අපරාජිත බව බිඳුණ ද ශූරතාව නවසීලන්තයට | සිළුමිණ

අපරාජිත බව බිඳුණ ද ශූරතාව නවසීලන්තයට

 

'රග්බි ක්‍රීඩාව වඩාත් සුප්‍රකට රටකි නවසීලන්තය. එරටවාසීන් කොතරම් එම ක්‍රීඩාවට දක්ෂද යත් ඔවුහු බොහෝ ශූරතාවන්හි ජය මදිරා රස බලන්නේ එහෙයිනි. පසුගිය දා ඔවුහු තවත් රග්බි කුසලානයක් සිය ශූරතා අල්මාරියට එක්කර ගත් හ.'

ලොව ප්‍රමුඛ පෙළේ රගර් තරගාවලියක් සේ සැලකෙන නවසීලන්තය, ඔස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව හා ආර්ජන්ටිනාව යන රටවල් අතර වාර්ෂිකව පැවැත්වෙන සිව්කොන් රග්බි ශුරතා තරගාවලියේ මෙවර ශූරතාව නවසීලන්තය විසින් දිනා-ගත්තේ ය.

පසුගිය අගෝස්තු මස 14 දින ආරම්භ වූ මෙම තරගාවලිය අවසන් වූයේ ඔක්තෝබර් 02 දා ය. කෙසේ නමුත් තරගාවලියේ අවසන් දින නවසීලන්තය පරාජය කිරීමට දකුණු අප්‍රිකාව සමත් වීම කැපී පෙනුණු නමුත් එම පරාජය ඔවුන්ගෙන් ශුරතාව උදුරා ගැනීමට ප්‍රමාණවත් වූයේ නැත.

සැප්තැම්බර් 25 දින දෙරට අතර පැවති තරගයෙන් නවසීලන්තය ජය ලැබීම හේතුවෙන් ඔවුන් ලෝක රගර් ශ්‍රේණිගත කිරීම අනුව අංක එක ස්ථානයේ සිටි දකුණු අප්‍රිකාව පරදවා අංක එකට පැමිණි නමුත් ඔක්තෝබර් 02 දින ලැබූ පරාජයෙන් පසු නැවතත් දකුණු අප්‍රිකාව ලෝක අංක 01 ස්ථානයට පැමිණීමට සමත් විණි.

“ඇත්තෙන්ම පාලනය අතේ ඇති විටෙක ඕනෑම තරගයක් පරාජය වීම බලාපොරොත්තු කඩවීමක්. මම හිතනවා දකුණු අප්‍රිකාව හොඳින් ක්‍රීඩා කළා. ඔවුන් බොහෝ අවස්ථාවලදී අපිට අභියෝගයක් වුණා.” එසේ කියන්නේ නවසීලන්ත පුහුණුකරු ජෝන් ෆෝස්ටර් ය.

“එය විශිෂ්ට ජයග්‍රහණයක් නමුත් ඇත්තම කියනවානම් නම් අප තවමත් 2019 ලෝක කුසලාන තරගාවලිය දිනන විට සිටිය තත්ත්වයේ නෑ. පසුගිය වසරේ තරග වැදීමට නොහැකි වීම එතැන දී ප්‍රබලව බලපෑවා” මේ ලෝක ශුර දකුණු අප්‍රිකා කණ්ඩායමේ පුහුණුකරු ජැක්ස් නියේම්බර් දැක්වූ අදහස් ය.

තරගාවලිය වට හයකින් යුක්ත වූ අතර මෙවර ද ශුරයන් වූ නවසීලන්තය තමන් සහභාගි වූ තරග හයෙන් තරග පහක් ම ජය ලැබුවේ එක තරගයකින් පමණක් පරාජය ලබමිනි. ඔස්ට්‍රේලියාව තරග හයකින් තරග හතරක් ද දකුණු අප්‍රිකාව තරග හයකින් තරග තුනක් ද ජයගත්තේය.

තමන් මුහුණ දුන් තරග හය ම පරාජය වීමට ආර්ජන්ටිනාවට සිදුවිණි. කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් වූ සංචරණ සීමා මත මෙවර තරග වැඩි ගණනක් ඔස්ට්‍රේලියාවේ ද ඊට අමතරව නවසීලන්තයේ හා දකුණු අප්‍රිකාවේ ද පැවැත්විණි.

නවසීලන්තය, ඔස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාවේ සහභාගිත්වයෙන් මෙම තරගාවලිය මුලින් ම ආරම්භ වූයේ 1996 වසරේ තුන්කොන් තරගාවලියක් ලෙසිනි. පසුව 2012 සිට ආර්ජන්ටිනාව ද මේ සඳහා එක්කර ගැනීම හේතුවෙන් සිව්කොන් තරගාවලියක් බවට පත්විය.

කෙසේ නමුත් පසුගිය 2020 වසරේ තරගාවලිය යළිත් තුන්කොන් තරගාවලියක් බවට පත්වූවේ කෝවිඩ් වසංගත තත්ත්වය මත දකුණු අප්‍රිකාවේ සහභාගිත්වය නොලැබුණු බැවිනි. එහෙත් යළි මෙම වසරේ කණ්ඩායම් හතර ම තරගාවලියට එක්ව තිබුණේ ය.

