ලොකු පොඩි සැමට ලාබෙට ලැබෙන ප්‍රෝටීන් පෙත්ත බිත්තර | සිළුමිණ

ලොකු පොඩි සැමට ලාබෙට ලැබෙන ප්‍රෝටීන් පෙත්ත බිත්තර

ර්තමානයේදී අප ගන්නා ආහාර අතර බිත්තර වලට හිමි වන්නේ විශේෂ තැනකි. බිත්තර ඉක්මනින්ම සකස් කර ගැනීමට පහසු ආහාරයක් වන අතර ඒ නිසා එය ලොව පුරාම ප්‍රචලිත ආහාරයක් බවටද පත් වී ඇත. අපට අවශ්‍ය ප්‍රෝටීන් ඉතා පහසුවෙන් සපුරා දෙන ලාබදායී ආහාරයක් ලෙසද බිත්තර සඳහා ඉහළ ඉල්ලුමක් ඇත. කායවර්ධන ක්‍රීඩකයන් විසින් බිත්තර සුදු මදය පෝෂණ අතිරේකයක් ලෙසද ආහාරයට එක් කර ගනිති. මීට අමතරව විවිධ ප්‍රෝටීන අවශ්‍යතාවන් තිබෙන පිරිස් වැඩි වශයෙන් බිත්තර සිය ආහාරයට ගැනීම සඳහා පෙලඹී සිටින බවට නිරීක්ෂණය වී තිබේ.

 

බිත්තර ආහාරයට ගැනීමෙන් කොලෙස්ටරෝල් මට්ටම ඉහළ නැංවෙන බවට මතයක් පැවැති නමුත් විද්‍යාඥයන් විසින් ඒ මතය බැහැර කර තිබේ. මිනිසාගේ ශරීර වර්ධනයට මෙන්ම මොළය වර්ධනටද අවශ්‍ය පෝෂණීය සංඝටක ගණනාවක් බිත්තර වල අඩංගු බවට තහවුරු කර ඇති අතර ප්‍රෝටීන්, විටමින් A, B6, B12, යකඩ, සින්ක්, පොස්පරස් .වැනි පෝෂ්‍ය පදාර්ථ ඒ අතර ප්‍රධාන වේ.

බිත්තර පිළිබඳ වැදගත්කම කෙතරම්ද යත් බිත්තර පිළිබඳව ජාත්‍යන්තර කොමිෂන් සභාවක්ද ස්ථාපිත කර තිබීමෙන් පැහැදිලි වේ. එම කොමිෂන් සභාව විසින් 1996 වර්ෂයේදී වියානා නුවර පැවැති සම්මේලනයට සහභාගී වී ගනු ලැබූ තීරණයකට අනුව බිත්තර දිනයක්ද ප්‍රකාශයට පත් කරන ලද අතර ඒ අනුව සෑම වර්ෂයකම ඔක්තෝම්බර් මස දෙවැනි සිකුරාදා ලෝක බිත්තර දිනය ලෙස ප්‍රකාශයට පත් වී තිබේ.

මේ වන විට මෙරට බිත්තර කර්මාන්තය කෙසේ සිදු වන්නේද? එම ක්ෂේත්‍රය ආශ්‍රිතව පැන නැඟී ඇති ගැටලු හා අභියෝග මොනවාද?ලෝක බිත්තර දිනයට සමගාමීව මෙරට බිත්තර කර්මාන්තය පිළිබඳව යම් සොයා බැලීමක් සිදු කිරීම වැදගත් වේ යැයි හැගුණු අතර සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකරගෙන් අපි ඒ පිළිබඳව විමසුවෙමු.

පසුගිය වසරේ සිට පැතිර යන කොවිඩ් වසංගතය හා එම වසංගතය පාලනය කිරීමේ අරමුණින් විටින් විට රට වසා දැමීමත් සමඟ බිත්තර වෙළෙඳාමටද අපල කාලයක් උදා වුණු බව එහිදී ඔහු අවධාරණය කරන ලද අතර; සුළු හා මධ්‍ය පරිමාණ වගේම මහා පරිමාණ නිෂ්පාදකයන් රැසක් මේ වන විට සිය ව්‍යාපාර පවත්වා ගෙන යාමට හා නඩත්තු කර ගැනීමට නොහැකිව දුෂ්කරතාවන් රැසකට මුහුණ දී ඇති බවද ඔහු සඳහන් කළේය.

