කෝටි­පති ලෝ පතළ ඉංජි­නේ­රුවා මරු තුරු­ළට යැවූ සාහ­සික මෙහෙ­යුමේ ඇතු­ළා­න්තය | සිළුමිණ

කෝටි­පති ලෝ පතළ ඉංජි­නේ­රුවා මරු තුරු­ළට යැවූ සාහ­සික මෙහෙ­යුමේ ඇතු­ළා­න්තය

සමන් විජේසිරි
සමන් විජේසිරි

 

ලක් ගියත් පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (සීඅයිඩී) විමර්ශන නිලධාරීන්ගේ සූක්ෂ්ම විමර්ශනවලින් කිසිදු අපරාධකාරයකුට ගැලවීමක් නොමැති වග පසුගිය දිනවල සීඅයිඩීය අනාවරණය කරගත් සුවිශේෂ වූ අපරාධ විමර්ශනවලින් ගම්‍ය වන සත්‍යයයි.

ඉකුත් 11 වැනිදා 2017 වසරේදී ඝාතනය වූ ප්‍රකට ව්‍යාපාරික ගුලාම් හුසේන්ගේ ඝාතන අපරාධයද අනාවරණය කරගත් සීඅයිඩීය පසුගිය 24 වැනිදා තවත් එවැනිම කිසිදා අනාවරණය නොවෙතැයි සිතා සිදු කළ ඝාතන අපරාධයක් වෙනුවෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත්තේය. ඒ, හලාවත, කාක්කපල්ලිය, ඉඳිගොඩවිල පදිංචිව සිටි කෝටිපති ව්‍යාපාරිකයකු මෙන්ම ලෝ ප්‍රකට වරලත් ඉංජිනේරුවකු වූ 63 හැවිරිදි වියේ පසුවූ වීරබද්ධරාලලාගේ සමන් විජේසිරි නමැත්තා 2018 ඔක්තෝබර් 12 වැනිදා සිට අතුරුදන්වී ඇති බවට ලැබුණු පැමිණිලි ඔස්සේ සිදුකළ විමර්ශනයක අනුවයි. එලෙස අත්අඩංගුවට ගැනුණේ 55 හැවිරිදි ජෙරාඩ් ලින්කන්ද මෙල්, රුවන් චන්දන සහ නිහාල් දේවප්‍රිය නමැති තිදෙනෙකි. ඔවුනගේ පාපෝච්චාරණයෙන් සමන් විජේසිරිට සිදුව ඇත්තෙ කුමක්ද යන්න මේ වන විට සීඅයිඩීය අනාවරණය කරගෙන තිබේ.

දරුවන් නොසිටි සමන් ඔහුගේ කෝටි ගණනක දේපළ තමන් දැඩි සේ ආදරය කළ දරුවකුගේ නමට ලිවීමට කටයුතු කර ඇත. මේ ගැන සැලවීමත් සමඟ සමන්ගේ එම දේපළ ලබා ගැනීමේ අටියෙන් 2018 ඔක්තෝබර් 12 වැනිදා සන්ධ්‍යාවේ සාදයකට යැයි පවසා සමන්ව කැඳවා එහිදී ගෙල සිරකර ඝාතනයකර ඔහුගේ සිරුර හලාවත කලපුවක මඩෙහි සැඟවූ බව තිදෙනාගෙන් හෙළි වී අවසානය. පසුගිය බ්‍රහස්පතින්දා එම කලපු ප්‍රදේශය සෝදිසි කරමින් සිරුරු කොටස් සෙවූව ද හමු වූයේ නැත.

              සමන් විජේසිරි දිවි ගෙවූ ඉදිගොඩවිල තෙමහල් නිවෙස

අත්අඩංගුවට ගැනුණු ජෙරාඩ් ලින්කන් මෙහි ප්‍රධාන සැකකරුවා වේ. ඔහු සමන් විජේසිරිට අයත් මෝටර් රථ සර්විස් කිරීමේ ආයතනයක් කුලී පදනම මත පවත්වාගෙන ගිය හලාවත, කුරුඳුවත්තෙ පදිංචිකරුවෙකි. ඔහුට සහෝදරයන් සහෝදරියන් කිහිපදෙනෙකි. ඒ සියලු දෙනා ද විදේශවල වාසය කරන බවත් ඔහුගේ බිරිය සහ දරුවන් තිදෙනාත් ඉතාලියේ වෙසෙන බවකි. ලින්කන්ද වසර තිහක පමණ කලක් ඉතාලියේ සිට කලෙකට පෙර මෙරටට පැමිණියේය.