සිව්කොන් රග්බි තරගාවලියේ විශේෂත්වය වනුයේ මීට සමගා-මීව තවත් තරගමාලා කිහිපයක්ම පැවැත්වීම ය. නවසීලන්තය හා ඔස්ට්‍රේලියාව අතර 1932 ඇරඹි ලොව පැරැණිතම රගර් තරගමාලාවක් ලෙස සැලකෙන බ්ලේඩිසෝල් කුසලාන තරගා-වලිය, නවසීලන්තය හා දකුණු අප්‍රිකාව අතර නිදහස් කුසලාන තරගාවලිය, ඕස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාව අතර මැන්ඩෙලා අභියෝගතා ශුරතාව, ඔස්ට්‍රේලියාව හා ආර්ජන්ටිනාව අතර පුමා කුසලාන තරගාවලිය ද මෙම තරගමාලාව හා බැඳී පැවැත්වේ.

1996 ආරම්භක තරගමාලාවේ ශුරතාව දිනූ නවසීලන්තය මෙම තරගාවලියේ මෙවර ශුරතාවද සමඟ 18 වරක් ජයගෙන ඇත. ඒ වැඩි වාර ගණනක් ශූරතාව හිමි කරගෙන ඇති කණ්ඩායම බවට පත්වෙමිනි. 1998 වසරේ මුල් වරට ජයග්‍රාහක-යන් වූ දකුණු අප්‍රිකාව අවසන්

වරට 2019 වසරේ ජයගත් අතර ඔවුන් ජයගෙන ඇති වාර ගණන 04 කි.

ඔස්ට්‍රේලියාව මෙය මුලින්ම ජය ගත්තේ 2000 වසරේ ය. ඔවුන් ද මේ දක්වා ජයගෙන ඇත්තේ වාර හතරකි. 2012 සිට තරග වදින ආර්ජන්ටිනාව තවමත් එකම අවස්ථාවක හෝ ජය ගෙන නො-මැති අතර 2015 හැර අනික් සෑම වසරක ම ඔවුනට අත්වි ඇත්තේ සිව්වැනි ස්ථානය යි. එමෙන් ම මෙවරද ඔවුනට අවසන් ස්ථානය හිමි විණි.

මෙම තරගාවලියට අනුබද්ධ අනිකුත් තරගමාලා දෙස බලන විට නවසීලන්තය හා ඔස්ට්‍රේලියාව අතර වන බ්ලේඩිසෝල් කුසලාන තරගාවලිය

1996 සිට මෙම වසර දක්වා නවසීලන්තය ජයගෙන ඇති වාර ගණන 21 කි. එමෙන්ම මෙවර ජයග්‍රහණය ද සමගින් 1932 වසරේ සිට ඔවුන් මෙම තරගාවලියේ ලද සමස්ත ජයග්‍රහණ ගණන සංඛ්‍යාව 49 කි. ඔස්ට්‍රේලියාවේ සමස්ත ජයග්‍රහණ ගණන 12 ක් වන අතර, 1996 මෙය ඉහත රග්බි ශුරතා තරගාවලියට අනුබද්ධ වීමෙන් පසු 1998

සිට මේ දක්වා ඔවුන් ජයගෙන ඇත්තේ අවස්ථා 05 කි. අවසන් වරට ඔවුන් මෙය ජයගත්තේ 2002 වසරේ ය.

2000 වසරේ සිට මේ දක්වා මැන්ඩෙලා අභියෝගතාව දකුණු අප්‍රිකාව ජයගෙන ඇත්තේ වාර 06 කි. එම තරගාවලියේ මෙවර ශුරතාව ද සමඟින් ඕස්ට්‍රේලියාව 12 වතාවක් ජය ගෙන ඇත. මෙය දෙවසරකට වරක් පැවැත්වෙන තරගාව-ලියක් ලෙස 2000 වසරේදී ආරම්භ වූ අතර, රග්බි ශුරතාවට අනුබද්ධ වූයේ 2002 වසරේ සිට ය.

එමෙන්ම 2004 වසරේ තරගාවලිය 2005 වසරේ පැවැත්වීමට සිදුවූ නමුත් එම අවස්ථාවේ පැවති තරගාවලිය රග්බි ශුරතාවට අනුබද්ධ කළේ නැත.ඉන්පසු 2006 වසරේ සිට මෙය රග්බි ශුරතාව සමඟ වාර්ෂිකව පැවැත්විණි. එහෙත් 2020 කොවිඩ් වසංගතය මත දකුණු අප්‍රිකාව සිව්කොන් තරගාවලියට සහභාගී නොවීම මත

එම තරගාවලිය ද නොපැවැත්වුණේ ය.

2004 සිට මෙම සිව්කොන් තරගාවලියට අනුබද්ධිත නවසීලන්තය හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන නිදහස් කුසලාන තරගාවලියෙන් මේ දක්වා දකුණු අප්‍රිකාව අවස්ථා දෙකක් ජය ගෙන තිබේ. මෙම වසරත් සමඟ 14 වසරක්ම මෙහි ජයග්‍රාහකයන් වනුයේ ප්‍රබල නවසීලන්ත-යයි. කොවිඩ් හේතුවෙන් 2020 තරගාවලිය නොපැවැත්විණි. එමෙන්ම 2009 න් පසු තවමත් දකුණු අප්‍රිකාවට ශුරතාවක් අත් වී නැත.

මීට අමතරව ඕස්ට්‍රේලියාව හා ආර්ජන්ටිනාව අතර පුමා ශුරතා තරගාවලිය ඇරැඹුණේ 2000 වසරේ සිට ය. එය 2012 වසරේ සිට මෙම තරගාවලියට අනුයුක්ත කෙරිණි. දිගින් දිගටම මේ දක්වා ඔස්ට්‍රේලියාව එය ජයගෙන ඇති අතර තරගාවලියේ ශුරතාව තවමත් එකවරක් හෝ ආර්ජන්ටිනාව දිනා නැත.

 

Comments