මගේ පදක්කම මට දෙන්න | සිළුමිණ

මගේ පදක්කම මට දෙන්න

 

'සාධාරණය ඉල්ලමින්, නීතිවේදීන් සමඟ කරළියට පැමිණීමට ජෝ ජොයිස් ඉදිරිපත්ව ඇත. ඒ රියෝ හි පැවැති ඔලිම්පික් උලෙළේ බොක්සිං තරග පාවාදීමක් සිදුවී ඇති බවට රිචඩ් මැක්ලරන් ලබාදුන් වාර්තාව පදනම් කරගනිමිනි. මේ ඒ සම්බන්ධ කතාව ය.'

රියෝ ඔලිම්පික් උලෙළේ දී තමන්ට රන් පදක්කම වහා හිමිවිය යුතු බවත් එය ලබාගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙසත් බොක්සිං ක්‍රීඩක ජෝ ජොයිස් පවසනවා. ඔහු සහභාගි වූ අවසන් තරගයේ දී ටෝනි යෝකා අභිමුව ජොයිස් පරාජය වූ බවට විනිසුරු තීරණය කර තිබුණා.

මේ සම්බන්ධයෙන් පරීක්ෂණය කිරීමට ඉදිරි පෙළේ ක්‍රීඩා අපරාධ පරීක්ෂකයකු ලෙස සැලකෙන මහාචාර්ය රිචඩ් මැක්ලරන්ටයි බාරවුණේ. ඔහුගේ නිරීක්ෂණයන්ට අනුව ජොයිස් සහභාගි වූ තරගයේ ප්‍රතිඵලය ලබාදීමේ දී ප්‍රංශ ක්‍රීඩක යෝකාට වාසි සහගත ආකාරයට කටයුතු කර ඇති බව හෙළිදරව් වී තිබෙනවා.

ජොයිස් තම තරගයේ දී ප්‍රතිවාදියාට වඩා ඉදිරියෙන් සිටි බව ප්‍රදර්ශනය කළ ද තරගය අවසානයේ විනිසුරුවා විසින් යෝකාගේ අත ඔසවා ඔහු ජයගත් බවයි නිවේදනය කර තිබුණේ. (එය එකල බොක්සිං ක්ෂේත්‍රය තුළ දැඩි විස්මයක් ඇති කළ සිද්ධියක් වුණා.)

මෙහිදී ජොයිස්ගේ රන් පදක්කම ඔහුට යළි පිරිනැමීමට හැකි ද යන්න ගැන කතා කරද්දී මැක්ලරන් පවසන්නේ එය තමන්ට තීරණය කළහැකි දෙයක් නොවන බවයි. එය ජාත්‍යන්තර සම්මේලනය සතු විනිශ්චයක් බව ඊට පිළිතුර වශයෙන් ඔහු ප්‍රකාශ කරනවා.

ජොයිස් සහභාගි වූ බොක්සිං සටනට අමතරව තවත් තරග එකොළහක තීරණ වෙනස් කළ බවටයි සැක කෙ‍ෙරන්නේ. එහි දී ඇතැම් විනිසුරුවන් හා තීරකයන් ඉලක්කම් හයේ මූල්‍ය වාසි ලබාගෙන එසේ තීරණ වෙනස්කිරීමට සහාය වී ඇතැයි ද සඳහන්.

මේ අතර ජොයිස් ට අමතරව අයිරිෂ් ජාතික ක්‍රීඩකයකු වූ මයිකල් කොන්ලන් ගේ පරාජයත් ප්‍රශ්නකාරී තීන්දුවක් බව පැවසුණා.

බොක්සිං තරගයන්හි ජයග්‍රාහකයා කවුරුන් ද යන්න තීරණය කිරීමේදී දූෂිත ලෙස තීන්දු වෙනස් කළ චූදිතයන් කවුරුන් ද යන්න දැනට පැවසිය නොහැකි බවයි මැක්ලරන් පවසන්නේ. එයට හේතුව තීරණය අයථා ලෙස වෙනස් කළේ යැයි කියනු ලබන බොක්සිං තරගයන්හි එක් එක් විනිසුරුවන් ලකුණු ලබාදුන් ලකුණු සටහන් පරීක්ෂා කර බැලීමෙන් පසු එය නිශ්චය කළ හැකි බව ඔහු පෙන්වා දෙනවා.

මැක්ලරන් වාර්තාව සම්බන්ධයෙන් ජොයිස් අදහස් දක්වමින්,

' ඇත්තටම ක්‍රීඩාව ඇතුළෙ මේ ආකාරයේ වංචාවන් සිදුවන බව දැනගත් විට ඇති වන්නේ මහත් කනගාටුවක්. ඒ අතර මම ආදරය කරන ක්‍රීඩාව තුළ මේ වගේ දේ සිදුවුණා කියලා දැනෙද්දී ඇතිවන්නේ මහත් වේදනාවක්.' යැයි පවසා තිබෙනවා.

'ඇත්තටම මම දැඩි ලෙස විශ්වාස කරනවා මම තමයි ජයග්‍රාහකයා කියලා. නමුත් තරගය අවසානයේ රන් පදක්කමට සුදුසු වී සිටියේ ටෝනි යෝකා යි. එදා මට සාධාරණ තීරණය ලැබුණේ නෑ. නමුත් කවදා හරි එය ලැබෙනවා නම් මම එය සමඟ එකඟයි.' ඔහු පවසන්නේ බලාපොරොත්තු සහගතවයි.

'මම මැක්ලරන් වාර්තාව කියෙව්වා. එම තරගවලදී වංචාවක් සිදු වූ බවත් තේරුම් ගත්තා. ඒ කියන විධිහට එතන වංචාවක් සිදුවී ඇත්නම් මම ජාත්‍යන්තර බොක්සිං සංගමය වගේ ම ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව කෙරේ විශ්වාසය තබනවා. ඔවුන් ක්‍රීඩාවේ නිර්මලත්වය ආරක්ෂා කරමින් මට යළි රන් පදක්කම පිරිනමාවි කියලා මා සිතනවා.

'මම සහ මගේ නීති කණ්ඩායම මේ වාර්තාව ගැන සවිස්තරව අවධානය යොමුකරනවා වගේ ම ජාත්‍යන්තර බොක්සිං සංගමයේ හා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ තීන්දුව දෙස විමසිල්ලෙන් බලා සිටිනවා. දූෂණයට, වංචාවට සදාකාලිකව සාර්ථකත්වය අත්පත් කරගන්න බෑ.' ජොයිස් වැඩිදුරටත් පවසා ඇත.

Comments