බිත්තර නිෂ්පාදනයේදී අලෙවි මිලෙන් 70% ක් පමණ නිෂ්පාදන වියදම් සඳහා වැය වන අතර බිත්තර ලබා දෙන කිකිළියන් වෙත අවශ්‍ය බඩ ඉරිගු වැනි කෑම ලබා දීම සඳහා විශාල මහන්සියක් මෙන්ම මුදලක්ද වැය කිරීමට සිදු වී ඇත. එසේම ක්ෂේත්‍රය ආශ්‍රිතව පැන නැඟී ඇති ගැටලු නිසා බිත්තර හදන කිකිළි පැටවු නිෂ්පාදනයේද දුෂ්කරතා මතු වී ඇති අතර එම ගැටලු හඳුනාගෙන ඒවාට ඉක්මනින් අවශ්‍ය පිළිතුරු ලබා නොදුනහොත් ඉදිරියේදී බිත්තර හිඟයක් පවා ඇති වීමට ඉඩ ඇත.

කුකුළු මස් හා බිත්තර නිෂ්පාදන යන ක්ෂේත්‍ර ආශ්‍රිතව වාර්ෂිකව බිලියන දහයක් පමණ රජයට උපයා දීමටද සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන් වෙත හැකි වී ඇති අතර බිත්තර නිෂ්පාදන රටවල් කීපයක් වෙත ආපනයනය කර ශ්‍රී ලංකාවට සැලකිය යුතු විදේශ විනිමය ප්‍රමාණයක් උපයා දීමටද ඔවුන් සමත්කම් දක්වා තිබේ. මේ වන විට මාලදිවයින හා සීෂෙල්ස් යන රටවල් සඳහා අපගේ බිත්තර නිෂ්පාදන අපනයනය කෙරෙන අතර රජය මැදිහත්ව එලෙස බිත්තර අපනයනය කරන ව්‍යාපාර සඳහා බදු සහන ලබා දිය යුතු බවත්, එවැනි බදු සහන හා ව්‍යාපාරය කර ගෙන යාමට අවශ්‍ය සම්පූර්ණ සහයෝගය රජයේ පාර්ශ්වයෙන් හිමි වන්නේ නම් තායිලන්තය වැනි රටවල් සමඟ පවා තරහ කර මෙරට බිත්තර නිෂ්පාදනය විදේශ රටවල් වෙත අපනයනය කිරීම ඉතා සාර්ථක ලෙස පුළුල් කිරීමට හැකියාව ලැබෙන බවත් සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමය විශ්වාසය පළ කරයි.

ඒ සංගමයේ සභාපති අජිත් ගුණසේකර වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කර සිටියේ තම ව්‍යාපාරිකයන් මෙතෙක් රජයට අවශ්‍ය මුදල් සොයා දුන් ව්‍යාපාරිකයන් වූවා මිස රජයෙන් ලබා දෙන විවිධාකාර වූ සහන මත යැපෙන ව්‍යාපාරිකයන් නොවුණු නිසා මේ තීරණාත්මක මොහොතේ දුෂ්කරතා හා අභියෝග වලට මුහුණ දී සිටින මෙරට බිත්තර නිෂ්පාදකයන් රැක ගැනීම සඳහා බලධාරීන් විසින් විධිමත් වැඩපිළි‌ෙවළක් නොපමාව ආරම්භ කර ක්‍රියාත්මක කළ යුතු කාලය එළැඹී ඇති බවයි.

