ප්‍රජා­ත­න්ත්‍ර­වා­දයේ මූලික අංගය මාධ්‍ය නිද­හස සුරැ­කී­මයි | සිළුමිණ

ප්‍රජා­ත­න්ත්‍ර­වා­දයේ මූලික අංගය මාධ්‍ය නිද­හස සුරැ­කී­මයි

 

සුගිය සතිය පුරා මෙරට දේශපාලන කරළිය උණුසුම් කළේ සුදුලූනු සම්බන්ධ පුවතයි. ඒ සම්බන්ධයෙන් රටට හෙළිදරව් කිරීම මාධ්‍ය වගකීමකි. කෙසේවෙතත් සුදුලූනු වංචාව සිදු කළ අය පසෙක සිටියදී එය හෙළිදරව් කළ මාධ්‍යවේදින් සී.අයි.ඩි. ය ට කැඳවීම ය. මෙය සදාචාරාත්මක මාධ්‍ය කලාවක් අගයන කිසිදු රටක සිදු නොවිය යුතු සිදුවීමකි. මේ සම්බන්ධයෙන් කතා කිරීමට පෙර මාධ්‍ය නිදහස සුරැකිමේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ සහ මාධ්‍යකරුවාට පැවැරී ඇති කාර්යභාරය සිහිපත් කළ යුතුය.

ලෝකයේ මාධ්‍ය කතිකාව පිළිබඳ සාකච්ජා කිරීමේදී එය ප්‍රජාතන්ත්‍රවාදය හා ගමන් කරන්නේ ද යන ප්‍රශ්නය මතුවීම නිසාම එක්සත් ජාතින්ගේ සංවිධානය ඒ සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් ප්‍රඥප්තියේ 18වැනි වගන්තියේ මේ පිළිබඳව පැහැදිලිව ප්‍රකාශ කරයි. රටක ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික සුදුසුකම එනම් මූලික සංලක්ෂ්‍යය ලෙස නිදහස් අදහස් ප්‍රකාශ කිරීම, ඒවා විග්‍රාහ කිරීම භාවිත කිරීමට ඇති අයිතිය ලෙස පිළිගෙන ඇත. මේ මූලික මානව අයිතිවාසිකම් පනත සම්මත වූයේ පසුගිය ශත වර්ෂයේ මුල් භාගයේ වන අතර එහි මුලින්ම අත්සන් කළ රටවල් අතරට ශ්‍රී ලංකාවත් අයත් වෙයි.

ඒ සමඟම ලංකාවේ මූලික ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවට මේ යෝජනාව 21වැනි වගන්තිය යටතේ ඇතුළත් කරනු ලැබිණි. කෙසේ වෙතත් මේ රටේ ආණ්ඩු ක්‍රම ප්‍රතිසංස්කරණ සිදුවූ 1972 සහ 1978 ජේ. ආර්. ජයවර්ධන විසින් කරන ලද ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ අනුව 21වැනි වගන්තිය යටතේ මාධ්‍ය නිදහස තව දුරටත් පුළුල් අර්ථයෙන් ඇතුළත් කෙරිණි. මේ තත්ත්වය යටතේ තව දුරටත් වර්ධනය කරමින් චන්ද්‍රිකා කුමාරතුංග ආණ්ඩු සමයේදී සාපරාධී අපරාධ නීතිය ඉවත් කිරීම මඟින් මේ මාධ්‍ය නිදහසට තවත් ඉදිරි පියවරක් තැබීමට හැකි විය.

මේ රටේ 1977 පසුව මැතිවරණවලදී ප්‍රධාන තේමාව බවට පත් වූයේ දූෂණය වංචාව සහ මාධ්‍ය සහ මාධ්‍ය නිදහසයි. විපක්ෂයේ සිටියදි සියලු දේශපාලන පක්ෂ මැතිවරණ වේදිකාවේදි දෙන ලද පොරොන්දුවක් නම් මාධ්‍ය නිදහස ආරක්ෂා කළ යුතු බවයි. එම අවස්ථාවෙදී පමණක් මාධ්‍යවේදින් සමඟ පුළුල් සංවාදයක නිරත වෙයි. පුවත්පත් සාකච්ඡා මාධ්‍ය සාකච්ඡා පවත්වයි. බලයට පත්වීමෙන් අනතුරුව ඊට ප්‍රතිපක්ෂව කටයුතු කරයි.

