අද හෝ හෙට නොව අනිද්දා දැක යන යැංකි ගමනේ ක්‍රිකට් රහස් සිතියම | සිළුමිණ

අද හෝ හෙට නොව අනිද්දා දැක යන යැංකි ගමනේ ක්‍රිකට් රහස් සිතියම

 

'අමෙරිකාවට ඇත්තේ පුදුමකාර උණකි. ඒ සෑම සියලු ක්ෂේත්‍රයන් හි පළමු වැනියා වීමේ නොතිත් උණ ය. එය මීට පෙර යුද බලය, ආර්ථික බලය පිටුබලය කර ගනිමින් විහිදුණේ ය. පනහ, හැට දසකවල දී නාසා වැනි ආයතන ඔස්සේ විශ්ව තරණයේ මූලිකයා වන්නට ඔවුනට අවශ්‍ය විය. එය දැන් බලන කල ක්‍රීඩාවට කියා ද වෙනසක් නැත. දැන් ඔවුන් එය ක්‍රීඩාවේත් විවිධ ශාඛා ඔස්සේ මෙහෙයවමින් සිටී. එය දැන් ක්‍රිකට් ක්‍රීඩාවට ද පිවිස ඇත.'

දෙවැනි ලෝක යුද්ධයේ අවසානයත් සමඟ ලෝකයේ බලවතා වූයේ අමෙරිකාවයි. එතැන් පටන් ලෝක බලවතාගේ කිරුළ රැකගැනීමට අමෙරිකාව නොකරන දෙයක් නැත. ඔවුන් ලෝකයේ ඛනිජ තෙල්, ගෑස් ආදි වටිනා ස්වාභාවික සම්පත්වලින් අනූන රාජ්‍යයන් හි බලය අඩපණ කොට එම රාජ්‍යයන් තම පාලනයට හිතවාදී කර ගනිමින් නව යටත්විජිත කරණයකට උත්සුක වන බවට චෝදනා තිබේ. එපමණක් නොව ලොව පුරා විසිරී සිටින බුද්ධිමතුන් සහ විවිධ කේෂ්ත්‍රවල දක්ෂයන් සිය රටට කැන්දා ගන්නට ද අමෙරිකාව උත්සහ ගනිමින් ඇත්තේ එහෙයිනි.

අමෙරිකානුවන් ලෝකාධිපත්‍යය ගොඩනඟාගන්නට ක්‍රීඩාව භාවිත කරන අවස්ථා ද නැතිවාම නොවේ. ජාත්‍යන්තර ඔලිම්පික් ක්‍රීඩා උළෙල ඇතුළු ව ලොව ප්‍රමුඛ පෙළේ ක්‍රීඩා තරගාවලියන්හි පදක්කම් ලැයිස්තුවෙහි පළමු තැන හිමි කර ගැනීමට ද අමෙරිකාව දරන වෙහෙස අපමණ ය.

නොබෝදා අවසන් වූ ටෝකියෝ ඔලිම්පික් උළෙලේ ද පදක්කම් සටහ-නේ පෙරමුණ ගත්තේ අමෙරිකාවම ය. ජාත්‍යන්තර ක්‍රීඩා තහනමකට ලක්වීම නිසා රුසියාව මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙල නියෝජනය නොකළේ ය. එහි දී රුසියානු ජනපති පුටින් කියා සිටියේ රුසියානු තරග තහනම පිටුපස අමෙරිකාව බළල් අතක් සේ ක්‍රියා කරන බවයි. එහි සත්‍ය අසත්‍යතාව ‍කෙසේ ‍වෙතත් අද වන විට අමෙරිකා එක්සත් ජනපදය එරට ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් ගෙන ඇති පියවරද ලොව සුවිශේෂී අවධානයකට ලක් ව තිබේ.

සිය ක්‍රිකට් ක්‍රීඩාවේ ජාතික තලය වෙනුවෙන් ක්‍රීඩකයන් තෝරාගැනීමට ඔවුන් කටයුතු කර තිබෙන ආකාරය අතිශයින්ම අපූර්ව සහගත ය. එහිදී ඔවුන් සිදුකරන්නේ ලොව විවිධ රටවල සුපිරි ක්‍රීඩකයන්ගේ සේවය අමෙරිකානු ක්‍රිකට් සඳහා ලබාගැනීමයි. එයින් බොහෝදෙනෙක් ලොව විවිධ රටවල ජාතික කණ්ඩායම් නියෝජනය කළ ප්‍රබල ක්‍රීඩකයින් වෙයි. නවසීලන්තයේ කොරී ඇන්ඩර්සන්, ශ්‍රී ලංකාවේ ශෙහාන් ජයසූරිය, දකුණු අප්‍රිකාවේ ජුවාන් රස්ටි තෙරන්, ඩේන් පියෙට්, පකිස්තානයේ සමී අස්ලාම්, බටහිර ඉන්දිය කොදෙව්හි සේවියාර් මාර්ෂල්, එංගලන්තයේ ලියම් ෆ්ලන්කට් යන ක්‍රීඩකයන් මේ වන විටත් ඔවුන් සමඟ අත්වැල් බැඳගෙන ඇත්තේ එරට පුරවැසිභාවය ද ලබා ගනිමිනි.

