කට්ට කාලා ආපු ගමනක තමයි | සිළුමිණ

කට්ට කාලා ආපු ගමනක තමයි

 

යුද හමුදාවෙන් බුහුමන් ලද ලයිට් ෆ්ලයි බර පංතියේ බොක්සිං වීරයා

 

 

'ඔහු රජ රට එසේත් නැතහොත් වැව් බැඳි රට උපන්නෙකි. මහා සංස්කෘතියක පහස විඳ ජීවිතය බුහුටි කරගත්තෙකි. ඔහු පසුගිය දා රුසියාවේ දී හෙළ බිම වැව් බැඳි රට රජුන් උපන් දේශයේ සටන් ක්‍රීඩාවේ දක්ෂතා සපිරි ක්‍රීඩකයින් සිටින බව ප්‍රකට කරමින් ලෝක හමුදා ක්‍රීඩා උලෙළේ දී බොක්සිං ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගත්තේ ය. මේ ඔහුගේ ඒ වීර වික්‍රමය ගැන ය.'

 

'මම පාසල් යන කාලේ බොක්සිං ක්‍රීඩකයෙක් නොවෙයි. අනෙක අපේ පාසලේ බොක්සිංවලට ලොකු ඉඩක් තිබුණෙත් නෑ. ඉතිං මට බොක්සිං ක්‍රීඩකයෙක් වෙන්න කිසිම සැලසුමක් තිබුණේ නෑ. ඒත් ඒක එහෙම වුණේ අහම්බෙන් වගේ.' පසුගිය දා රුසියාවේ දී බොක්සිං ලෝකඩ පදක්කමක් දිනාගත් යුද හමුදාවේ ලාන්ස් කෝප්‍රල් සජීව නුවන් ක්‍රීඩා හා පැවසී ය.

රුසියාවේ මොස්කව් නුවර පැවැති ලෝක ආරක්ෂක සේවා බොක්සිං තරගාවලියේ දී ඔහු මෙම ලෝකඩ පදක්කමට උරුමකම් කීවේ ය.

'මම මේ තරගයේ දී අවසන් පූර්ව තරගය ජයගත්තා. නමුත් මට අවසන් පූර්ව තරගය ජයගැනීමට නොහැකි වුණා. එතැනදී ඉතා හොඳ තරගයක් දෙන්න මට හැකිවුවත් එහි ජයග්‍රහණය ප්‍රදානය කළේ බ්‍රසීලයේ ක්‍රීඩකයාටයි. ඉතින් මට ලෝකඩ පදක්කමෙන් සෑහීමකට පත්වෙන්න සිදුවුණා,' ඔහු පැවසී ය.

සජීව නුවන් පවසන්නේ තමන් පාසල් යන සමයේ ක්‍රීඩකයෙක් වශයෙන් දක්ෂතා දැක්වූයේ මලල ක්‍රීඩාවෙන් බව යි.

'ඒ කාලේ බොක්සිං ක්‍රීඩාවක නියැළීමක් ගැන මගේ කිසිම සිතිවිල්ලක් තිබුණේ නෑ. ඒත් මම මලල ක්‍රීඩාවේ නිරත වුණා. පාසල් ගමන නිමවීමෙන් පස්සේ ශ්‍රී ලංකා යුද හමුදාවට බැඳුණා. එහෙම ඉන්නැද්දියි මට බොක්සිං ක්‍රීඩාව ගැන ආශාවක් ඇතිවුණේ,' ඔහු කීවේ ය.

ඔහු මේ ආකාරයෙන් බොක්සිං ක්‍රීඩාව යුද හමුදාවේ දී ආරම්භ කර අන්තර් රෙජිමේන්තු තරග ජයගනිමින් ඉදිරියට පැමිණ යුද හමුදා සංචිතයට එක්වුණේ ය.

'ඒක බොහොම වෙහෙස මහන්සියෙන් ලබපු ජයග්‍රහණයක්. මම මගේ පුහුණුකරුවන්ගේ උපදෙස් අනුව කටයුතු කරලා දක්ෂතා ගොඩාක් වැඩිදියුණු කර ගත්තා. අන්තිමට මට යුද හමුදා සංචිතයට එක්වන්නට අවස්ථාව උදාවුණා. එතැනදී මට බොහෝ දේ වෙනස් කරගන්න අවස්ථාව ලබාදුන්නා යැයි කියන්න පිළිවන්,' සජීව නුවන් පැවසී ය.

