යාල කැලේ හෝටලයක් හදන්න ගිය හැටි | සිළුමිණ

යාල කැලේ හෝටලයක් හදන්න ගිය හැටි

 කබානා ඉදි­කර ඇති අයුරු හා වැව ඉදි­කර ඇති අයුරු හා ගස් කපා දමා ඇති අයුරු මෙම ඡායාරූපවලින් දැක්වේ
කබානා ඉදි­කර ඇති අයුරු හා වැව ඉදි­කර ඇති අයුරු හා ගස් කපා දමා ඇති අයුරු මෙම ඡායාරූපවලින් දැක්වේ

රිසර පද්ධතියේ විනාශය යනු මිනිසාගේ ද විනාශයයි. ගහට පොත්තත් - පොත්තට ගහත් මෙන් සියලු සත්ත්වයන් හා ගහකොළ අතර ඇත්තේ නොබිදෙන සම්බන්ධතාවකි. මේ බව දැන දැනත් අල්ප වූ සංවේදී පරිසර පද්ධතිය රැකගන්න කටයුතු නොකරන අසංවේදී මිනිසුන් මේ සමාජයේ තවමත් සිටී. තම තමන් අදහන ආගම දහම වෙනුවෙන් දිවි පුදන්නට තරම් ඉදිරිපත් වෙන මිනිස්සු සිටින සමාජයක ඒ ඒ ආගම දහම වටා ගෙතී පවතින ස්වභාව ධර්මයා රැක ගැනීම වෙනුවෙන් මිනිසුන් කටයුතු නොකිරීම පුදුම සහගතය. රුපියල් සත වෙනුවෙන් මිනිසාගේ යහ පැවැත්මට විශාල දායකත්වයක් සපයන ගහ කොළ කපා විනාශ කර දැමීම කෙසේ නම් අනුමත කළ හැකිදැයි ඔබද සිතා බැලිය යුතුය.

පරිසරය විනාශ කරන පුද්ගලයන්ට එරෙහිව දැඩි දඬුවම් පැමිණවීමට හැකි වන පරිදි නීතිරීති අණපනත් ඕනෑවටත් වැඩියෙන් ඇතත් ඒ නීති ක්‍රියාත්මක වන්නේ ඇති නැති පරතරය අනුව බව නම් අද වන විට ඉතා පැහැදිලිය. ගමේ ගොඩේ මිනිහෙක් හේනක් කපා ගැනීමට කැළයට ගිය පසු හෝ උදැල්ලකට මිටක් කපා ගැනිමට කැලයකට ගිය පසු ඔවුන්ව කුදලගෙන ගිහින් නීතිය හමුවට ඉදිරිපත් කිරිමට වන සංරක්ෂණ, වනජීවී හෝ වෙනත් නීතිය ක්‍රියාත්මක කරන පිරිස් සමත් වුවත් අක්කර තිහ හතළිහ ලෙස බැකෝ යන්ත්‍ර දමා හෙළි පෙහෙළි කර මහා රූස්ස ගස් බිම හෙළා කොතෙකුත් පරිසර විනාශයන් සිදුකළ ද ඒවා නීතිය ක්‍රියාත්මක කරන පිරිස් වෙත නොපෙනීම පුදුමයට කරුණක් වී තිබේ.

අවට ප්‍රදේශවාසීන් යන්ත්‍රසූත්‍ර නවතන අයුරු

කුමන අණපනත් තිබුණත් දිනෙන් දින මෙරට තුළ සිදුවන වන විනාශයේ නම් කිසිදු අඩුවක් නොමැති බව ඉතා පැහැදිලිය. එහි තවත් ආසන්නතම පුවතක් පසුගිය දින අපට වාර්තා වූයේ කතරගම දෙවිහාමුදුරුවන්ගේ අඩවිය ආසන්නයේ පිහිටි කිරින්ද පොලිස් වසමට අයත් සියඹලාගස්වැව ප්‍රදේශයෙනි.

ප්‍රදේශයේ හේන් ගොවිතැනෙහි නිරත ගොවියන්ට පවා කැලයට ඇතුළු වීමට ඉඩනොදී වන සංරක්ෂණ නිලධාරීන් විසින් දැඩි නීති රීති පනවා ඇති පසුබිමක් තුළ තිස්සමහාරාමයේ හෝටල් ව්‍යාපාරිකයෙකු විසින් යාල ජාතික වනෝද්‍යානයට ආසන්න වන සංරක්ෂණ ප්‍රේරක කලාපය තුළ කිසිදු බාධාවකින් තොරව වනාන්තරය එළි පෙහෙළි කර වැවක් හා කබානා හෝටලයක් ඉදිකරමින් ඇති බවටයි ප්‍රදේශයේ ජනතාව චෝදනා කළේ. ඒ අනුව අපි ද එම ස්ථානය සොයා ගියෙමු.