ඇන්ඩර්සන් නවසීලන්තය වෙනුවෙන් එක් දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග 93 ක දී ලකුණු 2277 ක් සහ කඩුලු 90 ක් දවාගන්නට සමත් වූ තුන්ඉරියව් දක්ෂයෙකි. විස්සයි20 පිටියේ ඉනිමක ක්‍රීඩකයෙක් ලබා ගත් වැඩිම උඩපන්දු සංඛ්‍යාවේ වාර්තාවට ද ඔහු හිමිකම් කියයි. වසර 10 ක් දකුණු අප්‍රිකානු ජාතික කණ්ඩායම නියෝජනය කළ රස්ට් තෙරන් පන්දු යැවීමේ විශිෂ්ටයෙකි. ඔහු අප්‍රිකාව වෙනු‍වෙන් ජාත්‍යන්තර තරග 22 ක දී කඩුලු 35 ක් දවාගෙන තිබේ.

වසර 5ක් දකුණු අප්‍රිකාව වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් පිටිය නියෝජනය කළ පන්දු යවන්නෙක් වන ඩේන් පියෙඩ් ජාත්‍යන්තර ටෙස්ට් පිටියෙහි තරග 9 ක දී කඩුලු 26 ක් දවාගන්නට සමත් වූවෙකි. වසර 2 ක් පකිස්තානය නියෝජනය කළ සමී අස්ලාම් ද ජාත්‍යන්තර තරග 17 ක දී අර්ධ ශතක 7 ක් ද සමඟින් ලකුණු 836 ක් ලබා ගත් පිතිකරණයේ විශිෂ්ටයෙකි.

වසර 15 ක් බටහිර ඉන්දීය කොදෙව් පිල වෙනුවෙන් ජාත්‍යන්තරය නියෝජනය කළ සේවියර් මාර්ෂල් දක්ෂ ආරම්භක පිතිකරුවෙකි. ජාත්‍යන්තර තරග 57 ක දී ලකුණු 1022 ක් ලබාගෙන ඇති සේවියර් 2008 වසරේ දී කැනඩාවට එරෙහිව එක්දින තරගයක දී නොදැවී ලකුණු 157 ක් රැස් කළේ ය.

වසර 14ක් එංගලන්තය නියෝජනය කළ දක්ෂ පන්දු යවන්නෙක් වන ලියම් ෆ්ලන්කට් ජාත්‍යන්තර තරග124 ක දී කඩුලු 201 ක් දවාගෙන ඇති අතර, ඔහු පිතිකරණයේ දී ද අර්ධ ශතක 2 ක ට හිමිකම් කියයි. වසර 5 ක් පුරා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ෂෙහාන් ජයසූරිය ජාත්‍යන්තර තරග 30 ක දී ලකුණු 436 ක් ලබා‍ගෙන තිබේ. පන්දු යැවීමෙන් කඩුලු 6 ක් දවා‍ගෙන ඇති ෂෙහාන් තුන් ඉරියව් දක්ෂයෙකි.

මීට අමතරව ඉන්දීය පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩා කළ හර්මිත් සින්ග්, උන්මුක්ට් චාන්ඩ්, සමිත් පටෙල්, සිද්ධාර්ත් ත්‍රිවේදි, සවුරබ් නේත්‍රවල්කාර්, මොනාක් පටෙල් ‍අමෙරිකානු ක්‍රිකට් නියෝජනය කරයි. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සමාජ නියෝජනය කළ තුන් ඉරියව් ක්‍රීඩක‍යෙක් වන රෝයි පෙරේරා ද වසර 14 ක් පුරා ඇමරිකානු ජාතික ක්‍රිකට් පිල නියෝජනය කළ ක්‍රීඩකයෙකි.

ලොව ක්‍රිකට් ක්‍රීඩාවට නම් දරා ඇති රටවල සුපිරි ක්‍රීඩකයන්ගේ සේවය සිය රටට ලබා ගැනීමෙන් ලෝක ක්‍රිකට් ආධිපත්‍යය තමන් සතු කර ගැනීමට අමෙරිකාව සැරසෙන බව ඇතැමුන්ගේ මතයයි. තවත් පිරිසකගේ මතය වී ඇත්තේ 2028 ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් රන් පදක්කම දිනාගැනීමට අමෙරිකාව සූදානම් වන බවයි. කවුරු කෙසේ කීව ද අමෙරිකාවේ ඉලක්කය නිශ්චිත ය. ඒ සියලු ක්ෂේත්‍රයන්ගේ විශිෂ්ටයන් බවට පත්වීමට ඔවුන් තුළ පවතින සුවිශේෂී උවමනාවයි. එක අතකින් එය රටක් ලෙස පවතින උන්නතිකාමී හැඟීමකැයි සැලකිය හැකි හෙයින් එය ප්‍රතික්ෂේප කරන්නට කිසිවකුටත් නොහැකි ය.

 

Comments