ඔහු සමන් ඝාතනයට පෙර දිනයක් යොදා මාරවිල ප්‍රදේශයේ නීතිඥයකු මාර්ගයෙන් ව්‍යාජ ඇටෝර්නි බලපත්‍රයක් සකසා සමන්ගේ කෝටි ගණනක දේපළද පවරාගෙන තිබිණි. එමඟින් ඔහුට එම දේපළ ඕනෑම අවස්ථාවක විකුණා දැමීමේ බලයද පවරා ඇත. එම නීතිඥවරයාද අත්අඩංගුවට ගැනීමට මේ වන විට විමර්ශන සිදු කෙරේ. සමන්ට මෑතකදී හමුවූ පුද්ගලයෙක් වන ලින්කන්ට එලෙස සියලු දේපළ පැවැරීම පිළිබඳව සමන්ගේ සහෝදරයන්ට පැන නැඟී ඇත්තේ දැඩි සැකයකි.

දෙවැනි සැකකරු රුවන් චන්දනද ලින්කන් සමඟ වාහන සේවා ආයතනය පවත්වාගෙන යාමට සහාය වූවෙකි. තෙවැනි සැකකරු නිහාල් දේවප්‍රිය සමන්ගේ ඥාති පුත්‍රයෙකි. ආයෝජන මණ්ඩලයේ විධායක නිලධාරියකු වන නිහාල්ට කුඩා කාලයේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් බොහෝ බරපැන දරා ඇත්තේත් ඝාතනය වූ සමන්මය. එසේම සමන්ට අයත් ජාඇළ ප්‍රදේශයේ කෝටි ගණනක වටිනා ගොඩනැඟිල්ලක් බලාගෙන තිබුණේත් නිහාල්ය.

සමන්ගේ ඝාතනයට ආධාර අනුබල දුන් සැකකාර නිහාල් සමන්ගේ ඝාතනයෙන් පසු 2019 මැයි 28 වැනිදා යූඑල් 225 දරන යානයෙන් සමන් නැවතත් විදේශගතවී ඇති වග හැඟවීමට කටුනායක ගුවන් තොටුපොළ දත්ත පද්ධතියට ව්‍යාජ තොරතුරු ඇතුළත් කිරීමේ සැලැස්ම ක්‍රියාත්මක කොට තිබුණේය. ඒ සඳහා ගුවන් තොටුපළේ ආගමන විගමන නිලධාරියකුට රුපියල් ලක්ෂ එකහමාරක මුදලක්ද දී ඇත. ඊට සම්බන්ධ ආගමන විගමන නිලධාරින්ද අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදු වේ.

එසේම සමන් විදෙස්ගත වූ බව හැඟවීමට ප්‍රධාන සැකකාර ලින්කන් ඉතාලියට ගොස් සමන් එවනා ආකාරයෙන් සමන්ගේ සමීපතමයන් කිහිප දෙනෙකුටත් සෙසු සැකකරුවන් දෙදෙනාගේ ජංගම දුරකථනවලටත් කෙටි පණිවිඩ එවා තිබුණේ ‘මම පිටරට ඉන්නවා... මගේ දේපොළ විකුණලා තියෙන ණයතුරුස් ගෙවලා දාන්න...‘ආදි ලෙස බේගල් ඇද බාමිනි. ඒ සමන් විදෙස්ගතව සිටිනා ආකාරයේ චිත්‍රයක් ඥාතින්ට මවා පෑමටයි. මෙකී සැකකරුවන් තිදෙනා සමන් සමඟ නිතර කාබී විනෝද වූ පිරිසකි. එවැනි සාදයන්හිදී අතදිග හැර මුදල් වියදම් කර තිබුණේ සමන්ය. දිනක් සැකකාර ඥාතියා සමන්ගෙන් විමසා ඇත්තේ දරුවන්ද නොමැති හෙයින් දේපළවලට සිදුවන්නෙ කුමක්ද යන්නයි. එදින සමන් ප්‍රකාශ කර ඇත්තෙ,