තිස්සමහාරාම නගරයේ සිට යෝධ කණ්ඩිය මාර්ගයේ ඔස්සේ යන විට හමුවන සිතුල්පවුව මාර්ගයේ මීටර් 100ක් පමණ ගිය පසු හමුවන අතුරු මාර්ගයකින් වමට හැරී කිලෝ මිටර් 05ක් පමණ ගිය අපට හමු වුයේ සුන්දර වෙල්යායකි.එතනින් දකුණට හැරී මඳ දුරක් ගිය අපට උද්දගන්දර ග්‍රාම නිලධාරී වසමට අයත් සියඹලාගස්වැව වැව අපට හමු වීය. ගම්වැසියන් කිහිප දෙනෙකුම එහි පැමිණ සිටි අතර ඔවුන් එතැන් සිට අපට මාර්ගය පෙන්වීය.

“මේ බලන්න මහත්තයෝ මේ තියෙන්නේ යැයි අපත් සමඟ ගිය ගම්වැසියකු වූ සිසිර අත දිගු කරමින් බිම දමා තිබූ මහා රූස්ස ගස් තොගයක් පෙන්වීය. මේ සියඹලාගස්වැව වැව වටා ඇති ඉඩම්වල කාලාන්තරයක් තිස්සේ මේ ප්‍රදේශයේ ජනතාව හේන් ගොවිතැන් කළා. එහෙම හේන් කරගෙන ආව ඉඩම් කැබලි කිහිපයක් තමයි තිස්සමහාරාමයේ හෝටලයක් කරගෙන යන මුදලාලි කෙනෙක් මේ මිලදී අරන් තියෙන්නේ. එහෙම මිලදී ගත්ත ඉඩම් ටිකට යාබදව තියෙන තවත් අක්කර ගණනක් මේ ව්‍යාපාරිකයා විසින් බලහත්කාරයෙන් අල්ලාගෙන කොටු කරගෙන සුද්ද කරන්න පටන් ගත්තා. ඒ වෙලාවේ අපි මේ සම්බන්ධයෙන් වගකිවයුතු සියලු පාර්ශ්ව දැනුම්වත් කළා. නමුත් කිසිදු පාර්ශ්වයක් මේ ගැන අවධානය යොමු කළේ නෑ. මේ අතරේ මේ ව්‍යාපාරිකයා සියඹලාගස්වැවට වතුර එන්න තියෙන ඇළ මාර්ග හරස් කරලා එම ඉඩමේ වැවක් හෑරුවා. මේ නිසා සියඹලාගස්වැවෙන් වතුර අරන් කුඹුරු කරන හා ගොඩ ගොවිතැන් කරන ගොවියන් රැසකගේ ජීවිත අනතුරේ වැටුණා. මේ නිසා අපි ගම්මු එකතු වෙලා මේකට විරෝධය දක්වන විට නිලධාරීන් පැමිණ වැව හාරන එක නතර කරලා දුන්නා. එහෙම නතර කරලා දින කිහිපයක් යන්න වුණේ නෑ මේ ව්‍යාපාරිකයා යළි වැව පිළිසකර කරගෙන එහි කබානා හෝටල් ව්‍යාපෘතියක් ආරම්භ කරන්න කටයුතු කළේ, මහා රූස්ස ගස් පවා කපා දමමින්. හේන් කරන අපි කවදාවත් මේ තියෙන රූස්ස ගස් කපන්නේ නෑ. පරිසරයත් රැකගෙනයි හේන් ගොවියා හැමදාමත් කටයුතු කළේ.

පසුව අප මේ සම්බන්ධයෙන් නැවත වනසංරක්ෂණ නිලධාරීන්ට මේ ගැන කිවුවා. නමුත් වැඩක් වුණේ නෑ. පසුව මාධ්‍ය හරහා අප මේ සම්බන්ධයෙන් රටට හෙළි කළා. ඊට පස්සේ තමයි නිලධාරීන් ඇවිත් මේ ගැන සොයා බැලීම කළේ. එහිදී මේ ස්ථානයේ තිබී බැකෝ යන්ත්‍රයක් හා ට්‍රැක්ටර් දෙකක් සමඟ එහි වැඩ කළ එක් පුද්ගලයකු පමණක් කිරින්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තා. මේ වෙනකම් එහි තත්ත්වය මොකද්ද කියලා නම් අපි දන්නේ නෑ. මොනාවා වුණත් අපිට කියන්න තියෙන්නේ මේ ඉන්න නිළධාරීන් නම් නිතිය හරියට ක්‍රියාත්මක කරන්නේ පුංචි මිනිස්සුන්ට විතරයි. සල්ලි කාරයෝ ඇවිත් වටේටම සල්ලි විසි කරලා කැලෑ අක්කර ගනන් අල්ලගන්නවා. ඒවාට කිසිදු නීතියක් හෝ නීතිය කරවන අයගේ බලපෑමක් හෝ නෑ යැයි ඔහු පැවසීය.

