කොරෝනා අස්සේ ඩිලිවරි යුද්දේ | සිළුමිණ

කොරෝනා අස්සේ ඩිලිවරි යුද්දේ

ඩිලිවරි තරුණ තරුණියන් පිරිසක් සිළුමිණ සමඟ අදහස් දක්වමින්
ඩිලිවරි තරුණ තරුණියන් පිරිසක් සිළුමිණ සමඟ අදහස් දක්වමින්

 

කාලයේ තාලයට වෙනස්වන ලෝකයේ කොළොම්පුරයේ සේම පිටපළාත්වල පවා සෑම තරාතිරමකම ජනතාව නිවසේම තුන්වේල සඳහා ආහාර පිළියෙල කරගන්නවාට වඩා එක් වේලක් හෝ එළියේ කඩවලින් ගැනීමට පුරුදුව සිටිති. මේ යුගයේ ජංගම දුරකථන ඇප් හරහා ඇණවුම් කරමින් ආහාර නිවසටම ගෙන්වා ගැනීමේ කලාවට ඇතැම් පිරිස් පුරුදුව සිටිති. පික් මී, ඌබර් ඊට්ස්, ඩොමිනික් පීසා මඟින් ඇණවුම් කරමින් අගනගරයේ ඉහළ මට්ටමේ ආහාර සැකසුම් හල් වෙතින් උණු උණු කෑම වේලක් විනාඩි කිහිපයක් ඇතුළත ගෙදරට ගෙන්වාගෙන රසවිඳිති. මෙහිදී පවුලටම සරිලන පරිදි පෝෂන් එකක් මිලදී ගන්නා අතර, ඇතැමුන් දවල්ට ඇණවුම් කරන ආහාරවලින් ටිකක් රාත්‍රියටත් ඉතිරිකර ගනිමින් මුදල් ද ඉතිරි කර ගනිති. හැම දෙයක්ම මිල අධික මේ කාලේ ගෙදර උයනවට වඩා හෝටල් කෑමෙන් වේල පිරිමහගැනීම සමහරුන්ට වැඩි වාසි ගෙනදෙයි. පික් මී, ඌබර්, පීසා කෑමවල සිත් ඇදගන්නා පෙනුමට, රසයට සමහරු බොහෝ සේ ඇලුම් කරති.

 

ඉස්සර නම් කොළොම්පුරේ වුවත් පික් මී ඌබර් ඩොමිනික් පීසා ආහාර ගෙනියන යතුරුපැදියක් ත්‍රිවිලරයක් දක්නට ලැබුණේ කලාතුරකින් වුවත් දැන් දැන් කොළඹ හා මරදාන ප්‍රදේශයේ නම් සෑම විනාඩි 15 - 20 මෙම කෑම රථයක් පාරේ ගමන් කරනු දැකීම සුලභ දසුනකි. ඇතමුන් විදුලි වේගෙන් මා පසු කර යති. නැවැත්තුවත් මා සමඟ කථාකරන විනාඩි ගණනට වඩා ඔවුන්ගේ රැකියාව ඔවුන්ට වටිති. මේ ඩිලිවරි රයිඩර්ස්ලා පුදුම හදිස්සිකාරයෝය. වචනයක් දෙයක් අහුලා ගැනීමට පස්සේ දිව යා යුතුයි. ඩිලිවරි කරන අතර අල්ලා ගන්නේ ඔවුන්ගේ වේගයෙන්ම යතුරුපැදියෙන් ඔවුන් ලුහුබඳිමිනි. ආහාර ඇණවුම් භාර ගැනීමට ආහාර සැකසුම්හල් වෙතට පැමිණියද එතන රැඳෙන්නේ ද විනාඩි කිහිපයකි. එනම් සකසා ඇති ආහාර පැකට්වලට දමා දෙන විරාමය පමණකි. නිදහසේ කථා කළේ ඕඩරයක් නිමා කර ඊළඟ ඕඩරය එනතෙක් බලාසිටි කිහිපදෙනෙක් පමණි.