“මං ආදරයෙන් හදාගන්න පොඩි එකාට මේ සේරම දෙනවා... මං හෙට අනිද්දා රට ගිහිල්ලා එනවා... ආවට පස්සෙ ඒ දේ කරනවා...“

සමන්ගේ එවැනි ප්‍රකාශත් සමඟ ඔහුව ඝාතනය කිරීමට ලින්කන් විසින් සියලු සැලැසුම් සකස්කර ලින්කන්ගේම නිවෙසේදී සාදයක් පවත්වා එදින සමන්ගේ ගෙළ සිරකොට ඝාතනය කිරීමෙන් පසු කලපුවේ සඟවා ඇති බවට හෙළි විය.

ඝාතනය වූ සමන්, හලාවත විසුවත් ඔහු බිංගිරියේ, පානවැවදී 1955 වසරේ ජනවාරි 07 වැනිදා උපන්නෙකි. ඔහුට වැඩිමහල් සහෝදරියන්ම සය දෙනෙකි. ඉගෙනීමට හපනෙක් වූ සමන් සඳලංකාව මධ්‍ය මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරා ශිෂ්‍යත්වය සමත්ව කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයට ඇතුළත් වන්නෙ වැඩිදුරට අධ්‍යාපනයටයි.

උසස් පෙළ විභාගයෙන්ද ඉහළින් සමත් වන ඔහු අනතුරුව මොරටුව, කටුබැද්ද විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයට ඇතුළුව ඉංජිනේරු උපාධිය ලබාගත්තේය. සමන් මුල්ම රැකියාව ලෙස මහඉලුප්පල්ලම කෘෂි පර්යේෂණ ආයතනයේ පර්යේෂණ අංශයට එක්විණි. එහිදී ඔහු විසින් නිපදවූ ‘මරුයාමා‘ ගොයම් කපන යන්ත්‍රය නිසා සමන්ගේ නාමය අන්තර්ජාතිකවද ප්‍රචලිත විය. ඒ සමඟම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිතයකු ලෙස එක්වූ සමන් සැම්බියාව, ඇෆ්ගනිස්ථානය, බෘනායි, ඔස්ට්‍රේලියාව වැනි රටවල් රැසක සේවයට ගියේය.

ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ලත් සමන් බ්‍රිස්බේන් නගරයේ පිහිටි ක්වින්ස්ලන්ඩ් විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියද හැදෑරීය. ඒ අතර කාලයේදී හටගත් ප්‍රේම සබඳතාවක් මත සමන් ජපන් තරුණියක් හා විවාහ වූයේය. ඇය සමඟ සමන් වසර 12ක්ම ඕස්ට්‍රේලියාවේ ගත කළහ. ඕස්ට්‍රේලියාවේදී පෑ හපන්කම් නිසා සමන්ට ඕස්ට්‍රේලියානු රජය විසින් ඕනෑම රටකට ගමන් කිරීම සඳහා වීසා බලපත්‍රයක්ද නිකුත්කර තිබුණේය.

සමන් තම සහෝදර සහෝදරියන්ට දැඩි සේ හිතෛෂිවන්තයකු විය. ඔහු නිරතුරුවම මෙරට සහෝදරයන් ගැන සොයා බැලීය. අතමිට මුදල් සරු වෙද්දී සමන් විසින් බිංගිරිය, බෝඅත්ත ප්‍රදේශයෙන් විශාල ඉඩමක් මිලටගෙන සුඛෝපභෝගී නිවෙසක්ද ඉදිකොට සිය මව සහ පියා එහි නතර කෙරුණේ සහෝදරියක්ද සමඟිනි.

