රටට ඩොලර් ගේන්න අලුත් ගම්මාන 260 ක් | සිළුමිණ

රටට ඩොලර් ගේන්න අලුත් ගම්මාන 260 ක්

රාජාං­ගණය ප්‍රදේ­ශයේ ශාක පත්‍ර මඟින් අත් කඩ­දාසි නිෂ්පා­ද­නය කිරීම.
රාජාං­ගණය ප්‍රදේ­ශයේ ශාක පත්‍ර මඟින් අත් කඩ­දාසි නිෂ්පා­ද­නය කිරීම.

පේ රටේ ජනතාවගෙන් පවුල් ලක්ෂ 18 ක් පමණ සමෘද්ධිලාභී අඩු ආදායම් ලාභීහු වෙති. ඒ අය ඒ අඩු ආදායම්ලාභීන් සමෘද්ධි ලාභීන් ලෙස පැවැතීම වෙනුවට ඒ අයගේ ගෘහ ආර්ථිකය ඉහළ නංවා ඔවුන්ට දිගුකාලීනව ස්ථිරව ආදායම් මාර්ගයක් ලබාදීමට දැන් වත්මන් රජය වැඩපිළිවෙළ රැසක් ක්‍රියාවට නංවා ඇත. ඒ අතරින් ප්‍රධානම වැඩසටහන ‘සෞභාග්‍යා සති’ වැඩසටහනයි.

සමෘද්ධි ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසන්නේ මේ වැඩපිළිවෙළ යටතේ ‍සමෘද්ධි ලාභී අඩු ආදායම්ලාභී දරිද්‍රතාවෙන් පෙළෙන ලක්ෂ 15 කට අධික ගණනකට සෙත සැලසෙන බවයි.

‘සෞභාග්‍යා සති 2 ක් දැන් අපි අවසන් කර 3 වැනි සතිය සැප්තැම්බර් 24 වැනිදා ආරම්භ කළා. මෙරට අඩු ආදායම් ලාභීන්ගේ ආදායම් ඉහළ නංවා රටට ජාතික ආර්ථිකයට රුපියල් කෝටි 1800 ක් උපයාදීම මෙහි ප්‍රධාන පරමාර්ථයයි.

‘සෞභාග්‍යා’ සති වැඩසටහන් මාලාව යටතේ මේ වනවිට දිවයින පුරා සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන 260 ක් ආරම්භ කර තිබෙනවා. එහි සියලු කාර්යයන් 2021 දෙසැම්බර් වනවිට අවසන් කරනවා. මෙම ගම්මාන ආරම්භ කළේ ඒ ඒ ගම්මානවල පාරම්පරික තිබෙන ගෘහ ආර්ථික ක්‍රමවලට අනුරූපීවයි. ඒවා දියුණු කිරීම සිදු කරමින් නව තාක්ෂණය හා වෙළෙඳපොළ ඔවුන්ට අපි දෙනවා.

අඩු ආදායම් ලාභී ජනතාවට දිගුකාලීන ස්ථිර ආදායමක් ලබාදෙන ‘සෞභාග්‍යා’ නිෂ්පාදන ගම්මාන වැඩසටහන ඉතා ජනප්‍රිය වී තිබෙනවා. මේ වසර අවසානයේ ‘සෞභාග්‍යා’ නිෂ්පාදන ගම්මාන 260 මඟින් රටේ ආර්ථිකයට රුපියල් කෝටි 200 ක් උපයා දීමට අඩු ආදායම් පවුල් 26000 කට සෙත සැලසීමට ද අවස්ථාව ලැබෙනවා” සමෘද්ධි රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ පවසයි.‍

අනුරාධපුර දිස්ත්‍රික්කය ඇතුළත දැනටම ‘සෞභාග්‍යා’ නිෂ්පාදන ගම්මාන 20 ක් පමණ ජනතා අයිතියට එක් කර තිබේ. එක් ගම්මානයක අඩු ආදායම් පවුල් 100 කට පමණ මේ වැඩසටහනින් සෙත සැලසේ. එක් ප්‍රතිලාභීනට රුපියල් ලක්ෂය දක්වා ප්‍රතිලාභ ලබා දෙයි. ඒ සමඟම මේ ගම්මානවල ප්‍රතිලාභීන් එම ගම්වල නිෂ්පාදන ප්‍රමිතිය අනුව නිපදවීමට ඉතා වගකීමෙන් කටයුතු කළ යුතුයි. සියලු ගම්මානවලට ආවේණික පාරම්පරික නිපැයුම් දියුණු කිරීමට අපි මේ යටතේ කටයුතු කරමින් සිටිනවා” යැයි ශෙහාන් සේමසිංහ පැවසීය.