මරදාන, නොරිස් කැනල් පාර ෆුඩ්සිටිය අසල පිහිටි ආහාර සැකසුම් හල අසල කෑම ඇණවුම් ලබා ගැනීමට පැමිණි කීපදෙනෙකි. මේ රයිඩර්ස්ලා සියල්ලන්ම පාහේ තරුණ පිරිමිය. ඉස්සර නම් කාන්තා රයිඩර්ස්ලා බොහොමයක් සිටියද රැකියාවේ ඇති දුෂ්කරතා නිසාම, දැන් ක්ෂේත්‍රයේ සිටින්නේ තරුණ කතුන් කීපදෙනෙක් පමණි.

යතුරුපැදි ධාවනයේ සුරුකම් පාන්නියක වීම, යතුරු පැදියක් තිබීම හා අභියෝග දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුවීම, ජංගම යෙදවුම් ඇප් භාවිතයේ හැකියාව තිබිය යුතුවීම ආදිය නිසා ඩිලිවර් රයිඩර් වෘත්තිය ද කාන්තාවකට දුෂ්කර රැකියාවකි. එහෙත් වෙනත් රැකියාවක් කරන අතරතුරද මෙම වෘත්තියේ යෙදෙන කතුන් කීපදෙනෙකු සිටීම ලාංකික කතුන්ගේ අභිමානය කියාපායි. තමන්ගේ යතුරු පැදියෙන් නිදහස් වෘත්තියක නිරත වෙමින් ආදායමක් ලැබීමේ හැකියාව තිබුණද බොහෝ දෙනෙක් පැවසුවේ මේ රැකියාවේ පහසුකම් වලට වඩා දුෂ්කරතාය. රුපියල් සත සොයා අන් අයගෙන් ඇසීමට සිදුවන දොස් පරොස් ගැනය. මහමඟ සිටින සතා සිවුපාවාගෙන් පවා සිදුවන ගැහැට ගැනය.

මාලිගාවත්තේ පදිංචි බසීර්ඩීන් මොහොමඩ් රිකාස් (32) ඌබර් ඊට්ස් ආහාර ගෙනයන තරුණයෙකි. තමන් ජංගම යෙදවුම හා සම්බන්ධ වූ මොහොතේ සිට, සිටින ළඟම තැනට ඕඩරය වදින අතර දිනකට රු. 2000 පමණ උපයාගත හැකි බව පවසයි.

ඩිලිවරි රයිඩර්ස්ලා මගින් කෑම ඇණවුම් වලට අමතරව, බීම වර්ග, ග්‍රොසරි, බෙහෙත් හා තවත් බොහෝ දේ නිවසටම ගෙන ගොස් දෙන බව පැවසීය.

“අපිට ඕඩරේට මුදල් එකතු වෙන්නේ ටික ටික. ඕඩර් වදිද්දි රු. 3ක්. පිකස් එකට තව රුපියල් ගාණක්. දවල්ට කි. මීටරේට රු. 15ක්. රෑට වැඩියි. ඩිලිවරියේ දුර අඩු වුනොත් වාසියි. දුර වැඩිනම් පාඩුයි. මධ්‍යම පාන්තිකයින් තමයි වැඩිපුර ඕඩර්ස් දාන්නේ. රෑට පාරේ බල්ලෝ එළවනවා. ඕඩරේ ගෙදරට දීලා එද්දි ෆෝන් එක හොරකම් කරනවා. බයික් එක උඩ තියලා යන්නේ ලේසියට. සමහර පාරවල ලයිට් නෑ. හොරු බඩුයි ෆෝන් එකයි ගෙනියන අවස්ථා තියනවා. පොලිසි ගිහින් හොයාගන්න අමාරුයි. ෆෝන් එකක් ගන්නකම් ආයේ ජොබ් එකත් නෑ. හරියට කර ගත්තොත් පවුලක් නඩත්තු කළ හැකියි.“

මරදානේ පදිංචි මාස් අර්ෂාන් (31) දවසකට රු. 2000 - 3000 උපයන තරුණයෙකි. මේ ඔහුගේ හඬ.

