ඉදිරි අය­වැ­යෙන් විය යුතු දෑ ගැන සිළු­මි­ණෙන් ප්‍රශ්න 5ක් | සිළුමිණ

ඉදිරි අය­වැ­යෙන් විය යුතු දෑ ගැන සිළු­මි­ණෙන් ප්‍රශ්න 5ක්

1 අපේ රටේ ආර්ථිකයේ සමස්තය ආවරණය වෙන පරිදි ග්‍රාමීය ආර්ථිකය සුරක්ෂිත කිරීම කළ යුතුයි. ග්‍රාමීය ආර්ථිකය තුළ ගොවියන්, සුළු ව්‍යාපාරිකයන් සහ එදිනෙදා රැකියා කරන පුද්ගලයන් ආණ්ඩුවට බරක් නැහැ. පළමු වැනි අභියෝගය වන්නේ කුමන අංශ ශක්තිමත් කරන වැඩපිළිවෙළක් අයවැයෙන් යෝජනා කරනවාද යන්නයි. ජාතික ආර්ථිකය යනු මහා පරිමාණ ව්‍යාපාරවල සිට සුළු සහ මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ සිට ජාතික ආර්ථිකය වැදගත් වන සියලු ක්ෂේත්‍රයන් වැඩි දියුණු කිරීමයි. රටේ ජාතික මට්ටමේ ආර්ථීක ක්‍රියාවලිය ආරක්ෂා කරන්නත් වැඩි දියුණු කිරීමට කවර ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතුද? ඒ සඳහා වන සාධනීය යෝජනා මොනවාද යන්න පිළිබඳව මෙවර අයවැයෙන් ඉදිරිපත් කළ යුතුයි. අපනයනය ධෛර්යමත් කළ යුත්තේ සම්ප්‍රදායික අපනයනවලින් ඔබ්බට යමින් නවීන පන්නයේ අපනයන පද්ධතියක් මේ සඳහා එකතු කිරීමෙන්. ඒ සඳහා කවර ක්‍රියා මාර්ග ගත යුතුද යන්න සොය බැලිය යුතුයි. ආයෝජකයන් ඒ සඳහා පොලඹවා ගන්නේ කෙසේද? කවර සහන ඒ අය වෙනුවෙන් සැලසිය යුතුයිද? මේ රටට ගෙන්වා ගත යුත්තේ මොනවාද? එසේ ගෙන්වා නොගන්නා දෑ ආනයන ආදේශන ආකාරයට රට තුළ නිෂ්පාදනය කරනු ලබන්නේ කෙසේද යන්න සෙවිය යුතුයි. ඒ සඳහා කුමන ආකාරයට අදාළ අංශ පෙලඹීම් කළ යුතුද? යන්න සෙවිය යුතුයි. ඒ සමඟම විදෙස් ඍජු ආයෝජන අවශ්‍ය නම් මේ රටේ නිෂ්පාදන අංශ ප්‍රසාරණය කිරීමට, නව රැකියා උත්පාදනය සඳහා කුමනාකාර උපාය මාර්ගයන්ගෙන් ක්‍රියාත්මක කළ යුතුද යන්න සොයා බැලිය යුතුයි. මේ මූලික සාර්ව ආර්ථික මට්ටම වැඩි දියුණු කිරීමේ වැඩ පිළිවෙළ මෙහෙය වීම අභියෝගාත්මක කාර්යයක්. නව නිපැයුම්කරුන්, ආයෝජකයන් සහ සංචාරකයන් ආදී සියලු දෙනාගේ විශ්වාසය තහවුරු කළ යුතුයි.