'මට ඊට පස්සේ ලේටන්, ක්ලිෆර්ඩ්, ජාතික බොක්සිං ශූරතාව දිනාගන්නත් හැකි වුණා. ඊට පස්සේ තමයි මට මගේ පළමු විදෙස් තරග සංචාරයට අවස්ථාව උදාවුණේ. ඒ නේපාලයේ කත්මණ්ඩු නුවර පැවැති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගි වීම. ඒත් එහිදී මට කිසිම පදක්කමක් දිනාගන්න ලැබුණේ නෑ,' ඔහු කීය.

දේශීය බොක්සිං ක්‍රීඩාව හා විදේශීය බොක්සිං ක්‍රීඩාව අතර පරස්පරයක් පවතින බව පවසන සජීව පෙන්වා දෙන්නේ පුහුණුව හා විදෙස් තරග අත්දැකීම් වැඩි වශයෙන් ලබා ගැනීමෙන් එම වෙනස පියවා ගත හැකි බවයි.

'අපි ගහන බොක්සිං ගොඩාක් තදයි. ගහන පහරවල් බරින් වැඩියි. ඒත් විදේශීය රටවල ක්‍රීඩකයන් අතර පහරේ බරට වඩා වේගය වැඩියි. ඒ නිසා ඔවුන්ට ලකුණු ලබාගන්න වැඩි පහසුකමක් ලැබෙනවා. අන්න ඒ වෙනස තමයි අපි නැතිකරන්න ඕනෑ. එතකොට අපිට ජාත්‍යන්තරය ජයගන්න පහසුයි.' ඒ සජීව බොක්සිං පදක්කම් ජයගැනීම සම්බන්ධයෙන් දරණ මතය ය.

‘මගේ හත්මුතු පරම්පරාවේ කවුරුවත් ම බොක්සිං ගහලා නෑ. නමුත් මට මේ ක්‍රීඩාව ගැන ලොකු හැඟීමක් ඇතිවුණා. ඒ නිසා තමයි මම මේ ක්‍රීඩාවට එක්වුණේ. මේක නිකං පහසුවෙන් ආපු ගමනක් නම් නොවෙයි. හොඳට කට්ට කාලා ආපු ගමනක්. ලෝක ආරක්ෂක සේවා බොක්සිං තරගාවලියට යන්න ඉස්සර මම ජාත්‍යන්තර ක්‍රීඩකයන් සහභාගි වූ තරග ගොඩාක් නැරඹුවා. ඒවා බලලා අත්දැකීම් ලබාගත්තා. හොඳට පුහුණු වුණා. එහෙම ගිහින් තමයි රුසියාවේ දී පදක්කමකට ගියේ.’ ඔහු සිය පදක්කම සඳහා ගිය ගමන පැහැදිලි කළේ ය.

උතුරු මැද පළාතේ උපන් සජීව නුවන් ට අයියා කෙනෙක් සිටී. ඔහු වෘත්තියෙන් නර්තන ගුරුවරයෙකි. පියා සටන් කලා ශිල්පියෙකි. ‘මගේ අප්පච්චි සටන් කලාව ඉගෙන ගෙන තිබුණට අපි පොඩි කාලේ සටන් ශිල්පයට ගියේ නෑ. ඒත් කාලයක් ගතවුණාට පස්සේ යුද හමුදාවේ දී තමයි මම සටන් කලාවට කැමැත්තක් දක්වන්න පටන් ගත්තේ.’ ඔහු කීය.

‘මම දැන් ලයිට් ෆ්ලයි බර පංතියේ ජාතික ශූරයා. නමුත් මට රට ඇතුළේ හොඳ සටනක් තියෙනවා. ඒ නිසා හැම තරයකටම මම යන්නේ මගේ ස්ථානයට අභියෝගයක් තියෙන බව හිතාගෙන. ඒක මට හොඳින් තරග වදින්න හේතුවක් වෙලා තිබෙනවා.’ සජීව වැඩිදුරටත් පවසන්නේ ය.

තම ජීවිතයේ බොහෝ ජයග්‍රහණවලට හේතුව වශයෙන් විශ්වාස කරන්නේ තම සිඟිති පුතු බව ද ඔහු පැවසී ය. ‘මම එක්දරු පියෙක්. මගේ වයස දැන් අවුරුදු තිහයි. මම පුතා ලැබුණාට පස්සේ බොහෝ ජයග්‍රහණ අත් පත් කරගත්තා. 2014 වගේ ඉඳලා තමයි මම බොක්සිං ක්‍රීඩාව පටන් ගත්තේ. ඒත් මම විධිමත් ජයග්‍රහණ ලබන්න ගත්තේ මගේ පුතා අපේ ජීවිතවලට එක් වුණාට පස්සේ.’ ඔහු පවසන්නේ ආඩම්බරයෙනි.

