කාන්තා ක්‍රිකට් ලොව වන්දනා යන ඉන්දීය දේවි මන්දනා | සිළුමිණ

කාන්තා ක්‍රිකට් ලොව වන්දනා යන ඉන්දීය දේවි මන්දනා

'පුන් සඳ ලොව අඳුර දුරැලන්නා සේ ඈ ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම ආලෝකමත් කරන්නී ය. සොඳුරු, ප්‍රියශීලි දැක්මකින් යුතු ඈ නමින් නොහඳුනන්නෝ වුව රුවින් හඳුනාගන්නා තරමට ආකර්ෂණීය ය. මේ කාන්තා ක්‍රිකට් ලොවේ වඩාත් කතාබහට ලක්වන ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවේ සොඳුරු ස්ත්‍රීත්වය ස්මිත්‍රි මන්දනා ය.'

මන්දනා අද වන විට ලොව ජනප්‍රිය ම කාන්තා චරිත-යක්. ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රවේගකාරී පිතිකාරිනියක් වන ඇය මෝස්තර නිරූපිකාවක් ‍ලෙස ද ජනාදරයට පත්ව සිටි-න්නියක්.

පසුගිය දා නිමාව දුටු ඕස්ට්‍රේලියා - ඉන්දියා ‍‍ටෙස්ට් තරගයේ දී ශතකයක් රැස් කිරී-මටද ඈ සමත් වුණා. ඒ ලකුණු 127 ක් ලබමින්.

ඇගේ මෙම ඉනිම ඕස්ට්-‍රේලියානු බිමේ විදෙස් ක්‍රීඩි-කාවක් ලබාගත් වැඩි ම ලකුණු ප්‍රමාණය වීම ද විශේෂත්වයක්. ඈ එසේ බිඳ දැමුවේ මීට වසර 72 ක ට ‍පෙර එංගලන්ත ක්‍රීඩිකා මොලි හයිඩ් විසින් තැබූ වාර්තාවක්. හයිඩ් එය පිහිටුවා තිබුණේ 1949 වසරේ දී ඕස්ට්‍රේලියාවට එරෙහිව සිඩ්නි හි දී ලකුණු 124 ක් ලබා ගනිමිනුයි.

මන්දනාගේ ශතකය තවත් පැත්තකින් ඉන්දියාවට විශේෂයි. ඒ ඕස්ට්‍රේලියාවට එරෙහිව ඉන්දියානු ක්‍රීඩිකාවක් ලබා ගත් දෙවැනි ශතකය ලෙස මෙය සැලකෙන හෙයිනුයි. මීට පෙර එම දස්කම දක්වා තිබුණේ 1984 වසරේ දී සන්ධ්‍යා අග්‍රාවල් විසිනුයි. එදා ඇය ඕස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 134 ක් රැස් කළා.

මන්දනාගේ ක්‍රිකට් ජීවිතය සම්බන්ධයෙන් කතා කරද්දී ඇය ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ප්‍රවේශ වන්නේ 2013 වසරේ දී යි. ඒ බංග්ලාදේශය සමඟ විස්සයි20 තරගයකිනුයි. එදා ඇය ආරම්භක පිතිකාරිනියක්

ලෙස පිටියට පිවිසුණා. ඊට සතියක් ගෙවෙන්නටත් මත්තෙන් ඈ ජාත්‍යන්තර එක්දින පිටියට ද එක්වීමට සමත් වුණා.

එහෙත් මන්දනා ට ටෙස්ට් වර්ණ හිමි වන්නේ 2014 වසරේ දී යි. එංගලන්ත කණ්ඩායමට එරෙහිව ඇය සිය පළමු ටෙස්ට් සටනට අවතීර්ණ වන්නේ ත් ආරම්භක පිතිකාරිනියක් ලෙසයි. එම තරගයේ දෙවැනි ඉනිමේ දී ඇය අර්ධ ශතකයක් රැස් කළා.

මේ වන විට ජාත්‍යන්තර ටෙස්ට් තරග 4 ක ට ක්‍රීඩා කර ඇති මන්දනා ශතකයක් සහ අර්ධ ශතකයක් සමඟින් ලකුණු 294 ක් රැස් කර ති‍බෙනවා. ඇය මේ වන විට ක්‍රීඩා කර ඇති ජාත්‍යන්තර එක්දින තරග සංඛ්‍යාව 62 ක්. එහි දී ඇය ශතක 4 ක් සහ අර්ධ ශතක 19 ක් සමඟින් රැස් කර ඇති ලකුණු සංඛ්‍යාව 2377 ක්.