 

2. දේශීය කෘෂිකර්මාන්තය යනු මේ රටේ ආර්ථිකයේ කොඳුනාරටියයි. එය ආරක්ෂා කළහොත් ආර්ථික දේහය ආරක්ෂා කරගත හැකියි. දේශීය කෘෂිකර්මාන්තය ශක්තිමත් කිරීම යනු ආහාර අතින් සුරක්ෂිත වීමයි. අප යම් ප්‍රමාණයකට ආහාර අතින් සුරක්ෂිත වුවත් ඇතැම් විට වෙළෙඳපොළ හිඟයක් පැමිණියහොත් හදිසි අවස්ථාවක ගැනීමට නිෂ්පාදන තොග රැස්කර තබා ගැනීමට තරම් අපේ නිෂ්පාදනය ප්‍රසාරණය වී නැහැ. ඒ නිසා අපි කැමැති වුවත් අකමැතිවුවත් නිෂ්පාදන ඵලදායිතාව පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. දැනට ඇති නිෂ්පාදන මට්ටම වඩා ඉහළට ගෙන ඒමට නම් විශාල නවීකරණයක් අවශ්‍යයි. සම්ප්‍රදාය ආරක්ෂා කරමින් නවීකරණයට යා හැකිවන්නේ කෙසේද යන්න සොයාබැලිය යුතුයි. එක් පරම්පරාවක් කෘෂිකර්මාන්ත අංශයෙන් ඉවත් වෙයි නම් අලුත් පරපුරක් සුදානම් කිරීමට ඇති එකම ක්‍රමවේදය නම් කෘෂි කර්මන්තය ආකර්ෂණීය නිෂ්පාදන අංශයක් බවට පත් කිරීමයි. කෘෂිකර්මික අංශය තොරතුරු තාක්ෂණය සමඟ බද්ධ කළ යුතුයි. එවිට වෙළෙඳ නිෂ්පාදන සම්බන්ධයෙන් වෙළෙඳපොළ, ගොවියා සහ පාරිභෝගිකයා අතර ජාල සම්බන්ධතාව තහවුරු කළ හැකියි. ඒ ආකාරයට මුළු රටේම නිෂ්පාදන ක්‍රියාවලිය ජාලගත තොරතුරු සම්බන්ධතාවය ඇති කළ යුතුයි. කෘෂි කර්මාන්තය යැපුම් මට්ටමේ පවත්වා ගැනීම අපහසුයි. එය ගෘහ ආර්ථිකයට වඩා වාණිජ මට්ටමට ගෙන යා යුතුයි. එහිදී වාණිජ මට්ටමේ කෘෂිකර්මාන්තයක් වැඩි දියුණු කිරීමට අවශ්‍ය කරන පහසුකම් සැපයිය යුතුයි.

 

3. කොවිඩ් වසංගතය අනෙක් වසංගතවලට වඩා තරමක් වෙනස් තත්ත්වයක් ගෙන ඇති නිසා ආර්ථිකයේ ව්‍යුහාත්මක වෙනස්කම් රැසක් මේ වන විට කළ යුතුයි. කොවිඩ්වලට ඔරොත්තු දෙන ආර්ථිකයක් ගොඩනඟන්නේ කෙසේද? ඊට පූර්ව සුදානමක් සකසා ගනු ලබන්නේ කෙසේද යන්න සෙවිය යුතුයි. කොවිඩ් සමඟ රටේ ආර්ථික ව්‍යුහය ගළපා ගන්නේ කෙසේද යන කාරණාව මෙහිදී මතුවෙයි. මිනිසුන්ට ආහාරපාන, බෙහෙත් අවශ්‍යයි. කර්මාන්ත ශෘලාවට, ගොවි බිමට, බැංකුවට යා හැකිවිය යුතුයි. එක් තැනක නොව විශාල පරාසයක මේ ව්‍යුහාත්මක ගැළපුම් ඇති කර ගන්නේ කෙසේද යන කාරණාවේදී සමස්තය ආවරණය වන පරිදි වැඩ පිළිවෙළක් යෝජනා කළ යුතුයි. රක්ෂණ සමාගම්වලට, බැංකු ක්ෂේත්‍රයට, තැරැව්කාර සමාගම්වලට, කෘෂිකර්මාන්තයේ නිරත වූවන්ට, කර්මාන්තකරුවන්ට ඇතුළු රජයේ උදවු අවශ්‍ය සියලු දෙනාට එකිනෙකට වෙනස් ක්‍රමවේදයන් අනුගමනය කරමින් සහාය දිය යුතුයි.

