ඉතාලියේ දී රට බැබළවූ රෝද පුටු ටෙනිස් ක්‍රීඩකයන්ටත් රුපියල් මිලියනයක් | සිළුමිණ

ඉතාලියේ දී රට බැබළවූ රෝද පුටු ටෙනිස් ක්‍රීඩකයන්ටත් රුපියල් මිලියනයක්

පසුගිය දා ඉතාලියේ පැවැති ලෝක ශූරතා රෝද පුටු ටෙනිස් තරගාවලියේ දී හයවැනි ස්ථානය හිමිකරගත් ශ්‍රී ලංකා රෝද පුටු ටෙනිස් කණ්ඩායමට රුපියල් මිලියන තුනක මූල්‍ය ත්‍යාගයක් පිරිනැමීමට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා කටයුතු කළේ ය.

පසුගිය 06 වැනි දා තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ පැවැති උත්සවයකදී මෙම මූල්‍ය ත්‍යාග මුදල් පිරිනැමීම සිදුකෙරුණු අතර ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තිදෙනා මෙහෙය වූ පුහුණුකරු සඳහාද රුපියල් දෙලක්ෂ පනස් දහස බැගින් මූල්‍ය ත්‍යාග ප්‍රදානය කළේ ය. සැප්තැම්බර් මස 27 සිට ඔක්තෝබර් 03 දා දක්වා රටවල් 16 ක සහභාගීත්වයෙන් ඉතාලියේ සාඩිනියා නගරයේ ලෝකශූරතා රෝදපුටු ටෙනිස් තරගාවලිය පැවැත්විණි.

ශ්‍රී ලංකා රෝද පුටු ටෙනිස් කණ්ඩායම සුරේෂ් ධර්මසේන, ලසන්ත රත්නවීර, ඩී.එම්. ගාමිණි යන ක්‍රීඩකයන් නියෝජනය කළ හ. පුහුණුකරු වශයෙන් කටයුතු කළේ ජගත් වැලිකල මහතා ය. ශ්‍රී ලංකා රෝද පුටු ටෙනිස් කණ්ඩායම ලබාගත් ජයග්‍රහණය ඓතිහාසික ජයග්‍රහණයක් බවත් බොහෝ ක්‍රීඩාවන්ගෙන් ශ්‍රී ලංකාව සාධනීය දක්ෂතා ඉදිරිපත් කිරීම සතුටට කරුණක් බවත් මෙම අවස්ථාවට එක්වූ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ ය.

'මෙතෙක් අපි බලාපොරොත්තු වූ ඉලක්කයන් සියල්ල අභිබවා යන්න අපේ තරුණ ක්‍රීඩකයින්ට හැකියාව ලැබිලා තිබෙනවා. අනෙකුත් ක්‍රීඩාවලට ඒවායේ නියැලෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටත් තම ක්‍රීඩා සැලැස්ම පිළිබදව හා තමන්ට මුහුණදෙන්න තිබෙන අභියෝග පිළිබද ඉතාමත් අනාගතවාදීව සහ බලාපොරොත්තු සහගතව බලන්න පුලුවන් පිළිතුරක් මේ ක්‍රීඩකයින් ලබා දී තිබෙනවා.

අමාත්‍යාංශයක් විදියට අපි නිරන්තරයෙන් උත්සාහ කරන්නෙ ජාත්‍යන්තරය ජයගන්න පුලුවන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහි කරන්නයි. මේ ජයග්‍රහණය දැනගත් වහාම එස්.එල්.ටී. මොබිටෙල් ආයතනයට කතා කළා.

අපි කාර්යසාධනය පාදක කරගත් දිරි දීමනා ක්‍රමවේදයක් අනුගමනය කරන නිසා එස්.එල්.ටී. මොබිටෙල් ආයතනයේ අනුග්‍රහය ඉල්ලුවා. ඒ අනුවයි අපි මේ මුදල් ත්‍යාගය පිරිනමන්නේ.' යැයි පැවසී ය.

Comments