ජාත්‍යන්තර විස්සයි20 තරග 81 ක ට ක්‍රීඩා කර ඇති ඇය එහි දී ලකුණු 1901 ක් රැස් කර ඇත්තේ අර්ධ ශතක 13 ක් ද සමඟිනුයි. ඉන්දියාව ‍වෙනුවෙන් ‍වේගවත් ම අර්ධ ශතකය රැස් කළ ක්‍රීඩිකාව වන්නේ ද මන්දනා යි. එපමණක් නොව 2020 වස‍රේ දී ඇය ඉන්දීය විස්සයි20 කණ්ඩායමේ නායකත්වයට පත්වීමට සමත් වුණා. එය ඉන්දීය ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ ළාබාලතම විස්සයි20 ක්‍රිකට් නායිකාව ලෙස ඇගේ නම වාර්තා පොත් අතරට එක්කළා.

ඈ මේ දස්කම් දක්වන්නේ පවුල් පසුබිම තුළ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් ශක්තිමත් අත්තිවාරමක් පවතින නිසයි.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ අට වසරක අද්දැකීම් සපිරි මන්දනාගේ සහෝදරයා ෂාර්වන් මන්දනා යි. ඔහු ඉන්දියාවේ ප්‍රාන්ත ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ඇගේ පියා වන ශ්‍රී නිවාස් මන්දනා ද ඉන්දියාවේ දිස්ත්‍රික් ක්‍රිකට් කණ්ඩායමක් නියෝජනය කළ ක්‍රීඩකයෙක්.

තවමත් 25 වැනි වියේ පසුවන ස්මිත්‍රි මන්දනා මේ වන විටත් ජාත්‍යන්තර ක්‍රිකට් සම්මාන රැසකින් ම පිදුම් ලැබූ ක්‍රීඩිකාවක්. 2018 වසරේ දී ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් පිරිනමන හොඳම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩිකාවට හිමි සම්මානයෙන් පිදුම් ලැබීමට ද ඈ සමත් වුණා.

එම වසරේම අග භාගයේ දී අයි. සී. සී. ය විසින් වසරේ හොඳම ක්‍රිකට් ක්‍රීඩිකාව සඳහා වූ රේචල් හෙයිහෝ ෆ්ලින්ට් සම්මානයෙන් ද ඇයට පුදනු ලැබුවා. එම වසරේ දී ම ඈ අයි.සී.සී. වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස නම් කෙරුණා.

මන්දනා ක්‍රිකට් ලෝකය තුළ කුමාර් සංගක්කාරට වඩාත් ප්‍රිය කරන බව වරෙක පවසා තිබුණා. කුඩා කාලයේ සිට ම කුමාර් සංගක්කාර ගේ ක්‍රීඩා විලාසයට සහ පිතිකරණ රටාවට තමා බොහෝ සේ ඇලුම් කරන බවත් සංගක්කාරගේ ක්‍රීඩා විලාසය අනුකරණය කිරීමට ද බෙහෙවින් උනන්දු වන බවත් ඇය එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කරනු ලැබුවා.

අතිශය සූරූපි රුවක් හිමි මන්දනා ක්‍රීඩාව තුළින් පමණක් ප්‍රසිද්ධියට පත් ව ඇත්තියක් නොවෙයි. ඇය ඉන්දියාවේ නිරූපණ කේෂ්ත්‍රයේ ද ප්‍රකට චරිතයක්. විවිධ රූපවාහිනි වැඩ-සටහන්, නිරූපණ වැඩසටහන්, වෙළෙඳ දැන්වීම් රැසකටම ඈ සිය දායකත්වය ලබාදී තිබෙනවා. අපට මන්දනා ගේ ක්‍රිකට් හා ජීවන වන්දනාව ගැන බොහෝ දේ අනාගතයේ දී කතාකරන්න පුළුවන්. කෙසේ නමුත් දැනටමත් මන්දනා පිරිමින්ට සුවිශේෂී වූ ක්‍රිකට් ක්‍රීඩාවේ කාන්තා සන්නාමයක් බවට පත්වී අවසන් බවයි අපට දකින්නට තිබෙන්නේ.

 

Comments