අයිස්ලන්ත පාර්ලිමේන්තුවේ බහුතර ආසන කාන්තාවන්ට | සිළුමිණ

අයිස්ලන්ත පාර්ලිමේන්තුවේ බහුතර ආසන කාන්තාවන්ට

පසුගියදා පැවති අයිස්ලන්ත මැතිවරණයේදී පාර්ලිමේන්තුවේ බහුතර ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමට කාන්තාවන් සමත් වී තිබේ. ඒ සියලුම පක්ෂ ආවරණය වන පරිද්දෙනි. ලෝකයේ සෙසු රටවල් සමඟ සසඳා බලන විට අයිස්ලන්තය ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව ඉතා ඉහළින්ම ක්‍රියාත්මක වන රටකි. මීට පෙර සිටම අයිස්ලන්ත පාර්ලිමේන්තුව තුළ කාන්තා නියෝජනය ඉහළ මට්ටමක පැවති අතර මෙවර එය පුරුෂ පාර්ලිමේන්තු සාමාජිකයන්ගේ සංඛ්‍යාව ඉක්මවා යෑමට සමත් වී තිබේ.

 

කෙසේ වුවද මෙවර මැතිවරණයෙන්ද බිහිවී ඇත්තේ සන්ධාන ආණ්ඩුවකි.

පාර්ලිමේන්තුවේ ආසන 63 අතරින් 33ක් කාන්තාවන්ට හිමි වී ඇති අතර පුරුෂයන්ට දිනා ගැනීමට හැකි වී ඇත්තේ ආසන 30ක් පමණි. මේ පාර්ලිමේන්තුවට තේරී පත් වූ කාන්තාවන් අතර අයිස්ලන්ත ඉතිහාසයේ ළාබාලතම පාර්ලිමේන්තු සාමාජිකාවද සිටී. ඇය 21 හැවිරිදි ලෙන්යා රුන් තා කරිම් ය. ඇය අයිස්ලන්තෙ ‘පයිරට් පක්ෂය’ නියෝජනය කරන්නීය. එම පක්ෂය එහි නමේ අර්ථයට ගැළපෙන සේ මුහුදු මංකොල්ලකාර දේශපාලනයක නිරත වන බව තම ප්‍රතිපත්ති මඟින් ප්‍රකාශයට පත් කර ඇති අතර තම අරමුණ ඍජු ප්‍රජාතන්ත්‍රවාදය පවත්වා ගැනීම බවද ජනතාවට පවසා තිබේ. කෙසේ වුවද මෙවර මැතිවරණයෙන් ඡන්ද 17,233ක් ලබා ගනිමින් ආසන හයක්ද දිනා ගැනීමට මේ මුහුදු මංකොල්ලකාර පක්ෂයට හැකියාව ලැබී තිබේ.

කෙසේ වුවද මේ ලියන මොහොත වන විටත් ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සන්ධාන ගත වීම සම්බන්ධව දේශපාලන පක්ෂ අතර සාකච්ඡා පැවැත්වෙමින පවතින බව දැනගන්නට ලැබේ. බොහෝ විට එරට හරිත පක්ෂයේ නායිකාව වන කැට්රින් ජකොබ්සොටරිට සෙසු පක්ෂ සමඟ එක්ව ආණ්ඩුවක් පිහිටුවීමේ වැඩි අවස්ථාවක් පවතින බවට ඉඟි ලැබෙමින් තිබේ. මෙවර මැතිවරණයෙන් එක් පක්ෂයක් දිනා ගත් වැඩිම ආසන සංඛ්‍යාව වන ආසන 16 දිනා ගැනීමට එරට නිදහස් පක්ෂය සමත් වී ඇති අතර ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ආසන 32ක බහුතර පාර්ලිමේන්තු සභිකයන් තමන් වෙත දිනා ගැනීමට ප්‍රධාන පක්ෂවලට සිදුවී තිබේ.

Comments