මේ පිළිබඳව රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ තවදුරටත් අවධාරණය කරන්නේ මෙරට ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩනැංවීම සඳහා මේ අයුරින් ඒ ඒ ගම්වල පාරම්පරික නිෂ්පාදන ක්‍රියාවලින් කාර්යක්ෂමව ක්‍රියාත්මක විය යුතු බවයි.

සමෘද්ධි හා ගෘහ ආර්ථික රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේම­සිංහ රඹෑව සෞභාග්‍යා කිරි ගොවි ගම්මා­නය විවෘත කළ අව­ස්ථාව.
 

‘සෞභාග්‍යා’ සති 3 වැනි වැඩසටහන් ප්‍රථම අදියර ලෙස අනුරාධපුරය පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අපනයනය සඳහා මිටි මුරුංගා ආශ්‍රිත නිෂ්පාදන ගම්මානයක් ද, තඹුත්තේගම ප්‍රදේශයේ කරපිංචා හා නයි මිරිස් වගා ආශ්‍රිත නිෂ්පාදන ගම්මානයක් ද රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ අතින් විවෘත විය.

සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන වැඩපිළිවෙළ යටතේ ශාක පත්‍ර මඟින් අත්කඩදාසි නිෂ්පාදනය කිරීමේ ගම්මානයක් ද දැන් ආරම්භ කර තිබීම විශේෂත්වයකි.

රාජාංගනය, වෙහෙරගල ප්‍රදේශයේ ආරම්භ කරන එම ගම්මානය මඟින් මෙතෙක් වැඩක් නොගත් අලි මානා, ජපන් ජබර, යෝධ නිදිකුම්බා ආදී පත්‍රවලින් මෙන් ම බඩඉරිඟු ශාකයේ ඉවතලන ද්‍රව්‍ය, කෙසෙල් කඳන් ආදිය උපයෝගි කරගෙන කඩදාසි නිපදවනු ලැබේ.

මෙම ගම්මානය ආරම්භක අවස්ථාවට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න පැවසුවේ මේ මඟින් මෙතෙක් කිසිම වැඩක් නොගත් මේ ප්‍රදේශයේ බහුලව ඇති වල් ශාකවලින් දැන් අඩු ආදායම්ලාභී ජනතාවට හොඳ ආදායමක් ලබාගැනීමට හැකිවී ඇති බවයි.

මෙරට ඇති උග්‍ර පිටිකිරි අර්බුදයට විසඳුමක් ලෙස කළ යුත්තේ මෙරට කිරි ගොවි කර්මාන්තය නිසි ලෙස දියුණු කිරීමයි.

වසර විස්සක තිහක සිට එය සිදු කළා නම් මෙරට පිටිකිරි අර්බුදයක් ඇති නොවන අතර කිරි ගොවියන්ටද හොඳ ආදායමක් ලැබෙන්නට ඉඩ තිබුණි.

වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ගේ වැඩපිළිවෙළ අනුව මේ ගැන අවධානය යොමු කළ සමෘද්ධි රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහගේ මෙහෙයවීමෙන් දැන් මෙරට දියර කිරි නිපැයුම වැඩි කිරීමට හා කිරි ගොවියන්ට නව ශක්තියක් ලබාදීමේ අරමුණින් රට පුරා ‘සෞභාග්‍යා’ කිරි නිෂ්පාදන ගම්මාන ආරම්භ කරමින් පවතී. ඒ ‍ ‘සෞභාග්‍යා සති’ තුන් වැනි අදියරට සමගාමීවය. ඒ අනුව මෙරට ප්‍රථම සෞභාග්‍යා කිරි නිෂ්පාදන ගම්මානය පසුගියදා අනුරාධපුර රඹෑවේ මහකනදරාව ගම්මානය ආශ්‍රිතව විවෘත වූයේ රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහගේ ප්‍රධානත්වයෙනි.