කෙසේ නමුත් තොරතුරු ඉදිරිපත් කිරීම පදනම් කරගෙන මාධ්‍යවේදීන් ඝාතනය වීම් අතුරුදහන් කිරීම දඬුවම් කිරීම වැනි කාරණා යටත් විජිත යුගයේ සිට අපට දක්නට ලැබෙයි. එහිදී මුල්වරට 1915දී ජාතිවාදි කෝලාහල පදනම් කරගෙන මෝනිං ලීඩර් පුවත්පතේ කර්තෘ හර්මන් ඩී. සූසා බන්ධනාගාර ගත කරනු ලැබූ ලේඛකයා ලෙස අපිට හමු වෙයි. ඉන් අනතුරුව කීර්තිමත් දේශපාලනඥයකු වන දොස්තර එස්. ඒ. වික්‍රමසිංහ ජනශක්ති පුවත්පතට ලිපි සම්පාදනය කළ ලේඛකයකු වූ අතර ඉංග්‍රීසි ආණ්ඩුවට තර්ජනය කරන ලද හේතුව පදනම් කර ගනිමින් බන්ධනාගාර ගත කරන ලදී.

තව ද නවශක්ති පුවත්පතේ කර්තෘවරයකු වූ ඊ. පි. යසෝදිස් ද බන්ධනාගාර ගත කරනු ලැබිණි. 1948 වර්ෂයේදී ඩේලිනිවුස් පුවත්පතේ කර්තෘ වූ එම්. ඒ. ජේ. හුළුගල්ල පුවත්පතේ පළවු ප්‍රවෘත්තියක් නිසා දින දෙකකට බන්ධනාගාරගත කරන ලදී. ජේ ආර් ජයවර්ධනයන්ගේ පාලන සමයේ දී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්මත කරන ලදී. ඒ අවස්ථවේදී එවකට ලේක් හවුස් ආයතනයේ ඔබ්සර්වර් පුවත්පතේ හිටපු කතුවරයකුට දඩ ගැසීමක් කරන ලදී.

මේ ආකාරයට බන්ධනාගාර ගත කළ අවස්ථා දිගින් දිගටම සිදු විය. නමුත් යටත්විජිත සමයේ එවැනි බන්ධනාගාරගත කරන ලද අවස්ථා නැත. විශේෂයෙන් තර්ජන බිය වැද්දීම්වලට අමතරව ජීවිතයෙන් වන්දි ගෙවන ලද අවස්ථා තිබිණි. 1981 පළමුවරට ලංකාදීප පුවත්පතේ විමල එස්. සුරේන්ද්‍ර නම් ජායාරූප ශිල්පියාව ප්‍රසිද්ධ කාන්තාවකගේ ඡායාරූප ගැනීම සම්බන්ධ චෝනාවක් අනුව මරාදමන ලදී.

ඉන් අනතුරුව 1992-1994 -1996 යාපනයේ මාධ්‍යවේදීන් තිදෙනෙක් ඝාතනයට ලක්වෙයි. 1987 දි රූපවාහිනී ආයතනයක නිදහස් මාධ්‍යවේදීන් 7ක් ඝාතනය කර ඇත. 1988 භිෂණ සමයේදී පුවත් ලේඛකයන් පරිවර්තකයන්, විචාරකයන් මාධ්‍ය හිමිකරුවන් 12ක් ඝාතනය කළ අවස්ථා දක්නට ලැබිණි. ඒ අවස්ථාවේ රටේ රජය මෙන්ම අවිගත් පිරිස් සහ සාම සාධක හමුදාව උතුරේ තරුණයන් දකුණේ කැරලිකාර පිරිස් යන සිවු කොට්ඨාසයම ඝාතන කටයුතුවලට සහභාගි වී තිබිණි.

1989 වර්ෂයේදී මාධ්‍යවේදීන්, ලේඛකයන්, මුද්‍රණාල ක්‍රියාකරුවන් සහ මාධ්‍ය ක්‍රියාකාරීන් ඝාතනය විය.

1990 දී රිචඩ් ද සොයිසා උතුරු ප්‍රදේශයේ ලේඛකයන් කිහිපදෙනෙක් ඝාතනය විය. එමෙන්ම 1991 දි මාධ්‍ය ක්‍රියාකරුවන් 5ක් ඝාතතනයට ලක්විය. පසුගිය දශක දෙකක තුනක කාලයක් තිස්සේ මාධ්‍යවේදීන්ට විවිධ තර්ජන, ගර්ජන හා ඝාතනය වීම්වලට ලක්වෙන්නට සිදුවිය.

