ඔලිම්පික් උලෙළේ බොක්සිං තරග රුපියල් ලක්ෂ පන්සිය හැත්තෑ පහකට පාවාදීලා | සිළුමිණ

ඔලිම්පික් උලෙළේ බොක්සිං තරග රුපියල් ලක්ෂ පන්සිය හැත්තෑ පහකට පාවාදීලා

 

පාවාදීම් විවිධාකාරය. එහෙත් අප කතාකරන්නේ ක්‍රීඩාවේ පාවාදීම් ගැනය. එය අපට වඩා හුරුපුරුදු ක්‍රිකට් තරග පාවාදීම් ගැනය. ඊට අමතර පාපන්දු වැනි ක්‍රීඩා ද පාවාදෙන බවට තොරතුරු අනාවරණය වුණු අස්තා එමට ය. එහෙත් මේ කිසිවෙක් එකවර නොසිතන පාවාදීමකි.'

රියෝ ඔලිම්පික් උලෙළේ පදක්කම් සඳහා වූ බොක්සිං තරගාවලියේ දී තරග වට කීපයක් පාවාදී ඇතැයි අනාවරණය වී තිබෙනවා. මේ බව ජාත්‍යන්තර බොක්සිං සංගමය විසින් පවසා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. එහි දී තරග විනිශ්චයකරුවන් මෙන් ම තීරකවරයන් ද අදාළ පාවාදීමට සම්බන්ධ කරගෙන ඇති බව පැවසුණා.

'අපි මේ සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණ කමිටුවක් පත්කළා. එම කමිටුව මඟින් රියෝ ඔලිම්පික් උළෙල ආශ්‍රිතව සිදුවූයේ යැයි කියන තරග පාවාදීම් සම්බන්ධයෙන් සොයා බැලීමට ක්‍රියා කරනවා.' ජාත්‍යන්තර බොක්සිං සංගමය ප්‍රකාශ කර තිබුණා.

මෙම පරීක්ෂණය පැවැත් වීමට පත්කළ මණ්ඩලයේ ප්‍රධානියා වූයේ රිචර්ඩ් මැක්ලරන්. ඔහු විසින් අදාළ පරීක්ෂණ වාර්තාව පසුගිය දා නිකුත්කර තිබුණා.

ඔලිම්පික් ක්‍රීඩාව හා දේශපාලනය බැඳී ඇති ස්වභාවය මෙම තත්ත්වය තේරුම් ගැනීම පහසු කරවන බවයි පරීක්ෂණ කමිටු ප්‍රධානියා පෙන්වා දෙන්නේ. විසි එක්වැනි සියවසේ ලන්ඩන් ඔලිම්පික් උළෙලට පිවිසෙද් දී මෙම තත්ත්වයේ මූලික හැඩය නිර්මාණයව තිබූ බව බව ඔහු පවසා තිබෙනවා. මැක්ලරන් මේ බව පවසා තිබුණේ ස්විට්සර්ලන්තයේ ලුසේන්හි පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි.

කෙසේ නමුත් කොතරම් තරග සංඛ්‍යාවක් තුළ මෙම තරග තීරණ වංචාව බලපා ඇත් ද යන්න ගැන නිශ්චිත අධ්‍යයනයක් තවම ඉදිරිපත්ව නෑ. ඇතැම් විට එය තරග වට එකොළහක් පමණ වනු ඇතැයි අනුමාන කෙරෙනවා. “එතරම් තරග වට ප්‍රමාණයක් සැක සහිත බවයි අපිට අනාවරණයව ඇත්තේ.” පරීක්ෂණ කමිටුවේ ප්‍රධානියා ප්‍රකාශ කර තිබුණා.

එසේම මෙම වංචා කිරීම් සිදුකර ඇත්තේ මුදල් වෙනුවෙන් බව පැහැදිලියි. ඇතැම් තොරතුරුවලට අනුව එය අමෙරිකානු ඩොලර් ලක්ෂ ගණනක මුදලට සිදුවූ තරග පාවාදීම්. උදාහරණයකට අමෙරිකානු ඩොලර් දෙලක්ෂ පනස් දහසකට මොංගෝලීය ක්‍රීඩකයකු හා ප්‍රංශ ක්‍රීඩකයකු අතර පැවැති තරගයේ ජයග්‍රහණය අලෙවිකර ඇති බව ට අනාවරණය වුණා. ඒ අවසන් පූර්ව වටයේ තරගයක දී යි. පරීක්ෂණ වාර්තාවට අනුව කියැවුණේ ජාත්‍යන්තර බොක්සිං සංගමයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් තමන්ගේ බලතල යොදා එවැනි තරග වෙනුවෙන් විනිසුරුවන් හා තීරකයන් තෝරාගෙන තිබෙන බවයි. එය සාධාරණ ආකාරයට සිදු වූ බව කියන්නට ද සිය බලතල ව්‍යාජ රබර් මුද්‍රාවක් ලෙස භාවිත කර තිබෙන බවයි පරීක්ෂණයෙන් සොයාගෙන ඇත්තේ.