සමන් කිහිප වරක්ම ජපන් ජාතික බිරිය සමඟ මෙරටටද පැමිණියේය. ඒ පැමිණි සෑම විටෙකදීම ඔහු සිය මව පියා සහ සහෝදර සහෝදරියන්ට නොසෑහෙන ලෙස යුතුකම් ඉටුකර තිබුණේය. මේ අතර කාලයේදී සමන් ඕස්ට්‍රේලියාවේ පදිංචිය අතහැර මෙරට පදිංචියට ඒමට තීන්දු කළේය. එහෙත් ඔහුගේ බිරිය ඊට කැමැත්තක් නොදැක්වුවාය. ජපන් ජාතික බිරියගෙන් සුහදව දික්කසාද වී මෙරටට පැමිණි සමන් බිංගිරිය, ඌරාවත්ත, රන්බිම ප්‍රදේශයෙන් අක්කර පනස්අටක පොල් ඉඩමක් මිලදීගෙන සුඛෝපභෝගී නිවෙසක් ඉදි කළේය.

එම ඉඩම බලා කියාගෙන ආරක්ෂාව සැපයීමට දරුවන් දෙදෙනෙකුගෙන් යුත් ප්‍රියන්ත නමැත්තා ගෙන්වාගත් සමන් ඔහුට එම ඉඩමේම පදිංචිය සඳහා නිවෙසක්ද ඉදිකර දුන්නේය. එසේම ඔහුගේ දරුවන් දෙදෙනා ජාත්‍යන්තර පාසල්වලට යොමුකොට ඉගැන්වීමටද සමන් කටයුතු කළේය. සමන්ට දරුවන් නොමැති හෙයින් එකී දරුවන්ට ඔහු දැඩි සේ ආදරය කළේ තමන්ගේම දරුවන් විලසිනි. ඔහුගේ දේපළ ලිවීමට සූදානමක් තිබී ඇත්තේත් එකී දරුවකුට බව සැල වේ.

ඝාතනයට වසර 6කට පමණ පෙරදී අක්කර පනස්අටේ පොල් ඉඩම විකුණා දැමු ඔහු හලාවත ප්‍රදේශයට පදිංචියට ආවේය. ඒ, හඳුනාගත් තැරැව්කාරයෙක් මඟින් ඉඳිගොඩවිල ඉඩම මිලටගෙන තෙමහල් ගොඩනැඟිල්ලක්ද ඉදිකරමිනි. සමන් ඝාතනයට ලක්වන විට පදිංචිව සිටියේ එකී නිවෙසේයි.

එහි ඉහළ මහල සමන්ගේ පදිංචියට යොදා ගනිද්දී බිම් මහල මෝටර් රථ සර්විස් කිරීමේ ආයතනයක් සඳහා යොදාගත්තේය. තවද පුත්තලම් - හලාවත මාර්ගයේ ඉඩමක්ද මිලට ගත් සමන් එම ඉඩමේත් තෙමහල් ගොඩනැඟිල්ලක් ඉදි කළේය. එහි බිම් මහලේ කොටසක මුරකාර ප්‍රියන්ත පදිංචි කළේ ඔහු ඒ වන විට සමන්ගේ දැඩි හිතෛෂිවන්තයකුව සිටි හෙයිනි. එසේම ප්‍රියන්තට එම ගොඩනැඟිල්ලෙහිම වෙළෙඳසලක් ආරම්භ කර දීමට තරම් සමන් පරිත්‍යාගශීලියකු විය.