මෙම ගම්මානයේ තෝරාගත් කිරි ගොවි පවුල් 100 ක් සඳහා එක් පවුලකට රුපියල් ලක්ෂයක් වටිනා මූල්‍යාධාර නව තාක්ෂණික උපකරණ ආදිය ලැබෙන බවත් ඒ අනුව මුළු ගම්මානය සඳහාම රජය රුපියල් කෝටියක් වෙන්කර ඇති බවත් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ පවසයි.

“මෙවැනි කිරි ගොවි ගම්මාන රටපුරා ඇති කර කිරිපිටි හිඟයට තිරසර විසඳුමක් දීම අපේ අරමුණයි. මේ වැඩපිළිවෙළ සඳහා ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් ලබාදෙන උපදෙස් අපි ඉතා අගය කරනවා” ශෙහාන් සේමසිංහ රාජ්‍ය ඇමැතිවරයා පවසයි.

මෙම සෞභාග්‍යා සති වැඩපිළිවෙළ මඟින් රටේ අඩු ආදායම් ලාභී සමෘද්ධි පවුල්වලට තම ගම්වල තිබුණු පාරම්පරික ගෘහ ආර්ථික කර්මාන්ත නව යුගයට ගැළපෙන ලෙස දියුණු කිරීම මඟින් තම ආර්ථිකය දියුණු කර ගැනීමට අත්වැල ලැබෙන බව සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ බන්දුල තිලකසිරිගේ අදහසයි.

“සමෘද්ධි ලාභීන්ට නැති බැරි තත්ත්වයේ සිට ඇති හැකි අය බවට පත්වීමට මෙන්ම දිගුකාලීන ස්ථිර ආදායමක් ලබාගැනීමට මේක හොඳ අවස්ථාවක්. ඒ වගේ ම හොඳ කැපවීමක් උනන්දුවක් ඇත්නම් ඒ අයට කුඩා ව්‍යාපාරිකයන් හා ව්‍යවසායකයන් බවටත් පත්වීමට පුළුවන්. ඒ විතරක් නෙමෙයි මේ ගම්මාන 260 අය තම නිපැයුම් ජගත් ප්‍රමිතියට අනුව සකස් කළහොත් ඒවා එතෙර යවා අපට විදේශ විනිමය සපයන්නත් පුළුවන්. එය රටේ ආර්ථිකයටත් ජනතාවටත් විශාල සෙතක් බව ද නීතිඥ බන්දුල තිලකසිරි පවසයි.

සෞභාග්‍යා සති වැඩපිළිවෙළ පිළිබඳව සිළුමිණට අදහස් දැක්වූ රඹෑව සත්ව නිෂ්පාදකයන්ගේ සමිතියේ සභාපති නිශ්ශංක කුමාරසිරි පැවසූයේ ගවයන්ට කෑමට තණ බිම් ලබාදී, පශු වෛද්‍ය නිලධාරීන්ගේ උපදෙස් නිරන්තරයෙන් ලැබෙනවා නම් කිරි ගවයකුගෙන් කිරි ලීටර් 10 ක් පමණ ලබාගැනීමට ගොවීන් උනන්දු වන බවයි.

“සේමසිංහ මහත්තයා ක්‍රියාත්මක කරන කිරි ගොවි ගම්මාන වැඩපිළිවෙළ නිසා අපට අනාගතයේ අලුත් අපේක්ෂාවක් ඇති කරගන්න පුළුවන්. අපේ ගමට රුපියල් කෝටියක මූල්‍යාධාර සමඟ ශීතාගාර හා නව තාක්ෂණික උපදෙස් ලබාදෙමින් පවතිනවා. ඒවා ලබාගෙන ඉහළ කිරි නිපැයුමක් ඉදිරියේදී ලබාදෙන්නට අප උත්සාහ දරනවා.” නිශ්ශංක කුමාරසිරි පවසයි.


 

Comments