සාමාන්‍යයෙන් වඩා දක්ෂ හා අවංක විනිසුරුවන් හා තීරකයන් තෝරාගැනීම වෙනුවෙන් සුදුසුකම් ලැබීමේ වට භාවිතයට ගැනීම සම්ප්‍රදායක් වුවද මෙහිදී එම ක්‍රමවේද හැකිතාක් මඟහැර ඇති බවයි මැක්ලරන් පර්යේෂණ කමිටුව පවසා ඇත්තේ.

තරගය පැවැත්වීමට දිනකට පෙර උදෑසන ජයගත යුත්තේ කවුරුන්ද යන්න පූර්ව නිශ්චය කර ඇති බවටත් රහසිගතව එය සාකච්ඡාවට ලක්කර තිබෙන බවටත් තොරතුරු අනාවරණය වී තිබෙනවා.

මේ අතර වඩාත් සංවාදයට ලක්වූ තරගයක් ලෙස අයර්ලන්තයේ මයිකල් කොන්ලන් හා රුසියානු ක්‍රීඩක ව්ලැඩ්මීර් නිට්කින් අතර තරගය දක්වන්නට පිළිවන්. තරගයේ ජය නිට්කින්ට පවරන්නට විනිසුරුවන් තීරණය කර තිබුණා. එම තීරණය සමඟ කොන්ලන් තමන්ගේ මැදැඟිල්ල විනිසුරුවන්ට පෙන්වීමත් රුසියාව හා ජාත්‍යන්තර බොක්සිං සම්මේලනය අතර සිදුවූ දුෂණයක් සම්බන්ධයෙන් ඉන් හෙළිදරව්වන බවටත් මත පළව තිබුණා.

පසුගිය ටෝකියෝ ඔලිම්පික් උලෙළ වෙනුවෙන් බොක්සිං ක්‍රීඩකයන් තෝරාගැන්මේ කටයුත්ත වෙනුවෙන් විශේෂ කාර්ය සාධක බලකායක් පත්කරන්නට අන්තර් ජාතික ඔලිම්පික් කමිටුව ක්‍රියා කර තිබුණේ මෙවැනි තත්ත්වයන් සලකා බලායි. ඊට හේතුවුණේ ජාත්‍යන්තර බොක්සිං සංගමය ප්‍රතිව්‍යූහගත කරන්නැයි කරන ලද ඉල්ලීම ක්‍රියාවට නොනැංවීම නිසයි.

ජාත්‍යන්තර බොක්සිං සංගමයේ ප්‍රධානියා වශයෙන් ක්‍රියා කරන්නේ රුසියානු ව්‍යාපාරිකයකු වන උමාර් ක්‍රෙම්ලෙව් යි. ඒ පසුගිය දෙසැම්බර් මාසයේ සිටයි. ඔහු පවසා ඇත්තේ තම සංගමයට සැඟවීමට රහස් නොමැති බවත් හිටපු සභාපතිවරයාට අදාළ චෝදනා සම්බන්ධයෙන් දඬුවම් ලබාදී ඇති බවයි.

“අපි මහාචාර්ය මැක්ලරන් මේ වෙනුවෙන් පත්කළේ අපට සඟවන්නට කිසිත් නැති නිසා. බොක්සිං පවුල ඇතුළේ තරග පාවාදෙන්න, තීරණය ගැන පූර්ව ව තීන්දු කරන්න කිසිවකුට අවස්ථාවක් ලබාදෙන්නේ නෑ.” ක්‍රෙම්-ලෙව් ප්‍රකාශයක් නිකුත්කර තිබුණේ එසේයි.

තම සංගමය මැක්ලරන්ගේ වාර්තාව සම්බන්ධව සුපරීක්ෂාකාරී වන බවත් යුක්තිය උදෙසා ගත හැකි පියවර ලබාගන්නා බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබුණා.

 

Comments