මේ අතර සමන්ට ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ රැකියාවක් ලැබිණි. එම නිසා සිය නිවෙසේ පහත මාලයේ වූ වාහන සේවා ආයතනය පවත්වාගෙන යාමට හලාවත ප්‍රදේශයේම වෙසෙන සමන් මෑතකදී හඳුනාගත් ඉතාලියේ සිට පැමිණි ජෙරාඩ් ලින්කන් නමැත්තාට කුලි පදනම මත බාර දුන්නේය. ජෙරාඩ් හරහා සමන්ට හලාවත ප්‍රදේශයේ තවත් බොහෝ පුද්ගලයන් මිතුරු ඇසුරට වැටිණි. එම පුද්ගලයන්ද සමන්ගේ දැඩි හිතෛෂීන් වීමට එතරම් කලක් ගොස් නැත්තෙ සමන්ගේ වූ අතදිගහැර වියදම් කිරීමේ ක්‍රමය නිසාවෙනි. එලෙස විසූ සමන්ගේ ජීවිතයේ ඉරණම් ගමන තීන්දූ වූ දිනය උදා වූයේ 2018 ඔක්තෝබර් 12 වැනිදායි. එදින පෙරවරුවේ ප්‍රියන්තගේ දරු දෙදෙනා හලාවත ජාත්‍යන්තර පාසලටද ඇරලවූ සමන් එදින සවස තමන්ගේ ඉදිගොඩවිල නිවෙසට දරුවන් කැඳවාගෙන යන බවද පවසා තිබුණේය. ඒ අනුව එදින සවස සමන් දරු දෙදෙනා කැටුව හලාවත නගරයටද ගොස් නැවත ප්‍රියන්තගේ වෙළෙඳසලට පැමිණ තේ පානය කරමින් සිටියේය. ඒ අතර ඔහුට දුරකථන ඇමැතුමක් ලැබීමත් සමඟ දරුවන් රැගෙන යාමට නැවත පැමිණෙන බව පවසා ප්‍රියන්තගේ වෙළෙඳසලෙන් නික්ම ගොස් තිබුණේය. එහෙත් ඔහු දරුවන් රැගෙන යාමට පැමිණියේ නැත. ඒ අතරේ සවස් යාමයේ සමන්ගේ සහෝදරියක්ද සමන්ට දුරකථන ඇමැතුමක් ගෙන ඔහු සිටි ඉසව්ව ගැන විමසා තිබුණේය. ඒ, සමන් සමඟ සිය සහෝදරියක වෙසෙන මොරටුව නිවෙසට යාමේ අටියෙනි.

සමන් ඇයටද කියා තිබුණේ සාදයක සිටින බවත් රාත්‍රී යාමයේ කතා කරනා බවත් ය. එහෙත් ඔහු සොහොයුරියට කතා කර තිබුණේ නැත.

පසුදා එනම් 13 වැනිදා අලුයම පහට පමණ ප්‍රියන්ත සමන්ගේ නිවෙසට ගියේය. ඒ, පෙර දිනකදී සමන් දුන් පණිවිඩයක් අනුවයි. එහෙත් ඔහු විසූ තෙවැනි මහලෙන් සමන් සිටිනා සේයාවක්වත් නොවීය. ඒ අතරේ සමන්ගේ මෝටර් රථය පැමිණියේ මඩ ගොහොරුවක ගොසිනි. ප්‍රියන්ත පුදුමයට පත් වූයේ සිය හාම්පුතා සමන් නොමැතිව රථය පැමිණීමත් එහි වූ මඩ ගොහොරුවත් දුටු විටයි. එය පදවාගෙන ආවේ වාහන සර්විස් ආයතනය පවත්වාගෙන ගිය ලින්කන්්ය. ප්‍රියන්ත විමසුවේ සමන් ගැනයි. ඔහු ගත් කටටම කීවේ,

“මං දන්නෙ නෑ... උඩ නිදි ඇති... මං මේ කාර් එක ඉල්ලගෙන පාටියකට ගියා...“ කියාය.

එහෙත් පසුව සමන් නිවෙසේ නොමැති වග සිදු කළ පරීක්ෂා කිරීම්වලදී හෙළි විණි. ප්‍රියන්ත සහ සමන්ගේ සහෝදරයන් ඔහුව සෑම තැනෙකම සෙවූහ. ප්‍රියන්ත, සමන්ගේ හිතවතුන් බොහෝ දෙනෙකු හමුවී සමන් ගැන විමසූහ. එලෙස දින කීපයක් ගතවෙද්දී සමන්ගේ ඉඩම් තැරැව්කාරයා ප්‍රියන්ත සොයා ආවේය. ඔහු ප්‍රියන්තට කීවේ සිය හාම්පුතාගේ හිතවතෙක් සමන්ට අයත් හලාවත ඉඩමක් විකුණා දෙන ලෙස පැවැසූ බවයි. ඉන් ප්‍රියන්ත තැති ගත්තේය. ඒ අනුව ඔහු හාම්පුතාගේ අතුරුදන්වීම පිළිබඳව හලාවත පොලිසියට පැමිණිලි කළේ 2018 ඔක්තෝබර් 18 වැනිදායි.