මාධ්‍යවලට බලපෑම් කළ ආකාර කිහිපයක් වෙයි. එකක් ඍජුව නීතිය ක්‍රියාත්මක කිරීමෙන් මාධ්‍යවේදීන්ට කරන ලද බලපෑම්ද, දෙවැනි කාරණාව තර්ජනයන් කිරීම් ඝාතනයන් කිරීම් මඟින් මර්දනය කිරීමයි. දෙවැනි තුන්වැනි පරම්පරාවේ මාධ්‍ය ලියන කියන මාධ්‍යවේදීන්ගේ කැමරාව පෑන හඬ නිහඬ කිරීම මෙයින් සිදු වෙයි. අධිකාරිවාදී බලපෑම් මත විශේෂයෙන් 1988 1999 කාලවලදී අනුවර්ථ නාමවලින් ලිවීමට ආරම්භ කරන ලදී. නමින් ලිවීම ජිවිතවලට තර්ජනයන් විය. කාටුන් ශිල්පීන්ටත් මෙවැනි බලපෑම් කරන ලදී.

ඉතිහාසයේ සිට මාධ්‍යවේදීන් කාර්යාලවලට පොලිසිය හෝ රහස් පොලිසිය පැමිණිම රහස් පොලිසියෙන් මාධ්‍යකරුවන් කැඳවීම් සිදුවිය. එය මාධ්‍යකරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් යම් බලපෑමක් වෙයි. ඉක්බාල් අතාස් කරන ලද බලපෑම් මෙයට උදාහරණයකි. මේ තත්ත්වය වෙනස් විය යුතුයි.

මේ රටේ කනගාටුදායකම තත්ත්වය මාධ්‍යවේදීන්ට තර්ජනය කිරීම හා බොහෝ ඝාතනයන් අභිරහස් වීමයි. රජයේ අනුග්‍රාහය දක්වන මැර කණ්ඩායම්, ත්‍රස්තවාදින්, දකුණේ ජේවිපේ කණ්ඩායම් විසින් මාධ්‍යවේදීන් ඝාතනයන් සිදු කරන ලදී. කෙසේවෙතත් මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් කතිකාව පිළිබඳ පුළුල් සංවාදයක් ආරම්භ කිරිමට ආසන්න සිදුවිම සුදුලූනු වංචාව පිළිබඳ ප්‍රවෘත්තියයි. ඒ ප්‍රවෘත්තිය පළ කිරීම පාදක කරගනිමින් දිවයින අයිලන්ඩ් පුවත්පතේ, ලංකාදීප පුවත්පතේ දිවයින පුවත් පත් කර්තෘවරුන්ට සහ මේ ආදී වශයෙන් ප්‍රධාන පෙළේ කතුවරුන්ට නියමින් හෝ අනියමින් හඹාගෙන පැමිණ රහස් පොලිසියට කැඳවන්නේ නම් මේ හරහා ඇති කරන භීතිය සෙසු දෙවැනි පරම්පරාවක මාධ්‍යවේදින්ට සහ ප්‍රජාතන්ත්‍රවාදය ගරුකරන සමාජයකට දෙන ලද පණිවුඩය අතිශයින්ම භයානක තත්ත්වයකි. එහෙයින්ම මේ කාරණා පිළිබඳව අවධානය යොමු කළ යුතුයි.

මේ අවස්ථාවේදි බර්ටෝල්ඩ් බ්‍රෙස්ට්ගේ ප්‍රසිද්ධ කියමනක් සිහිපත් කළ යුතුයි. තමන්ට අනතුරක් නැති වුවත් එම අනතුර අසල්වැසියාට සිදු වුවහොත් එය අනිවාර්යෙන් තමන් කරාද එනු ඇත. මේ සිදුවීම ඒ සඳහා හොඳම උදාහරණයයි. ලද පළමු වැනි මොහොතේ එයට විරුද්ධ වන බවට ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන සියලුදෙනා විසින් සඥාවක් මේ මොහොතේ ලබා දිය යුතුයි.

අගමැතිවරයා හා ජනමාධ්‍ය ඇමැතිවරයා මැදිහත්වී මේ සිදුවීම පාලනය කරනු ලැබුවත් මාධ්‍ය සම්බන්ධයෙන් මෙවැනි සිදුවීම් යළි නොවිය යුතුයි. දුෂණය හා වංචාව ඉහවහා ගිය රටක මහ දවල් මහා බැංකුව මංකොල්ල කෑ රටක සුදුලූනු, පරිප්පු, සීනිවලින් ගසා කද්දී නිහඬ නොවිය යුතුය. මෙවැනි වසංගත අවස්ථාවල ඇන්ටිජන්වලින්, බෙහෙත්වලින් ගසා කෑමට උත්සහා කරන රටක මාධ්‍ය නිහඬ වුවහොත් ජනතාවට කුමක් සිදුවන්නේද?