 

4 කොවිඩ් සමඟ සෞඛ්‍ය සහ අධ්‍ය­ාපනයත් එකිනෙකට ගැටෙන අරමුණු බවට පත්වී තිබෙනවා. කොවිඩ් සමඟ රටම මුහුණ දී තිබෙන්නේ අමුතුම මාදිලියේ අභියෝගයකටයි. එනම්, ජීවත් වීම සහ ආදායම් සොයා ගැනීම අතර අභියෝගය. වසංගතය නිසා ගෙදර ඉන්න සිදු වෙනවා. එහෙත් ගෙදර හිටියොත් ඇතැමුන්ට නිරාහාරව සිටීමට සිදු වෙනවා. කුසගින්නට යමක් හොයන්න ගියොත් ජිවිතය පිළිබඳව අවදානමක් තිබෙනවා. මේ දෙක අතර අභියෝගයක් තිබෙනවා.යම්දුරට පාලනය කරගන්නා තුරු රෝගය වැලඳුණහොත් රෝහලට නොයා නිවසේ නිරෝධායනය වීම වැනි දේ කළ හැකියි. රෝහල්වල ඉඩකඩ සීමාවීම් නිසා නිරෝධායන මධ්‍යස්ථානවල සෙනඟ වැඩිවෙනවා නම් අපිට තවත් විකල්ප සොයන්නට සිදු වෙනවා.

අධ්‍යාපනය ගැන කතා කිරීමේදී රූපවාහිනිය මාධ්‍ය මඟින් ඉගෙන ගැනීම වැනි ක්‍රියාමාර්ග අත්හදා බැලීමට සිදුවෙනවා. සන්නිවේදන සීමාවන් පුළුල් කරමින් ඒ දේවල් කළ යුතුයි. විශාල යටිතල පහසුකම් වර්ධනය කරන්න වෙනවා. ඉගෙන ගැනීමේ ක්‍රියාවලිය වෙනස් විය යුතු මාවත් ගැන සොයා බැලිය යුතුයි. ඇතැම් රූපවාහිනි නාළිකා දැනටමත් මේ කටයුත්ත සිදු කරනවා. මේ සඳහා අවශ්‍ය කරන ප්‍රාග්ධනය සපයා දීමට ආයෝජකයන් සහ ව්‍යවසායකයන් පෙලඹවිය යුතුයි. ඒ සියල්ල තිබියදී මේ සඳහා මානසික සූදානමක් ඇති කළ යුතුයි. සෞඛ්‍ය සේවාවේ රෝගීන් සහ වෛද්‍යවරු අතර සූදානමක් තිබිය යුතුයි. මේ සියලු අංශවලට සමාජ සාධාරණත්වය අයවැයෙන් තහවුරු කරන්නේ කෙසේද කියන කාරණාව ගැන අපි වඩා සැලකිලිමත්විය යුතුයි.

 