මේ වන විට මෙරට තුළ ක්‍රියාත්මක සුප්‍රකට බිත්තර ව්‍යාපාරයක් වන අවිස්සාවේල්ල කොස්ගම ස්ථාපිත එස් ජී ෆාම් අධිපති ජී. ඩබ්ලිව්. පී. ගුණසිංහ ද බිත්තර ව්‍යාපාරයේ වත්මන් අභියෝග පිළිබඳව අදහස් දැක්වූ අතර එන්න එන්නම ව්‍යාපාර ක්ෂේත්‍රයේ කඩා වැටීමක් පෙන්නුම් කරන බව ඔහුගේ අදහස වී තිබේ. බොහෝ ව්‍යාපාරිකයන් සිය ව්‍යාපාරයන්හි දියුණුවට ණය ලබා ගෙන ඇති බවත් තවදුරටත් ව්‍යාපාර ක්ෂේත්‍රය තුළ කඩා වැටීම සිදු වුවහොත් කර්මාන්තය මත යැපෙන සියලු පිරිස් වෙත සිය ජීවනෝපාය මාර්ග අහිමි වී යනවා පමණක් නොව පාරිභෝගික ජනතාවට පහසුවෙන් හා සාධාරණ මිලකට බිත්තර ආහාරයට ගැනීමට නොහැකි වාතාවරණයක් උදා විය හැකි බවටද ඔහු බිය පළ කළේය.

ගුණාත්මකභාවයෙන් යුත් බිත්තර නිෂ්පාදනය කර ගැනීමේදී සත්ත්ව ආහාර ලෙස සෝයා, බඩඉරිඟු, වී කුඩු, පුන්නක්කු වැනි ආහාර ලබා දෙන අතර බිත්තර ලබා දෙන කිකිළි පැටවුන් දහසකට මාස හතරහමාරක කාලයක් සඳහා ආහාර වියදම ලෙස ලක්ෂ හතක පමණ අධික වියදමක් දැරීමට සිදුවේ. උදාහරණයක් ලෙස එම සතුන්ට ආහාර ලෙස ලබා දෙන සෝයා කිලෝවක මිල මේ වන විට රු.180/-ක් පමණ තෙක් ඉහළ ගොස් තිබේ. සත්ත්ව ආහාර මෙලෙස ඉහළ ගොස් ඇති පසුබිමක එම සතුන්ගේ නඩත්තුව සඳහා දිනකට රු.15/-ක පමණ මුදලක් වැය කිරීමට සිදුව ඇති බවත් එවැනි වාතාවරණයකදී බිත්තරයක් රු 15/- බැගින් වෙළෙඳපොළට මුදා හැරීමේන් ව්‍යාපාරිකයින්ට කිසිදු ලාභයක්, ප්‍රයෝජනයක් අත් නොවන බවත් එස් ජී ෆාම් අධිපති ජී ඩබ්ලිව් පී ගුණසිංහ සඳහන් කළේය.

මෙරට ජනතාවගේ පරිභෝජනය සඳහා අවශ්‍ය බිත්තර තොග වශයෙන් නිෂ්පාදනය කරනු ලබන නිලූකා ෆාම් අධිපති එස්.එම්.ඒ.ඩබ්.මායාදුන්නද පවතින වාතාවරණය පිළිබඳව සංවේදී අදහස් පළ කිරීම සඳහා උනන්දු වූ අතර, එහිදී ඔහු අවධාරණය කර සිටියේ බිත්තර නිෂ්පාදනයේ නිරත වී සිටින ව්‍යාපාරිකයින්ට වඩා අතරමැදියන් බිත්තර විකිණීමෙන් ලාභ ලබනා බවයි.

කොවිඩ් වසංගතය තුළ සිය ව්‍යාපාර දැඩි ලෙස පාඩු විඳි බවත් ඇතැම් අවස්ථා වල බිත්තර පරණ කර ගෙන අපතේ දැමීමට නොහැකි වූ නිසා බෙදා හරින්නන් ඉල්ලා සිටි මිල ගණන් වලට බිත්තර අලෙවි කිරීමට සිදු වුණු බවත් පැහැදිලි කළ හෙතෙම පසුගිය කාලය තුළ අවස්ථා ගණනාවකදීම භාවිතයට නුසුදුසු ලෙස කල් ඉකුත් වූ බිත්තර දහස් ගණනක් තොග පිටින්ම විනාශ කිරීමට සිදු වුණු බවද සඳහන් කර සිටියේය.

Comments