මාධ්‍යයට ඉතිහාසයේ පුරා යම් බලපෑම් සිදුවී ඇත. මේ තත්ත්වය වෙනස් කිරීමට මාධ්‍යවේදීන් පමණක් නොව; ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන සියලු සිවිල් සමාජය මේ ලද සිදුවීම අවස්ථාවේදීම සංවිධානය විය යුතුයි; මාධ්‍ය නිදහසට බාධා කිරිම්වලට එරෙහි විය යුතුයි. එම නිදහස සුරක්ෂිත කිරිමට කතිකාවක් ගොඩනැඟිය යුතුය. දේශපාලඥයන් ගොඩනැගීමට මාධ්‍ය වේදීන් මැදිහත් වන්නාසේම ඔහු ගොඩනඟන මාධ්‍යවේදියා සහ මාධ්‍ය ආරක්ෂා කිරිමට දේශපාලඥයන්ගේ වගකීමයි. මෙතෙක් ඉතිහාසයේ සියලු බොහෝ රජයන් බලයට පත් වීමෙන් අනතුරුව මාධ්‍යවේදින්ට තර්ජන ගර්ජන හිංසා පිඩා කිරීම අතුරුදහන් කර පහරදීම් කර ඇත. මේ තත්ත්වය හෙළා දැකිය යුතුයි.

කෙසේවෙතත් මේ වනවිට මාධ්‍ය උණුසුම් කළ සිදුවීම් දේශපාලඥයන් මැදිහත් භාවයෙන් සිදු නොවිය යුතුයි. තොරතුරු හෙළිදරව් කිරීමේදී යම් ප්‍රශ්නයක් වේ නම් එයට නෛතික වශයෙන් ක්‍රියා කළ යුතුයි. ඒ සඳහා මාධ්‍යවේදින්ගේ කාර්යාලවලට රහස් පොලිසිය යැවීම හෙළා දැකිය යුතුය. ජනතාවට තොරතුරු ලබා දීමට මාධ්‍යයට වගකිමක් ඇත. ජනතාවට තොරුතුර සැඟවූ සමාජය රෝගී සාමාජයක් බවට පත්වෙයි.

හොඳම උදාහරණය තොරතුරු සැඟවීමේ ප්‍රතිඵලයක් ලෙස යාපනයේ ත්‍රස්තවාදය බිහි වීම සිදුවිය. අවසානයේදී ත්‍රස්තවාදය ගැටුමක් බවට පත් වී ජිවිත දහස් ගණනක් අහිමි විය. තොරතුරු ඉදිරිපත් කිරීමේදී සදාචාරාත්මක පුරුෂාර්ථ සාරධර්ම ආරක්ෂා වන ආකාරයට ඉදිරිපත් කිරීම මාධ්‍යකරුවන්ගේද වගකීමකි.

නිදහස් අදහස් ප්‍රකාශ ප්‍රකාශ කිරිමට යටත් විජිත යුගයේදී බන්ධනාගාරගත කිරීම වද හිංසා කිරීමෙන් ඇරඹෙන මේ මාධ්‍ය මර්දනය ක්‍රියාවලිය නිදහසින් පසුව ඝාතනය කිරීම් දක්වා වැඩි වර්ධනය වන ආකාරයක් දක්නට ලැබෙයි. විශේෂයෙන් 21 වැනි ශතවර්ෂය ආරම්භ වීමත් සමඟම එක්සත් ජාතීන්ගේ යුනෙස්කෝ සංවිධානය මාධ්‍යවේදීන්ගේ නිදහස පිළිබඳ කතිකාව පසුගිය සියවසේ ආරම්භ වීමත් සමඟ ඔවුන් ඉදිරිපත් කළ අදහස නම් මාධ්‍ය බහුවිධකරණය කිරිමයි, වැඩි දෙනෙකුට මාධ්‍ය අවකාශය විවර කළ යුතු බවයි.