5. විදෙස් විනිමය උපයා ගත හැකි මාර්ගවලින් සංචාරක කර්මාන්තය මේ වන විට මුළුමනින්ම අඩපණ වී තිබෙනවා. ඒ හරහා අපිට විදෙස් විනිමය මිලියන පහකට අධික ප්‍රමාණයක් උපයාගත හැකියි. එය අපේ සමස්ත විදෙස් විනිමය ඉපයීමේ 40%ක් පමණ වෙනවා . ඇඟලුම් ක්ෂේත්‍රෙය් ඉපැයීම්වලදී යම්යම් උච්චාවචනයන්ට ලක්ව සම්ප්‍රදායික අපනයනයන් හරහා යම් ඉපයීම් වෙනවා . සුළු අපනයන බෝගවලින් යම් ආදායමක් ලැබෙන නමුත් සංචාරක කර්මාන්තය හරහා ඇතිකර තිබෙන පීඩනය තරමක් තීරණාත්මකයි. එසේම විදෙස් ශ්‍රමිකයන් එවන මුදල් වැඩිකර ගන්නා ආකාරය පිළිබඳව අප සැලකිලිමත් විය යුතුයි. රජය දේශීය වශයෙන් ආදායම් උපයන මාර්ග අතර බදු සහ බදු නොවන ආදායම් ඇතුළත්. එම බදු උපයා ගැනීමට වෙළඳෙපොළ විවෘත වී තිබිය යුතුයි. උපයා ගැනීමට හැකි ආදායම්වලින් බිලියන 1500ක් පමණ උපයා ගැනීමට නොහැකි වී තිබෙනවා. විදෙස් මෙන්ම දේශීය ආදායම් උපයා ගැනීමත් අභියෝගයාත්මක කටයුත්තක් බවට පත්වී තිබෙනවා.

 

1මේ රජය කළ යුතු වන්නේ රාජ්‍ය ආදායම වැඩි කර ගැනීමයි. මේ රජය බලයට පත් වුණා විතරයි බදු සහන දීලා පළමුවෙනි අය වැයෙන්ම බිලියන 700-800ක් රජයට අහිමි කරගත්තා. ඒ බදු තිබුණා නම් මේ කොවිඩ්වලට සහනයක් වෙනවා. ආණ්ඩුව වහාම රජයේ ආදායම වැඩි කර ගැනීමට කටයුතු කළ යුතුයි. මිනිසුන්ට හිරිහැර නොකර ආදායම වැඩි කරගැනීම කළ යුතුයි. යහපාලන රජය කාලයේ අපි මිනිසුන්ට හිරිහැර කරන්නේ නැතිව ආදායම වැඩි කරගත්තා. හොඳ ආර්ථික ප්‍රතිපත්තියක් ආණ්ඩුව ඇති කළ යුතුයි.

 

2 ආණ්ඩුවට කෘෂිකර්මයයි දේශීය ආර්ථිකයයි මතක් වුණෙත් කාබනික පොහොර මතක් වුණෙත් ඩොලර් නැති වුණ නිසයි. කාබනික පොහොර ප්‍රතිපත්තියක් හැටිය හොඳයි. එය ක්‍රමානුකූලවයි කළ යුත්තේ. කෘෂිකර්මයට ජාතික ප්‍රතිපත්තියක් ඇති කළහොත් කොයි ආණ්ඩුවක් ආවත් වෙනස් කරන්න බැහැ. ප්‍රායෝගික එවැනි ප්‍රතිපත්තියක් හැදුවොත් විපක්ෂය විදිහට අපිත් සහාය දෙනවා. මෙවර කාබනික පොහොරත් නැති නිසා අස්වැන්න අඩු වෙනවා.හාල් පිටරටින් ගේන්න වෙනවා.

 

3 ආණ්ඩුව දන්නේ නැහැ මේ රටේ ක්‍රියාත්මක වෙන්නේ කුමන ආර්ථීක ප්‍රතිපත්තියක්ද කියලවත්. එය හොඳින් වටහාගෙන කළ යුතුයි. මිල පාලනය කරන්න පුළුවන් වෙළෙඳපොළ හැසිරීම අනුවයි. වෙළෙඳපොළ ආණ්ඩුවයි හමුදාවයි පාලනය කරලා හරියන්නේ නැහැ. අවශ්‍ය වෙළෙඳපොළ තරගකාරීත්වයයි. ඕනෑම රටක අත්‍යවශ්‍ය ආර්ථික සාධකයක් වන්නේ අපනයනයි. අපේ රටේ අපනයනය වැඩි කරන්න වෙනම ආයතනයක් පිහිටුවන්න අවශ්‍යයි. අපනයනය දිරිගන්න යමක් කළ යුතුයි. රට ගොඩනැඟීමේ එකම මාර්ගය එයයි. නිදහසින් පසුව අවුරුද්දෙන් අවුරුද්දට බැලුවහොත් අපේ අපනයනය ආදායම අඩුවී තිබෙන බව පෙනෙනවා.

