ආරක්ෂක රටාවට සමු දී ශ්‍රී ලංකාව ආක්‍රමණශීලී වෙයි | සිළුමිණ

ආරක්ෂක රටාවට සමු දී ශ්‍රී ලංකාව ආක්‍රමණශීලී වෙයි

'මේ 'ක්‍රීඩා' විශේෂ වාර්තාකරු ප්‍රින්ස් ගුණසේකර මාලේ නුවර සිට දකුණු ආසියානු පාපන්දු උලෙළ සම්බන්ධයෙන් ගෙන එන ඇසින් දුටු සාක්ෂි ය. ඒ වෙනුවෙන් ඡායාරූප සාක්ෂි ද ගොනුකරන්නට ඔහු කටයුතු කර තිබේ. '

දකුණු ආසියානු පාපන්දු ශූරතාව 13 වැනි වරට මාලදිවයින ජාතික ක්‍රීඩාංගණයේ දී මේ දිනවල පැවැත්වෙයි. 1995 වසරෙන් පසු දකුණු ආසියානු පාපන්දු ශූරතාව ශ්‍රී ලංකාව දිනා නොමැති අතර මෙවර ද ශ්‍රී ලංකාව මුහුණ දුන් පළමු තරග දෙකම පරාජය විණි.

මේ හේතුවෙන් එම ශූරතාව දිනා ගැනීම කනගාටුදායක ලෙස මෙවර ද ශ්‍රී ලංකා පිල අතින් ගිලිහී ගියේ ය. එහෙත් මෙවර තරගාවලියේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දක්වන දක්ෂතා කැපී පෙනෙන තලයක තිබීම අගය කළ යුතු ය. එයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ ලෝකයේ නව පාපන්දු ප්‍රවනතාව ශ්‍රී ලංකා පිල ද දැන් හඳුනාගනිමින් තිබීම ය.

ශ්‍රී ලංකාව ඉතිහාසයේ මෙතෙක් සහභාගි වූ පාපන්දු තරග වැඩි ප්‍රමාණයක් ක්‍රීඩාකොට ඇත්තේ දැඩි ලෙස ආරක්ෂාකාරී (Defensive football) වෙමිනි. එසේ වුව ද මෙවර තරගාවලියේ සිට එම යල් පැනගිය තරග රටාවට තිත තබා ප්‍රහාරාත්මක රටාවට (Attacking football) අවතීර්ණවීම පැහැදිලිව දක්නට ලැබිණි. පාපන්දු විශේෂඥයන්ගේ මතය වී ඇත්තේ එය ශ්‍රී ලංකාව පාර්ශ්වයෙන් කුසලාන දිනාගත්තාටත් වඩා ජයග්‍රහණයක් බව ය.

දැඩි ලෙස ආරක්ෂාකාරී රටාවක් උපයෝගී කර ගනිමින් තරග කිරීමේ දී ආරක්ෂක වළල්ලට ක්‍රිඩකයන් 4 ක් හෝ 5 ක් යොදා ගැනීමට සිදුවේ. එමගින් ප්‍රතිවාදීන්ට ගෝල් රැස් කිරීමේ ඉඩකඩ ඇහිරීමට අපේක්ෂා කරන අතර ප්‍රහාරක බලඇණියට ක්‍රීඩකයන් දෙදෙනකු පමණ යෙදවේ. මෙහි දී එම ක්‍රමය අනුගමනය කරන කණ්ඩායමට ගෝල් ලබා ගැනීමේ පවතින ඉඩකඩ සීමා සහිතය.

ප්‍රහාරාත්මක රටාවකට අවතීර්ණ වී ක්‍රීඩා කිරීමේ දී ආරක්ෂක වළල්ල පිළිබඳ අවබෝධයෙන් පසුවන අතරේ වැඩි අවධානයකින් ප්‍රහාරක බල ඇණිය මෙන් ම මැද පෙළ ශක්තිමත් කොට ක්‍රීඩා කිරීම සිදුවේ.

මෙහිදී ප්‍රහාරාත්මක බලකායට වැඩි ක්‍රිඩකයන් ප්‍රමාණයක් යොදා ප්‍රතිවාදී ආරක්ෂක කලාපයේ ක්‍රීඩකයන්ට වැඩි පීඩනයක් එල්ල කිරීම සිදු කෙරේ. මෙයින් සිදු වන්නේ කණ්ඩායමට ගෝල් රැස් කිරීමේ අවස්ථා වැඩි වශයෙන් උදාකර ගැනීම ය. මෙය තරමක් අවදානම් තත්ත්වයක් වුව ද අවදානම කරට ගෙන ඉදිරියට යෑම වැදගත් වේ.