සියලුදෙනාට පොදු මාධ්‍ය පවතින්නේ නම් තමන්ට අවැසි මාධ්‍යකරණයක නිරත විය හැකියි බවයි. එහිදී මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් හොඳ අවකාශයක් නිර්මාණය කර ගත හැකිවෙතැයි විශ්වාස කෙරිණි. මේ අනුව සමාජ මාධ්‍ය නිර්මාණය විම 21 වැනි සියවසේ සිදුවිය. සමාජ මාධ්‍ය සමඟ සියලුදෙනාටම මාධ්‍යවේදින් වීමේ අවකාශය හිමි විය. ඒ සමඟම බරපතළ මාධ්‍ය ආචාර්ය ධාර්මික ගැටලුන් මතුවිය. විකෘති කරුණු, වැරදි තොරතුරු, කුපිත වන තොරතුරු අසභ්‍ය අශ්ලීල තොරතුරු චරිත ඝාතනයන් සහ පළ නොවිය යුතු මාධ්‍ය සාරධර්මවලට පටහැනි ඡායාරූප වැනි දේ බුද්ධිමය දේපළ හොරකම් කිරීම වැනි අති විශාල ප්‍රශ්න මතුවෙයි. මේ අසභ්‍ය අශ්ලීල අසත්‍ය නිර්මාණය කරන තොරුතුරු නිසා මේ සමාජ මාධ්‍ය පිළිබඳව ඇති විශ්වාසය බිඳ වැටෙමින් පවති. සමාජ මාධ්‍යයට සියලු දේ පිළිබඳව නිදහසේ කතා කිරිමේ වැඩි අවකාශයක් තිබේ. ‍ඔවුන් ආචාර්ය ධර්මිකව කටයුතු කිරීමට අදාළ ප්‍රවෘත්ති පළ කරන්නන් වග බලා ගත යුතුයි. මාධ්‍යයට යම් ස්වයං වාරණයක් තිබිය යුතු සේම සමාජ වගකිම්වලින් බැඳි සිටිමින් මෙය කළ යුතුයි. මාධ්‍ය කළමනාකරණය කිරීම, ස්වයංවාරණයන් පුරුෂාර්ථයන් රැකීම් මාධ්‍ය විසින් පවත්වා ගත යුතු වෙයි. මේ තරුණ පරම්පරාවට පුහුණුවක් ලබා දියයුතු අතරම නව බහුවිධ භාව ඉවසමින් ගමන් කළ යුතු වෙයි. ඒ මාධ්‍ය හැසිරෙන්නන්ට වාරණය නොව මඟපෙන්වීම අවශ්‍යයි.

එසේම මාධ්‍යවේදීන් වාරණය පාලනය කිරීම නොව සදාචාරාත්මක මාධ්‍ය බිහි කිරිම පුරුෂාර්ථ රැකීම සඳහා දැනුම්වත් කිරිම කළ යුතුයි. වැරදි ක්‍රියාවන් හෙළි දරවු කරන මාධ්‍යවේදින් සොයා ගෙන ගොස් බලධාරීන් පැමිණිලිවලට අනුව පොලිසියට කැඳවීම නොව පුවත්පත් කන්තෝරුවවලට කඩා පැනීම හෝ නොවිය යුතුයි.

නඩු දැමීම හිංසනයනට පැමිණිවීම් ප්‍රතික්ෂේප කළ යුතුයි එක්සත් ජාතින්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුසිලයේ ලංකාවට විරුද්ධ ව ඉදිරිපත් කළ චෝදනා අතර ප්‍රධාන වශයෙන් ලේඛකයන්ට හා මාධ්‍යකරුවන්ට යම් හිංසනයන්ට පිඩනයන්ට ලක්වීම, නිදහස් අදහස් ප්‍රකාශ කිරිමට බලපෑම් කිරීම් සම්බන්ධයෙන් ඇති චෝදනාව සම්බන්ධයෙන්ද අපි රටක් ලෙස අවධානය යොමු කිරිම අවශ්‍යයි. මාධ්‍යවාරණය පාලනය, සිමා කිරීම අද නූතන යුගයේ අධිතාක්ෂණික යුගයේ යථාර්ථයක් නොවෙයි. ගෝලීය ක්‍රමවේදයක් තුළ විශ්වයම අතැඹුලක් බවට පත්ව ඇත.

පාලකයන්, නිලධාරීන්, දේශපාලකයන් මාධ්‍ය ක්‍රියාකාරීන්, මාධ්‍යෙව්දින් ඔවුනොවුන්ගේ සමාජ වගකිම් හඳුනා ගෙන තමන්ගේ වගකීම් ඉටු කළ යුතුයි.

Comments