 

4.සෞඛ්‍ය අංශයේ දැන් බෙහෙත් හිඟයක් තිබෙනවා. බෙහෙත්වල මිල පාලනයක් නැහැ. බෙහෙත් මිල ගණන් හිතෙන හිතෙන විදිහට වැඩිවෙලා. දැනට තාවකාලික අඩුවීමක් තිබුණත් එය යළි වැඩි වෙන්න ඉඩ තිබෙනවා. බලවත් රටවල් සමඟ අපි හොඳ හිත තියාගෙන ඉන්න අවශ්‍යයි. ඒ රටවල් සියලුම අංශවලින් සහ තාක්ෂණිකවත් ඉහළ මට්ටමක සිටිනවා. ඔවුන්ගේ සහය අපිට අවශ්‍යයි. එදා අධ්‍ය­ාපනය ලබන දරුවන්ට අපි ටැබ් එකක් දෙන්න හැදුවත් එය කරන්න දුන්නේ නැහැ. එහෙම වුණා අද දරුවෝ ඔන්ලයින් මාර්ගයෙන් ඉගෙනීමේ කටයුතු කරගන්නවා. අන්තර්ජාල පහසුකම් වැඩිදියුණු කර දරුවන්ට අධ්‍යාපනය ලබාදෙන්න අවශ්‍යයි. නොතේරුම්කමට දරුවෝ අද ගෙදර හිටියට පසුකාලීනව දරුවෝ මේ කාලයට සාප කරයි. ගෙදර ඉඳලා ඉගෙන ගත්තට පෞරුෂය, සාමුහිකත්වය වර්ධනය වන්නේ නැහැ. ඒවා පාසලකින් ඇතිවිය යුතුයි. ඔන්ලයින් මාර්ගයෙන් හැම දරුවටම අධ්‍ය­ා පනය ලබන්න බැහැ.

 

5 අවුරුදු 4ක් මේ රටේ විදෙස් ණය ගෙවන්න අවශ්‍යයි. විදෙස් ණය වසරකට බිලියන 6.5ක් ගෙවිය යුතුයි. ආණ්ඩුව ජාත්‍යන්තරය සමඟ සමීප සම්බන්ධතා තිබුණා නම් ණය ගෙවිය යුතු කාල සීමා දීර්ඝ කරගෙන ගෙවීම් ශේෂය අඩු කරගන්න තිබුණා. ඉදිරියේදී අපට හුස්ම ගන්න කාලයක් ඉතුරුවෙන්නේ නැහැ.

ජාත්‍යන්තරය සමඟ හොඳ හිත තිබුණා නම් මෙය ප්‍රතිව්‍යුහගත කරගන්නට තිබුණා. ආණ්ඩුව එක් එක් රටවලින් ණය ඉල්ලන එක නොවෙයි කළ යුත්තේ.

මේ ණය ගෙවන වාරිකයන් අඩුකර ගන්න හැකි නම් එයයි කළ යුතු වන්නේ.

එසේ කරගත හැකිනම් මේ පොලී ගෙවීම් කාල සීමාව දීර්ඝකර ගත හැකි නම් සියලු රාජ්‍ය හා පෞද්ගලික අංශ දියුණු කරන්න, දිරි ගන්වන්න පුළුවන්. දේපළ වෙළෙඳ සමාගමක් වගේ රටේ ඉඩකඩම් විකුණලා වැඩක් නැහැ.