මෙවර පළමු තරගය වූ බංග්ලාදේශය සමග තරගයේ දී ශ්‍රී ලංකාව අනුගමනය කළේ දැඩි ලෙස ආරක්ෂාකාරී වෙමින් (Defensive football) තරග කිරීමේ රටාවය. එහි ප්‍රතිඵලය වූයේ ශ්‍රී ලංකාව ගෝල් 1-0 කින් පරාජය වීමය. මෙම තරගයේ දී ශ්‍රී ලංකාවට ගෝල් ලබා ගැනීමේ අවස්ථා උදා වූයේ නැති වුව ද ප්‍රතිවාදී බංග්ලාදේශ පිල ආරක්ෂක කලාපයේ දුර්වලතාව ලද විගස තම ඉලක්කය සාර්ථක කර ගත්තේ ය.

නේපාලය සමග දෙවැනි තරගයේ දී පළමු තරගයේ තරග රටාව සම්පූර්ණයෙන් වෙනස් කොට ශ්‍රී ලංකා පිල ප්‍රහාරාත්මක රටාවකට (Attacking football) අවතීර්ණ විය. එහෙත් තරගය අවසානයේ ප්‍රතිඵලය වූයේ ගෝල් 3-2 කින් නේපාලය ජය ගැනීම ය. මෙම ශූරතාවයේ වේගය හා නිවැරැදි තාක්ෂණය අතින් ඉදිරියෙන්ම සිටින නේපාලයට ප්‍රබල අභියෝගයක් දීමට ශ්‍රී ලංකා පිල සමත් වූ අතර තවත් ගෝල් 5 ක් පමණ ලබා ගැනීමේ ආසන්න අවස්ථා අවාසනාවන්ත ලෙස වැළකී ගියේ ය. මේ අනුව තරග රටා දෙකෙන් වැඩි පුරම ශ්‍රී ලංකා පිලට ගැළපෙන්නේ ප්‍රහාරාත්මක රටාව අනුගමනය කරන පාපන්දු ක්‍රීඩාව බව පාපන්දු කළමනාකාරීත්වය අවබෝධ කොට ගෙන ඇත.

පාපන්දු ක්‍රීඩාව ප්‍රහාරාත්මක රටාවකට හුවමාරු විය යුතු බවත්,සැමදා ආරක්ෂාකාරී වෙමින් සිටීම තරග ජයග්‍රහණයට බාධා ඇති කරන්නක් බවත් ශ්‍රී ලංකා පාපන්දු නායක සුජාන් පෙරේරා ද අවධාරණය කළේ ය. වත්මන් පාපන්දු සම්මේලනය තුළ ඇති ධනාත්මක බලාපොරොත්තු යථාර්තයක් කිරීමට නම් ක්‍රිඩා පිටිය තුළ තරග රටාවේ යම් වෙනස් කම් සිදුකොට රටට උපරිම ප්‍රතිඵල ලබාදීම අනිවාර්ය විය යුතු බව සුජාන් පෙරේරා ‘ක්‍රීඩා‘ ට පැවැසී ය.

මේ අතර මාලදිවයිනේ සිටින පාපන්දු විචාරකයෝ සඳහන් කරන්නේ ශ්‍රී ලංකා පාපන්දුව යහපත් ගමන් මඟකට අවතීර්ණව ඇති බවයි. එය වඩා සාර්ථක කරගැනීමට සුළු තාක්ෂණික අඩුපාඩු සකසා ගැනීමෙන් හැකියාව උදාවන බව ඔවුහු පෙන්වා දෙති.

“නේපාලයට එරෙහිව ඇටැකින් ෆුට්බෝල් සෙල්ලම් කරන්නයි අපට ඕනෑ වුණේ. ඒක සාර්ථක වුණා. ඒක තරමක් අවදානම් වැඩක් බව අප කලින්ම දැන සිටියා. ඒකයි ඔවුන් ගෝල් 3 ක් ගහද්දී අපි ගෝල් 2ක් ගැහුවේ. මෙම ප්‍රතිඵලය අපට වාසිදායක ලෙස පෙරලා ගැනීමයි වැදගත්.“ ශ්‍රී ලංකා නායකයා පැවැසීය.

“පාපන්දු සම්මේලනය සියලු පහසුකම් දුන්නා. ක්‍රීඩකයන්ට දිය හැකි සෑම දෙයක්ම දී තිබෙනවා. අපේ යුතුකම තරග දිනවන එක. හැබැයි පුහුණු තරගවල අපට අඩුවක් තිබුණා. නේපාලය ඇවිත් තිබෙන්නේ පුහුණු තරග 8 ක ට පමණ සහභාගී වෙලා. පුහුණු තරගවලින් විශාල ශක්තියක් කණ්ඩායම තුළ ගොඩ නැඟෙනවා” සුජාන් වැඩිදුරටත් පැවැසී ය.

 

Comments