ජනතා විරෝධය මතුවූ අයුරු

ප්‍රදේශයේ ජනතාව පවසන්නේ මෙම ප්‍රදේශයේ පදිංචි පාරම්පරික හේන් ගොවියන් හේනක් කර ගැනිමට හෝ නිවසකට කෝටු කෑල්ලක් කපා ගැනීමට කැලයට ගියත් වන සංරක්ෂණ නිලධාරීන් විසින් ගැමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන පසුබිමක් තුළ යාල ජාතික වනෝද්‍යානයට ආසන්න වන සංරක්ෂණ ප්‍රේරක කලාපය තුළ මෙලෙස අක්කර 40ක පමණ වනාන්තරයක් කිසිදු බාධාවකින් තොරව හෙළි පෙහෙළි කර කබානා හෝටලයක් ඉදිකරමින් තිබියදී ඒ බව වගකිවයුතු බලධාරින් නොදැක්කා සේ සිටීම විමතියට කරුණක් බවයි.

අදාළ ව්‍යාපාරිකයා විසින් ඉදිකරන මෙම කබානා හෝටලය ආසන්නයේ විශාල වැව් බැම්මක්ද ඉදිකර වැසි ජලය රඳවා ගැනිමට හැකි වැවක්ද සකසා තිබේ. ප්‍රදේශයේ ජනතාව පවසන්නේ වන සංරක්ෂණ නිලධාරීන් විවිධ ව්‍යාපාරිකයන්ගෙන් සන්තෝසම් ලබාගෙන මෙලෙස කැලය හෙළි කිරීමට අවස්ථාව ලබා දී ඇති බවත් නැති බැරි අසරණ මිනිහකු කැලයට ගිය පසු ඔවුන්ව අල්ලා අධිකරණයට ඉදිරිපත් කරන බවත්ය. මෙම ව්‍යාපාරිකයා විසින් අදාළ කබානා හෝටලය ඉදිකිරීම සඳහා වනාන්තරය හෙළිපෙහෙළි කර එහි තිබු රූස්ස ගස් රැසක්ද කපා දමා තිබේ. වන අලින්ගේ ආහාරයක් වන කඩකොල්ලන් නැමැති ශාඛ ගස් මුලින්ම උදුරා දමා ඇති අතර එහි දැව යොදා ගනිමින් කබානා ඉදිකර ඇති අයුරුද දැකිය හැකිය.

මාධ්‍ය හරහා මෙම සිදුවීම වාර්තා කිරිමත් සමඟ වහා ක්‍රියාත්මක වූ හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් එච්. පී. සුමනසේකර නිලධාරීන් සමඟ එම ප්‍රදේශයට ගොස් සොයා බැලීමක නිරත වීය.

එහිදී අප මේ සම්බන්ධයෙන් හම්බන්තොට දිස්ත්‍රික් ලේකම්වරයාගෙන්ද අප මේ සම්බන්ධයෙන් විමසීමක් කළ අතර එහිදී ඔහු මෙලෙස පැවසීය.

අනවසරයෙන් පුද්ගලයන් කිහිප දෙනෙකු එකතු වෙලා මේ ප්‍රදේශයේ අක්කර තිහ හතළිහක පමණ භූමියක් සුද්ධ කරලා වැවක් හා කොටේජ් එකක් වගේ එකක් හදලා තියෙනවා. මේ වෙනකොට දේශපාලන අධිකාරීයෙන් පවා මා වෙත උපදෙස් ලැබී තිබෙනවා; මේ සම්බන්ධයෙන් සොයා බලා නීතිය ක්‍රියාත්මක කරන ලෙසට. ඒ අනුව වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවත් හා හම්බන්තොට පොලිස් අධිකාරී වරයාගේත් උපදෙස් පරිදි මීට අදාළ පුද්ගලයන්ට නඩු පැවරීමට කටයුතු යොදා තිබෙනවා. පුද්ගලයකුත් මේ වන විට අත්අඩංගුවට අරන් තියෙනවා. ඔවුන්ව නීතිය හමුවට ඉතිරිපත් කිරීමෙන් පසු ලැබෙන තීන්දු තීරණ අනුව අප ඉදිරි ක්‍රියාමාර්ග ගැනිමට බලාපොරොත්තු වෙනවා යැයි පැවසීය.

