අත්වැරැද්දෙන් දැලට ගිය ගෝලයට කැලිබර් පිස්තෝලයෙන් එල්ල වූ උණ්ඩ හයකින් වන්දි ගෙවූ එස්කොබාර් | සිළුමිණ

අත්වැරැද්දෙන් දැලට ගිය ගෝලයට කැලිබර් පිස්තෝලයෙන් එල්ල වූ උණ්ඩ හයකින් වන්දි ගෙවූ එස්කොබාර්

 

‘සංචරණය යහපත් වුවත් එය නුසුදුසු මොහොතක නුසුදුසු ස්ථානයක සිදු නොවිය යුත්තේ ය. කවි සමයේ සුරන් සැනසූ සුරාව හෝ නුරාව ප්‍රසිද්ධියේ අවන්හලේ, සමාජ ශාලාවේ සොයා නොයායුතු ය. එය පෙරදිගද බටහිරද යැයි වෙනසක් නැතැයි සිතෙන්නේ ඔහු ගැන කියවද්දී ය. එස්කොබා එදා සොයාගියේ සිත්තැවුලට සැනසිල්ල විය හැකිය. එහෙත් ඔහුට හිමිවුණේ ජීවිතයේ සදාකාලික සැනසිල්ල ද? පාපන්දු ලෝක කුසලානය අභිමුව මේ ඔහුගේ මතකය ගැනය.’

ඔලිම්පික් ක්‍රීඩාවට පසු ලෝකයේ ජනප්‍රිය ක්‍රිඩා උළෙල ලබන වසරේ කටාර් හි දී ආරම්භ වෙනවා. මේ පාපන්දු ලෝක කුසලාන ඉතිහාසය සම්බන්ධ කතාවක්. එහෙත් එය සතුට දනවන කතාවක් නොව කඳුළ මතු කරන කතාවක්.

මේ අවාසනාවන්තම කනගාටුදායක සිදුවීමට හේතු වුණේ 1994 වසරේ පැවැති පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අමෙරිකාවේ පැවැති තරගාවලියයි.

කොලොම්බියානු පාපන්දු කණ්ඩා-යම නියෝජනය කළ ඇන්ඩ්‍රස් එස්කොබාර් නමැති පසුපෙළ ආරක්ෂක ක්‍රීඩකයා තමයි මේ කතාවේ කතානායකයා.

ඇත්තෙමන්ම එස්කොබාර් කියන්නේ පාපන්දු ක්‍රීඩා පිටියේ එකල සිටි මහත්මයෙක්. කොලොම්බියාව කියන්නේ ලෝකය පුරාම මත්ද්‍රව්‍ය බෙදාහරින, හොර මැරකම්, මිනීමැරුම් වැනි නීතිවිරෝධී ක්‍රියාවන්ට ඉමහත් ප්‍රසිද්ධියක් උසුලන රටක් කියන එක යළි සිහිපත් කළ යුතුයි. නමුත් කොලොම්බියානු පාපන්දු පිල නියෝජනය කළ එස්කොබාර් පාපන්දු ක්‍රීඩා ලෝලීන් අතර ප්‍රසිද්ධියට පත්ව සිටියේ ‘ජෙන්ටල්මන්‘ යන නමිනුයි.

ඔහු පාපන්දු ක්‍රීඩාවේ නීතිරීති අකුරටම පිළිපැද්ද ක්‍රීඩකයෙක්. ඒ නිසාම කොලොම්බියා පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩකයන් තරමටම ප්‍රතිවාදී කණ්-ඩායම්වල ක්‍රීඩකයන් ද ඔහුට ආදරයෙන් සැලකුවා.

ඇන්ඩ්‍රස් එස්කොබාර් ඉපදිලා තිබුණේ 1967 වසරේයි. ඔහු ජාතික පිලට එකතු වෙලා පළමු ජාත්‍යන්තර තරගයට සහභාගී වී තිබුණේ 1988 දී යි. පසුපෙළ ආරක්ෂක ක්‍රීඩකයෙක් නිසා ඔහුගේ නම ඉදිරියේ ගෝල වාර්තා වීමක් දකින්නට නැහැ. නමුත් 1988 වසරේ පැවති රවුස් කුසලාන පාපන්දු තරගාවලියේ එංගලන්තය සමඟ පැවති තරගයේදී එස්කොබාර් තමන්ගේ පළමු හා එකම ගෝලය වාර්තා කළා. ඒ ගෝලයේ උපකාරයෙන් තමයි එදා කොලොම්බියාව ගෝල 1 – 0 ක් ලෙස එංගලන්තය පරාජය කර තිබුණේ.