1 මේ අවස්ථාවේදී රට විශාල ආර්ථික අර්බුදයකට මුහුණ දීලා තිබෙනවා. දැනට වාර්තා වෙන හැටියට ණය රුපියල් බිලියන 16500 ඉක්මා තිබෙනවා. සියලුම භාණ්ඩ හා සේවාවල මිල ඉහළ ගොස් තිබෙනවා. නිෂ්පාදන මිලක් නෑ. ගොවියාට තමන්ගේ අස්වැන්න අලෙවි කරගන්න බැහැ. පාරිභෝගිකයාට හරි මිලට ආහාර ටික ගන්න බැහැ. හැම අයවැයකදීම අයවැය ඉදිරිපත් කරන ආණ්ඩුව ජනතාවට ඉතා විශාල සිහිනයක් මවනවා. නමුත් අයවැය අවසන් වන විට ඒ කිසිවක් සිදුවී නැහැ. මේ යන ආර්ථීක උපාය මාර්ගය ඇතුළේ තියෙන අයවැයවලින් ජනතාවට කිසිදු දෙයක් කරන්න බැරි වෙයි. බිලියන 1500ක් අවුරුද්දේ ණය පොලී ගෙවන්නවත් මදි. අද අපි බංගලාදේශයෙනුත් ණය ගන්න තත්ත්වයට ඇද වැටිලා තිබෙනවා.

 

2 ගොවියාට සහනාධාර දෙන්නේ නැතුව ලෝකේ කිසිම රටක කෘෂිකර්මාන්තය දියුණු කර නැහැ. කෘෂිකර්මාන්තය නඟා සිටුවන්න ආණ්ඩුවට අවශ්‍යතාවක් තිබෙනවා

නම් පළමුවෙන්ම කළ යුතු වන්නේ ගොවියාට පුළුවන් තරම් සහන ලබාදීමයි. ආණ්ඩුව විසින් ගොවියාට සාධාරණ මිලක් ලැබීම සහතික කරන්න අවශ්‍යයි. සමහර වෙලාවට ආණ්ඩුව විසින් ගොවියාගේ නිෂ්පාදන වැඩි මිලට මිලදී ගෙන බෙදා හැරියත් එයින් තාවකාලික පාඩුවක් වුණත් එය අනාගතය වෙනුවෙන් ආයෝජනයක්. කෘෂිකර්මාන්තයේ නියැළෙන ශ්‍රම බළකාය 1/3 කට ආසන්න ප්‍රමාණයක්. එහි දළ නිෂ්පාදන දායකත්වය දැන් 7%යි. මෙය වර්ධනය කරගන්න ගොවියාට නවීන ක්‍රමවේදයන්ට ගැළපෙන තාක්ෂණය හඳුන්වා දිය යුතුයි. එයට ආණ්ඩුව සූදානම් නම් වැඩිපුර ආයෝජන කරන්න. එය සාර්ථක වෙයි. දැන් පවතින තත්ත්වය ඉදිරියට ගියොත් ගොවියා ගොවිකම අතහරිනවා. තව කන්නයක් ගියාම ගොවියා ගොවිබිම බදු දෙන හෝ විකුණන තත්ත්වයට පත්වෙනවා. මෙය බරපතළ අනතුරක්. අයවැයෙන් කොළ එළියක් දැල්වුයේ නැතිනම් මේ රටේ කෘෂිකර්මාන්තයක් ඉතුරු වෙන්නෙ නැහැ.

 

3අපි අවුරුදු 44 ක් තිස්සේ ඉන්නේ විවෘත වෙළෙඳ ආර්ථිකයක් තුළයි. අනිවාර්යෙන්ම අපේ රටේ වෙළෙඳපොළට ලෝකයේ හැම තැනම පැතිරෙන්න අවස්ථාවක් තිබිය යුතුයි. අවුරුදු ගානක් හුරුවෙලා තියෙන හැටියට අපි යැපෙන්නේ ආනයනික අමූද්‍රව්‍ය මත. රටේ පුරවැසියෙක් වියදම් කරන ප්‍රමාණයෙන් 30% ක් විතර වියදම් කරන්නේ ආනයනික භාණ්ඩ සඳහා. මේ ආනයන මුළුමනින්ම සීමා කරලා ආර්ථිකයක් ගැන හිතන්න බැහැ. රටකට පුළුවන්කම තියෙන්න ඕනේ කෘෂිකාර්මික හෝ කර්මාන්ත හෝ සේවා තමන්ගේ නිෂ්පාදන සුළු පරිමාණයෙන් හෝ ආරම්භ කරන්න . එයට රජය යම් ප්‍රාග්ධන යෙදවුම් යෙදිය යුතුයි.