“කලින් රැකියාවට වඩා පික්මී මේ රැකියාව නිදහස්. ඕෆ් ලයින් ඉන්නවා වැඩ කරන්න අමාරුනම්. ඕඩර් එකක් අරන් ගියාම කියූ තැනට කස්ටර්මර් ආවෙ නැත්නම් අපි 3 පාරක් කෝල් කරනවා. විනාඩි 10 විතර බලලා කැන්සල් කරලා ආපහු යනවා. එතකොට අපිට පාඩුය්. මේ බිස්නස් එකේදි කාලය වැදගත්. ගෙවෙන කාලයට වැඩි ඕඩර් ප්‍රමාණයක් හොයාගත යුතුයිනේ.

මට්ටක්කුලියේ මොහොමඩ් නජීම් මොහොමඩ් නසාර්ඩීන් (28) මට හමුවූයේ වෝඩ් පෙදෙසේ සෙන් සැල් අසලදීය.

“මම චාටඩ් කරලා ගණකාධිකාරී රැකියාවක් කරන අතර මේ බිස්නස් එකත් පාට් ටයිම් කරන්නේ. රැකියාවෙන් මසකට රු. 70,000ක් උපයනවා. මම වැඩ කරන්නේ හවස 6.00 - 10.00 අතර. දවසකට රු. 1500 හොයනවා. දවසම වැඩ කළොත් රු. 4500ක් හොයනවා. මේ බොක්සර් බයික් එකේ පෙට්‍රල් ලීටරයකට කි.මී. 75ක් දුවන්න පුළුවන්. රු. 500ක පෙට්‍රල් ගැහුවොත් දින දෙකක් දිවිය හැකි. විවාහ වෙලා. දරුවෝ දෙන්නයි.

ඌබර් ඊට්ස් දුවන තවත් අයෙක් මට නම හෙළි නොකළත් ලිපියට තොරතුරු ලබා දුන්නේය.

“මම ඩුබායිවල ෆ්ලෝ සුපවයිසර් හිටියේ. කස්ටර්මස්ලා හැන්ඩ්ල් කරන්න ඕනේ එක එක විදිහට. බැන්නත් හිනාවෙන්න ඕනේ. රණ්ඩු කරන්න හොඳ නෑ. 99% හොඳයි මට නම්. හරි නිදහස් කැමති නම් දුවනවා. බැරිනම් නිකං ඉන්නවා. දිව්වොත් අපිටයි හොඳ.“

කඳාන පදිංචි මී. ජේ. එස්. සම්පත් (36) හමුවූයේ ෆලවර් ඩ්‍රම් රෙස්ටුරන්ට් අසලදී වන අතර ඔහුගේ මාසික වැටුප රු. 35,000කි. පෙට්‍රල් හා යතුරුපැදිය ආයතනයෙන් ලබාදෙන අතර උදේ 11.30 සිට රාත්‍රී 9.30 දක්වා දින 6ක් වැඩ කළ යුතුයි. කොළඹ 1 - 13 දක්වා තමයි දුවන්නේ.

ඒ.එස්.එම්. නස්රින් වැඩ කරන්නේ ඌබර් ඊට්ස් වලට සම්බන්ධ වී වන අතර 29 හැවිරිදිය. සම්පූර්ණ කාලය යෙදෙව්වොත් රු. 50,000ක් පමණ ආදායමක් ලබාගත හැකි බව කියයි. නමුත් රිය අනතුරක් වුවත් ආරක්ෂාවක්, රැකවරණයක් නොමැති බව පවසයි. ඉස්සරට වඩා වැඩි පිරිසක් රයිඩර් රැකියාවේ යෙදෙන නිසා ලොකු ආදායමක් ද ලැබිය නොහැකි බව ඔහුගේ අදහසයි. ආහාර ඉල්ලුම්කරුවන් මුදල් ගෙවන්නේ ඌබර් ඊට්ස් ආයතනයට බවත් රයිඩර්ස්ලාට ලැබෙන්නේ කොමිස් මුදලක් බවත් පැවසීය.

