා රැකවරණය ලබමින් සෝමා-ලියාවේ නතර වූ හ.

1991 දී ලන්ඩන් වෙත පැමිණෙන විට මෝ ෆාරා ට වයස අවුරුදු 8 කි. ඔහු ලන්ඩන් හි අයිස්ල්වර්ත් ඇන්ඩ් සයිනස් ස්කූල් නම් පාසලට ඇතුළත් කෙරිණි. ඉගෙනීමට මැලි වූ ඔහු පාසල තුළ කීර්තියක් අත්පත් කර ගත්තේ දක්ෂ පාපන්දු ක්‍රීඩකයකු ලෙස ය.

“මෝ ෆා, ඔයා පාපන්දු ක්‍රීඩාවට දක්ෂයෙක්. ඒත් මට හොඳටම පේන දේ තමයි ඔයා දක්ෂ ධාවන ශූරයෙක් වෙන බව. ඔයා ඒ පැත්ත ගැන හිතුවොත් ගොඩාක් දුර ගමනක් යන්න පුළුවන් වෙයි.” පාසලේ ශාරීරික අධ්‍යාපන ගුරුවරයා වූ ඇලන් වොට්කින්සන් පැවසී ය.

“මම පාපන්දු ක්‍රීඩාවට ආස කරන බව ඇත්ත. ඒත් සර් මට කියනවා නම් මම මගේ තීරණය වෙනස් කරන්න

සූදානම්.” මෝ ෆාරා තම ගුරුවරයාට අවනත වූයේ ගුරු-වරයා තම ක්‍රීඩා දිවියේ පෙර මඟ දුර දක්නා නුවණින් දකින්නකු වන්නට ඇතැයි යන විශ්වාසයෙනි.

1996 වසරේ සිට මෝ ෆාරා දිගු දුර ධාවන පුහුණුවට මුලපිරුවේ ය. ඒ, ඇලන් වොට්කින්සන්ගේ පූර්ණ මඟ පෙන්වීම යටතේ ය. ඔහු මේ ඉසව්ව ඔස්සේ තම දීප්තිමත් ගෝලයාට වැඩිදුර පුහුණුව ලබා දීම සඳහා ඇමරිකාවේ ෆ්ලොරිඩා හි පිහිටි ආධුනික මලල ක්‍රීඩකයන් පුහුණු කර-වන කඳවුරකට යොමු කළේ ය. එය මෝ ෆාරාගේ ක්‍රීඩා දිවියට නවමු අත්දැකීම් රැසක් මුසු වූ කාල පරිච්ඡේදයක්

විය.

මේ පුහුණුව අතිසාර්ථක ව නිම කළ මෝ 2001 දී ඉතාලියේ පැවැත්වුණු මීටර් 5000 ධාවන තරගයක දී එම දුර මිනිත්තු 14 .09.91 ක කාලය තුළ දිව ගොස් යුරෝපියානු කනිෂ්ඨ ශූරතාව එංගලන්තයට උරුම කර දුන්නේ ය. එංගලන්ත ක්‍රීඩා බලධාරීන්ගේ අවධානය මුල් වරට මෝ වෙත යොමු වූයේ මේ ජයග්‍රහණයත් සමඟිනි.

2012 යනු සමස්ත බ්‍රිතාන්‍යයට ම සුවිශේෂී වූ වසරක් විය. ඒ, එම වසරේ ඔලිම්පික් ක්‍රීඩා තරගාවලිය ලන්ඩන්හි දී පැවැත්වුණු හෙයිනි. ලොව ම එක්වන මේ තරගාවලියේ දී බ්‍රිතාන්‍යයේ සුවිශේෂී බලාපොරොත්තුවක් වූයේ මෝ ෆාරා ය.

මෙහිදී මුලින් ම ඔහු ඉදිරිපත් වූයේ මීටර් 10000 ධාවන ඉසව්වට ය. එහිදී ඔහු සිය මුල් ම ඔලිම්පික් රන් පදක්කම බ්‍රිතාන්‍යයට දිනා දුන්නේ ය. ඒ, ධාවන වට 25 ක් සපුරමින් මිනිත්තු 24. 30.42 ක කාලයක් තුළ දී ය.

අනතුරුව ඔහු ඉදිරිපත් වූයේ මීටර් 5000 ධාවන ඉසව්වට ය. එහිදී ද ඔහු රන් පදක්කම දිනාගත්තේ මිනිත්තු 14 .21. 06 ක කාලයක් තුළ දී ය. ඔහු මේ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී ‘බ්‍රිතාන්‍ය වීරයා’ ලෙසින් අභිසෙස් ලැබී ය.

2016 දී බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝහි දී පැවැති ඔලිම්පික් ක්‍රීඩා තරගාවලිය මෝ ෆාරා හට උදා වූ තවත් විජයග්‍රාහී අවස්ථාවකි. ඒ, එහිදී මීටර් 5000 හා මීටර් 10000 ධාවන ඉසව්වල රන් පදක්කම් ද්විත්වය ද ඔහු බ්‍රිතාන්‍යයට හිමි කර දුන් හෙයිනි.

මලල ක්‍රීඩාව තුළින් බ්‍රිතාන්‍යයට උරුම කර වූ ගෞරවනීයත්වයට කෘතගුණ සපිරි උපහාරය පුදමින් එංගලන්තයේ දෙවැනි එලිසබෙත් මහ රැජන විසින් මෝ ෆාරා වෙත නයිට් නාමය පිරිනැමුවා ය.

“මම ජයග්‍රහණය පැත්තෙන් පරිපූර්ණ කෙනෙක් කියලයි මට හිතෙන්නෙ. මේ ජයග්‍රහණයට හේතුව බොහෝ දෙනෙක් විමසනවා. ඒ තමයි පුහුණුව. තරගයක් තියෙනවා නම් මම මගේ බිරිඳගෙනුත් දරුවාගෙනුත් ටික කාලෙකට ඈත්වෙලා ගිහින් ඉතාමත් කැපවීමෙන් උනන්දුවෙන් පුහුණුවීම්වල යෙදෙනවා. ඉන් පස්සෙ හිත ශක්තිමත් කර ගෙන තරග-වලට මුහුණ දෙනවා.” ඒ, මෝ ෆාරාගේ ජයග්‍රහණයට හේතු වූ කාරණාවන් ය.

මෝ ෆාරා ගෞරවාභිමාන ලබනුයේ හුදෙක් ලොව දක්ෂතම ක්‍රීඩකයන්ගෙන් අයකු ලෙසින් පමණක් නොවන්නේ ය. ඔහු කීර්තිමත් සමාජ සේවකයකු ලෙසින් ද ප්‍රකට ය. ඒ, ‘මෝ ෆාරා පදනම’ මඟින් තම නිජබිම වන සෝමාලියාවේ පීඩිත දරුවන්ට දීප්තිමත් හෙට දවසක් විවර කරනු වස් නියුක්ත වන අමිල මෙහෙවර හේතුවෙනි.

ලෝකයට මෝ ෆාරා ගෙන් ‘මෝ.....මෝ’ යැයි ඉල්ලා සිටිය හැක්කේ එහෙයිනි.

 

Comments