 

4 අපේ බිම් මට්ටම් දක්වා විහිදෙන සෞඛ්‍ය යාන්ත්‍රණය ශක්තිමත් කළ යුතුයි. විවිධ මට්ටමේ රෝහල් වැඩිදියුණු කරනවාට වඩා අපේ ගම් මට්ටමේ, පවුල් වෛද්‍යවරයාගේ සේවය ලබා ගැනීමට යාන්ත්‍රණයක් සකස් කර ගන්න අවශ්‍යයි. වෛද්‍යවරයෙක්, හෙදියක් හා තව කාර්ය මණ්ඩලයේ දෙන්නෙක් ඉන්න කුඩා සෞඛ්‍ය මධ්‍යස්ථානයක් ඇති කරන්න පුළුවන් නම් අප තහවුරු කරගත යුතු යාන්ත්‍රණය එයයි. අවුරුදු 4- 5 ක් ඇතුළත මේ ක්‍රමවේදය ක්‍රමානුකූලව ලංකාවේ ස්ථාපිත කරගන්න පුළුවන් නම් ඕනෑම වසංගතයකට මුහුණ දෙන්න පුළුවන්.

දැන් මේ තියෙන අලුත් තත්ත්වය ඇතුළේ දරුවෝ online අධ්‍යාපනයට හුරුවී තිබෙනවා. එයත් බද්ධ කරගෙන අලුත් ව්‍යුහයක් පිළිබඳ අපි කල්පනා කළ යුතුයි. දරුවාට වැඩි පරිශ්‍රමයක් දරන්නේ නැතුව ළඟම පාසලක් දියුණු කරගෙන ඒ ඔස්සේ අධ්‍යාපනය ඉහළටම යොමු කිරීමේ වැඩපිළිවෙළකට යා යුතුයි. ඔන්ලයින්වලට නිවසේ පහසුව නැති නම් පාසලකට යම් ප්‍රමාණයක් ගෙන්වා ඔන්ලයින් පහසුකම් දෙන්න පුළුවන්.

 

5 අපිට කෙටිකාලීන හා මධ්‍යකාලීන ප්‍රතිලාභ නොලැබෙන, ජාතික අවශ්‍යතාවක් නොවන මහා පරිමාණයේ ව්‍යාපෘති සඳහා මුදල් වැය නොකළ යුතුයි. රාජ්‍ය ආදායම වැඩි කර ගැනීමට තවදුරටත් ජනතාව මත බදු බර වැඩි නොකළ යුතුයි. ඇතැම් ව්‍යාපාරිකයෝ බදු දැලෙන් රිංගා යනවා. මේ ව්‍යාපරිකයන්ගෙන් බදූ අය කර ගැනීමට කටයුතු කළ යුතුයි. භාණ්ඩාගාරය පුරවන්න තියෙන්නේ බදු ආදායමින් විතරක්ම නොවෙයි . බදු නොවන ආදායම් තියෙනවා. විශේෂයන්ම මම හිතනවා තවමත් අපිට මේ වරායෙන් එන ආදායම් පිළිබඳව අමතක කරන්න බෑ. කොළඹ වරායේ තවමත් ගැඹුරු ජැටියක් නැහැ.

ඒ වගේම තව ටික දවසකින් අපේ මෙහෙයුම් ස්ථානයක් අපෙන් ගැලවිලා යනවා. ඒ වගේම මේ ණය සහ පොලී වාරික තව දුරටත් ගොඩගැසීම වළක්වා ගත යුතුයි. මේවා කළමනාකරණය කර ගැනීමෙන් අපි මේ වැටී සිටින වළෙන් ගොඩ ආ යුතුයි.

Comments