කාන්තා රයිඩර් කෙනෙක් පැමිණේදෝ යැයි බලමින් මම දින කිහිපයක් රෙස්ටුරන්ට් අසල සෑහෙන වේලාවක් ගතකළෙමි. දිනක් මරදානේ මරියකඩේ සිට මා ඉදිරියෙන් පියාඹා ගිය කාන්තාවගේ පසුපස යතුරු පැදියෙන් පන්නා ගියද මොහොතකින් අතුරු පාරක ගමන් කළ ඈ අතුරුදන් වූවාය. මේ කවුරුත් කාලය සමඟ අනවරත සටනක යෙදෙන අතර ඕඩරය රැගෙන පවනට බඳු වේගෙන් දුවයයි.

දින ගණනාවක් උත්සාහ කිරීමෙන් පසු මට එක් දිරිය කතක් හමුවූවාය. සැමියා අහිමි ඇය කුඩා දරු දෙදෙනෙකු ජීවත් කරන්නට ජීවන අරගලයක යෙදෙන බවත් නොයෙකුත් බාධක, දුක් කම්කටොලු මධ්‍යයේ වුවද මෙම රැකියාව කරන අතර මාධ්‍යයට අනාවරණය කිරීමට අකමැති වූවාය. තවදුරටත් රයිඩර් කෙල්ලන් අල්ලා ගන්නට යත්න දැරූ මට ඒ උත්සාහය මල්ඵල ගැන්වුණේ අහම්බෙනි.

ඇය මුල්ලේරියාවේ රුෂිනි ඉමේෂා (31) රසායනාගාර සේවිකාවකි. අමතරව පික් මී රයිඩර් කෙනෙක් ලෙස කටයුතු කරන්නීය. මේ ඇගේ හඬ.

“මම උසස් පෙළ කළා. විවාහකයි. මහත්තයා සැලුන් එකක් කරනවා. දැනට වසර 2ට පෙර ලයිෂන් ගත්තා. ඒ කාලෙම බයික් එකක් ගත්තා. මගේ වැඩ, දරුවන්ගේ වැඩවලට පහසුයි. මගේ රැකියාවට එන්නෙත් බයික් එකේ. පික් මී රයිඩර් කෙනෙක්. කාන්තාවන් විදිහට අපි පස්සට යන්න හොඳ නෑ. ජීවත් වෙන්න සාධාරණ දේවල් කළාට කමක් නෑ. බයික් එක තියන හින්දා ඩ්‍රයිවින් පුළුවන් හින්දා මගේ වැඩවලට තව කෙනෙකුගෙන් උදව් ඉල්ලන්න ඕනේ නෑ. තනියම කරගත හැකියි. ඒක කාන්තා අපට අභිමානයක්. වැඩ කරද්දි ප්‍රශ්න නැතුවා නොවෙයි. පැමිණි දුක් පැණි රසයි කියා වැඩකළාම ජය ලබන්න පුළුවන්.“

විසිහත් හැවිරිදි ඒ. බාසික් කොළඹ පදිංචිකරුවෙකි. ජංගම දුරකථන රෙපොයාර් කරන ෂොප් එකක රැකියාව කළ ඔහු රට ලොක් ඩවුන් කළ නිසා ෆුල් ටයිම් වැඩට බැස්සේය. දිනකට රු. 2000 පමණ උපයාගත හැකි බව පවසයි.

“රෑට පාරේ යද්දි බල්ලෝ පාර හරහා පනිනවා. කෑම ඇණවුම් කළ ගෙවල්වලට ගිහින් කථා කරද්දි කස්ටර්මස්ලා ගේට්ටුව ඇරියාම ඔවුන්ට කලින් එන්නේ බල්ලෝ. දවසක් ඇතුල්කෝට්ටේ මන්ත්‍රී මාවතේදි බල්ලෙක් දුවගන ඇවිත් මාව බයික් එකෙන් වැටුණා. අපි වැටුණාම බල්ලෝ දුවනවා. බල්ලෝ හිමිකරුවන්ට අවනතයි. බල්ලා හිතන්නේ අපි ඔවුන්ගේ ස්වාමියාට කරදරයක් කරන්න යනවා කියලා. කෑම ඕඩරේ අරන් ගිහින් කස්ටර්මර් එනතුරු විනාඩි 20 විතර බලනවා. එක ඕඩරයකට වැඩි දුරක්, වැඩි කාලයක් ගත කරන්න වුණොත් අපිට පාඩුයි. ඉස්සර පෙට්‍රල් මිල අඩු නිසා අපට ඉතුරුවක් තියනවා. දැන් පෙට්‍රල් දෙගුණයක් මිලයි. ඒ නිසා වැඩි වාසියක් නෑ. සමහරු අපට සලකන්නේ බල්ලන්ට වගේ.

