ක්‍රීඩකත්වය තුළ ඉතිරෙන මිත්‍රත්වය හා මනුෂ්‍යත්වය | සිළුමිණ

ක්‍රීඩකත්වය තුළ ඉතිරෙන මිත්‍රත්වය හා මනුෂ්‍යත්වය

 

එක්සත් ජනපදයේ සුපිරි ලෝක ජිම්නාස්ටික් ශූරිය සිමෝන් බයිල්ස් පසුගියදා සමාජ සේවා සද්ක්‍රියාවක් කළා ය. ඒ එක්සත් ජනපද ජිම්නාස්ටික් කණ්ඩායමේ මෙවර ටෝකියෝ ඔලිම්පික් උෙලළේ රන් පදක්කම්ලාභිනියක වන සුනී ලී ගේ පියා වෙනුවෙනි.

ඒ රිය අනතුරකට ලක්ව සිරුරේ පහළ කොටස අක්‍රියව ඇති ජෝන් ලී ට උපකාර කිරීමට ඉදිරිපත් වෙමිනි. ඔහුට එහා මෙහා යාමට රෝද පුටුවක් අවශ්‍ය බව දැන ගත් සිමෝන් එය මිල දී ගෙන තමාගේ මිතුරියගේ පියාට ප්‍රදානය කර තිබේ.

සිමෝන් මෙවන් පරිත්‍යාගයකට සැරසෙන බව සුනී කලින් දැන සිටියේ නැත. තම මිතුරිය සිදුකළ මිත්‍රශීලී සද්ක්‍රියාව පිළිබඳ සුනී සිටින්නේ මහත් සතුටෙනි.

‘සිමෝන් හැම විට ම මාව දිරිමත් කරන කෙනෙක්. ඇගේ මේ සත්කාරය හරිම ඉහළයි. මට වචන නැහැ.’ ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සුනී පවසා තිබේ.

ජෝන් ලී අනතුරට ලක් වුණේ ටෝකියෝ ඔලිම්පික් උලෙළට පෙර එක්සත් ජනපද ජීම්නාස්ටික් කණ්ඩායම තෝරා ගැනීමට පැවති එරට ජිම්නාස්ටික් තරගාවලියට පෙර ය. පියාගේ ශල්‍යකර්මය හේතුවෙන් සුනී තරග නොකරන්නට තීරණය කළ ද ජෝන් ලී තරග වදින ලෙස දියණියව දිරිමත් කළේ ය.

‘සුනි ඔලිම්පික් යන්න ගොඩාක් මහන්සි වුණා. මම ඇයටත් පුහුණුකරුටත් කිව්වේ තරග කරන්න කියලයි.’ ජෝන් ලී රෝහල්ගතව සිටිය දී සුනීව දිරිමත් කරමින් පවසා තිබිණි.

ශාරීරික ආතතිය හේතුවෙන් සිමෝන් බයිල්ස් මෙවර ටෝකියෝ ඔලිම්පික් උලෙළේ සමස්ත ජිම්නාස්ටික් ඉසව්වට සහභාගි නොවිණි. ඒ අනුව රන් පදක්කම දිනා ගන්නා ලෙසට ඇය සුනීව දිරිමත් කළ අතර සිමෝන්ට සහ පියාට උපහාර පුදමින් සුනී රන් පදක්කම ජයග්‍රහණය කළා ය.

‘සිමෝන් හැම විටම සුනීට උදව් කළා. මගේ පුංචී දුව රන් පදක්කම දිනල මට ගෞරවයක් ගෙන දුන්නා. හැම දේටම සිමෝන් ඔබට ස්තූතියි.’ ජෝන් ලී තමාගේ කෘතඥාතාවය පළ කළේ එසේ ය.

Comments