එමෙන්ම අප මේ සම්බන්ධයෙන් ලුණුගම්වෙහෙර අඩවි වන නිලධාරීවරයාද දුරකතනය ඔස්සේ සම්බන්ධ කරගත් අතර අප ඔහුගෙන්ද මේ සම්බන්ධයෙන් විමසීමක් කළ අතර එහිදී ඔහු තොරතුරු දැනගැනීමට නම් පැමිණ හමුවන ලෙස දන්වමින් සිය ජංගම දුරකතනය විසන්ධි කළේය.

කපා දමා ඇති ගස්

ප්‍රදේශයේ ජනතාව චෝදනා කරන්නේ අඩවි වන නිලධාරීන් අසරණ මිනිස්සුන්ට එක විදියකටත් මුදල් වැඩි වශයෙන් විසිකරන මුදලාලිලාට නීතිය තව විදියකටත් ක්‍රියාත්මක කරන බවත්ය. මෙම සිදුවීම සම්බන්ධයෙන්ද අවස්ථා ගණනාවකදීම වන සංරක්ෂණ නිලධාරීන් ඇතුළු වගකිවයුතු පාර්ශ්ව දැනුම්වත් කළත් ඒවා හරියට බීරි අලින්ට වීණා වයන්නාක් වගේ ය. අපි මේවාට කතා කළත් අපිට හෙට වෙන්නේ උසාවි පොලිසි ගානේ ලගින්නයි. ඒ නිසා නිලධාරීන්ට මේවායේ හරි වැරදි තේරෙන්නේ නැතිකොට ගමේ ඉන්න අපි මොනවා කරන්නද මහත්තයෝ යැයි ප්‍රදේශයේ වයෝවෘද්ධ අයකු අපත් සමඟ පැවසීය.

කෙසේ නමුත් අප තවදුරටත් මේ කැලෑ හෙළිකිරීම් පිළිබඳව සොයා බැලීමක නිරත විය. එහිදී අපට මෙවැනි තොරතුරු කිහිපයක්ද අනාවරණය විය. සියඹලාගස්වැව වැව ආශ්‍රිතව කලක සිට ප්‍රදේශයේ ජනතාව කුඹුරු ගොවිතැන් සිදුකර ඇති අතර ඊට යාබද ගොඩ ඉඩම්ද අල්ලාගෙන ඒවායෙහි හේන් වගා ද පවත්වාගෙන ගොස් තිබේ. එලෙස හේන් වගා පවත්වාගෙන ආ ඇතැම් පිරිස් මෙම ඉඩම් කැබලි විවිධ අය සඳහා අලෙවි කර තිබේ. එලෙස අලෙවි කළ ඉඩම් කැබලි කිහිපයක් අදාළ හෝටල් ව්‍යාපාරිකයා විසින්ද මිලදී අරගෙන ඇති අතර පසුව ඔහු විසින් ඊට යාබද ඉඩම් කැබලි කිහිපයක්ද අදාළ හෝටල් ව්‍යාපාරිකයා විසින් වනසංරක්ෂණ නිලධාරීන්ගේද සහාය ඇතිව අල්ලාගෙන සුද්ද කර තිබේ. එලෙස අල්ලා ගත් ඉඩමේ කොටසක අදාළ ව්‍යාපාරිකයා වැවක් ඉදිකර තිබුණේ සියඹලාගස්වැව වැවට වතුර යන ඇළ මාර්ගය හරස් කරමිනි. මේ හේතුව නිසා ප්‍රදේශයේ ගොවිතැන් කළ ජනතාව මේ සම්බන්ධයෙන් විරෝධය දැක්වීමත් සමඟ එහි උණුසුම් තත්ත්වය ඇතිව තිබේ. ව්‍යාපාරිකයාට ඉඩම් විකුණූ පුද්ගලයන්ද මේ වන විට අදාළ ව්‍යාපාරිකයාට විරුද්ධව නැඟී සිට තිබීමද විශේෂත්වයකි.

කෙසේ වෙතත් මෙලෙස කැලෑ ඉඩම් හෙළි කරමින් වන සිවුපාවුන්ගේ වාස භූමිද විනාශ කරමින් සිදුකරන ව්‍යාපෘති සම්බන්ධයෙන් වගකිවයුතු පාර්ශ්වයන්හි දැඩි අවධානයක් යොමු විය යුතු බව නම් ඉතා පැහැදිලි ය. එය එසේ නොවන්නට මතු දවසේ මහා රූස්ස ගස් කොළන් මෙන්ම වනාන්තර පද්ධතිය මෙරටින් තුරන්ව ගොස් කාන්තාරයක් වනු නොඅනුමානය.

බිම සකසන අයුරු


 

Comments