‘හිස් ආවරණ නැති එක බොක්සිං ගහන්න ලෙහෙසි කරලා තිබෙනවා. හිස් ආවරණයට පාරක් වැදුණාම ඒක දෙගුණ වෙලා හිසට දැනෙන්නේ. දැන් හිස් ආවරණ නැති කම සහනයක් කියලයි මට දැනෙන්නේ. බොක්සිං කියන්නේ මාරාවේශ වෙලා ගහගන්න ක්‍රීඩාවක් නෙවෙයි. එතැන සංයමයක් තියෙන්න ඕනෑ, නීති රීති ගැන සිතලා ක්‍රීඩාකරන්න ඕනෑ. මම එක්දරු පියෙක්, මට පුංචි පුතෙක් ඉන්නවා. ඒ නිසා බොක්සිංවලින් සමුගන්න ඕනෑ කියලා හිතෙන්නේ නැත්තේ ඒ නිසයි. මම කියන්නේ මේ ක්‍රීඩාවට බයවෙන්න එපා. මේකේ රැඳෙන්න පුළුවන්. බොක්සිං කියන්නේ ආරක්ෂිත ක්‍රීඩාවක්. ඒකට විනය පවත්වාගෙන යන්න අවශ්‍යයි,’ සජීව පැවසුවේ ක්‍රීඩාවේ සැබෑ දෘෂ්ඨිය තමන් තේරුම්ගත් ආකාරය ගැන ය.

‘මට සිහින කීපයක් තිබෙනවා.’ ඔහුගේ වයස සම්බන්ධයෙන් අප කතා කරද්දී සජීව පැවසීමට අමතක නොකළේ ය. ඒ මොනවාදැයි අපි විමසීමු. ‘මට උවමනායි පොදු රාජ්‍ය මණ්ඩලයීය, ආසියානු තරගාවලි නියෝජනය කරන්න. ආධුනික බොක්සිං ක්‍රීඩාවේ තව වසර කීපයක් රැඳෙන්න මට පිළිවන්. ඊට පස්සෙත් බොක්සිං ක්‍රීඩාවේ රැඳෙන්න මම කැමතියි. පුහුණුකරුවකු වශයෙන් හෝ මේ ක්‍රීඩාව එක්ක ජීවත්වෙන්න මගේ අපේක්ෂාවක් තිබෙනවා. ඊට ඉස්සර කෙසේ හෝ පොදු රාජ්‍ය මණ්ඩල තරගාවලියේ දී දක්ෂතා දක්වන්න මට හැකියාව ලැබේවි කියලයි බලාන ඉන්නේ.’ ඔහු සිය අනාගත සිහින ගැන ‘ක්‍රීඩා’ වෙත පැවසී ය.

මට මේ ජයග්‍රාහී ගමන යන්න අවස්ථාව සලසා දී තිබීම සම්බන්ධයෙන් යුද හමුදාපතිතුමා, යුද හමුදා ක්‍රීඩා අධ්‍යක්ෂතුමා, යුද හමුදා බොක්සිං කමිටුවේ සභාපති, ලේකම්, සන්නාහ සන්නද්ධ බලකායේ රෙජිමේන්තුවේ බලකාධිපතිතුමා සහ බොක්සිං සංචියේ පුහුණුකරුයි. ඊට අමතරව සෙසු සහය දැක්වූ සියලු නිලධාරීන් හා සෙසු නිලයින්ට සුබ පතන්නත් මම මෙය අවස්ථාවක් කරගන්නවා. ඒ වගේමයි මට බොක්සිං සංගමය විසින් ලබාදෙන සහයෝගය. ශ්‍රී ලංකා බොක්සිං සංගමය විසින් ලෝක ශූරතාවයට හා බෙලරුසයේ පැවැත්වෙන දහ නව වැනි ජාත්‍යන්තර බොක්සිං තරගාවලියට සහභාගිවීමේ අවස්ථාව ලබාදී තිබෙනවා. මම ඒ අවස්ථාවන් වලදී මගේ රට වෙනුවෙන් උපරිමය කරන්න බලාගෙන ඉන්න බව කිවයුතුයි.

 

ඡායාරූප - ජගත් ඉරෝෂණ

Comments