රට වෙනුවෙන් තරග 51 ක ට සහභාගී වී ඇති ඔහු 1994 වසරේ අමෙරිකාවේ පැවැත් වූ 22 වැනි කුසලාන පාපන්දු තරගාවලියට සහභාගී වූ කොලොම්බියානු කණ්ඩායමට ද තෝරාගෙන තිබුණා.

එහිදී කොලොම්බියාව සුදුසුකම් ලැබීමේ වටයේ දී පේරු, ආර්ජන්ටිනාව වැනි ප්‍රබල කණ්ඩායම් පවා පරාජය කරමින් ප්‍රසාද ලකුණු 10 ක් ලබා ගත්තා. ආර්ජන්ටිනාව ලබාගෙන තිබුණේ ලකුණු 7 ක් පමණයි. නමුත් ඔවුන්ගේ කාණ්ඩයෙන් මූලික වටයේ තරග සඳහා සුදුසුකම් ලබා ගන්නට කොලොම්බියාව ට හා ආර්ජන්ටිනාවට හැකියාව ලැබුණා.

පළමු වටයේ තරග ඇරඹුණේ ඉන් අනතුරුවයි. මෙහිදී ‘ඒ‘ කොටසට කොලොම්බියාව සමග රොමේනියාව, ස්විට්සර්ලන්තය හා සත්කාරක අමෙරිකාව ඇතුළත් වුණා.

ඔවුන් පළමු තරගයේ දී රොමේනියාව වෙතින් ගෝල 3 – 1 ක් ලෙස පරාජයට පත් වුණා. දිනය 1994 ජුනි 22 වැනි දා. තරගය තිබුණේ අමෙරිකාව සමඟයි. තරගය ආරම්භ වී 35 වැනි විනාඩිය ඉක්ම යද්දී අමෙරිකාවේ ජෝන් හාක්ස් කොලොම්බියානු දැල වෙත පහරක් එල්ල කරනු ලැබුවා. එය ගෝල සීමාව වෙත දිව එමින් සිටි අමෙරිකානු ක්‍රීඩකයකු වෙත ඇදී යෑම වැළකීමට එස්කොබාර් බිම දිගේ ලිස්සා යමින් පන්දුව නතර කර ගැනීමටයි උත්සාහ කළේ. අවාසනාවක මහත එස්කොබාර්ගේ පාදයේ ගැටුණු පන්දුව කොලොම්බියානු දැල තුළට ඇදී ගියා. එම ගෝලය නිසා 1 – 0 ක් ලෙස ඉදිරියට ගිය අමෙරිකාව තරගය අවසන් කර තිබුණේ ගෝල 2 – 1 ලෙසටයි. එදා එස්කොබාර් ක්‍රීඩා පිටියෙන් ඉවත් වුණේ කඳුළු සලමිනුයි.

පසුව ‘ඒ’ කොටසේ කොලො-ම්බියාවට ලැබුණු අවසන් තරගයේදී ස්විට්සර්ලන්තය ගෝල 2 – 0ක් ලෙස පරාජය කළ ද එම කාණ්ඩයෙන් ඉදිරියට යෑමට හැකි වී තිබුණේ රොමේනියාවට හා ස්විට්සර්ලන්තයට පමණයි.

එදා අමෙරිකාව සමඟ පැවති තරගයේ දී තමන් අතින් එම ප්‍රමාද දෝෂය සිදු නොවුණා නම් දෙවැනි වටයට රොමේනියාව සමඟ කොලොම්බියාව ද සුදුසුකම් ලැබීමේ හැකියාව තිබුණා.

එස්කොබාර් මුහුණ දුන් අනපේක්ෂිත සිදුවීම නිසා සිත්තැවුලට පත්ව සිටියා. යළි ගෙදර ගිය ඔහු දින පහකට පසු එනම් 1994 ජූලි දෙවැනි දා මිතුරන් පිරිසක් සමඟ දුක බෙදාගැනීමේ අරමුණෙන් අවන්හලකට ගොස් මත්පැන් පානය කළේ එයින් හෝ තම සිත් තැවුල් නැතිවනු ඇතැයි එස්කොබාර් සිතූ නිසයි. (මත්පැන් දුක නැති කරන මාර්ගය නොවන බව කිවයුතුයි.)