පොලිස් විමර්ශන සිදුවෙද්දී සමන් පිළිබඳ නොයෙක් කතා පැතිරෙන්නට විය. ඔහු විදෙස්ගතව ඇති බවත් සමන්ගේ හිතවතුන්ට ඒ බව එස්එම්එස් මඟින් දැනුම් දී ඇති බවත් සඳහන් විණි. ඒ අතරේ සමන්ගේ කෝටි ගණනක දේපළ ව්‍යාජ ඇටෝර්නි බලපත්‍රයක් මඟින් ජෙරාඩ් ලින්කන් නමැති මෝටර් රථ සර්විස් ආයතනය කුලි පදනම මත පවත්වාගෙන ගිය පුද්ගලයා පවරාගෙන ඇති බව හෙළි විණි.

කෙසේ හෝ හලාවත පොලිසිය සහ හලාවත කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය සිදු කළ විමර්ශන ඔස්සෙ සමන්ගේ අතුරුදන් වීම පිළිබඳව පුද්ගලයන් 50කට අධික පිරිසකගෙන්ද ප්‍රකාශ සටහන් කරගෙන දුරකථන දත්ත විශ්ලේෂණ ඔස්සේද විමර්ශන සිදු කෙරිණි. පසුගියදා සීඅයිඩීය අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනාද එම විමර්ශනවලදී අත්අඩංගුවට ගත්තත් ප්‍රකාශ සටහන් කරගෙන සාක්ෂි නොමැතිකමින් මුදාහැර තිබිණි.

අනතුරුව මේ පිළිබඳ විමර්ශන එවකට හලාවත කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාව සිටි සුරන්ජන් කුමාරපේලි විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කෙරිණි. එහෙත් පාස්කු ප්‍රහාරයත් සමඟ එකී විමර්ශන අඩාළ වී තිබිණි.

ඒ අතර 2020 වසරේදී සමන්ගේ අතුරුදන් වීමත් පොලිස් විමර්ශන අඩාළ වීමත් පිළිබඳ සමන්ගේ සහෝදරියකගේ සැමියා වන ජයවීර නමැත්තා පොලිස් කොමිසමට පැමිණිලි කෙරිණි. එම පැමිණිල්ල පොලිස් කොමිසමේ සභාපති හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු විසින් පොලිස්පතිවරයාට යොමු කෙරිණි. පොලිස්පතිවරයා විසින් විමර්ශන බාර කෙරුණේ සීඅයිඩීය බාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහටයි. නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් සීඅයිඩීයටම අනුබද්ධ මෑතකදී ස්ථාපිත මිනීමැරුම් සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ ප්‍රධාන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි හේමාල් ප්‍රශාන්ත වෙත එම විමර්ශන බාර කෙරිණි.

ඒ අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් මත එම ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මංජුල සිල්වා ප්‍රමුඛ කණ්ඩායමක් මේ පිළිබඳ පුළුල් විමර්ශනයක් ඇරැඹිණි. එකී නිලධාරින් සිදු කළ සූක්ෂ්ම විමර්ශනයෙන් හලාවත පොලිසියෙන් ගැලවුණු සැකකරුවන් තිදෙනාට මෙවර ගැලවී යාමට කිසිදු ඉඩක් නොවිණි. ඔවුන් තිදෙනා සමන්ට කළ අපරාධය අනාවරණය කළේ තවත් ඛේදනීය අපරාධයක සුලමුල හෙළි කරමිනි.

ඡායාරූප - මිහිර විජේසේකර

Comments