වැල්ලම්පිටියේ සිට රයිඩර් වෘත්තියේ යෙදීමට පැමිණෙන ඔහු මොහොමඩ් තස්ලිම් (28) වේ. රයිඩර් රැකියාවේදී කොමිස් මුදල් එකතු වෙන ආකාරය ඔහු විස්තර කළේය. සමහර දිනවලදී කෙටි පැය ගණනින් උපයන මුදල සමහර දිනවලදී ඉපයීමට පැය 8 - 10 ගතවන බව පැවසීය.

“ඉස්සර කාන්තා රයිඩර්ස්ලත් 10 විතර හිටියා. දැන් දෙතුන් දෙනයි. ඒ වගේම තමයි ඉස්සර වගේ නෙමේ දැන් හයර් අඩුයි. කට්ටිය වැඩියි. කලින් රැකියාවෙන් අස්වෙලා ආවා. ලක්ෂයක් හොයන්න පුළුවන් කීවා මසකට. අදාළ ඕඩර් එක කි.මී. 5ක් ඇතුළත කොහේ හිටියත් වදිනවා. සමහර තැන්වල කෑම ඕඩර්ස් සූදානම් කරන්න පරක්කු වෙනවා. සමහර ඕඩර්ස්වලට පැයකට රු. 100 විතර ලැබෙන අවස්ථා තිබුණට අපිට හරි පාඩුයි. ගෙවෙන කාලයට නෙමෙයි මීටරයට ගෙවන්නේ. කි: මීටරයට රු. 50යි.“

වත්තල පදිංචි තරුණයෙක් මේ රැකියාව ගැන පැවසුවේ මෙවැන්නකි.

“මේ ඩිලිවරි රයිඩර් රස්සාවෙදි කස්ටර්මර්, කඩහිමියා, ඌබර් ආයතනය හා ඌබර් රයිඩර් ලෙස වර්ග කළ හැකියි. කස්ටර්මර් ඇප් එක හරහා ඕඩරේ දානවා. එය ඌබර්, පික් මී එකට වදිනවා. එම ඇනවුම රයිඩර්ට ලබා දෙනවා. කස්ටර්මර් වෙත ඇණවුම ගෙනියන්නේ රයිඩර් තමයි. මේ බිස්නස් එක හදලා තියෙන්නේ රයිඩර්ට වඩා කස්ටර්මර්ට වාසි සැලසෙන විදිහටයි. කෑම වර්ග විතරක් නෙමෙයි බීම වර්ග පවා මේ හරහා ගෙනියනවා.“

රන්ජන් අමාලිංගම් 42 පැවසුවේ රයිඩර් රැකියාවෙන් මසකට රු. 30,000 පමණ ඉපයිය හැකි බවයි. සතියේ දිනවල 5 1/2 සිට රාත්‍රී 10 දක්වා සේවය කරන අතර ඉරිදාට, සෙනසුරාදාට 1ට අවසන් කරන බවත් කීය.

“සමහර දිනවලට රයිඩර්ස්ලා අඩුයි. ඕඩර්ස් වැඩියි. සමහර දිනවලට ඕඩර්ස් අඩුයි. රයිඩර්ස්ලා වැඩියි. කෙසේ නමුත් කොරෝනා වකවානුව හමුවේ, ජීවිතය ජීවත් කරවන්නට අන් හැම දෙනාටම පාහේ මෙන්ම ඩිලිවරි රයිඩර්ස්ලටත් මහත් යුද්ධයක් කිරීමට සිදුවී ඇති බව නම් නොඅනුමානය.

Comments