නිසි ඇගයීම හා වගකීම | සිළුමිණ

නිසි ඇගයීම හා වගකීම

 

'ගෙවුණු දිනයෙන් පාඩම් උගත යුතු ය. එසේ උගත් පාඩම් සමඟ අද දිනයේ ජීවත් වීම ද එලෙසම වැදගත් ය. එසේ ජීවත්වීම හෙට දිනය ගැන නැවුම් බලාපොරොත්තු සහිතව ද සිදුකළ යුතු ය. ජීවිතයක් හරයාත්මක වන්නේ එවිට ය.

මෙම න්‍යාය සාමාන්‍ය මානව ජීවිතය ගොඩනැගීමේ දී මෙන්ම එහි එක් ශාඛාවක්ව බිහි වුණු ක්‍රීඩා විෂය සම්බන්ධයෙන් ගත්කල ද වැදගත් ය. පසුගිය දා ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ඊට අනුරූපී තීරණයකට එළැඹුණේ ය. ඒ මෙරට බිහිවූ විශිෂ්ටතම මලල ක්‍රීඩාව සේ සැලකෙන සුසන්තිකා ජයසිංහ ගේ සේවය පූර්ණ කාලීනව ක්‍රීඩා අමාත්‍යාංශයට ලබාගැනීමට තීරණය කරමිණි. ඈ ඔලිම්පික් රිදී පදක්කම දිනා වසර විසි එකකට පසුව හෝ මෙලෙස වෘත්තීයමය වශයෙන් ක්‍රීඩා අමාත්‍යාංශයේ ඇගයීමට ලක්කිරීම විශිෂ්ටය.

මේ අනුව ඇය ට දැන් පැවරී ඇත්තේ මෙරට ක්‍රීඩා අනාගතය බාරගැනීමට සුදුසුකම් ලබන ක්‍රීඩක, ක්‍රීඩිකාවන්ගේ මානසිකත්වය ප්‍රවර්ධනය කිරීම පිණිස කටයුතු කිරීමයි. ඒ ක්‍රීඩා අමාත්‍යාංශයට අනුබද්ධව පූර්ණ කාලීන උපදේශිකාවක් වශයෙනි. මීට පෙර කීවාක් මෙන් සැබැවින්ම එය විශිෂ්ට තීරණයකි. මන්ද තවමත් බොහෝ ඔලිම්පික් පදක්කම් දිනා නොමැති එහෙත් ක්‍රීඩාශීලී රාජ්‍යයක් වශයෙන් තමන් සතු එකම ඔලිම්පික් ක්‍රීඩිකාවගේ දැනුමෙන් ප්‍රයෝජන ගැනීමට සිතීම ඉතා වැදගත් වන බැවිණි.

එහෙත් එය සිදුකිරීමේ දී ඇය සතු දැනුම යොවුන් ක්‍රීඩක, ක්‍රීඩිකාවන් අතර බෙදා දෙන්නේ කෙසේද යන්න ගැන සිතා බැලීම වැදගත් ය. ඒ වෙනුවෙන් ඇය තුළ න්‍යායාත්මක පදනමක් සකස් කිරීම වැදගත් ය. එය ඇයට ලබාදිය හැක්කේ විධිමත් පුහුණුවකට ඇය යොමු කිරීමෙනි. ඒ සඳහා සුසන්තිකා ජයසිංහයන් උපදේශන හා ක්‍රීඩක ප්‍රවර්ධන කාර්යය සඳහා අවශ්‍ය පදනම් පාඨමාලාවකට යොමුකළ යුතුව ඇත.

දොඩම් ගෙඩියක කොතරම් යුෂ පිරී තිබුණද එය මිරිකාගත යුතු ක්‍රමවේදයක් තිබේ. ඒ නිසි ක්‍රමය නොදැන දොඩම් යුෂ හිතුවක්කාරී ලෙස ලබාගැනීමට උත්සහ කළහොත් ලැබෙන්නේ පැඟිරි මිශ්‍ර, යම් තිත්ත රසයකින් යුතු දොඩම් යුෂ ය. එසේනම් දොඩම් යුෂ මිරිකාගත යුතු ක්‍රමවේදය පළමුව උගැනීම වැදගත් වේ.

උපදේශන විෂයේ ද එය එසේම ය. එහෙයින් අප කියන්නේ සුසන්තිකා සතු විශිෂ්ට අධිෂ්ඨාන ප්‍රතිබද්ධ දැනුම නව යොවුන් ක්‍රීඩක, ක්‍රීඩිකාවන්ට ලබාදිය යුතු ක්‍රමවේදයක් වහා සැකසිය යුතුව ඇතැයි කියාය. ඒ වෙනුවෙන් අවැසි ඉවසීම, පුද්ගල සන්නිවේදනය, උපදේශන න්‍යායන් සම්බන්ධයෙන් පළමුව ඇයට පුහුණුවක් ලබාදිය යුතුව ඇත.

සුසන්තිකා විසින් ඔලිම්පික් රිදී පදක්කම දිනා වසර විසි එකකට පසු ඈ වෘත්තීය වශයෙන් ඇගයීමද ඇගේ දැනුම රටේ සුවහසක් වූ යොවුන් ක්‍රීඩක, ක්‍රීඩිකාවන් වෙත නිසි පරිදි ලබාදීමට ද හැකිවන්නේ එසේ නිසි ක්‍රමවේදයක් යටතේ ක්‍රියා කළහොත් පමණි.

Comments