පසුව මිතුරන්ගෙන් වෙන්වූ ඔහු තනිවම එල් ඉන්ඩිගෝ රාත්‍රී සමාජ ශාලාවට ගොඩ වී තිබුණා. පසුදින පාන්දර 03.00 පමණ වනතුරුම එහි රැඳී සිටි එස්කොබාර් ඉන් පිටවී රථගාලට ගියේ නිදිමත දැනුණ නිසා ගෙදර යන අදහසින්.

ඔහු මෝටර් රථයට ගොඩ වූ වා පමණයි. රථය අසලින් නාඳුනන පුද්ගලයන් තිදෙනෙක් මතුවුණා. ඔවුහු එක දිගටම එස්කොබාර් ට චෝදනා කළා. සුළු මොහොතක දී එක් අයෙකු පොයින්ට් 38 කැලිබර් පිස්තෝලයක් එළියට ගත්තා. අවසානයේ ඔවුන් අතර පැවති සංවාදය නිමාවට පත්වූයේ උණ්ඩ හයක් එස්කොබාර් ගේ සිරුර පසාරු වන්නට බස්සවමිනුයි.

පිරිසක් ඔහු රෝහලට ඇතුළත් කළ ද එස්කොබාර්ට රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවත්වීමට වරම් ලැබී තිබුණේ විනාඩි 45 ක් පමණයි.

පාපන්දු ක්‍රීඩාව වෙනු-වෙන් විශාල ලෙස ඔට්ටු අල්ලන්නෙකු ලෙස එකල කොලොම්බියාව තුළ ප්‍රක-ටව සිටි සන්තියාගු ගැලන් නැමැත්තාගේ රියැදුරා ලෙසත් ප්‍රබල මත්ද්‍රව්‍ය බෙදාහරින්නෙකුගේ ආරක්-ෂකයෙකු ලෙසත් කටයුතු කරන හම්බටෝ ක්‍රැස්තෝ මුනෝස් හා ඔහුගේ සගයින් දෙදෙනෙකු එස්කොබාර්ගේ මරණයට සැකපිට අත්අඩංගුවට පත්වුණා.

ස්වයං පාපොච්චාරණයක් කළ ක්‍රැස්තෝ එස්කෝබාර් මරා දැමුවේ තමන් බව පිළිගත්තා. එස්කොබාර්ගේ අවමංගල්‍යය එක්ලක්ෂ විසිදහස ඉක්මවන ජනකායක් සහභාගීත්වයෙන් පවත්වනු ලැබුණා.

අදාළ නඩු විභාගය 1995 ජූනි මාසයේදී අවසන් වූයේ ක්‍රැස්තෝව වසර 43 ක සිරදඬුවමක් නියම කරමිනුයි. ඔහුගේ සගයන් නිදහස් වුණා. නමුත් 2001 වසරේ එරට දණ්ඩ නීති සංග්‍රහයට එක් කරන ලද සංශෝධනවලින් පසු ක්‍රැස්තෝගේ දඬුවම වසර 26 දක්වා අඩු කෙරුණා.

අකල් මරණයක් උරුමකරගනු ලැබූවත් ඇන්ඩ්‍රස් එස්කොබාර් අද ද කොලොම්බියානු ක්‍රීඩා ලෝලීන්ගේ හදවත් තුළ ජීවත් වෙනවා. දැනුදු එරට තුළ පැවැත්වෙන පාපන්දු තරගයක් නැරඹීමට පැමිණෙන ප්‍රේක්ෂකයින් එස්කොබාර්ගේ විශාල ප්‍රමාණයේ ඡායාරූප ක්‍රිඩාංගණයට රැගෙන එන්නේ ඒ නිසයි.

මේ අසහාය පාපන්දු ක්‍රීඩකයා 1994 වසරේ ඝාතනය වුවත් 2002 වසරේ නැවත මෙච්ලින් නරගයේ දී උපත ලැබුවා. ඒ ඔහුගේ ජීවමාන ප්‍රමාණයේ පිළිරුවක් ලෙස එම නගර මධ්‍යයේ යි.

 

Comments